දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. බෞද්ධ වන්දනා ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සදහා වෙනත් ආගම්වල බැතිමතුන් ද ඇතුළු දස දහස් සංඛ්‍යාත ජනකායක් නිරන්තයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා.

ඒ Listreia බැක්ටීරියාව මේ දිනවල ශ්‍රී පාද ප්‍රදේශයේ පැතිරෙන බවට පළවන සමාජ ජාලා සටහන්ද සමගයි. Listria බැක්ටීරියාව , සහ ඒ ආශ්‍රිතව පැතිරෙන සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන්

ලිස්ටිරියා ආසාදනය වීම් ශ්‍රී පාද ප්‍රදේශයේ පවතින බවට වන සමාජ ජාලා සටහන් සැකසුනේ මෙලෙසින්.

ශ්‍රී පාද වන්දනා භූමියේදි Listeria monocytogenes විශබීජය පැතිරීමේ අවදානමක්..

සායනික ක්ශුද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය ගීතා නානායක්කාර මහත්මියගේ පණිවිඩයක් අනූව මෙම සටහන ලියමි..

ඒ අනූව ශ්‍රී පාද අඩවියේ කුඩා කඩයක සේවය කල කාන්තාවක් සහ ශ්‍රි පාද වන්දනාවේ යෙදුන 16 හැවරදි දැරියක් , වමනය ,හිසරදය සිහිමද තත්වය , උදරයේ අපහසුතා සමඟ රෝහල් ගතවීමෙන් පසුව මරණයට පත් වී තිබෙනවා..

පළමු කාන්තාවගේ රුධිර හා ශුෂුම්නා තරල වල ක්ශුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්ෂණ වලින් , Listeria monocytogenes විශබීජය හඳුනාගෙන තිබෙනවා..

දෙවැනි රෝගී දැරියගේ පරීක්ෂණ වාර්තා තවම සම්පූර්ණ නොවී ඇතත් , මෙතෙක් කල පරීක්ෂණ වලට අනූව ඇයටද මෙම විශබීජය ඇතුල් වී ඇති බවට සැක කෙරෙනවා.

Listeria monocytogenes යනු Gram Positive බැක්ටීරියා විශේෂයක් වන අතර බාහිර පරිසරයේ පස් වල හා දිරා යන රොඩුවල පවති.

ශිත කල ආහාර , පාශ්චරිත කිරි ,( Pasteurized Milk ) ,චීස් ,සොසේජස් , Deli Meats , Lettuce ආදි ආහාර හරහා මිනිසුන්ට ශරීර ගත වේ.

අපිරිසිදු ශීතල ජලයද හේතුකාරක විය හැක ..

මේ විශබීජයට ගොදුරු වීමේ අවධානම් කාණ්ඩ වන්නේ , වයෝවෘද්ධ පිරිස් , නවජන්ම ළදරුවන් , ගර්භනී කාන්තාවන් , දියවැඩියාව රෝගීන් , වෙනත් රෝග නිසා ප්‍රතිශක්තිය ඉතා අඩු රෝගීන්‍ ය. ( උදා - පිලිකා රෝගීන් )

නමුත් සාමාන්‍ය සෞඛ්‍යය පවතින අයවලුන්ටද කලාතුරකින් රෝග කාරක විය හැක..

විශබීජය මඟින් , Meningitis ( මශ්තිශ්ක පටල ප්‍රදාහය ) Meningoencephalitis ( මශ්තිශ්ක ප්‍රදාහය ) සහ විශබීජය රුධිර ගත වීමෙන් , Bacteremia යන මරණීය විය හැකි රෝග තත්ව ඇති කෙරේ..

ආහාර ඔස්සේ ශරීර ගත වන මෙම බැක්ටීරියාව , ආන්ත්‍රික බිත්ති හරහා රුධිරයට එක්වී මොළයට ගමන් කරයි.

ගර්භනී කාන්තාවන්ට මෙය ශරීර ගත වුවහොත් , බැක්ටීරියාව වැදෑමහා ආසාදනය කරන අතර ඒ හරහා කළලයට ගමන් කරයි..

රෝග ලක්ෂණ ලෙස..

වමනය ,පිට කොන්දේ වේදනාව, පාචනය ,හිසරදය , උණ , සිහිමද ගතිය , සිහිවිසඤ වීම ඇති වේ..

10-15% අතර පිරිසක් මරණයට පත්විය හැක..

එම නිසා ඔබ මේ දිනවල , ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්නේ නම් ,

පාශ්චරිත කිරි , ශීත කල එලවලු , මස් , සොසේජස් ආදී ආහාර කෑමට ගන්නේ නම් ඉතා සුපරික්ෂාකාරී වන්න..

කල් ඉකුත් වූ දිනය බලන්න..

හැකි සෑම විටම අලුත් , උණුසුම් ආහාර ගැනීමට වගබලාගන්න..

ඉහත සඳහන් , අවධානම් ඇති පිරිස් (විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන්) සිරිපාද වන්දනාවෙන් වැළකී සිටින්න..

Facebook | Archived

Explainer

සෑම අයෙකුම හිතාමතා හෝ නොදැනුවත්වම, සෑම දිනකම මිලියන ගණනක් ක්ෂුද්‍ර ජීවීන් අනුභව කරනවා. මෙයින් බොහොමයක්ම මිනිස් සිරුරුට හානිකර නැති වුණත් ඇතැම් ක්ෂුද්‍ර ජීවින් ඔබව රෝගාතුර කිරීමට හේතු වෙනවා.

ලිස්ටිරියා යනු එවැනි ක්ෂුද්‍ර ජීවියෙක්. මෙම ලිස්ටිරියා බැක්ටීරියාවල ස්වභාවය ,එම බැක්ටීරියා පැතිරෙන්නේ කුමන ආකාරයෙන්ද ආදිය සම්බන්ධයෙන් සහ මේ වන විට ශ්‍රී පාද ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් පවතින අවදානමේ ස්වභාවය පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කළා.

ලිස්ටීරියා බැක්ටීරියාව

Listeria monocytogenes යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම බැක්ටීරියාව තෙත් ස්වභාවයක් ඇති පරිසරයේ ස්වභාවයෙන් හමුවන බැක්ටීරියාවකි. තෙත් පසේ ,දිරායන කොලරොඩුවල මෙය සොයා ගත හැක. මීට අමතරව ජලයේ, කුණුවෙමින් පවතින එළවලු සහ පලතුරුවල මෙන්ම ශීතකරණය කරමින් පවතින ආහාරවල , පැස්චරිකරණය කරනු ලබන ආහාරවල, චීස්, කිරි සහ බිත්තර යනාදියේ මෙම බැක්ටීරියා විශේෂයට වැඩිය හැක.

මෙය බැක්ටීරියාව ආසාදනය විය හැකි ආකාර ලෙස මෙය අඩංගු, ආහාර ද්‍රව්‍ය , එළවලු, පලතුරු, ජලය ආදිය එක්කර සකසනු ලබන ආහාර ද්‍රව්‍ය ,පාන වර්ග ආදිය සැලකිය හැක. ආහාර ද්‍රව්‍ය මෙම බැක්ටීරියාව පුළුල්ව ව්‍යාප්තව ඇති පරිසරවල සැකසීමේදී ඒවාට මෙය එක්විය හැක. උදාහරණයක් ලෙස දූෂිත ජලය මගින්.

රෝග ලක්ෂණ

මෙම බැක්ටීරියාව මිනිස් සිරුරට ආසාදනය වීම නිසා ඇතිවන තත්ත්වය listerioris ලෙස හැදින්වේ. මෙහි රෝග ලක්ෂණ පවතින කාල සීමාව දින ගණන් වල සිට සති ගණන් දක්වා වෙනස්වේ. සුලු රෝග ලක්ෂණ ලෙස ඔක්කාරය ,වමනය ,අතීසාරය වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. ඊට අමතරව වඩාත් උග්‍ර ලක්ෂණ ලෙස සිරුරේ සමබරතාවය අහිමිව යාම ,වලිප්පුව ,මනසේ වියවුල් තත්ත්වයන් ඇතිවීම ආදිය සිදුවිය හැක. වැඩිහිටියන්ට ,කුඩා ළමුන්ට මෙන්ම ගර්භනී කාන්තාවන් වැනි ප්‍රතිශක්තිකරණය අඩු පිරිස්වලට මෙම ආසාදනය මගින් මරණය පවා සිදුවිය හැක.

දූෂිත ආහාර ගැනීමෙන් අනතුරුව පැය කිහිපයක් ගතවීමෙන් හෝ ඇතැම් විට දින 3 ක් පමණ ගතවීමෙන් මෙහි රෝග ලක්ෂණ ඇතිවිය හැක. ආසාත්මිකතාවයේ ප්‍රචණ්ඩ බව අනුව මෙම බැක්ටීරියාව , සිරුර තුළ දින 3 සිට දින 100 අතර කාලයක් වර්ධනය විය හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived සහ මෙතනින්

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති (මහජන සෞඛ්‍ය පරීක්ෂක - රත්නපුර)

මේ වන විට ශ්‍රී පාදස්ථානය සහ ඒ අවට පවතින තත්ත්වය කවරක්දැයි දැනගැනීමට අප ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ,රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාලයට අනුබද්ධව ක්‍රියා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.බොරලස්ස සමග සංවාදයක නිරතවුණා.

අප ඔහු සමග කතාබහ කරන දින ,එනම් මාර්තු මස 16 වන විට මෙම බැක්ටීරියා ආසාදනයට ලක්ව ඇති බවට සැකසහිතව රෝගීන් 4 දෙනෙක් රෝහල් ගතව ඇති බවත් ,ඔවුන්ගෙන් එක අයෙක් මියගොස් ඇති බව සහ මියගිය ඇය ශ්‍රී පාද මාර්ගයේ කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතව කෑම කඩයක සේවය කල අයෙක් බවත් ඔහු පැවසුවා.

කරන ලද පරික්ෂණවලට අනුව ඇයට මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බවත් සොයාගෙන ඇති බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් අනෙත් තිදෙනා රෝහල්ගත කර ඇත්තේ මෙම බැක්ටීරියා ආසාදනයට සමාන රෝග ලක්ෂණ ඇති බව නිසා බවත් ඔහු පැවසුවා.

නමුත් අප කතා කරන මොහොත වන විටත් ඔවුන්ගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා නිකුත්ව නොමැති නිසා පවතින තත්ත්වය පිලිබදව වැඩියමක් පැවසීම අපහසු බව සහ ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ මෙම තත්ත්වය වසංගතයක් ලෙස පැතිරීමක් හෝ කඩ සාප්පුවල ඇති ආහාර හෝ ප්‍රදේශයේ ජල මුලාශ්‍ර මෙම බැක්ටීරියා ව නිසා අපවිත්‍රව ඇති බවක් නිගමනය කිරීම සදහා තවම ඉක්මන් වැඩි බවත් ඔහු පැවසුවා.

කෙසේ නමුත් මේ වන විට රෝහල්ගතව සිටින තිදෙනාම දිවයින විවිධ ප්‍රදේශවල සිට පැමිණි වන්දනාකරුවන් බවත් ඔවුන් ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ ,ඒ මාර්ගයේ මග දෙපස ඇති වෙලෙදසල්වලින් ආහාර ලබාගත් බවට හෝ ජලය පානය කර නොමැති බවට සාක්ෂ්‍ය නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට ආසාදනය වී ඇත්තේ මෙම බැක්ටිරියාවම බවට වෛද්‍ය පර්යේෂණ වාර්තා ලැබෙන තෙක් පැවසීම අපහසු බවත් ඔහු පැවසුවා.

එමෙන්ම ඔහු අවධාරණය කරන ලද්දේ එම තත්ත්වය යටතේ වුවත් සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයේ මග පෙන්වීම අනුව ශ්‍රී පාදස්තානයට ගමන් ගන්නා මග දෙපස අවට කඩා සාප්පු වල ඇති ආහාර සාම්පල ලබාගෙන පරික්ෂා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලවල් ද මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඔහු පැවසුවා.

Sri Lanka College of Microbiologists

මේ පිලිබදව Sri Lanka College of Microbiologists ආයතනයේ සභාපතිනිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය රෝහිනී වඩනම්බි ගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසා බැලුවා. ඇය පවසා සිටියේ මේ වන විට මේ සම්බන්ධයෙන් වන රෝගීන්ගේ වෛද්‍ය පර්යේෂණ වාර්තා සම්පුර්ණයෙන්ම නිකුත් කර නොමැති නිසා සංගමයක් ලෙස නිල ප්‍රකාශයක් සිදු කිරීම අපහසු බවයි.

කෙසේ නමුත් මෙම බැක්ටීරියා කාණ්ඩයේ ක්‍රියාකාරිත්වය පිලිබදව අදහස් දැක්වූ ඇය පැවසුවේ මෙම බැක්ටීරියා මුලික වශයෙන් දූෂිත ජලය හා ආහාර මගින් මිනිස් සිරුරට ඇතුළුවන බවයි.

මෙහි වඩාත්ම භයානක තත්ත්වය ගැන විස්තර කරමින්, මෙම බැක්ටීරියා සිරුරට ආසාදනය වීමෙන් අනතුරුව සමහර අවස්ථාවලදී මොලයේ සෛල තෙක් ගමන්කර මෙනෙන්ජයිටිස් තත්ත්වය ඇතිකරන බව සහ එය ඉතා දරුණු තත්ත්වයක් විය හැකි බවත් වෛද්‍යවරිය පැවසුවා .

එමෙන්ම පසුගිය ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලීමේදී ලංකාව තුළ මෙම රෝගී තත්ත්වයේ වසංගත තත්ත්වයේ ඉස්මතුවීමක්(Outbreak) සිදුව නොමැති බවත් ඇය පැවසුවා. නමුත් එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙම තත්ත්වයන් විටින් විට වාර්තාවන බවයි ඇය වැඩිදුරටත් පැහැදිලි කලේ.

ඇමරිකාවේ වසරකට කිහිපවරක්ම මේ ආකාරයේ Listeriosis තත්වයන් ඉස්මතු වීම් පිලිබඳ වාර්තා වෙනවා. එසේම ඕස්ට්‍රේලියාවේ ද මීට දින කිහිපයකට පෙරත් මේ ආකාරයේ listeria contamination වීමේ සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබු අතර ඒ පිලිබඳ එරට රජය විසින් නිකුත් කර තිබු නිවේදන මෙතනින් සහ මෙතනින්

කෙසේ වෙතත් ආරක්‍ෂිත පියවර අනුගමනය කිරීම මගින් ශ්‍රී පාද වන්දනාකරුවන්ට අවදානම අවම කර ගත හැකි බවත් ඇය පැවසුවා. ඒ අනුව නිවසේ සිට පිළියෙළ කරගෙන පැමිණි ආහාර හා ජලය/දියර පමණක් පානය කිරීම ,අවට පිහිටා ඇති දිය කඩිති ආදියේ ජලය භාවිතා නොකිරීම ,අවට පිහිටා ඇති පොදු ජලය භාවිතා නොකිරීම ආදිය මගින් එම අවදානම අඩු කරගත හැකි බවයි ඇය පැවසුවේ. එමෙන්ම වයස්ගත පුද්ගලයන් ,කුඩා දරුවන් ,ගැබිණි මව්වරුන් මෙම අවදානමෙන් ආරක්ෂාවීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බවත් ඇය පැවසුවා.

මේ සම්බන්ධයෙන් මාර්තු 16 (අද දින ) ,පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ නියෝජිත වෛද්‍ය නවින්ද සොයිසා පැවසුවේ මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවයි.එම මාධ්‍ය හමුවේ වීඩියෝවක් මෙතනින්.කෙසේ නමුත් ඔවුන්ද ඉල්ලා සිටින්නේ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ට අයත් ආයතනයක් වන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මාධ්‍යයට පවසා තිබුණේ පවතින තත්ත්වය පිලිබදව පර්යේෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පර්යේෂණායතනය එක්ව ආරම්භ කර ඇති බවයි.ඒ පිලිබදව වාර්තාවක් මෙතනින්.

මෙම රෝගී තත්ත්වයෙන් වැලකි සිටිය හැක්කේ කෙසේද ?

අප ඉහතින්ද දැක්වූ ආකාරයටම මෙම රෝගී තත්ත්වය ආහාර මගින් සහ ජලය මගින් මුලිකව ඇතිවන රෝගී තත්ත්වයක් . මෙම රෝගී තත්ත්වය ආසාදනය වීම වලක්වා ගැනීම සදහා ,ඔබ ශ්‍රී පාද වන්දනාවේ පැමිනෙනවානම් ආහාර සහ ජලය පිරිසුදුව සකසා නිවස තුලින්ම රැගෙන පැමිණීම වැදගත් . එමෙන්ම අපිරිසිදු ජලය හෝ ශ්‍රී පාද අවට ප්‍රදේශයේ පොදු ජල කරාම ආදිය භාවිතා නොකිරීම සහ ඒ අවට කඩ සාප්පු වල ඇති ද්‍රව්‍ය මිලදී ගෙන ආහාරයට ගැනීම අවම කිරීම මගින් මෙම අවදානම අවම කරගත හැකියි.මෙම රෝගී තත්ත්වයන් ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද ? රෝග නිවාරණය සහ වලක්වාගැනීම පිලිබදව වන ඇමෙරිකානු ආයතනය මගින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්. Archived

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ පැතිරෙන බවට පළවන Listeria බැක්ටීරියා ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්!

By: Kalana Krishantha

Result: Explainer