දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

1. මෙරට වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් ගෙන නැහැ! Full Story

උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමට ඇති හැකියාවයි.

මේ අතර වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් මෙරට රජය විසින් ගත් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වුණා. නමුත් අප FactCrescendo කණ්ඩායම මගින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ එම සමාජ ජාලා සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

ලංකාවේ වයස අවුරුදු 18 – 25 දක්වා අයත් තරුණයින් කාණ්ඩය සඳහා නොමිලයේ උපත් පාලන කොපු ෆාමසී හරහා නොමිලේ ලබා ගැනීමට වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක බවට මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාකර තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් නිරීක්ෂණය කළා. අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණත්, පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන තිබුණා. ඒ එම දිස්ත්‍රික්කයේ HIV ආසාධිතයින් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් බවට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්.කේ. සරත්චන්ද්‍ර කුමාරවංශ මාධ්‍යයට සඳහන් කර තිබුණා.

ඒ පිලිබදව සොයා බැලු අපට දැකගන්නට ලැබුණේ උපත් පාලන කොපු නොමිලයේ ලබාදීම පිළිබඳව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඇත්ත වශෙයන්ම වාර්තා වී තිබුණ ත් ඒ ලංකාවෙන් නොවන බවයි. එය ලිංගික සම්ප්‍රේෂණය මඟින් ආසාදනය වන රෝග පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රංශ රජය විසින් ගෙන ඇති තීරණයක් සම්බන්ධ පුවතකි. මෙම විදෙස් පුවත වාර්තා කිරීමේදී ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතන වල සමාජ ජාලා පිටු මගින් ප්‍රංශයේ මෙය සිදු වන බවක් ශිර්ෂ පාඨ මගින් පැහැදිලි නොකර “වයස අවුරුදු 18- 25 අතර අයට නොමිලයේ කොන්ඩම් ලබාදීමේ තීරණයක්” ලෙස පමණක් සදහන් කිරීම මගින් ශිර්ෂ පාඨය පමණක් කියවූ බොහෝ පිරිස් වැරදි වටහා ගැනීමක් ඇතිකරගෙන තිබු බවක් දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන්ද , අප මෙවැනි වැඩපිළිවෙළක් මෙරට තුළදී ක්‍රියාත්මක වනවා ද, යන්න පිළිබඳ විමසා සිටියා. ඔවුන් සඳහන් කරන්නේ, මෙරට ඔසු සල්/ ඖෂධ ශාලාවල දී නොමිලයේ තරුණයන්ට උපත් පාලන කොපු ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක නොවන බවයි. නමුත් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන් සමග එක්ව ඇතැම් ප්‍රජාවන් සඳහා කරනු ලබන වැඩසටහන් වලදී උපත් පාලන කොපු නොමිලයේ ලබා දෙන බවත්, එය සෑම විටම සිදු නොකෙරෙන බවත් ඔවුන් තහවුරු කළා.

2. කටාර් හී Stadium 974 ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූපද ? Full Story

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති 16 දෙනාගේ වටයේ අවසන් තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය පිලිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා. ඒ එය 16 දෙනාගේ වටය වෙනුවෙන්ම සැකසූ තාවකාලික ක්‍රීඩාංගණයක් වීම හේතුවෙනි. එම තරගයෙන් අනතුරුව ක්‍රිඩාංගණය ගලවා ඉවත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සේයාරූ හුවමාරු වුණා. නමුත් FactCrescendo අප කණඩායම මගින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව තැබූ ලංසු පරදා 2010 දී FIFA හි සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් විධායක කමිටුවේ ඡන්දය දිනා ගනිමින් කටාර් රාජ්‍යය 2022 ලෝක කුසලානයේ අයිතිය ලබා ගත්තේ, මැදපෙරදිග පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලානය බවට පත්වෙමින්. STADIUM 974 ක්‍රීඩාංගනය ලෝක කුසලාන තරග පැවැත්වූ ක්‍රීඩාංගණ 8න් එක් ක්‍රීඩාංගණයක්.

974 ක්‍රීඩාංගණයේ දෙසැම්බර් 5 වන සඳුදා 16 දෙනාගේ වටයේ අවසන් තරඟය පැවැත්වීමෙන් අනතුරුව මේ වන විට ගලවා ඉවත් කරමින් ඇත්දැයි යන්න පිළිබඳ අප ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ඔස්සේ පරීක්ෂා කළද අපට එවැනි පුවතක් දැක ගන්නට ලැබුණේ නැහැ .

එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එම අවස්ථාවේදී අපට දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූප කටාර් රාජ්‍යයේ Ras Abu Aboud ප්‍රදේශයේ Stadium 974 ඉදිවෙමින් පවතින අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

2017 වසරේදී Fenwick Iribarren නම් නිර්මාණ ශිල්පියා අතින් මෙම ක්‍රීඩාංගණයේ සැකැස්ම නිර්මාණය වී ඇත. එමෙන්ම Stadium 974 යන නාමය මෙම ක්‍රීඩාංගණය සඳහා යොදා ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ දුරකථන කේතය වන්නේ 974 වන බැවින් සහ මෙම ක්‍රීඩාංගණය නිර්මාණය කිරීම සඳහා කන්ටේනර් බහාලුම් 974ක් භාවිත කර ඇති හෙයිනි.

මෙහි ගොඩනැගීමේ කටයුතු 2017 වසරේ ඔක්තෝබර් මස පමණ ආරම්භ වූ අතර එය අවසන් වූයේ 2021 වසරේ නොවැම්බර් මස පමණ වන විට ය. මෙම ක්‍රීඩාංගණය තුළ ප්‍රේක්ෂකයන් 44,089 කට පහසුවෙන් අසුන්ගත හැකියි. මෙම ක්‍රීඩාංගණය තුළ පැවති ප්‍රථම තරඟය ලෙස වාර්තා වන්නේ 2021 වසරේ නොවැම්බර් මස 30 වන දින පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සිරියාව අතර පැවති තරඟයයි.

මෙම ක්‍රීඩාංගණය තාවකාලික ක්‍රීඩාංගණයක් වන අතර එය නැවත ගලවා ඉවත් කිරීමේ හැකියාවක් තිබේ. කෙසේ නමුත් මෙම සටහන තබන මොහොත දක්වා Stadium 974 තාවකාලිකව ඉවත්කරගැනීම සදහා පියවර ගෙන නොමැත.

3. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ධනුෂ්කට ඕස්ට්‍රේලියා අධිකරණයෙන් අවසර ලබාදී නැහැ. Full Story

කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියත් ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබෙනවා. මෙවන් පසුබිමක ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර හිමිවූ බවට සමාජ ජාලා සටහන් පළවුණා. නමුත් FactCrescendo කණ්ඩායම ඒ පිලිබදව සිදුකල කරුණු විමසීමේදී තහවුරු වුවේ එම සටහන් වැරදි සහගත බවයි.

අප විමසා බැලුවේ මෙම සමාජ ජාලා සටහන්වල ආකාරයේ පුවතක් අද දෙරණ මගින් විකාශය කර ඇතිද යන්න විමසා බැලුවා.

ඔවුන් ඒ සම්බන්ධයෙන් පුවතක් විකාශය කර තිබුණු අතර එහි සදහන් වුණේ සමාජ ජාලා සටහන්වල ඇති කරුණු නොවේ. සත්‍ය පුවතේ දැක්වුණේ ධනුෂ්ක මේ වන විට නතරවී සිටින නවාතැන් පළෙන් ඉවත්ව සිඩ්නි වල ම වෙනත් ප්‍රදේශයක පිහිටි නවාතන්පොලකට මාරුවීමට අධිකරණයේ අවසරය ලැබුණු බවයි. එම අලුත් නවාතැන සහිත ප්‍රදේශය ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත්ව සිටින ප්‍රදේශයක් බවද සදහන්.

ඕස්ටේලියාවේ මාධ්‍ය මගින්ද දෙසැම්බර මස 16 වන දින ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි හිදී අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සහ අද දෙරණ සදහන් කල ආකාරයටම ඔහුට සිය නවාතැන මාරුකිරීම සදහා අධිකරණ අවසරය ලැබුණු බව වාර්තා කර තිබෙනවා . එමෙන්ම මෙම නඩුව පිළිබද ඉදිරි නඩු දිනය ලබන වසරේ ජනවාරි මාසයේ බවද සදහන්. කෙසේ වෙතත් ධනුෂ්කට ලංකාවට පැමිණීමට අවසර හිමිව නැහැ. එමෙන්ම ඔහු ගේ ගුවන් ගමන්බලපත මේ වන විටත් පවතින්නේ ඕස්ට්‍රේලියානු බලධාරීන් සතුවයි.

4. හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායකට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් ! Full Story

“පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා මීට සුලු වේලාවකට පෙර ICU වාට්ටුවට ඇතුළත් කර ඇත” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා. ඒ බැලූ බැල්මට ඔහු මිය ගිය බවට හැඟවෙන අයුරින් නිර්මාණය කර තිබුණු සේයාරූද සමගින්. එසේම ඔහු මියගිය බව සෘජුවම සඳහන් කරමින් ඔහුට ශෝකය ප්‍රකාශ කරමින් ද සටහන් පෙළක් ම හුවමාරු වුණා. නමුත් FactCrescendo කණ්ඩායම මගින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ එම සමාජ ජාලා සටහන් වැරදි සහ නොමගයවනසුලු ඒවා වන බවයි.

නුගේගොඩ, පාගොඩ පාරේ තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායක දෙසැම්බර් 14 රාත්‍රියේ රෝහල්ගත කර තිබුණා.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ ඩිලාන් සේනානායක කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබුණා.නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ ශබ්දාගාරයට(Studio) පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇති බවට පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ සහෝදරයාගෙන් විමසීමක් අප සිදු කළා. එහිදී ඔහු තහවුරු කළේ, තම සහෝදරයා දැඩි සත්කාර ඒකකයට(ICU) ඇතුළත් කර නොමැති බවයි. එමෙන්ම ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.මේ පිළිබඳව අප සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන රතිදු සේනාරත්නගෙන්(රැට්ටා) ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඩිලාන් සේනානායකගේ තත්ත්වය බරපතළ නොවන බවයි. එහෙන්ම ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට නොමැති බවයි. ඔහු මේ වන තුරු සිටින්නේ, හදිසි අනතුරු වාට්ටුවේ බවත් රතිඳු පවසා සිටියා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, ඩිලාන් සේනානායක සම්බන්ධ සිදුවීම පිළිබඳ විමර්ශන තවමත් ක්‍රියාත්මක වන බවයි. මේ වන විට පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගෙන ඇති අතර,සමහර සමාජ ජාලා සටහන් වල දැක්වෙන අන්දමින් අනියම් සබඳතාවක් සම්බන්ධ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත්, සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති හෙයින් මේ වන විට ඩිලාන් සේනානායකට සිදු කළ පහර දීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් සිදු වන බවයි පොලිසිය ප්‍රකාශ කලේ .

5. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදයෙන් පසු මරණ මංචකයේදී ස්ටීවන් හෝකින් කිතුනුවකු වූ කතාව බොරුවක්! Full Story

“ලොව සියලුම ආගම් සහ එහි හරයන් හෑල්ලුවට ලක්කළ  විද්‍යාඥයකු වන ස්ටීවන් හොකින් තම මරණ මංචකයේදී ප්‍රකාශ කලේ “මම දැන් විශ්වාස කරමි” යන්නයි …ධනයෙන් බලයෙන් ඔලුව ඉදිමුනු හුගාක් අයට මේක ලොකු පාඩමක්”, යනුවෙන් සඳහන් කරමින් සමාජ ජාලා සටහන්  සංසරණය වුණා.

“ඔබ දෙවියන් සොයාගෙන ගියා. මම විද්‍යාව සොයාගෙන ගියා. ඔබට තව කල් තියනවා. මට කාලයක් නෑ. මට යන්න කාලය ලන්වෙලා. ඔබ යන්න ඉන්න තැනට මට කලින් යන්න ලැබෙනවා නම් මම සතුටුයි. මා වෙනුවෙන් යාච්ඥා කරන්න” යනුවෙන් ස්ටීවන් හොකින් විසින් පාප්තුමන්ට ප්‍රකාශයක් සිදු කළ බව ද, එහි වැඩි දුරටත් දක්වා තිබුණා.ඒ සමගම පාප්වහන්සේ විසින් හොකින්ස්ට ආශිර්වාද කරන ආකාරයේ සේයාරූ ද පළව තිබුණා.කෙසේ නමුත් මේ පිලිබදව සොයා බැලු FactCrescendo කණ්ඩායමට දැකගත හැකිවුවේ මෙම සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

භෞතික විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින් (Stephen Hawking) 2018 මාර්තු මාසයේදී වයස අවුරුදු 76ක් ආයු ලබා ජීවිතක්ෂයට පත් වුණා.

හෝකින් යනු දිගුකාලීන හා කැපී පෙනෙන අදේවවාදියෙකු (atheist) වූ අතර ඔහු විශ්වයේ මූලාරම්භය සහ දිව්‍යමය මැවුම්කරුවෙකු පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් දැක්වූ අදහස් ගැන සමාජයේ කතා බහට ලක් වුණා. ඔහුගේ මරණයෙන් පසු වොෂින්ටන් පෝස්ට් ලේඛනගත කර ඇති පරිදි, හෝකින් 2011 වර්ෂයේදී ගාඩියන් පුවත්පතට පැවසුවේ තමා මරණින් මතු ජීවිතයක් හෝ ස්වර්ගයක් විශ්වාස නොකරන බවටයි

2010 දී ඔහු ABC ප්‍රවෘත්ති සේවයට මෙසේ පැවසීය: “දෙවියන් වහන්සේ නොමැති බව කෙනෙකුට ඔප්පු කළ නොහැක, නමුත් විද්‍යාවට දෙවියන් වහන්සේ අනවශ්‍යයි”. හෝකින්ග් ඔහුගේ මරණයට පෙර ජීවිත කාලය පුරාවටම එම මතවලින් බැහැර වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත .

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ දැක්වෙන්නේ හෝකින් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2016 නොවැම්බර් මාසයේදී වතිකානුවේදී සාකච්ඡාවක යෙදී සිටින ආකාරයයි. එනම් මෙය හොකින්ගේ මරණයට වසර දෙකකට පෙර හමුවකි.හෝකින්ස් ඇතුළු ලොව පුරා විද්‍යාඥයන් රැසක් Pontifical Academy of Sciences සාමාජිකයින් වශයෙන් මෙම අවස්ථාවට එක්වන ලෙස ආරාධනා ලබා තිබුණා. 1968 දී හයවන පෝල් පාප්තුමා විසින් ස්ටිවන් හෝකින්ට මෙම ඇකඩමියේ සාමාජිකත්වය ලබා දී තිබුණා. එසේම අවස්ථා කිහිපයක දී ම ස්ටීවන් හෝකින්ස් වතිකානුවේ දී පාප් වහන්සේ ලා මීට පෙර ද හමු වී තිබෙනවා.

කෙසේ වෙතත් 2016 වසරේ දී , ඊට පෙර හෝ පසුව ඔහුගේ මරණය තෙක්ම හොකින්ස් කිතුණු දහම වැළඳ ගත් බවට බවට හෝ තමන් දෙවියන්වහන්සේව විශ්වාස කරන බවට පැවසූ බවට කිසිඳු සාක්ෂියක් දැකගන්නට ලැබෙන්නේ ද නැහැ.

6. ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම සදහා රාජාලියාගේ ජිවන චක්‍රය සම්බන්ධ මිත්‍යා මත යොදා ගැනීමක්! Full Story

ධනාත්මක චින්තනය පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්.ලංකාව තුළද ධනාත්මක චින්තනය  පිලිබදව දේශනා මගින් කරුණු පැහැදිලි කරන අය ,මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කරුණු පැහැදිලි කරන අය බොහෝ සිටිනවා. මේ අය ධනාත්මක චින්තනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමට,කලකිරුණු ජිවිත සහිත අයට ජීවත්වීම සදහා උත්ප්‍රේරණයක් ඇති කිරීමට විවිධ උදාහරණ යොදා ගන්නවා.මෙම ඇතැම් උදාහරණ අසත්‍ය සහ නොමග යවන සුලුයි.එවැනි  උදාහරණයක් ලෙස බහුලව යොදාගන්නා  රාජාලියාගේ ජීවිතය සම්බන්ධව සමාජ ජාලාවල පැතිරෙන නොමගයවන සුලු සටහන් සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට FactCrescendo කණ්ඩායම කටයුතු කළා.

රාජාලියා වයස අවුරුදු 70 ක් දක්වා ජීවත්වන බවත්, වයස් අවුරුදු 40 දී බොහෝ සෙයින් කායිකව දුර්වල වන රාජාලියා කදු මුදුනකට ගොස් හොට,නියපොතු සහ පිහාටු ගලවා දමා අලුත් ශරීර අවයව විකසිත වන තෙක් මාස කිහිපයක් නිරාහාරව සිට අලුතින් හොට,නියපොතු සහ පිහාටු ලැබුණු පසු නව ජවයකින් ජීවිතය පටන් ගෙන ජීවිතයේ ඉතිරි කොටස ගෙවා දමන බවත් සදහන් සමාජ ජාලා සටහන් පැතිර තිබුණා.

මෙම සමාජ ජාලා සටහන් සදහා යොදාගෙන තිබෙන්නේ Bald Eagle(තට්ට රාජාලියා) ලෙස හැදින්වෙන රාජාලි ප්‍රබේදයයි . ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස සැලකෙන්නේද මෙම රාජාලියන් .

ස්වාභාවික පරිසරයේ වනගතව ජීවත්වන තට්ට රාජාලියන්ගේ දළ ආයු අපේක්ෂාව වසර 20-30 ක් පමණ වෙනවා.නමුත් සංරක්ෂණ ක්‍රියාමාර්ග නිසා ඔවුන් ජීවත්වන කාලය වැඩිව තිබෙනවා. කෙසේ නමුත් දැනට ඇති දත්ත වලට අනුව ස්වාභාවික පරිසරයේ වැඩිම කාලයක් ජීවත්ව ඇති තට්ට රාජාලියාගේ වයස අවුරුදු 38 ක් පමණ වේ.කෙසේ නමුත් මිනිස් රැකවරණය යටතේ වැඩෙන තට්ට රාජාලින් මීට වඩා වැඩි කාලයක් ජීවත්විය හැකියි. කෙසේ වෙතත් වසර 70 ක් ජීවත්වූ තට්ට රාජාලියෙක් සම්බන්ධව මෙතෙක් වාර්තාවී නැහැ. කෙසේ නමුත් රාජාලියන් විසින් තමන්ගේ හොට,නියපොතු සහ පිහාටු ගලවා දමා  අලුත් අවයව වැඩෙන තෙක් මාස ගණනක් නිරාහාරව බලා සිටීමක් හා සම්බන්ධව  කිසිදු පිළිගත හැකි විද්‍යාත්මක හෝ පර්යේෂණාත්මක සාක්ෂියක් සොයා ගැනීමට අපට හැකිවුවේ නැහැ.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පලකල ශ්‍රී ලංකාවේ කුරුල්ලන් පිලිබදව පර්යේෂකයෙක් වන හිමේස්  ජයසිංහ ද සදහන් කලේ රාජාලියන් සම්බන්ධයෙන් පැතිරෙන මෙම මතවාද සම්පුර්ණයෙන් අසත්‍ය බවයි. එමෙන්ම කුරුල්ලන්ගේ හොට සම්පුර්ණ අහිමිවුවහොත් එය සම්පුර්ණ නැවත වැඩිමක් සිදු නොවන බව මෙන්ම මෙම සමාජ ජාලා වල සදහන් ආකාරයට මාස ගණනක් නිරාහාරව සිටීමේ හැකියාවක් පක්ෂීන්ට නොමැති බවයි. එමෙන්ම පක්ෂීන් පිලිබදව ජාත්‍යන්තර විද්වතුන් කිහිප දෙනෙක්ද ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ හිමේෂ් පැවසූ අදහසටම සමාන අදහස් .


සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.