මෙලානියා ට්‍රම්ප් සහ එප්ස්ටයින් පෙනී සිටින ඡායාරූපයක් ප්‍රංශ ජනාධිපති විසින් ප්‍රසිද්ධ කළා ද?

Misleading Social

ජෙෆ්රි එප්ස්ටීන් ගොනු එළිදැක්වීමෙන් පසු එහි ඇතුළත් බව කියමින් විවිධාකාරයේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සහ ජෙෆ්රි එප්ස්ටයින් එකට පෙනී සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කර ඇති බැවින් එය සැඟවීමට මැදපෙරදිග යුදමය තත්ත්වය නිර්මාණය කළ බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

සැබවින්ම මෙවැනි ඡායාරූපයක් ප්‍රංශ ජනපති මැක්රෝන් විසින් ප්‍රසිද්ධ කර ඇත්ද යන්න පිළිබඳව අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙම සටහන් වල දැක්වෙන්නේ එප්ස්ටයින් ලිපිගොනු වලින් ලීක් වූ බව කියනු ලබන, 2019 දී බන්ධනාගාරයේදී මියගිය ජෙෆ්රි එප්ස්ටයින්, මෙලනියා ට්‍රම්ප්ව වැළඳගෙන සිප ගන්නා ආකාරය පෙන්වන ඡායාරූපයකි. එප්ස්ටයින් සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් මෙවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ කර ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් ජනාධිපතිවරයාගේ X ගිණුම සහ Instagram ගිණුම් පරීක්ෂා කළ නමුත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ ඡායාරූපයක්  සොයා ගැනීමට හැකි වුණේ නැහැ.

ලොව පුරා මාධ්‍ය විසින් ලොව බලවත් පුද්ගලයින් සමඟ එප්ස්ටයින්ගේ සම්බන්ධතා පිළිබඳව වාර්තා කර ඇති අතර, එප්ස්ටයින් සහ මෙලානියා ට්‍රම්ප් සම්බන්ධයෙන් වන සමාජ මාධ්‍ය සටහන් වල අන්තර්ගතයන් සැබෑවක් නම්, මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඒ සම්බන්ධයෙන් වාර්තා කර ඇත් ද යන්න පරීක්ෂා කළත් එවැනි වාර්තා කිසිවක් හමු වුණේ නැහැ.

මෙලනියා ට්‍රම්ප් තමාට එරෙහිව හුවමාරු වන ව්‍යාජ ඡායාරූප ගැන ප්‍රකාශයක් නිකුත් කරයි!

2026 අප්‍රේල් 9 වන දින, මෙලනියා ට්‍රම්ප් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එම ප්‍රකාශය මෙතනින්. ඒ ගැන තවත් වාර්තාවක් පහතින්.

මෙලානියා ට්‍රම්ප් මෙම ප්‍රකාශය හරහා ජෙෆ්රි එප්ස්ටයින් සමඟ තමන්ට පෞද්ගලික හෝ වෘත්තීය සබඳතාවක් තිබූ බවට පැතිර යන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර, තමන් කිසිවිටෙකත් ඔහුගේ අපරාධවලට සම්බන්ධ නොවූ බවත්, ඔහුගේ ගුවන් යානාවල හෝ දූපතට ගොස් නොමැති බවත් අවධාරණය කරයි. 

තම සැමියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ව හඳුන්වා දුන්නේ එප්ස්ටයින් නොවන බවත්, 1998 වසරේ නිව්යෝර්හි සාදයකදී තමන් සිය සැමියා මුල් වරට හමුවූ බවත්, සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප සහ පුවත් දේශපාලනමය වශයෙන් තමන්ව අපහසුතාවයට පත් කිරීමට ගොතන ලද අසත්‍ය ප්‍රචාර බවත් පවසන මෙලනියා, මේ පිළිබඳ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා එප්ස්ටයින්ගෙන් පීඩාවට පත් වූ කාන්තාවන්ට කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දීමට අවස්ථාව ලබා දිය යුතු බවට යෝජනා කර තිබෙනවා.

එප්ස්ටින් ගොනුවල අඩංගු වූ ඡායාරූප යොදාගනිමින් සිදුකළ සංස්කරණයක්!

අප විසින් Reverse Image යෙදුමක් ඔස්සේ සිදුකරන ලද පරීක්ෂාවේදී අදාළ ඡායාරූපයේ මුල් පළ කිරීම සොයාගැනීමට හැකි වුණා. අදාළ ඡායාරූපය 2026 පෙබරවාරි 5 වන දින මුල් වරට ෆේස්බුක් හි පළ කර ඇති අතර, එම සටහනේ “ඩිජිටල් ලෙස වෙනස් කරන ලද” ලෙස ද සඳහන් කර තිබෙනවා. එම සටහන මෙතනින්, අදාළ ෆේස්බුක් සටහනෙහි දැක්වෙන ඡායාරූපයේ අනුක්‍රමික අංකයක් ද ඇතුලත් වී තිබුණේ මෙලෙසින්.

ඒ අනුව අප විසින් ඇමරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තුමේන්තුවේ එප්ස්ටයින් ලිපි ගොනු තුළ අදාළ ඡායාරූපය අන්තර්ගතව ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා සමාජ මාධ්‍ය සටහනේ අන්තර්ගත කේතය ඇතුලත් කරමින් DOJ හි පරීක්ෂා කළත් කිසිඳු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. DOJ

එහෙත් එම අංකයේ අවසාන ඉලක්කම් කිහිපය වෙනස් කරමින් සිදු කළ පරීක්ෂාවේදී, එප්ස්ටයින් ලිපි ගොනු තුළ තිබී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයට සමාන ඡායාරූප හතරක් සොයා ගැනීමට හැකි වුණා.

අධිකරණ දෙපාර්තුමේන්තුවෙන් ලබාගත් ඡායාරූප කිසිවක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙලානියා ට්‍රම්ප් එප්ස්ටයින් සමග පෙනී සිටින ඡායාරූපය අන්තර්ගත නොවන අතර, අධිකරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඡායාරූපවල කාන්තාවගේ මුහුණ ආවරණය කර තිබෙනවා. 

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප තුළ එප්ස්ටයින් මුද්දක් පැළඳ සිටින ආකාරය නිරූපණය කර ඇති අතර, අධිකරණ දෙපාර්තුමේන්තුවෙහි පළ කර තිබෙන ඡායාරූප තුළ එප්ස්ටයින් විසින් එවැනි මුද්දක් පැළඳ සිටින බවක් නිරූපණය වන්නේ නැහැ.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කර නිර්මාණය කරන ලද ඡායාරූපයක්

මෙම ලක්ෂණ සැලකිල්ලට ගනිමින් අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනාගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ අදාළ ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කර නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

Also Read :

එප්ස්ටීන්, බිල් ගේට්ස් සමග කොවිඩ් වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත!

එප්ස්ටයින් ගොනු වල ජෝ බයිඩන් මියගිය බවට සඳහන් වනවාද ? 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එක්සත් ජනපද ජනාධිපති මෙලනියා ට්‍රම්ප් සමඟ ජෙෆ්රි එප්ස්ටයින් පෙනී සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කර ඇති බව දක්වමින් හුවමාරු වන ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද ව්‍යාජ නිර්මාණයක් බවයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ කර නොමැති අතර එප් එප්ස්ටයින් ලිපි ගොනු තුළ ඇති ඡායාරූපයක් සංස්කරණය කරමින් මෙම ඡායාරූපය නිර්මාණය කර තිබෙනවා.

Result Stamp

Title: මෙලානියා ට්‍රම්ප් සහ එප්ස්ටයින් පෙනී සිටින ඡායාරූපයක් ප්‍රංශ ජනාධිපති විසින් ප්‍රසිද්ධ කළා ද?

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *