රජයට පාඩු විය හැකි වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් හෙලි කිරීම නිසා අශෝක් පතිරගේ අත්අඩංගුවට ගත්තද?

False Scam Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ සහ එහි වත්මන් සභාපති වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා විසින් දිනකට ශ්‍රී ලංකා රුපියල් 580,000 ත් 880,000 ත් අතර අමතර ආදායමක් උපයා ගත හැකි රහසිගත ආදායම් මාර්ගයක් සම්බන්ධයෙන් Truth with Chamuditha වැඩසටහනේදී හෙළි කළ බවත්, මෙම ආදායම් මාර්ගය  නීත්‍යානුකූල එකක් වුවද, රටේ ආර්ථිකයට හානි කළ හැකි රහස්‍ය තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් අශෝක් පතිරගේ ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවත්, ඒ අනුව ඔහුව රඳවා තබා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, ඉන් කම්පනයට පත් ජනතාව ඊට විරෝධය පල කරන බවත්, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් යොමු කරගනිමින් පුවතක් සංසරණය වී තිබුණා. නීත්‍යානුකූල සහ පහසු අමතර ආදායම් මාර්ගයක් ලෙස අදාළ ආයෝජන ක්‍රමවේදය සමාජ මාධ්‍ය සටහන් තුළ ඉස්මතු කර තිබීම  හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩි දෙනෙකුගේ අවධානය යොමු විය හැකියි. ඒ හේතුවෙන් මෙහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පතිරගේට මාංචු වැටේ : බිලියනපතියන්ගේ කඩා වැටීම ආරම්භ වේ යන සිංහල අර්ථය ගැන්වෙන පුවතක් Daily Mirror ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතේ පළ වී ඇති බවට දක්වමින් ෆේස්බුක් වෙළඳදැන්වීමක් පළ වී තිබුණා. ඒ සඳහා අශෝක් පතිරගේ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවක ඡායාරූපයක් ලෙස පෙන්වන ඡායාරූපයක් ද, එහි දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

මෙම වෙළඳ දැන්වීම ක්ලික් කිරීම හරහා Daily Mirror Online වෙබ් පිටුවේ දක්වා ඇති නිල පුවත් ලිපියක් ලෙසට හැඟවෙන වෙබ් පිටුවකට යොමු වේ. එහි සඳහන් වන්නේෙ BlizzerdPro නම් මාර්ගගත වේදිකාවක ශ්‍රී ලංකා රුපියල් 73,000 ක මුදලක් පමණක් ආයෝජනය කර ලැබෙන දෛනික ආදායමෙන් තමා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවත්, දිනකට රුපියල් 580,000 ත් 880,000 අතර මුදලක් ඒ හරහා තමා විසින් උපයා ගන්නා බවත් මෙම වේදිකාව තුළ ආයෝජනය කරන ඕනෑම අයෙකුට මාස 1-2 කින් ඔවුන්ගේ පළමු මිලියනයට ළඟා විය හැකි බවත්, අශෝක් පතිරගේ මහතා විසින් Truth with Chamuditha  වැඩසටහනේදී පැවසූ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් පළ වී තිබුණේ මේ අයුරින්. 

Archived Link

මෙම ලිපිය තුළ අශෝක් පතිරගේ මහතා සමග සිදු කළ Truth with Chamuditha වැඩසටහනෙහි පිටපත ලෙස දක්වමින් සංවාදයක් ඇතුළත් කර ඇති අතර, අශෝක් පතිරගේ මහතා Truth with Chamuditha වැඩසටහනට එක් වෙමින් මෙම අමතර ආදායම් මාර්ගය සම්බන්ධයෙන් හෙලි දරව් කරමින් චමුදිත සමරවික්‍රම මහතාගේ ටැබ්ලටය ගෙන අදාළ වේදිකාවේ ගිණුමක් ආරම්භ කර, එහි රුපියල් 73,000 ක මුදලක් තැන්පත් කර, පැය භාගයකින් අනතුරුව ගිණුම පරීක්ෂා කිරීමේදී එහි රුපියල් 94,271 ක මුදලක් පැවති බවත්, ඒ අනුව රුපියල් 21,271 ක ශුද්ධ ලාභයක් උපයා ගත් බවත් දක්වා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වන බවත් අශෝක පතිරගේ මහතා විසින් සඳහන් කරන ලද බව ද අදාළ සටහන තුළ අන්තර්ගත වනවා. 

මෙම සම්මුඛ සාකච්ජාව පැවැත්වීමෙන් අනතුරුව මෙම ආයෝජන ක්‍රමය හෙලිදරව් කිරීම නිසා දහස් ගණනක් පිරිසක් මේ හරහා මුදල් ඉපයීමත් සමග ආර්ථිකයට ඉන් හානි සිදු වූ බවත්, ඒ අනුව ඔහු අධිකරණයට කැඳවූ බවත්, ඔහුට සහය දැක්වීම පිණිස ජනතාව වීදි බැස ඇති බවත් අදාළ ලිපිය තුළ සඳහන් වනවා. අශෝක් පතිරගේ මහතාගේ ගිණුම් පරීක්ෂා කිරීමෙන් ඔහුගේ ක්‍රියාවන්හි නීති විරෝධී කිසිවක් සොයා නොගත් බවත් අවසානයේදී BlizzerdPro නම් අදාළ ආයෝජන ක්‍රමය භාවිතයෙන් ඕනෑම කෙනෙකුට නීත්‍යානුකූලව මුදල් උපයා ගත හැකි බවත් රජය විසින් ම තහවුරු කරන ලද බවත්, අදාළ ලිපිය තුළ දක්වා තිබෙනවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන ‘Truth with Chamuditha’ වැඩසටහන් මාලාවේ අශෝක් පතිරගේ සමගින් කළ සම්මුඛ සාකච්ඡාවක් ඇත් දැයි යන්න පරීක්ෂා කළ අතර ඉහත Daily Mirror පුවත් ලිපියක් බවට පෙන්වා දී තිබූ වාර්තාවේ අශෝක් පතිරගේ සහ චමුදිත සමරවික්‍රමගේ ඡායාරූප දැක්වෙන අශෝක් පතිරගේ මහතා සමග සිදුකළ ‘Truth with Chamuditha’ වැඩසටහනක් දැක ගන්නට ලැබුණා.

2020 වසරේ ජූනි 03 වන දා Youtube ඔස්සේ පළ කර ඇති එම සම්පූර්ණ වැඩසටහන අප විසින් පරීක්ෂා කළ අතර, ඉහත ලිපියේ දැක්වෙන ආකාරයේ කතා බහක් එම වැඩසටහන තුළ ඇතිව තිබුණේ නැහැ. අමතර ආදායම් මාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්නයක් චමුදිත සමරවික්‍රම විසින් යොමු නොකරන අතර අශෝක් පතිරගේ විසින් ද, තමන්ගේ අමතර ආදායම් මාර්ගයක් හෝ ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. එම සම්පූර්ණ වැඩසටහන පහතින්.

අශෝක් පතිරගේ මහතා සමග චමුදිත සමරවික්‍රම මහතා විසින් අදාල වැඩසටහන සිදුකර ඇත්තේ 2020 වසරේ දී වන අතර ඉහත ලිපිය පල කර තිබෙන්නේ 2026 අප්‍රේල් 27 වන දිනයි. මෙම වැඩසටහන හේතුවෙන් අශෝක් පතිරගේ මහතා අධිකරණය හමුවට පැමිණ වූ බවත්, ඊට එරෙහිව ජනතාව වීදි බැස ඇති බවත් ලිපිය තුළ දක්වා තිබෙනවා. එවැනි සිදුවීමක් 2020 වසරේදී හෝ ඉන් පසුව සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි.

කෙසේ නමුත් 2020 වසරේදී සිදු කළ ‘Truth with Chamuditha’ වැඩසටහන මත පදනම් ව අමතර ආදායම් මාර්ගයක්, ආයෝජන ක්‍රමයක් හෙලි කිරීම සම්බන්ධයෙන් රජයට ඉන් පාඩුවක් සිදු වීම හේතුවෙන් අශෝක් පතිරගේ මහතා අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවක්, අශෝක් පතිරගේ නිදහස් කර ගැනීම සඳහා රසිකයන් පෙනී සිටි බවක් හෝ පසුව ඔහු හෙලිදරව් කල ආයෝජන ක්‍රමය ඕනෑම පුද්ගලයකුට සුදුසු නීත්‍යානුකූල එකක් බවට තීරණය කළ බවට වන සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ කිසිඳු වාර්තාකරණයක් සිදුව තිබුණේ නැහැ.

ඉහත දක්වා ඇති ආකාරයේ පුවත් ලිපියක් Daily Mirror මගින් පළ කර නොමැත

ඉන්පසුව අප පරීක්ෂාවට ලක් කළේ, Daily Mirror ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පත විසින් ඉහත සඳහන් ලෙස පුවත් ලිපියක් පළ කර තිබුණේ ද, යන්නයි. ඉහත දක්වා ඇති ආකාරයේ පුවත් ලිපියක් එම පුවත් පත මගින් පළ කර නොමැති බව ද අප විසින් සිදු කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණා.

ඩේලි මිරර් පුවත්පතේ වෙබ් අඩවියේ ආකාරයට ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ලිපියක්

එමෙන් ම එම ලිපියේ Domain පරීක්ෂා කිරීමේදී එය Daily Mirror වෙබ් අඩවියේ domain (dailymirror.lk) නොවන බවට ද දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලිපියේ domain සහ සත්‍ය Daily Mirror වෙබ් අඩවියේ domain අතර ඡායාරූප සංසන්දනය පහතින්.

ඒ අනුව, මෙම ලිපිය නිල ඩේලි මිරර් පුවත් වෙබ් අඩවිය මගින් පල කල ලිපියක් නොවන බව තහවුරු වෙනවා.

ඩේලි මිරර් පුවත්පතේ වෙබ් අඩවියේ ආකාරයට ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර, එය පාඨකයින් නොමඟ යවන සුළු බවත්, “මතභේදාත්මක සම්මුඛ සාකච්ඡාවකින් පසු අශෝක් පතිරගේ නිදහස් කර ගැනීම සඳහා රසිකයන් පෙනී සිටී” යන මාතෘකාවෙන් යුතු අදාළ ලිපිය ඩේලි මිරර් පුවත්පත හෝ නිල වෙබ් අඩවිය ඔස්සේ පල කරන ලද්දක් නොවන බව නිල ඩේලි මිරර් වෙබ් අඩවිය ඔස්සේ තහවුරු කරමින් ලිපියක් පල කර තිබුණේ මෙලෙසින්.

අශෝක් පතිරගේ 

අශෝක් පතිරගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇය විසින් සඳහන් කර සිටියේ මෙම ලිපිය ව්‍යාජ එකක් වන බවයි. අශෝක් පතිරගේ මහතා විසින් මෙවැනි ආයෝජන ක්‍රමයක් පිළිබඳ ප්‍රකාශ කර නොමැති බවත්, මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇය සඳහන් කළා.

අශෝක් පතිරගේට සම්බන්ධ නඩු

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ වර්ග 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අශෝක් පතිරගේ මහතා ඇතුළු ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට සහ එහි එක් සේවකයෙකුට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නඩුවක් පවරා තිබූ අතර, 2024 ජනවාරි මාසයේදී රෝහල් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයෙකු මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ වරද පිළිගත් අතර, එහිදී රුපියල් 25,000ක දඩයක් නියම වුණා. එම දඩය ප්‍රමාණවත් නොවන බවටත්, නීතිමය ක්‍රියා පටිපාටිය දෝෂ සහිත බවටත් NMRA සහ පැමිණිලිකාර පාර්ශවය කරුණු දැක්වීමෙන් පසු, 2024 ජූලි මාසයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් පෙර නියෝගය අවලංගු කර නඩුව මුල සිට විභාග කිරීමට නියෝග කර තිබෙනවා. මීට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබියදීත් විත්තිකරුවන් පෙනී නොසිටීම හේතුවෙන් 2025 සැප්තැම්බර් 25 දින ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වුණා. 2025 සැප්තැම්බර් 26 දින විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් වී ඇප ලබා ගත් අතර, අභියාචනාධිකරණය සහ මහාධිකරණය මගින් රෝහල් අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප කර ඇති බැවින් නඩුව තවදුරටත් විභාග වෙමින් පවතිනවා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. කෙසේ නමුත් එම අධිකරණ ක්‍රියාවලිය සහ ඉහත ලිපියේ දැක්වෙන සිදුවීම අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව පැහැදිලි වනවා.

මෙවැනි වංචාවන් පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම සහ අවධානය දිනා ගැනීම සඳහා සමාජයේ පිළිගත් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඒවායේ ආයෝජනය කර ඇති බව හඟවන අතර, මෙවැනි වංචාවන් හරහා ආයෝජන සඳහා පහසු, ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් මූල්‍යමය වංචාවන්ට හසු කර ගැනීම සිදු කරනු ලබනවා. 

මෙවැනි වංචා හඳුනා ගන්නේ කෙසේ ද?

පුද්ගලයන් ආකර්ෂණය කරගත හැකි වන පරිදි අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ ලබා දෙන බවට ප්‍රකාශ කිරීම : ආයෝජන ක්‍රමවේදයක ඔස්සේ දිනකට රුපියල් 580,000 සිට 880,000 දක්වා පහසුවෙන් උපයා ගත හැකිය යන ප්‍රකාශය යථාර්ථවාදී නොවේ.

ව්‍යාජ පුවත් ලිපි: මෙවැනි වංචා වලදී බොහෝ විට එය නීත්‍යානුකූල බව පෙන්වීමට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ලෙස පෙනී සිටීම සිදු කරනු ලැබේ. ව්‍යාජ ලෙස සකස් කළ පුවත්පත් ආකෘති සහ වෙබ් අඩවි මේ සඳහා යොදා ගනු ලබනවා.

බාහිර සබැඳි: මේ සඳහා යොදා ගන්නා සබැඳි නිල වෙබ් අඩවි වල සබැඳි නොවීම එය සැක සහිත එකක් බව හඳුනා ගැනීමට ඇති ලක්ෂණයක් වන අතර එම සබැඳි මත ක්ලික් කිරීමෙන් ගිණුම් සඳහා ලොග් විය හැකි මුරපද, පුද්ගලික තොරතුරු වෙනත් වෙබ් අඩවි වලට යොමු වීමේ අවධානමක් ඇත.

පෙළඹවීම: මෙවැනි මාර්ගගත වංචා වලදී  බොහෝ විට “සීමිත දීමනා” ලෙස දැක්වීමෙන් මේ පිළිබඳ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට පෙර සත්‍යාපනයකින් තොරව හදිසියේ ක්‍රියා කිරීමට පුද්ගලයින් පොළඹවනු ලබනවා.

Also Read – යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී  විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?

සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලට නොරැවටෙන්න!

මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ‘Truth with Chamditha’ වැඩසටහනේදී අශෝක පතිරගේ මහතා විසින් ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව දක්වමින් ඩේලි මිරර් මඟින් පළ කළ ලිපියක් ලෙස හඟවමින් සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බවයි. එවැනි ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් අශෝක් පතිරගේ මහතා විසින් කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති අතර, එවැන්නක් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර හෝ ජනතාව ඔහුට සහය පල කරමින් වීදි බැස නොමැති අතර අදාළ ආයෝජන ක්‍රමය නීත්‍යානුකූල එකක් බවට තීන්දු කළ බවටද වන ප්‍රකාශයන් අසත්‍යයි. අදළ ලිපිය තතුබෑම් වංචා (SCAM) ලෙස හඳුනා ගත හැකි අතර සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් වලකින ලෙස Factcrescendo අප ඔබව දැනුවත් කර සිටින්නෙමු.

Result Stamp

Title: රජයට පාඩු විය හැකි වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් හෙලි කිරීම නිසා අශෝක් පතිරගේ අත්අඩංගුවට ගත්තද?

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *