දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවන් වලදී ජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් පළකරන පණිවිඩ වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමකින් තොරව පිළිගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් කරුණු පිළිබඳව සමාජයේ අනිසි බියක් ඇති කර ගනු ලබනවා. එලෙස නොමඟ ගොස් ඇති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන පණිවිඩයක නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කොළඹ, කටුනායක පෑලියගොඩ අධිවේගී පිවිසුම අසල රාත්‍රී දොළහ සහ පාන්දර එක පසු වීමෙන් අනතුරුව සංවිධානාත්මකව මංකොල්ල කන කල්ලියක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ සටහනක් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූයේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද, මෙම සටහන හුවමාරු වී තිබුණේ, කොළඹ කටුනායක දෙමටගොඩ අධිවේගි පිවිසුම අසල මෙවැනි මංකොල්ල කණ්ඩායමක් ඇති බව සඳහන් කරමින්.

මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණ ද, මෙම සිද්ධියට මුහුණ පෑ කිසියම් පුද්ගලයෙකු හෝ මෙවැනි කණ්ඩායමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් වාර්තා වී තිබේද යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා වී නොතිබුණි.

පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති

පෑලියගොඩ ප්‍රදේශයේ මෙවැනි මංකොල්ල කණ්ඩායම් සැරි සැරූ බව පැවසූ හෙයින් අප මේ පිළිබඳව තොරතුරු විමසීම සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානයේ, ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළා.

පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, රාත්‍රියේදී වාහන වලට නැගී මුදල් මංකොල්ල කනු ලබන කණ්ඩායමක් පිළිබඳ කිසිදු පැමණිල්ලක් නොලද බවයි. එවැනි තොරතුරක් හෝ මෙතෙක් වාර්තා වී නොමැති බවද පවසා සිටියා.

දෙමටගොඩ පොලිස් ස්ථානය

දෙමටගොඩ ප්‍රදේශයේ ද මංකොල්ල කෑම් සිදු කරන කණ්ඩායමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ විමසීමට අප දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් ද, විමසීමක් සිදු කළ අතර එවැනි තොරතුරක් හෝ පැමිණිල්ලක් වාර්තා නොවන බවයි එම පොලිස් නිලධාරීන් අවධාරණය කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන්ද අප විමසා සිටියේ අධිවේගී පිවිසුම් අසල මංකොල්ල කෑම් සිදු කරන කණ්ඩායමක් පිළිබඳ වාර්තා වනවා ද යන්නයි.

ඒ මහතා සඳහන් කළේ, එවැනි තොරතුරක්, සිදුවීමක් පිළිබඳ කිසිදු පොලිස් ස්ථානයකින් මෙතෙක් පොලිස් කොට්ඨාශයට වාර්තා වී නොමැති බවත්, එවැනි සිදුවීමක් ඇත්නම් ඒ පිළිබඳ පැමිණිලි ලැබෙන බවයි. එමෙන්ම අධිවේගි පිවිසුම් අසල නිතරම ජංගම පොලිස් සේවා ක්‍රියාත්මක වන බැවින් එවැනි කටයුතු සිදු වීම දුර්ලභ වන අතර එවැනි සිදුවීම් වූවා නම් ඒ පිළිබඳ වාර්තා වන බවයි ඔහු තවදුරටත් පැහැදිලි කර සිටියේ.

ඒ අනුව පෙනී යන්නේ, ඉහත සඳහන් අධිවේගී පිවිසුම් මාර්ග අසල මංකොල්ල කෑම් සිදු කරන කණ්ඩායමක් පිළිබඳ සඳහන් කරමින් පළ වන සටහන් අසත්‍ය බවයි.

තම ආරක්ෂාව සලසා ගැනීම යහපත් කාර්යයක් වූවද, මෙවැනි අසත්‍ය තොරතුරු ජනගත කිරීමෙන් ජනතාව තුළ අනිසි බියක් ඇතිවීමේ අවදානමක් ද පවතියි.

මේ ආකාරයේ සංවිධානාත්මක මංකොල්ල කල්ලි පිළිබඳ සටහන් පෙළක් මීට පෙර ද සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වී තිබු අතර එවැනි සටහන් පිලිබඳ අප සිදුකළ කරුණු අනාවරණ දෙකක් පහතින්.

Also Read : අතරමන්වූ ලෙස රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් ?

වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තරයකින් දමා ගැසුවොත්, පෙනීම 92.5% දක්වා අවහිර වෙනවා ද ?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම අසල රාත්‍රී දොළහ සහ පාන්දර එක පසු වීමෙන් අනතුරුව සංවිධානාත්මකව මංකොල්ල කෑම් සිදුකරන කල්ලියක් විසින්, සිය වාහන වල ඉන්ධන නොමැති බව පවසමින්, ගමන් කරන වාහන නවතා මංකොල්ල කන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යවන සුළු බවයි.

මෙතෙක් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානයට හෝ පෑලියගොඩ පොලිස් ස්ථානයට හෝ පොලිස් කොට්ඨාශයට හෝ පැමිණිලි ලැබී නැති බවත් එවැනි තොරතුරක් වාර්තා වී නොමැති බවත්, එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද, තහවුරු කරයි.

Avatar

Title:පෑලියගොඩ අධිවේගි පිවිසුම අසල රාත්‍රියේදී සංවිධානාත්මක මංකොල්ල කණ්ඩායමක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading