දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නොයෙකුත් රෝග සඳහා අත්බෙහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්දේශ කිරීම් අපට බහුලව දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි ප්‍රතිකාර වලට යොමු වීම ඇත්තට ම සුදුසු ද? හෘද රෝග වැනි රෝගී තත්ත්වයන්ට ත් භාවිත කළ හැකි අත්බෙහෙතක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

හෘදයාබාධයට අත්බෙහෙතක් ලෙස සඳහන් කළ සමාජ මාධ්‍ය මාධ්‍ය සටහක් සංසරණය වූයේ මෙලෙසින්.

“මගේ පියා මීට වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙකි..

ඉන් අනතුරුව ඔහුව ඉක්මන් බයිපාස් සැත්කමකට යොමු කරවීම වෛද්‍ය නිර්දේෂය විය. සහෝදරයන් දෙදෙනාම තාත්තාව එවැනි සැත්කමකට භාජනය කිරීමට අකමැතිවූ හෙයින් මේ සදහා ප්‍රතිකාර ලබාගන්න ගමන් වෙනත් විකල්පයක් සෙව්වෙමි. සිංහල බෙහෙත් කෙම්ක්‍රම වැනි දේත් සොයා බැලුවද හිත සැනසෙනා එක් තැනක්වත් නොවීය.

ඒ කාලයේදී අයියාගේ මිතුරෙකු සාමාන්‍ය බෙහෙත් වට්ටෝරුවක් ගැන අයියාට පවසා තිබුනි. ඔහුගේ මවට එය පාවිච්චි කිරීමෙන් පසුව හිර වී තිබූ නාලිකා නැවත පිරිසිදු වී තිබූ බව කියා තිබුනි. ලොකු ව්ශ්වාසයක් නොමැති උනත් අපි ඒ බෙහෙත ගෙදර හදන්න තීරණය කලා. අනෙක් බෙහෙත් නිර්දේශිත ආකාරයටම ලබා ගන්නා ගමන් එම බෙහෙත තාත්තා වසරක් පමණ එක දිගට නොකඩවා පාවිච්චි කලා. ඒ අතරතුර කාලයේදී තාත්තා එකෝ පරීක්ෂණයන්ට භාජනය කල අතර එහිදී හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවී තිබූ බ්ලොක් මගහැරී ඇතිබව පරික්ෂන වලදී පැවසූවා. බයිපාස් සැත්කමක් නොකර ඔහු අද සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවමින් ඉන්නවා..

කොලෙස්ටරෝල් තියෙන අයටත් මේක පාවිච්චි කරන්න පුලුවන්. මෙමෙ බෙහෙතේ හිමිකරු කවුරුද නොදන්නා නමුදු එම බෙහෙත නිසා තාත්ත සුවවූ බව දන්නා නිසා අවශ්‍ය නම් තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට මා එය සැකසූ මොහොතේ ජායාරූපද සමග මෙසේ එය පල කරමි..! 

අවශ්‍ය ද්‍රව්‍ය 

ඉගුරු , සුදු ලූනු, ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන් දෙහි (මෙය පෝච්චි දෙහි නොවන අතර ලෙමන් පෆ් බිස්කට් කොලයේ ඇති රවුම් ලෙමන් ගෙඩිය බව සලකන්න), මී පැනි

මුලින්ම සුදු ලූණු, ඉගුරු හොදින් පොතු අයින් කරලා හෝදලා හොදටම වතුර බේරෙන්න තියලා පොඩි කෑලි කපාගන්න. ඊට පස්සෙ තෙත බේරුනු සුදුලූනු ඉගුරු බ්ලෙන්ඩරයකට දාලා හොදට කොටා ගන්න..

සුදු ලූනු යුෂ 250ml, ඉගුරු යුෂ 250ml , මිරිකා ගත්තු ලෙමන් දෙහි යුෂ 250ml, ඇපල් සයිඩර් විනාකිරි 250ml

මේ කිසිම දේකට වතුර බිංදුවක්වත් එකතු කරන්න එපා,ඒක වැදගත්..

දැන් ඔය වර්ග 4ම නොන්ස්ටික්  වගේ භාජනේකට ( මැටි භාජනයක් වඩාත් සුදුසුයි ..) දාලා පැය බාගයක් විතර ගොඩක් මද ගින්දරේ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිද ගන්න..

ඒ ප්‍රමානෙට හින්දවා ගත්තට පස්සෙ ලිපෙන් බාලා හොදටම නිමෙන්න තියලා ඒකට පිරිසිදු මී පැණි 750mlක් කලවම් කරලා වීදුරු බෝතලයකට දාලා ශීතකරණයේ තියලා හැමදාම උදේට බෝතලය හොදින් සොලවලා නොකඩවා හිස්බඩව ඒකෙන් මේස හැන්දක ප්‍රමාණයක් බොන්න ඕනේ.. ඒ බීලා පැය කාලකට විතර පස්සෙ සාමාන්‍ය විදියට දවසේ වැඩ කෑම බීම ගන්න..

තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණ වෙනස් කරල ඕක හදාගන්න පුලුවන් සැරින් සැරේට.ඒත් නොකඩවා දිනපතා අපේ තාත්ත ඕක පාවිච්චි කලා..

අවශ්‍ය කෙනෙක්ට මේ බෙහෙත ගැන කියන්න..!"

Facebook | Archived Link

2020 වසරේ පළ වූ මෙම සටහන මේ වන විට 31,000කට අධික ෆේස්බුක් පරිශිලකයින් අතර සංසරණය වී තිබෙනවා.

එමෙන්ම මේ දිනවල මෙම සටහන බහුලව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූයේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සටහනේ දක්වා ඇති ලෙස බයිපාස් සැත්කමකට යොමු කරවීම සඳහා වෛද්‍ය නිර්දේෂය ලබා දී තිබූ පුද්ගලයෙකුට ඉහත සඳහන් කර තිබූ අත්බෙහෙත ලබා දීමෙන් හෘදයට රුධිරය සපයන නාල වල තිබෙන අවහිර වීම් මගහැරී යනවා ද, යන්න පිළිබඳ අප මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ සභාපති

ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ සභාපති වෛද්‍ය ඥානමූර්ති මයුරතන් මහතාගෙන් අප මේ පිළිබඳව දුරකතන මාර්ගයෙන් විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ, මෙවැනි ප්‍රතිකාර වලින් හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල තිබෙන අවහිර වීම් මගහැරී යන බවට විද්‍යාත්මකව ඔප්පු වී නොමැති බවයි.

වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති ප්‍රතිකර්ම අනුගමනය කිරීම කළ යුතු බවත්, ස්වයං ප්‍රතිකාර කිරීමෙන් සිදුවන්නේ මාරාන්තික තත්ත්වයකින් පවා අවසන් විය හැකි තත්ත්වය තවත් සංකීර්ණ කිරීම පමණක් බවත්, වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අප කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතාගෙන් ද, මෙම අත්බෙහෙත සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා සඳහන් කළේ, ආයුර්වේදයට අනුව ඉහත ප්‍රතිකාර වශයෙන් සඳහන් කර ඇති ද්‍රව්‍ය මේදය දිය කිරීමේ සහ ආම (නොදිරවන පරිවෘත්තීය) අඩු කිරීමේ ගුණ ඇති ඇතැම් පිරිස් වලට මෙය ක්‍රියාත්මක විය හැකි වුවද, ප්‍රතිකාරයක් ලෙස හෝ දිගු කාලයක් භාවිතා කිරීම සඳහා මෙය නිර්දේශ කළ නොහැකි බවයි. කිසිදු අවස්ථාවක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි ප්‍රතිකාර වලට යොමු නොවන ලෙසත්, පුද්ගල ශරීරයන් එකිනෙකාට වෙනස් බැවින් එය සෑම විටම එකම ආකාරයට ක්‍රියාත්මක නොවන බැවින් මෙවැනි දේවල් වලට යොමු වීමෙන් මරණය පවා අත්විය හැකි බැවින් සෑම විටම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඕනම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සිදු කළ යුතු බවයි වෛද්‍යවරයා තවදුරටත් තහවුරු කළේ.

මේ පිළිබඳ AFP කරුණු පරීක්ෂක කණ්ඩායමක් සිදු කළ වාර්තාවක් මෙතනින්.

Also Read : 

සමාජ මාධ්‍ය තුල මේ දිනවල හුවමාරු වන දේශීය බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස උපදෙස්!

‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බයිපාස් සැත්කමකට යොමු නොවී හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල තිබෙන අවහිර වීම් මගහැරයන බවට පවසමින් සඳහන් කර තිබූ ප්‍රතිකාරය නොමග යන සුළු බවයි. එම ප්‍රතිකාරය විද්‍යාත්මකව ඔප්පු නොවී ඇති බව ත්, එවැනි ප්‍රතිකාර වලට යොමු නොවන ලෙස, ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ සභාපති වෛද්‍ය ඥානමූර්ති මයුරතන් මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා ද, අවධාරණය කරයි.

Avatar

Title:බයිපාස් සැත්කමකට යොමු නොවී සුව වෙන අත්බෙහෙතක්?

Fact Check By: Pavithra Sandamali

Result: False