දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

එක හා සමාන පෙනුමක් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන, එහි දැක්වෙන්නේ වෙනත් පුද්ගලයින් බවට හුවා දක්වමින්, නොමඟ යවන සුළු ආකාරයේ ව්‍යාජ අර්ථකතනයන් ලබා දෙන ඡායාරුප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. බොහෝ අවස්ථා වලදී ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මෙලෙසින් ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රංගන ශිල්පීනී දමිතා අබේරත්න බවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ගෝඨාගෝහෝම්” සහ “මයිනාගෝහෝම්” අරගලයේ ප්‍රධාන නායිකාවක් වූ දමිතා අබේරත්න ද, සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් එකතුකරමින්, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට බුලත් දී වඳින අවස්ථාවක ඡායාරූපයක් ලෙසට හඟවමින් WhatsApp ඔස්සේ පණිවිඩයක් බොහෝ දෙනෙකු අතර සංසරණය වුණේ මෙලෙසින්. 

එම ඡායාරූපය ෆේස්බුක් පරිශිලකයින් අතර ද සංසරණය වී තිබුණා.

සරේ දක්ෂතම රගපෑම. නිර්පාක්ෂික අරගලකාරිය නාට්ටියේ දමිතා අබේරත්න....යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link FB | Archived

මෙම ඡායාරූපය සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙහි සිටින්නේ දමිතා අබේරත්න බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

එසේම වෙබ් අඩවි ඔස්සේ ද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දමිතා බව පෙන්වමින් වාර්තා පළකර තිබුණේ මේ අයුරින්

Archived

මේ හේතුවෙන් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඉහත ඡායාරූපයේ සිටින්නේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නොවට බවට දැක ගන්නට ලැබෙන නමුත්, අප මෙම සත්‍ය ඡායාරූප අවස්ථාව කුමක් ද සහ එහි පසුබිම පිලිබඳ වැඩිදුර කරුණු පරික්ෂා කිරීමට උත්සුක වුණා.

ඒ අනුව මෙම ඡායාරූප අවස්ථාව, අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කිරීමට ඔවුන්ගේ නිවසට පැමිණි පිරිසගේ ඡායාරූප ඇල්බම් එකතුවකින් ලබාගත් එක් ඡායාරූපයකි. එම ඇල්බමය මෙතනින්. එම ඇල්බමයේ තිබූ ඉහත ඡායාරූපය පහතින්.

Facebook

මෙම ඡායාරූපයේ පසුබිමින් සිටින්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂක, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ මනෝජ් ගමගේ බැවින් අප මේ පිළිබඳව ඔහුගෙන් ද , විමසීමක් කළ අතර තහවුරු කර සිටියේ, එම ඡායාරූපයේ සිටින්නේ දමිතා අබේරත්න නොවන බවයි.

අප මෙම ඡායාරූපයේ සිටින කාන්තාව කවුරුන්ද යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ඡායාරූප ශිල්පියා ගෙන් මේ පිළිබඳ විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, මෙම ඡායාරූප ගනු ලැබුවේ තමන් බවත්, එම ඡායාරූපයේ සිටින්නේ දමිතා අබේරත්න නොව නීතිඥවරියක් බවත්ය. එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතීමට දමිතා අබේරත්න නොපැමිණි බවට තහවුරු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉහත ඡායාරූපයේ සිටින්නේ දමිතා අබේරත්න බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, ඉහත ඡායාරූපයේ සිටින්නේ තමන් නොවන බවත්, එය පැහැදිලිවම පෙනෙන බවත්, අසත්‍ය ප්‍රචාර පැතිරවීම සඳහා විවිධ යටිඅරමුණු ඔස්සේ හිතාමතා මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, තමන් කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතාට අවුරුදු සුබපැතුම් එක් කිරීමට හෝ ඔහුව හමුවට නොගිය බවයි.

Also Read: නාමල් සහ මහින්දානන්ද සමග ඡායාරූපවල සිටින්නේ එකම පුද්ගලයාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ට අලුත් අවුරුදු සුබපැතුම් එක් කිරීමට, “ගෝඨාගෝහෝම්” අරගලයට සක්‍රීය දායකත්වය ලබා දුන් රංගන ශිල්පී දමිතා අබේරත්න ද පැමිණ තිබු අවස්ථාවක ඡායාරූපයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින්නේ දමිතා නොව වෙනත් කාන්තාවක් බවයි. ඒ බවට එම ඡායාරූපය ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ඡායාරූප ශිල්පියා මෙන්ම එම ඡායාරූපයේ පසුබිමින් සිටින ජනාධිපති නීති අධ්‍යක්ෂක මනෝජ් ගමගේ මහතා ද, දමිතා අබේරත්න මහත්මිය ද, තහවුරු කළා.

Avatar

Title:අවුරුදු සුබපැතුම් එක් කිරීමට දමිතා අබේරත්න, මහින්ද රාජපක්ෂ හමුවට ගිය අවස්ථාවක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: False