දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අමෙරිකා, ඉරාන සහ ඊශ්‍රායල යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ බොහෝ රටවලට අඩු වැඩි වශයෙන් බලශක්ති අර්බුදයකට මුහුණදීමට සිදුවූ අතර අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන ගිය ද අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පියවර ගත්තා. මෙවන් පසුබිමක් තුළ ලෝක වෙළඳ පොළේ බොර තෙල් බැරලයක් සඳහා වන වැඩිම මිල ගෙවමින් ශ්‍රී ලංකාව බොරතෙල් මිලදී ගෙන ඇති බවට වන ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල ද පළ වී තිබේ. එම පළ කිරීම පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අනෙක් රටවල් ඩොලර් 150ක් ගෙවද්දී ශ්‍රී ලංකාව තෙල් බැරලයක් සඳහා ඩොලර් 286ක මුදලක් ගෙවා ඇති බවට HSBC ප්‍රධානියා ජාත්‍යන්තර සමුළුවකදී ප්‍රකාශ කර ඇතැයි කියමින් මෙම සටහන පළ කර ඇත. අදාළ සමාජ මාධ්‍ය ගිණුම් හිමියා මෙම සටහන පළ කර ඇත්තේ, මෙය තවත් බිලියන ගණනක මුදල් කොල්ලයක් බව පවසමිනි.

Facebook | Archived Link Facebook | Archived Link
ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් ඩොලර් 286 ක මුදලකට මිලදී ගෙන ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් පළ වී තිබූ අතර ඉන් කිහිපයක් මෙතැනින් | Archived Link සහ මෙතැනින් | Archived Link
සමාජ මාධ්‍යයෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකාව තෙල් බැරලයක් සඳහා ඉහළ මුදලක් ගෙවා තිබේ ද? සහ එවැනි ගෙවීමක් සිදු කර ඇති බව HSBC ප්‍රධානියා ප්‍රකාශයක් සිදු කර තිබේ ද? යන කරුණු පිළිබඳව අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම මේ.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
බොර තෙල් බැරලයක් සඳහා ශ්‍රී ලංකාව ඩොලර් 286ක දැවැන්ත මුදලක් ගෙවා ඇති බවට HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සිදු කරන ලදැයි කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය සටහන් සඳහා පාදක වී ඇති බැවින් අප මූලිකවම අදාළ බැංකු ප්‍රධානියා සිදු කර ඇති ප්‍රකාශය කුමක් ද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කළා.
HSBC ප්‍රධාන විධායක නිලධාරීවරයා සිදු කරන ලද ප්‍රකාශයේ අන්තර්ගතය
HSBC ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි මහතා පසුගිය සතියේ හොංකොංහි පැවැති ආයෝජන සමුළුවකදී මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලෝක ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව සිදු කරන ලද අදහස් පළ කිරීමක් විදෙස් වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර තිබිණ. ශ්‍රී ලංකාව පිළිබඳව ද සඳහන්ව තිබූ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අදහස් පළ කිරීම Middle East Eye වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, ශ්‍රී ලාංකික ගැණුම්කරුවෙක් තෙල් බැරලයක් සඳහා ඩොලර් 286ක් ගෙවා ඇත යන ශීර්ෂය සහිතවයි. Middle East Eye වෙබ් අඩවියට පෙර sherwood.news එම පුවත වාර්තා කර තිබුණේ, ප්‍රධාන විධායක නිලධාරිවරයා සිදු කළ ප්‍රකාශය ද උපුටා දක්වමින්.

එහි සිංහල පරිවර්තතනය පහත පරිදි වේ.
“මම කනස්සල්ලට පත් වෙන්නේ, ප්‍රධාන ශීර්ෂපාඨ පිළිබඳ නොවෙයි. මම අදහස් කළේ, තෙල් මිල ඩොලර් 100 ක්,110 ක් දක්වා වැඩි බව ශීර්ෂ පාඨවල සඳහන් වෙනවා. නමුත් ප්‍රායෝගිකව බලද්දි මැදපෙරදිගින් තෙල් ලබා ගැනීමට ඔබ දැන් උත්සාහ කරනවා නම්, ඩොලර් 140ක් 150ක් ගෙවීමට සිදුවනවා විය හැකියි. යථාර්ථය, රතු මුහුද හරහා තෙල් ලබා ගැනීමට උත්සාහ කරනවා නම් ඔබට එක තෙල් බැරලයක් වෙනුවෙන් නැව් ගාස්තු විදිහට ඩොලර් 30ක් හෝ ඩොලර් 40කට වඩා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම යුද රක්ෂණය පවා නැතිවත් 5%ක් වැනි මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. ප්‍රවාහනය, රක්ෂණය, ඉන්ධන පිරිපහදු කිරීම සහ අනෙකුත් වියදම් ඇතුළත් කළාට පසු අවසානයේ බෙදාහරින අවස්ථාව වන විට තෙල් බැරලයේ මිල විශාල වශයෙන් අධික වනවා. මම දැකපු වැඩිම මිල ඩොලර් 286 – ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ලැබුණු තෙල් බැරලයක් සඳහා ගෙවපු මුදල. මේ වගේ මිලකට දීර්ඝ කාලයක් පවත්වා ගෙන යාම, ශ්‍රී ලංකාව වගේ රටකට සහ ආර්ථිකයකට පහසු දෙයක් නොවේ.”
HSBC ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය ප්‍රකාශයේදී a barrel of oil යනුවෙන් ප්‍රකාශ කර තිබුණ ද එය බොර තෙල් ද නැතිනම්, පිරිපහදු කළ ඉන්ධනයක් ද යන්න ඝෘජුව ප්‍රකාශ කර නොමැත. ශ්‍රී ලංකාව යනු පිරිපහදු කළ ඉන්ධන මෙන්ම බොර තෙල් ආනයනය මගින් බලශක්ති අවශ්‍යතාව සපුරා ගන්නා රටකි.
HSBC ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ ප්‍රකාශය මෙරට මාධ්‍ය වාර්තා කළේ කෙසේ ද?
ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක් සඳහා වන වැඩිම මිල එනම් ඩොලර් 286ක් ගෙවමින් ශ්‍රී ලංකාව බොර තෙල් මිලට ගෙන ඇතැයි, Middle East Eye වෙබ් අඩවිය උපුටා දක්වමින් මෙරට ප්‍රධාන ධාරාවේ විද්‍යුත් ඇතුළු මාධ්‍ය එම පුවත මෙලසෙ, මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල HSBC ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ ප්‍රකාශය තෙල් බැරලයක් යනුවෙන් මෙලෙස ද වාර්තා කර තිබෙනු ද දැකගත හැකි වුණා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කර තිබූ සටහන්වලද දැක්වුණේ, ශ්‍රී ලංකාව ඩොලර් 286ක් වැනි මුදලකට බොරතෙල් ආනයනය කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති බවයි. මේ අතර විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් ද, රජය ඉතා ඉහළ මිලකට බොරතෙල් මිලදී ගෙන ඇති බවට චෝදනා කර තිබුණා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිචාරය
පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරන්නේ, සංස්ථාව ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය කරන්නේ, සපුගස්කන්ද පිරිපහදුව සඳහා පමණක් බවයි. ඒ අනුව සංස්ථාව ගෙන්වනු ලැබූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ කිසිදු බොරතෙල් තොගයක, බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286 ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැති බව සංස්ථාව අදාළ නිවේදනය මගින් අවධාරණය කරයි.
මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාව ඇතිවීමෙන් පසුව ලංකාවට ළඟාවන ප්‍රථම බොරතෙල් නෞකාව අප්‍රේල් 17 ශ්‍රී ලංකාවට ළඟා වන බවත් මැදපෙරදිග යුද්ධය හටගැනීමෙන් පසු පැමිණෙන බොරතෙල් නෞකා සඳහා දළ වශයෙන් බැරලයකට ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 හා 113.29 ලෙස ගෙවීමට පොරොන්දුවී ඇති අතර, එය දැනට ලෝක වෙළඳපොළේ මිලට සාපේෂව ඉතා වාසිදායක අගයක් බවත් ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සාවද්‍ය ප්‍රකාශ සමාජගත කොට ජන සමාජය නොසන්සුන් කීරීම, ආතතියට පත්කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කීර්තිනාමය විනාශකිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශවවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අප්‍රේල් 16 වැනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබුණේ, තෙල් සංස්ථාව බොර තෙල් බැරලයක් ඩොලර් 286 මුදලකට මිලදී ගත් බවට වන ප්‍රකාශ සම්පූර්ණයෙන් සාවද්‍ය ප්‍රවෘත්තියක් බවයි.
ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙවා මිලදී ගෙන ඇත්තේ, ඩීසල් – තෙල් සංස්ථාවේ සභාපති
මේ අතර අප්‍රේල් 17 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි සංස්ථාව ඩොලර් 286ක් වැනි මුදලකට බොරතෙල් මිලදී ගැනීමක් සිදු කර නොමැති බවත් එවැනි මුදලකට මිලදීගෙන ඇත්තේ, ඩීසල් බවත් ය.
ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ප්‍රකාශය වරදවා තේරුම් ගෙන මාධ්‍ය වැරදි ආකාරයට ප්‍රචාරය කළාද එසේත් නොමැති නම් හිතාමතා බොරතෙල් යනුවෙන් ප්‍රචාරයක් සිදු කළා ද යන ගැටලුව පවතින බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.
“ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ මිල අපි කාටවත් පාලනය කරන්න බෑ. මාර්තු අග අප්‍රේල් මුල දවස් 5ට නැවක් ආවානම් ඒ නැවේ මිල අනිවාර්යයෙන්ම ඒ ගණන්වලට යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ප්‍රීමියම් අගය ලෝක වෙළඳපොළේ මිල දෙක එකතු වුණාට පස්සෙ මිල වැඩි වෙලා තියෙනවා. එය අපට පාලනය කළ හැකි තත්ත්වයක් නොවෙයි. ඒ විදියට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැති වෙනවා. පිරිපහදුවේ තෙල් නැති වුණාම ලෝක වෙළඳපොළේ වැඩි වුණ මිල ගණන්වලට තෙල් ගන්න වුණා ඒ තෙල් තමයි දැන් පරිහරණය කරන්නේ’’
බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන (ඩීසල්, පෙට්‍රල්) අතර විශාල වෙනසක් ඇති බවත් පිරිපහදුව හරහා සපයා ගන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 20%-30%ත් අතර ප්‍රමාණයක් පමණක් බවත් ඉතිරි 70%ක ප්‍රමාණය පිරිපහදු කරන ලද ඉන්ධනවලින් සපයා ගන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාර්තු 31 වන දින බැරලයකට 285.28ක් ගෙවා ඩීසල් මිලදී ගත් බවත් අප්‍රේල් 7 වැනිදා ළඟා වූ නෞකාවේ ඩීසල් බැරලයක් අමෙරිකානු ඩොලර් 288.06ක් ගෙවා මිලදී ගෙන ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.
මේ තර අප්‍රෙල් (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ද ප්‍රකාශ කළේ, රජය ලෝක වෙළඳපොළේ ඉන්ඩෙක්ස් අගය අනුව බොරතෙල් මිලදී ගෙන ඇති බවයි. එහෙත් අප්‍රේල් 02 වැනිදා රජය ඩොලර් 286කට ඩීසල් මිලදී ගත් බවත් , එම අවස්ථාවේ ලෝක වෙළෙඳපොළ ඉන්ඩෙක්ස් අගය ඩොලර් 291ක් ව පැවති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
විශේෂ මාධ්‍ය හමුවෙදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, තෙල්වලට ගෙවන මිලට වඩා රටේ තෙල් තිබීම වැදගත් බවත් යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඉතා හොඳන් ඉන්ධන සැපයුම කළමනාකරණය කළ බවත් ය. ටෙන්ඩර් ක්‍රම වේදයට අනුව ප්‍රසම්පාදන මූලධර්මවලට යටත්ව ආණ්ඩුව සැලසුම් සහගතව කලබලයකින් තොරව එම අවස්ථාවට මුහුණ දුන් බවද අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මාර්තු අවසන් කාලයේ සහ අප්‍රේල් මස මුල් දින කිහිපයේ ප්‍රකාශ වන ඉහළ මිල ගණන් යටතේ නෞකා කිහිපයක්ම දිවයිනට ළඟා වූ බවයි. මේ අතර කළමණාකර අධ්‍යක්ෂවරයා උපුටා දක්වමින් sundaytimes|Archived Link වාර්තා කරන්නේ,
-මාර්තු 31 වැනිදා බැරලයක් අමෙරිකානු ඩොලර් 285ක මිලකට බැරල් 240,000ක්,
-අප්‍රේල් 6-7 බැරලයක් අමෙරිකානු ඩොලර් 288 ක මිලකට බැරල් 295,000 ක්
-අප්‍රේල් 7-8 දිනවල බැරලයක් අමෙරිකානු ඩොලර් 281ක මිලකට බරල් 254,000 ක්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති බවයි.
අප්‍රේල් 02 වැනිදා රජය ඩොලර් 286කට මිලදී ගත්තේ ඩීසල් බවට සඳහන් කර තිබූ බැවින් අප ලෝක වෙළඳ පොළේ, එම දිනයන් හි ඩීසල් බැරලයක මිල ගණන් කොමපමණ ද, යන්න පරීක්ෂා කරනු ලැබුවා. එහිදී සිංගප්පූරුවේදී, ඩීසල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 230 ගණන් වල සනිටුහන් වී ඇති බව දැක ගන්නට ලැබුණා.

අප්‍රේල් මස මුලදී, ඉන්ධන එක් එක් රටවලට ආනයන කිරීමේදී නැව්ගත කිරීමේ සහ රක්ෂණ අධිභාර ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා බැරලයකට ඩොලර් 30–$40 ක් එකතු වී තිබේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් පෙන්වා දෙන්නේ, පීඩනයට ලක් වූ වෙළඳපොළවල ඩීසල් බරලයක මිල ඩොලර් 290 ක් තරම් ඉහළ අගයක් ගත් බව වාර්තා වූ බවයි.
ඉස්ලාම් ටයිම්ස් විසින් පසුගිය අප්‍රේල් 3 වන දා වාර්තා කළේ, ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම සීමා වීම සහ ප්‍රධාන වෙළඳ මාර්ග අවහිර වීම නිසා යුරෝපීය ඩීසල් අනාගත මිල ගණන් (European diesel futures) 2022 වසරෙන් පසු ඉහළම මට්ටමට ගෙන ගිය බවයි.
ලන්ඩන් වෙළඳපොලේ මිණුම්දණ්ඩ ලෙස සැලකෙන කොන්ත්‍රාත් මිල ගණන් 9.5% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව එහි මිල මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1,493.25 ක් දක්වා වාර්තා විය. මෙය බැරලයක මිල ලෙස ගණනය කළහොත් ඩොලර් 200 ඉක්මවන බව ඇනඩොලු (Anadolu) පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok


