දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

“ඇසිය යුතුම කතාවක්, අරුම පුදුම සිදුවීමක්, කවුරුවත් නොදන්න කතාවක්” වැනි පාඨ භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් සටහන් වල දැක්වෙන කරුණු, සිතළු හෝ නොමග යවන සුළු ව්‍යාජ නිර්මාණ බව අපට දැක ගන්නට ලැබෙනවා. මෙවැනි සටහන් මඟින් පාඨක අවධානය ඇඳ බැඳ ගැනීමට සමත් වන හෙයින් බොහෝ දෙනෙක් මේවා සත්‍ය සටහන් ලෙස උපකල්පනය කරමින් වරින් වර වසර ගණනාවක් තිස්සේ ද හුවමාරු වෙනවා.

මේ ආකාරයට ලංකාවේ උසම වේල්ලට හිමිකම් කියන ‘වික්ටෝරියා වේල්ල’ යකඩ කම්බියක්වත් නොදා සෑදු බවට පුදුමය දනවමින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන්හි නිරවද්‍යතාවය පිළිබඳව Fact Crescendo අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

“යකඩ කම්බියක්වත් නොදා හැදූ වික්ටෝරියා????

පාසල් යන දරුවන්ට මෙය ඉතා වැදතයැයි මා සිතනවා

යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...?

හොදම ටික පහල... මේ පුදුමය ගැන කියවලම දැනගන්න.❤️

මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ.

මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10.

ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.

මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980වෙ......

J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න .

ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව.

අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන "වික්ටෝරියා" කියන නම කියල..

J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව.

මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල....

කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව.

ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්.

එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒක නිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල...

ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි...

📌️ කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.

📌️ ජල විදුලිය නිශ්පාදන කිරීමට.

📌️ වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.

📌️ මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.

📌️ ගං වතුර පාලනය කිරීමට.

පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ. 🤗😃🤗

ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.

ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට....

කෙටියෙන් වේල්ලේ විස්තර...👇👇👇👇

මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.

අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.

🔵 වේල්ලෙ උස මීටර් 121

🔵 ️දිග මීටර් 520

🔵 ️වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.

🔵️ මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.

🔵 ️උපරිම ජල මට්ටම - මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.

🔵 ️මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.

🔵 ️උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.

🔵 මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.

🔵 මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?

🔵 ️අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ. අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.

🔵 ️ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව. ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.

🔵 එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.

🔵️ ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.

🔵 ️නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.

🔵 ️1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.

🔵 ️ ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.

🔵 ️ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි... ලාංකික 47.එංගලන්ත 3 යි....

ස්‍තුති....

සටහනේ මුල් හිමි කරුට”

Facebook | Archived Link

මෙම සටහන බහුලව ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වූයේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද පෙනී ගියේ බොහෝ දෙනෙකු ඉහත සටහනේ දැක්වෙන සියලු කරුණු සත්‍ය ලෙසට උපකල්පනය කර ඇති බවයි. එවැනි ප්‍රතිචාර කිහිපයක් පහතින්.

ඇතැම් දැනුම් සැපයීම මුල්කරගනිමින් නිර්මාණය වූ වෙබ් අඩවිවල ද, මෙම සටහන පළ වී තිබුණේ මේ අයුරින්. Archived Link

මෙහි දැක්වෙන කරුණු වල නිරවද්‍යතාවය විමසා බලන ලෙස පාඨකයින් කිහිපදෙනෙකුගෙන්ම ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

දෙවන එලිසබෙත් රැජිණගේ කැමැත්ත පරිදි එක්සත් රාජධානියෙන් ලැබුණු රුපියල් මිලියන 8400 ක ආධාරයක් යටතේ 1980 වර්ෂයේදී මෙරට ඉදිකිරීමට පියවර ගත් වික්ටෝරියා ජලාශය 1985 අප්‍රේල් 12 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වුණු මාග්‍රට් තැචර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය.

වික්ටෝරියා වේල්ල නිර්මාණයට මුල් වී තිබුණේ, මහවැලි ගඟෙන්, හුළු ගඟෙන්, ගල්මල් ඔයෙන්, තලවතු ඔයෙන් හා මා ඔයෙන් එන ජලය වික්ටෝරියා දිය ඇල්ලෙන් බැස කිසිදු ප්‍රයෝජනයකින් තොරව මහ මුහුදට ගලා බැසීම වෙනුවට එයින් ප්‍රයෝජනයක් ගෙන රටේ මහ පරිමාණ ගැටලු වලට විසඳුම් සෙවීමටයි. එම ගැටලු නම්, ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ගබඩා කරගැනීම, ජල විදුලිය නිශ්පාදනය, වේල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටිනා අයගේ ජල පරිභෝජනයට,මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට, ගංවතුර පාලනය කිරීමට ආදී වශයෙන්.

මීටර් 122ක උසක් සහිත ද්විත්ව වක්‍ර ආරුක්කු වේල්ලක් වන වික්ටෝරියා වේල්ල ලංකාවේ උසම වේල්ලට හිමිකම් කියනවා. ඝන මීටර මිලියන 722ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වික්ටෝරියා ජලාශය වර්ග කිලෝමීටර 23.7ක මතුපිට ප්‍රදේශයක පැතිර ඇති අතර මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විතයි.

මෙම වේල්ල ඉදිකරීම සඳහා එකදු යකඩ කම්බියක් වත් යොදා ගෙන නොමැති බවට විශ්වාස කිරීමට අපහසු කරුණක් බැවින් මේ පිළිබඳව හා ඉහත සටහනේ දැක්වෙන කරුණු වල නිරවද්‍යතාවය සෙවීමට අප මේ පිළිබඳ වික්ටෝරියා ජලාශයේ කාර්ය මණ්ඩලයෙන් විමසීමක් සිදු කළා.

වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත ඇහළපිටිය

වසන්ත ඇහැළපිටිය මහතා සඳහන් කළේ, විශේෂයෙන්ම වේල්ලේ ඉහළ, වාන් දොරටු සවිකර ඇති ප්‍රදේශය (spillway) යකඩ/වානේ කම්බි මිශ්‍ර කොන්ක්‍රීට් (reinforced concrete) යොදාගනිමින් නිර්මාණය කර ඇති බැවින් ඒ සඳහා යකඩ ටොන් ගණනක් භාවිතා වී තිබෙන නිසා, ජලාශයේ වේල්ල ඉදිකිරීම් සඳහා යකඩ කම්බි භාවිත කර නොමැති බවට දැක්වෙන යන කරුණ අසත්‍ය බවයි.

මෙම යකඩ කම්බි කිසිවක් යොදා ගන්නේ නැතිව වේල්ල නිර්මාණය වූ බවට කියවෙන වෘතාන්තය නිර්මාණය වීමට මුල් වී තිබෙන්නේ, වික්ටෝරියා ජලාශය නැරඹීමට පැමිණි පාසල් සිසුන්ට, මෙම ජලාශය සහ වේල්ල පිළිබඳ පැහැදිලි කිරීමේ කාර්යය සඳහා මීට වසර ගණනාවකට පෙර සිට යොදාගෙන තිබූ, විශේෂ තාක්ෂණික දැනුමක් නොමැති වික්ටෝරියා නැරඹුම් මැදිරියේ සිටින මහජන සම්භන්දතා නිලධාරියෙකු විසින් අතිශයෝක්තියෙන් සිදුකර තිබු නොමඟ යවන සුළු කරුණු පැහැදිලි කිරීම් බවත් කාර්යභාර ඉංජිනේරු මහතා පැහැදිලි කර සිටියා.

එසේ පැහැදිලි කිරීම පටිගත කරන ලද අවස්ථාවක වීඩියෝ පටයක ද වේල්ල නිර්මාණය සඳහා වානේ කිසිවක් යොදා නොගත් බව දැක්වෙන කරුණු පවසන අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ වීඩියෝවක අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

කෙසේනමුත් ඉහත සටහනේ දැක්වෙන ඇතැම් කරුණු සත්‍ය වන අතර වික්ටෝරියා මෙන්ම එම අවධියේ මෙන්ම ඉන්පසුව බොහෝ වේලි නිර්මාණය කිරීමේ දී Roller Compacted Concrete (RCC) යොදාගෙන තිබෙන බවත් පැහැදිලි කර සිටියා. සාමාන්‍ය කොන්ක්‍රීට් සඳහා යොදාගැනෙන අමුද්‍රව්‍ය ම මෙහිදී ද බොහෝදුරට යොදාගැණුන ද වෙනස් අනුපාතයන්ගෙන් මිශ්‍ර කෙරෙන අතර අඩු වියදම් සහ ඉක්මන් ඉදිකිරීම් සඳහා යෝග්‍ය වනවා මෙන්ම වේල්ල මත සිදුවන තාප බලපෑම අඩු වීම හේතුවෙන් ඉරිතැලීම් ඇතිවීමේ සම්භාවිතාව අඩු කරයි. RCC කොන්ක්‍රීට් නිපදවන අයුරු මෙන්ම එහි භාවිතා පිළිබඳ වාර්තාවක් මෙතනින්. වීඩියෝවක් මෙතනින්.

වික්ටෝරියා ජලාශ වේල්ලේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු සාලිය රත්නායක

සාලිය රත්නායක මහතා සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් පසුගිය වසර වල සිට හුවමාරු වන අතර, එහි සඳහන් ඇතැම් කරුණු අසත්‍ය බවයි.

වික්ටෝරියා වේල්ල එංගලන්ත රජයේ රුපියල් මිලියන 8400ක පරිත්‍යාගයක් ලෙස ඉදි කර ඇති නමුත්, සමාජ මධ්‍ය ජාලා ලිපි මගින් වික්ටෝරියා වේල්ල ජේ.ආර්. ජයවර්ධන මහතා එංගලන්ත මහ රැජිණ රවටා ඉදි කරවා ගත් බවට සදහන් කර ඇති අතර මෙම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික කටයුත්ක දී එවැනි වංචනික ක්‍රියා කිරිමට කිසිදු අවකාශයක් නොමැති බව වගකිමෙන් දන්වා සිටින බවත් ඒ මහතා සඳහන් කළා.

වික්ටෝරියා වේල්ලේ ස්වංක්‍රියව ක්‍රියා කරනු ලබන අරීය වාන් දොරටු 08ක් සහ වේල්ලේ පතුලේ එකතු වන රොන් මඩ සහ ජලය පිට කිරිම සඳහා ස්වයංක්‍රිය පාලනය කර නොහැකි වාන් දොරටු සහිත මඩ සොරව් 02කින් යුක්ත වන බවත්, මෙම වේල්ලේ අභ්‍යන්තරයේ ගමන් කල හැකි නිරීක්ෂණ ගැලරි 07 ඇත අතර අද වන විට මෙම සැම ගැලරියකම වේල්ලේ හැසිරිම නිරීක්ෂණය කිරිමට නවීන උපාංග රාශියක් ස්ථානගත කර ඇති බවත් සඳහන් කරමින් ඔහු අවධාරණය කළේ, වේල්ල අභ්‍යන්තරයේ මිනිසුන් 50,000 කට පමණ රැදි සිටිය හැකි බවට සමාජ මාධ්‍ය ලිපි වල පළ කර ඇති කරුණ ද සම්පුර්ණ අසත්‍යක් බවත් මහජනතාව වේල්ල අභ්‍යන්තරය නැරඹීම ද, ඉතා අවදානම් වන අතර, එය වේල්ලෙ රාජකාරි කටයුතු සදහා ඉමහත් බාධාවක් වන බවයි.

මෙම වේල්ලට සැදිමට යකඩ කම්බ් දශමයක් වත් යොදා ගෙන නැත.” යන කතාව අසත්‍යක් බවත් මෙම වේල්ලේ වාන් දොරටු පිහිටා ඇති ප්‍රදේශයේ ශක්තිමත් බව සඳහා යකඩ කමිබි භාවිතා කර ඇති බවත් වික්ටෝරියා ජලාශ වේල්ලේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු සාලිය රත්නායක මහතා අවධාරණය කළා.

එසේම ජලය පිරෙන විට වේල්ල ඉස්සරහට සහ පිටුපසට චලනයක් සිදු වෙන අතර එම ප්‍රමාණය පියවි ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයක් බවත් වික්ටෝරියා ජලාශ වේල්ලේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු සාලිය රත්නායක මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා. මේ පිළිබඳ වැඩිදුර කරුණු ඇතුළත් කරමින්, වේල්ල ඉදිවෙමින් පැවති අවධියේ ඡායාරුප ද සමඟින් ඔහු පලකළ ෆේස්බුක් සටහනක් පහතින්.

https://www.facebook.com/saliyaefac/posts/3452631004790713

වික්ටෝරියා වේල්ල පිලිබඳ ඉතිහාසයෙන් බිඳක්

වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ල වේ.

හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි. කැනඩාවේ Huntings Technical Services ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ කණ්ඩායමක් විසින් එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව වික්ටෝරියා වේල්ල 1964 දී මුල් වරට යෝජනා විය.

1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 දී එහි ප්‍රධාන ව්‍යුහයන් ඉදි කිරීම ක්‍රියාවට නංවන ලදී. එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනි‍ටුහන් කෙරිණි.

වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ (Accelerated Mahaweli Development Programme (AMDP)) ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් සැලසුම් අදියරේ තිබුණු අතර 1977 දී රටේ පැවැති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කඩිනම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ.

වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුව තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මින් නොනැවතී අප මේ පිළිබඳ ව සමාජය දැනුවත් කරමින් අදාළ පාර්ශව සම්බන්ධ කර ගනමින් සිදු කළ වීඩියෝවක් ද නිර්මාණය කළේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=5at1R9MU_Do

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “යකඩ කම්බියක්වත් නොදා හැදූ වික්ටෝරියා වේල්ල” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනේ දැක්වෙන ඇතැම් කරුණු අසත්‍ය හා නොමග යවන සුළු බවයි.

වික්ටෝරියා ජලාශය සහ වේල්ල පිළිබඳ පැහැදිලි කිරීමේ කාර්යයේ නියුතු පුද්ගලයෙකු විසින් අතිශයෝක්තියෙන් සිදුකර තිබු නොමඟ යවන සුළු කරුණු පැහැදිලි කිරීමක් මේ සඳහා මුල්වී තිබෙනවා.

වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත ඇහළපිටිය සඳහන් කළේ, වෙනත් බොහෝ වේලි මෙන්ම වික්ටෝරියා වේල්ලේ ද විශේෂයෙන්ම වාන් දොරටු සවිකර ඇති ප්‍රදේශය (spillway) යකඩ/වානේ කම්බි මිශ්‍ර කොන්ක්‍රීට් (reinforced concrete) යොදාගනිමින් නිර්මාණය කර ඇති බවයි.

තවද, එම සටහනේ දක්වා තිබූ ජලය පිරෙන විට වේල්ල ඉස්සරහට සහ පිටුපසට චලනයක් සිදු වූවත්, එම ප්‍රමාණය පියවි ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයක් බවත්, වේල්ල අභ්‍යන්තරයේ මිනිසුන් 50,000 කට පමණ රැදි සිටිය හැකි බවටත් සමාජ මාධ්‍ය ලිපි වල පළ කර ඇති කරුණු ද අසත්‍යක් බවත් මහජනතාව වේල්ල අභ්‍යන්තරය නැරඹීම ඉතා අවදානම් වන අතර, එය වේල්ලෙ රාජකාරි කටයුතු සදහා ඉමහත් බාධාවක් වන බව වික්ටෝරියා ජලාශ වේල්ලේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු සාලිය රත්නායක මහතා ද, අවධාරණය කළා.

Avatar

Title:වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට යකඩ එකදු යකඩ කම්බියක්වත් යොදා ගත්තේ නැද්ද ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading