ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා.

ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද ගවේෂණයකි මේ .

සමාජ ජාලා සටහන්

රජයේ නිලධාරින් සහ දේශපාලන නායකයන් පිලිබදව විශ්වාසයක් නැති නිසා ලෝක බැංකුව ඍජුවම දිදිළිඳු සහන බෙදාදීමේ ක්‍රියාදාමයක් ආරම්භ කරන බවට වන සමාජ ජාලා සටහන් තිබුණා.

“නිලධාරින් ,දේශපාලන නායකයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව ඍජුවම දිලිදු සහන බෙදයි. පවුල් ලක්ෂ 43 කට මසකට 5000 බැගින් . ලියාපදිංචිය ඇප් එකකින්...” යන තේමාව යටතේ පුවත්පතකින් උපුටා ගත් පුවතක් ඔස්සේ සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.

Facebook | Archived

මෙම සටහන සදහා පහත ආකාරයට අදහස් ලැබී තිබුණා.

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු ආකාරය පහතින්

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප විසින් මුලින්ම විමසා බැලුවේ මෙම සටහන් සඳහා යොදාගෙන සැප්තම්බර් 4 ඉරිදා අරුණ පුවත්පත මගින් සිදුකර තිබු වාර්තාව පිළිබඳවයි. දෙරණ අරුණ පුවත්පත් කියවීමේ වැඩසටහනේදී එම පුවත්පත් සිරස්තල උපුටා ගෙන ඒ පිළිබඳව කරුණු දක්වා තිබුනේ මෙලෙසින්

https://youtu.be/NY2sBjW5VzY

මේ අනුව එහි සේයාරුවක්, සමාජ ජාලා සටහන් සඳහා යොදාගෙන තිබෙනවා බව පෙනී යනවා.

අරුණ පුවත්පත් වාර්තාව

අරුණ සම්පුර්ණ පුවත් වාර්තාවේ දැක්වෙන්නේ සමෘද්ධිලාභීන් ඇතුළුව රටේ අඩු ආදායම්ලාභී පවුල් සහ පුද්ගල ඒකක ලක්ෂ 43කට දුරකතන යෙදවුමක් මගින් ලියාපදිංචිකර රුපියල් 5000 බැගින් මාසිකව ලබාදීමේ නවතම සුභසාධන වැඩසටහනක් (පැකේජයක්) ආරම්භ කිරීමට රජය සූදානම් වෙමින් සිටින බවයි.

මෙතෙක් කලක් රාජ්‍ය නිලධාරීන් මගින් මෙවැනි වැඩපිළිවෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීම නිසා දේශපාලන බලපෑම් එල්ල වීම හේතුවෙන් ලෝක බැංකුව, ශ්‍රී ලංකාවේ මහ බැංකුව සමග එක්ව සෘජුවම දරිද්‍රතාවෙන් පෙලෙන පුද්ගලයන් හා පවුල් තෝරා ගැනීමට සැලසුම් කර ඇති බවත් එහි සඳහන්.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින ආධාර ලැබිය යුතු ජන කොටස් වෙනුවෙන් තවත් ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවට වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශය පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ආධාර සපයනු ලබන්නේ ලෝක බැංකුව විසිනි.

ඒ අනුව දැනට සමෘද්ධි ප්‍රතිලාභය ලබන ලක්ෂ 17ක ප්‍රජාවට අමතරව සමෘද්ධි සහනාධාරය අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයන් සහ පවුල්, වැඩිහිටි, වකුගඩුරෝගීන් සහ ආබාධිත යන ජන කොටස්ද මෙම නව සහන පැකේජයට ඇතුළත් වේ. ඊට අමතරව වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ දුගීභාවයට පත්ව සිටින බවට හඳුනාගෙන ඇති තවත් පවුල් සහ පුද්ගලයන් ලක්ෂ හයකටද මෙහි දී ප්‍රතිලාභ හිමිවනු ඇත. මෙම සහනාධාර පැකේජය වසර දෙකක කාලයක් ක්‍රියාත්මක කිරීමට මූලික අදියරේදී රජය සැලසුම් කර ඇත.

මෙම සහනාධාර පැකේජය පිළිබඳව අදහස් පළකළ මුදල් අමාත්‍යාංශ නිලධාරියකු සඳහන් කළේ ‘‘මූල්‍ය අරමුදලෙන් ඉදිරිපත් වන චෝදනාවක් තමයි මෙතෙක් රටේ සහනාධාර බෙදීමේදී විනිවිදභාවයක් තිබුණේ නැහැ කියන එක. ඒ නිසා මේ නව වැඩසටහනේ දී අපි මොබයිල් ඇප් එකක් (ජංගම දුරකතන යෙදුමක්) හඳුන්වා දෙන බවය.- (අරුණ )

මුදල් අමාත්‍යංශයේ පිළිතුරු

මෙම සහන ලබාදෙන නව ක්‍රමවේදය පිලිබදව සැප්තම්බර් මස 5 වනදා පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් අදහස් දක්වන ලද අතර ඔවුන් විසින් පවසන්නේ මෙම සමාජ ජාලා සටහනේ අන්තර්ගත පුවත්පත් සිරස්තලයේ ඇති කරුණු සම්පුර්ණයෙන්ම නොමඟ යවන සුළු බවයි. ලෝක බැංකුව විසින් ඍජුව , රාජ්‍ය මැදිහත්වීමකින් තොරව දිලිදු ජනතාවට ආධාර ලබාදීමට උත්සාහ කරන බවට වන කරුණ සාවද්‍ය බවත් ඔවුන් පවසනවා. එම අවස්ථාව මෙතනින්

කෙසේ වෙතත් දුරකථන යෙදවුමක් (App) එකක් මාර්ගයෙන් සහන ලබාදිය යුතු ජනතාව සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් යොදවා ගම්මාන, නගර ආශ්‍රිතව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නගන බවද ,ඉදිරි(2023) වසරේ ජනවාරි මාසයේ සිට එම දත්ත මත පදනම්වූ සහන ලබාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන අතර ඒ සදහා ලෝක බැංකු ආධාර ලැබීමට නියමිත බවත් එම නිලධාරින් පැවසුවා. නමුත් ඔවුන් අවධාරණය කර සිටියේ මෙම වසරේදීද ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් මගින් දුප්පත් ජනතාවට ආධාර ලබාදීමේ ක්‍රියාවලි මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය මත මේ වන විටත් ක්‍රියාත්මක බවයි.ලෝක බැංකුව මගින් රාජ්‍ය මැදිහත්වීමකින් තොරව ඔවුන් ඍජුව මැදිහත්වී ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් සදහා මෙතෙක් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති අතර එවන් පියවරක් ප්‍රායෝගික නොවන බවත් ඔවුන් පැවසුවා.

මුදල් ආමාත්‍යාංශයේ නිලධාරින් සහභාගිවූ එම සම්පුර්ණ මාධ්‍ය හමුව වෙතට සවන් දිය හැකියි මෙතනින්

තවද , අරුණ පුවත්පත් වාර්තාව මගින් ලෝක බැංකුව , මහා බැංකුව හා එක්ව මෙම ආධාර ලබාදීමට රාජ්‍ය යාන්ත්‍රනයකින් තොරව සම්බන්ධ වන බවක් හගවා තිබුනද පැහැදිලි කාරණය නම් ශ්‍රී ලංකා මහ බැංකුවද මුදල් අමාත්‍යාංශය යටතේ කටයුතු කරන රජයේ ආයතනයක් බවයි.

ලෝක බැංකුව

පවතින අර්බුදකාරී තත්ත්වය සදහා සහන සැලසීම සදහා ලෝක බැංකුව විසින් ලංකාවේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගී කර ගනිමින් සමාජ සුරක්ෂිතතාව ,ඉන්ධන සැපයීම, වෛද්‍ය ආධාර සැපයීම මුලික කරගත් වැඩපිළිවෙලක් පසුගිය මාස කිහිපය තුලද ඇමෙරිකානු ඩොලර මිලියන ගණනක අරමුදල් සැපයීම හරහා සිදුකර තිබුණා. මෙම අරමුදල් සැපයීම සිදුකර තිබුණේ වෙනත් ව්‍යාපෘති සදහා වෙන්කර තිබු මුදල් හදිසි මානුෂික අවශ්‍යතාවයන් සදහා වෙන්කිරීමෙන්. මේ හා සම්බන්ධ දත්ත ඇතුලත් ලෝක බැංකුව විසින් සකසන ලද ලිපියක් කියවිය හැකියි මෙතනින්.Archived

මේ සම්බන්ධයෙන් අප හා සමග අදහස් පලකල ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ උසස් නිලධාරිනියක් පැවසුවේ කුමන රජයක් බලයේ සිටිය ද පවතින රජය සමග සහයෝගයෙන් යුතුව රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගී කරගනිමින් කටයුතු කිරීම ලෝක බැංකුවේ සම්ප්‍රදාය වන බවත් මීට පෙර සහ දැනට ක්‍රියාත්මක වන ලෝක බැංකු ව්‍යාපෘති ද එසේ සිදුවන බවයි. එසේම වත්මන් රජය සමග ද එම ප්‍රතිපත්තිය මත පදනම්ව කටයුතු කරන බවත් ඇය පැවසුවා. එමනිසා සමාජ ජාලා සටහන් වල හුවමාරුවන පුවත්පත් සිරස්තලය නොමගයවන සුලු එකක් බවත් ඇය පැවසුවා.

ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස්

ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි ට්විටර් ද සටහනක් පළ කරමින් පවසා තිබුණේ ආධාර ලැබිය යුතු පුද්ගලයන්ට රාජ්‍යයේ මැදිහත්වීමකින් තොරව ඍජුව ආධාර ලබාදීමේ ක්‍රමවේදයක් ලෝක බැංකුව අනුගමනය නොකරන බව සහ සමාජ ජාලා හරහා හුවමාරුවන මෙම පුවත්පත් සිරස්තලය නොමග යවන සුලු එකක් වන බවයි. Tweet | Archived

එසේම නම සදහන් කිරීමට අකමැත්ත පලකල ආර්ථික විශ්ලේෂකයෙක් අප සමග පැවසුවේ ලෝක බැංකුව කිසිසේත්ම රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධ නොවන බවයි. මෙම සමාජ ජාලා සටහනේ ආකාරයට ලෝක බැංකුව විසින් දිළිඳු පුද්ගලයින්ට ඍජුවම ආධාර ලබාදීමට මැදිහත් වන්නේ නම් එය රාජ්‍ය පාලනයට මැදිහත්වීමක් වන නිසා වේගයෙන් පැතිරෙන සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවා වන බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුයේ ලෝක බැංකුව මගින් රාජ්‍ය නිලධාරින් උපයෝගී කර නොගනිමින්, ඍජුවම, ලංකාවේ දුප්පත් ජන කොටස් හඳුනාගනිමින්, ආධාර ලබාදීමට සැරසෙන බවක් හැගවෙනසේ පළව තිබු සැප්තැම්බර 4 වනදා පළවූ අරුණ පුවත්පතේ සිරස්තලය පාදක කර ගනිමින් එහි ඡායාරුප (Screenshots) යොදාගනිමින් සකසන ලද සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවා වන බවයි.

ලෝක බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික ආගාධය හේතුවෙන් පිඩාවට පත්, විශේෂයෙන්ම සහන අවශ්‍ය ජනතාවට උපකාර කිරීමට ආධාර සැපයිමක් සිදු කරන අතරම ඒ සඳහා දැනට මෙන්ම ඉදිරියේ දී ත් රජයේ විවිධ පාර්ශවය සමඟ කටයුතු කෙරෙනු ඇති බවත් එය ඕනෑම රටක දී ලෝක බැංකුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ නිළධාරීනියක් පැහැදිලි කර සිටිනවා.

එමෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරින් මෙන්ම ලෝක බැංකු ලංකාවේ කාර්යාලව විසින් ද මෙම පුවත්පත් සිරස්තලය සහ ඒ හා බැදුණු සමාජ ජාලා සටහන් නොමඟ යවන සුළු බව පෙන්වා දෙනවා.

Avatar

Title:රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, ඍජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?

Fact Check By: Kalana Krishantha

Result: Misleading