දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව හා ගනුදෙනු කළ වංචාවන්ට හසු වූ පුද්ගලයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුද්ගල ලැයිස්තුව සම්බන්ධයෙන් අප සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව හා ඇය සමග ගනුදෙනු කළ පුද්ගලයන් යනුවෙන් සඳහන් කරමින් ගවේෂණශීලි මාධ්‍යවේදී කණ්ඩායමක් ලෙස දැක්වෙන කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නම් ලැයිස්තුවක් පළ කර තිබුණා. එම සටහන පහතින්.

ගවේෂණශීලි මාධ්‍යවේදියා හෙළිකරයි - Investigative Journalist leaks...

තිළිණි ප්‍රියමාලිට හසු වූ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ලයිස්තුව මෙන්න!

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ කාන්තාවක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුනා.

අදාල කාන්තාව වංචා කළ මුදල් ඉල්ලූ විට ගණුදෙනුකරුවන් සමග අයුතු ලෙස හැසිරීමට ප්‍රසිද්ධ නිළියන් යොදාගත් බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වුනා.

එම කූඨ ජාවාරමේ සියලූම විස්තර සොයා ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම වෙහෙසුනා.

ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම සම්මාන ලැබූ ජනමාධ්‍යවේදීන් පිරිසකගෙන් සමන්විත වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ මතවාදයකට සම්බන්ධ නොමැති ශ්‍රී ලංකාවේ එකම ස්වාධීන ගවේෂණශීලී මාධ්‍යවේදීන් පිරිසයි.

මෙහිදි අපගේ අවදානයට යොමු වුයේ මෙම වංචාවට සම්බන්ධ පිරිස් සහ හසුවූ පිරිස් සමාජය ඉදිරියේ අනාවරණය කිරීමයි.

අප මෙම පරීක්ෂණයට විවිධ තොරතුරු මුලාශ්‍ර කර ගත් අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු ඇසුරින් ඒවා සනාත කර ගත්තා.

මෙම වංවාව සිදු කළ කාන්තාව තිළිණි ප්‍රියමාලි නැමැත්තියකි. ඇය සමාජයේ ඉහළ ස්ථරයේ බවට පෙන්වමින් මෙම වංචාව සිදු කර තිබෙන බව අප ගවේෂණයේදි හෙළිවුනා.

මෙම වංචාව ඇය සිය සැමියා සමග සිදු කිරීම විශේෂත්වයක්.

එමෙන්ම ඇයට ඒ සඳහා ප්‍රසිද්ධ රංගන ශිල්පිණියන් තිදෙනෙක්ද උපකාර කර තිබෙනවා. (ඔවුන්ගේ නම ගවේෂණයේ පහත හෙළි කර තිබේ.)

තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයි අප අනාවරණය කරගත්තා.

එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අප කළ විමර්ෂණයේදි හෙළිවුනා.

මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබෙන බව අප කළ ගවේෂණයෙන් හෙළිවුනා.

ඒ බව අප ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම් සඳහන් නොකරන තොරතුරු සපයන්නන් හරහා සනාත කර ගත්තා.

තවද ප්‍රසිද්ධ නිළියන් වන යුරේනි නොෂිකා, පූර්ණිකා පීරිස් සහ දමිතා අබේරත්න යොදාගෙන ඇය ප්‍රකෝටිපතියන් සමග නොමනා අයුරින් හැසිරී, ඒවා වීඩියෝ කර ඔවුන්ගෙන් කප්පම් මුදල්ද ලබා ගෙන තිබේ.

එමෙන්ම රූපවාහිනි නිවේදිකා සුරංගි කොඩිතුවක්කුත් ඇයගේ ව්‍යාපාරික සහකාරියක් ලෙස කටයුතු කර තිබේ.

මෙම ප්‍රසිද්ධ නිළියන් තිදෙනා එම ලිංගික දර්ශන සහ සංවාද හඬපට ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් තිළිණි ප්‍රියමාලී විසින් ගෙවා තිබෙන බවත් හෙළිවුනා.

මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අප කළ ගවේෂණයෙන් හෙළිවුනා.

මෙම සැකකාරිය සිය ව්‍යාපාර කටයුතු සඳහා ගනුදෙනුකරුවන් තුල විශ්වසනීයත්වයක් ඇතිකිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ පමණක් නොව ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන්ටද තමන්ගේ සුබසාධන ව්‍යාපෘතිවලට ආරාධනා කරමින් ඊට අදාල ජයාරූප මුදල් ගෙවා මාධ්‍යවල පළකර පුළුල් ප්‍රචාරයක් ලබා ගෙන ඇති බවද වාර්තාවේ.

අප කළ ගවේෂණයෙන් පසුව ඇය යටතේ මුදල් ආයෝජනය කළ පුද්ගලයන් ලයිස්තුව සොයා ගැනීමට අපට හැකිවුනා.

එම ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන්, නළු නිළියන් රැසක් සිටීම විශේෂත්වයක්.

එම ලයිස්තුව පහතින්,

ජීවන් කුමාරණතුංග

මල්ෂා කුමාරණතුංග

ශෙරීන් කුමාරණතුංග

මලීෂා කුමාරණතුංග

යුරේනි නොෂිකා (සැකකාරියගේ ව්‍යාපාරික හවුල්කාරිණියකි)

රන්ජන් රාමනායක

පේෂල මනෝජ් පේෂ්කාර (පූර්ණිකාගෙ සැමියා)

දමිතා අබේරත්න (සැකකාරියගේ ව්‍යාපාරික හවුල්කාරිණියකි)

විශේෂඥ වෛද්‍ය එම්. ඒ. එච් ෆර්නෑන්ඩො

සුදත්ත තිලකසිරි

සුනිල් ටී ෆ්‍රනාන්දු

ඕමල්පේ සෝභිත හිමි

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

ව්‍යාපාරික රුක්ෂි නෙත්තිකුමාර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා

ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

රවී කුමුදේශ්

අමිලා සුරංගි ගුණවර්ධන (සුරංගි දේවගැතිවරිය)

ප්‍රියංග පුෂ්පකුමාර (ප්‍රියාන් මැණික්)

වෛද්‍ය නිහාල් අබේසිංහ

කැමරා එල්.කේ අධිපති අනුෂ්ක ගුණසිංහ

කප්රුක අධිපති දුලිත් හේරත්

කරුණාරත්න පරණවිතාන

රන්ජන් ජයලාල්

යෙහාලි සංගක්කාර

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

පොදුජන පෙරමුණේ මන්ත්‍රීනි මුදිතා ද සොයිසා

අජිත් මොහාන් පෙරේරා

දහම් සිරිසේන

ශෙවාන් ඩැනියෙල්

සරින්ද උනම්බුව

රොයෙල් රේමන්ඩ්ස්

අකිල විමංශ සෙනෙවිරත්න

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද, මෙම සටහන බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

එසේම WhatsApp ඔස්සේ හුවමාරු වූ තවත් ලැයිස්තුවක මෙම නම්වලට අමතරව තවත් නම් කිහිපයක් ද සඳහන් වී තිබෙනු දැක ගන්නට ලැබුණි.

මේ පිළිබඳව විමසා බලන ලෙස පාඨකයින් කළ ඉල්ලීමක් රැසක් ද, මුල් කොට ගෙන මෙම සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

කරුණු පැහැදිලි කිරීම (Explainer) :

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණි ප්‍රියමාලි, ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 226කට අධික මුදලක්, අමෙරිකානු ඩොලර් 60,000ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රන් භාණ්ඩ යනාදිය වංචා කර සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 06 වන දා නියෝග කළා. ඒ පිළිබඳව පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

එම කාන්තාව සම්බන්ධ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ රියාස් නූර්ඩීන් ඇතුළු නීතිඥ මඬුල්ල පෙනී සිටිනවා.

කෙසේ වෙතත් මෙම නඩුවේ මේ වන තෙක් සිදුකර තිබෙන පළමු කැඳවීමේදී, අගතියට පත් පාර්ශවයන් ලෙස, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුද්ගලයන්ගේ නම් ඇතුළත් නොවූ බවට අධිකරණ මාධ්‍යවේදීන්ගෙන් අප කළ විමසීමේදී පවසා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මේ වන විටත් සැකකාරියට විරුද්ධව පැමිණිලි ලැබෙමින් පවතින බවත්, තවමත් ඒ පිළිබඳව විමර්ශන සිදු කෙරෙන බවත්, මෙතෙක් අගතියට පත් සියලු පාර්ශවයන් කවුරුන් ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

ඉදිරියේදී විමර්ශන කටයුතු සිදු කිරීමේදී ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව අධිකරණය හරහා එම තොරතුරු දැන ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

මෙම විමර්ශනය පිළිබඳව ඉදිරියේ දී සිදුවන නඩු වාර සමග ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ඇතැම් නම් හෝ වෙනත් නම් ඉදිරිපත් වේ නම් එම තොරතුරු ඉදිරියේ දී යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

සමාජ මාධ්‍ය සටහන

කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ පිළිගත් පුද්ගලයින් රැසක් තිළිණි ප්‍රියමාලිගේ ආයතනයෙහි තැන්පතු සිදු කර ඇති බවට අධිකරණයේදී ජනාධිපති නීතිඥවරු පෙන්වා දීමත් සමග එ් පිළිබඳ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් සහ මෙලෙසින්. (Archived Link | Archived Link) වාර්තා වීමත් සමග, සමාජයේ ඇතැම් ප්‍රසිද්ධ චරිත කිහිපයකගේ නම් ඇතුළත් කරමින්, පළ වූ සමාජ මාධ්‍ය සටහන පිළිබඳව අප නිරීක්ෂණය කළ අතර මෙහිදී අපට දැකගන්නට ලැබුණේ, මෙම කාන්තාව හා එම සටහනේ දැක්වෙන ඇතැම් පුද්ගලයන් ඇසුරු කළ බව හැඟවීමට ඔවුන් පෙනී සිටි ඡායාරූප භාවිතා කර තිබූ බවයි.

මෙම සමාජ මාධ්‍ය සටහනේ මූලාශ්‍ර දක්වා නොතිබීම ත්, මෙම ෆේස්බුක් පිටුව මගින් මීට පෙර ද පළ කරන ලද සටහන් හෝ වාර්තා කිහිපයකම මේ ආකාරයේ හෙළි කිරීමක් හෝ විමර්ශනයන් සිදු කර ඒවා නිරවද්‍ය තොරතුරු බවට හෙළිවී තිබුණේ ද යන්න පිළිබඳ අප විමර්ශනය කළත්, එවැනි තොරතුරක් අපට දැක ගන්නට නොහැකි වීම හේතුවෙන් එහි විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් පැන නගී.

එසේම මීට පෙරද නොයෙකුත් පුවත් සමගින් සමාජයේ ලැයිස්තු සම්බන්ධ කතිකාවතක් නිර්මාණය වූ සැනින් මෙවැනි ලැයිස්තූ ඉදිරිපත් කරමින් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ සටහන් අසත්‍ය බවට ඔප්පු වූයේ, එවැනි ලැයිස්තු සම්බන්ධ පොලීසිය විසින් සිදු කළ සත්‍ය විමර්ශනයන් හිදී එවැනි ෆේස්බුක් සටහන් වල දක්වා තිබූ ලැයිස්තු ගත කළ පුද්ගලයන්ගේ නම් සඳහන් නොවීම ත් සමගයි. මීට පෙර පළ වූ එවැනි ෆේස්බුක් සටහන් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයන් පහතින්.

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව ඇත්තක් ද?

පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන් හෙළි හළ බව හඟවමින් ඉදිරිපත් කළ වාර්තාවක්!

ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වූ පිරිස ඇය සමග ඇසුරු කළ පුද්ගලයන් මෙන්ම පසුගිය වකවාණුවේදී නොයෙකුත් කාරණා ඔස්සේ සමාජයේ කැපී පෙනුණ චරිත වේ.

මේ හේතුවෙන් එම සටහනේ දක්වා තිබූ කිහිපදෙනෙකුගෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කිරීමට අප කටයුතු කළා.

රංගන ශිල්පිණී දමිතා අබේරත්න

දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළේ, ඇය තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව පෞද්ගලිකව හඳුනන්නේ නැති බවයි. එම කාන්තාව විසින් වරක් පුබුදු චතුරංග රංගන ශිල්පියා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා තමන්ට ආරාධනා කළ බවත්, තමන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත්, ඇය ප්‍රථම වතාවට එම කාන්තාව මුණගැසුණේ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවැත් වූ සංගීතඥ පේෂල මනෝජ්ගේ බිරිඳ වන නිවේදිකා පූර්ණිකා පීරිස්ගේ උපන්දිනය සාදයේදී බවත්, ඇය එම ස්ථානය ඉහත සඳහන් කළ කාන්තාවගේ කාර්යාලය බව තමන් මීට පෙර දැන නොසිටි බවත් සඳහන් කළා.

පූර්ණිකාගේ උපන්දිනය හේතුවෙන් එම කාන්තාව එම උත්සව අවස්ථාවේදී ගැබිණි මව්වරුන්ට තෑගි කට්ටල බෙදා දුන් අතර එම අවස්ථාවේදී එම කට්ටල ගැබිණි මව්වරුන් වෙත බෙදා දෙන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් අවභාවිත කරමින් තමන් එම කාන්තාව සමග ව්‍යාපාර කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් ලෙන යන බවයි දමිතා පවසා සිටියේ.

වැඩි දුරටත් අදහස් දක්වමින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න සඳහන් කළේ, මෙම කාන්තාව විසින් තමන්ව ඇයගේ ගනුදෙනු සඳහා සහ අසභ්‍ය වීඩියෝ පට සඳහා ඇයව යොදා ගත් බවට, පදනම් විරහිත අසත්‍ය පුවත් පතුරවන බවත්, තමන් ඇය සමග කිසිදු ව්‍යාපාර කටයුත්තක් සිදු කර හෝ ව්‍යාපාර කටයුත්තක් සම්බන්ධයෙන් හෝ සාකච්ඡා කර හෝ නොමැති බවත්, තමාට විරුද්ධ පාර්ශව ආණ්ඩුවේ පිරිස් තමන්ගේ නමට කැළලක් ඇති කිරීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි.

මෙම සටහන් පිළිබඳව කලා ශිල්පිනි දමිතා අබේරත්න තැබූ ෆේස්බුක් සටහන පහතින්

https://www.facebook.com/batty.abeyrathne/posts/2056897197845680

යුරේනි නොෂිකා

රංගන ශිල්පිණී යුරේනි නොෂිකා තරයේ පවසා සිටින්නේ, තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවකගෙ කූට ව්‍යාපාරවලට සහ තමන් අතර කිසිදු ව්‍යාපාරික හෝ වෙනත් කිසිම ආකරයක සම්බන්ධයක් නොමැති බවයි. පෞද්ගලිකවම මඩ ගැසීමේ චේතනාවෙන් ව්‍යාජ මාධ්‍යවේදී නම් යොදා ගෙන සිදුකරන මේ චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සඳහන් කලාකරුවන් සියලු දෙනාම නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවයි. මේ පිළිබඳව ඇය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මෙතනින්. Archived Link

පූර්ණිකා පීරිස්

කලා ශිල්පී පේෂල මනෝජ්ගේ බිරිඳ වන රූපවාහිනි නිවේදිකා පූර්ණිකා පීරිස්සඳහන් කළේ, තමන් හා ඉහත සඳහන් සැකකාරිය අතර මිතුරුකම අවුරුදු 07කට පමණ පෙර සිටම පැවති බවත්, ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණීමට පෙර සිටම තමන් දැන හඳුනන අතර ඇයගේ පවුලේ පිරිස සමග වුවද තමන් සුහදත්වයෙන් පසු වූ බවයි.

නමුත් කිසිදු විටෙක තමන් ඇය සමගින් කිසිදු ව්‍යාපාර කටයුත්තක් සිදු නොකළ බවත්, සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි තමන් විසින් ඇයගේ ගනුදෙනු කරුවන් සමග නොමනා අයුරින් හැසිරුණු බවටත් එම ලිංගික දර්ශන වීඩියෝ කරමින් කප්පම් මුදල් ලබා ගැනීමට සහය වූ බවට පළ කිරීම වැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත්, එවැනි දර්ශන ඇත්නම් ඒවා හෙළි කිරීමට එම මාධ්‍ය කණ්ඩායමට හැකි බවත්, එවැනි සාක්ෂි ඉදිරිපත් නොකොට, තමන් එම කාන්තාවගේ මිතුරියක වූ පමණින් මෙලෙස අසත්‍ය කරුණු සමාජ ගත කර තිබෙන බවයි. එසේම මීට මාස කිහිපයකට පෙර සිට තමා හා අදාළ කාන්තාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පුර්ණිකා සඳහන් කළා.

කලා ක්ෂේත්‍රය සඳහා මෙම සැකකාරි කාන්තාවගේ දායකත්වය ලැබුණු බැවින් බොහෝ චිත්‍රපටි ක්ෂේත්‍රයේ පිරිස් ඇයව හඳුනන බවත් ඇය හා එක්ව ගනු ලැබූ ඡායාරූප අවභාවිත කරමින් තහවුරු නොවූ අසත්‍ය තොරතුරු සමාජගත කර වෙනත් පටු අදහස් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියාකරන කණ්ඩායමගේ වැඩක් බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.

රංජන් රාමනායක

ප්‍රවීණ රංගන ශිල්පීරංජන් රාමනායක මහතා සඳහන් කළේ, තමන් එම කාන්තාව කෙදිනකවත් හමු වී නොමැති බවයි. ඔහු සිරගතව සිටි අවදියේදී ‘මායා 2’ චිත්‍රපටය සඳහා පුබුදු චතුරංග විසින් එහි චරිතයක් නිරූපණය කිරීමට, බන්ධනාගාරයට පැමිණ තමාට ආරාධනා කළ බවත්, එම චිත්‍රපටයට ඉහත කී කාන්තාව නිෂ්පාදන කටයුතු කරනවා යන්න පමණක් තමන් දන්නා බවත්, කිසිදු අවස්ථාවක ඇය මුණ ගැසී නොමැති බවත් සාකච්ඡා හෝ නොකළ බවයි රාමනායක මහතා පැවසූවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අද(09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැමිණිල්ලක් ගොනු කළ බවයි.

මෙහිදී මන්ත්‍රිවරයා තමන් සතු ලියකියවිලි කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කළ අතර එම ලිපිය මෙතනින්.

තමන් සම්බන්ධ කර ගනිමින් තිලිණි ප්‍රියමාලි නමැති වංචාකාරියට මුදල් දුන් අය ලෙස ව්‍යාජ ලැයිස්තුවක් සමාජ ජාලාවන් හි සංසරණය වීම සම්බන්ධයෙන් මෙකී ව්‍යාජ ලියැවිල්ල සැකසූ අයට පැමිණිලි කරන බවය මන්ත්‍රීවරයා ඊයේ(08) දිනයේදී ෆේස්බුක් පිටුවේ සඳහන් කළ සටහන මෙතනින්. ට්විටර් පණිවිඩය මෙතනින්. Archived Link

වසන්ත සමරසිංහ

ජනතා විමුක්ති පෙරමුණේ සභික වසන්ත සමරසිංහ මහතා පැවසූවේ, තමන් මෙම කාන්තාව හඳුනන්නේ නැති බවත්, සංචාරක දිනයට සමගාමීව ගලදාරී හෝටලයේදී පැවති වැඩසටහකට තමන් සහභාගී වූ අවස්ථාවේ ඇයද පැමිණ සිටි බව ත් එහිදී ලබා ගෙන ඇති ඡායාරූපයක් අවභාවිත කරමින් එම කාන්තාවගේ ව්‍යාපාර වල තමන් ආයෝජනය කළ බවට ගෙනයන්නේ දේශපාලන පටු අරමුණු මුදුන්පත්කරගැනීම උදෙසා සිදුකරන අසත්‍ය මඩ ප්‍රචාරයක් බවයි.

රවි කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළේ, තමන් මෙම ෆේස්බුක් සටහන පළ වන තෙක් මෙම කාන්තාව සම්බන්ධයෙන් දැන නොසිටි බවයි. පදනම් විරහිත අසත්‍ය තොරතුරුක් මෙලෙස සමාජ මාද්‍ය ඔස්සේ පළ වී ඇති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

අනුෂ්ක ගුණසිංහ

CameraLK හි කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ ද, තමන් එම කාන්තාව නොහඳුනන බවයි. කිසිදු අයුරකින් කිසිදු ව්‍යාපාර කටයුත්තක් තමන් සිදු නොකළ බව ඔහු පැවසුවා.

දුලිත් හේරත්

කප්රුක නිර්මාතෘ දුලිත් හේරත් පවසා සිටියේ, තමන් හෝ කප්රුක සමාගම හෝ කිසිදු අයුරකින් එම කාන්තාව සමග කිසිදු ව්‍යාපාරයක් සිදු නොකර ඇති බවයි.

රොයෙල් රේමන්ඩ්

Roar LK හි ප්‍රධාන කර්තෘ රොයෙල් රේමන්ඩ් පැවසුවේ, තමන් කිසිදු අවස්ථාවක තිළිණි ප්‍රියමාලි නමැති එම කාන්තාව හමු වී නොමැති බවයි.මෙම කාන්තාවට අදාළ කිසිම ව්‍යාපාරයකට තමන් ආයෝජනය කර නොමැති බවත් ඇය සම්බන්ධ කිසිදු කටයුත්තකට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ත්, නාඳුනන ආයතනයක් විසින් සිදු කරල ලද මෙම විමර්ශනයේ ලැයිස්තුවට තමන්ගේ නම ඇතුළත් කිරීම සම්පූර්ණ අසත්‍ය චෝදනායක් බවත්, ගොතන ලද කතාවක් බව ත් එය ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස ඇයගේ විශ්වසනීයත්වය එල්ල කළ මඩ ප්‍රහාරයක් බවත්, මෙවැනි මඩ ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය නොවන බව ත් ඇය සඳහන් කළා.

ඒ පිළිබඳව ඇය විසින් පළකර තිබු ට්විටර් සටහනක් මෙතනින්

වෛද්‍ය නිහාල් අබේසිංහ

තමා කිසිවිටෙකත් මෙම සැකකාර කාන්තාව හෝ ඇගේ සැමියා සමග සම්බන්ධ වී නොමැති අතර කිසිලෙසකත් ඔවුන්ව නොදන්නා බවත්, ප්‍රතිපත්තිමය වශයෙන්, ව්‍යාපාර සඳහා ආයෝජනය නොකරන බවත් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා අප සමග පවසා සිටියා.

සැ. යු : කෙසේ වෙතත් මෙම ලැයිස්තුවේ දක්වා ඇති සියලුම පුද්ගලයන් හෝ ඇතැම් පුද්ගලයන් පමණක් හෝ ඇයගේ ව්‍යාපාරයන්හි ආයෝජනය කළ හෝ නොකළ බවට මෙතෙක් පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නොමැති අතර, අපරාධ විමර්ශන අංශය විසින් හෝ පොලිස් කොට්ඨාශය විසින් හෝ මේ පිළිබඳව සිදු කරන ඉදිරි විමර්ශන කටයුතු වලදී මෙම ලැයිස්තුවේ ඇති පුද්ගලයන් එම සැකකාරිය සමග ගනුදෙනු කළ බවට අනාවරණ වුවහොත් ඒ පිළිබඳව සඳහන් කරමින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු සිදු කළ බවට දක්වා තිබූ පුද්ගලයින් ලැයිස්තුව සත්‍යයක් ද?

By: Pavithra Sandamali

Result: Explainer