දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

2020 වසරේ MT New Diamond සහ 2021 වසරේ MV X-press Pearl නෞකාවල, ලංකා මුහුදු තීරයේ දී ඇති වූ ගිනිගැනීම් මැඩ පැවැත්වීම සහ පාරිසරික හානිය සීමා කරගැනීම සඳහා, ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියානු වෙරළාරක්ෂක සහ නාවික හමුදා ඇතුළු කණ්ඩායම් කඩිනම් සහය ලබාදීමට කටයුතු කළා. එම මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දීය රජය විසින් දැන් ශ්‍රී ලංකා රජයෙන් වන්දි මුදලක් ඉල්ලා සිටින බවට පසුගිය දා බොහෝ දෙනෙක් අතර කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“Xpress pearl නැව් අනතුරට අදාළව වන්දි ගන්න නිවැරැදි නඩුවක් හරි අධිකරණයක ෆයිල් කරගන්න බැරි වුනා.. ඩොලර් බිලියන ගානක වන්දියක් නැති වෙන තත්ත්වයක්.. ඒත් ඉන්දියාවට නැවේ ගිනි නිව්වට රු. මිලියන 890ක් විතර ගෙවන්න වෙලා.. මොකටද මෙහෙව් ඩීල් දාස වගේ පාලකයන්.. අත ගැහුවොත් ගේමක්..” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

එමෙන් ම මේ සඳහා “නැව් ගිනි නිවූ ඉන්දියාව සල්ලි ඉල්ලා ලියුමක් එවලා - විජයදාස රාජපක්ෂ” යන ශීර්ෂ පාඨයෙන් පළ වී තිබූ පුවත් ලිපියක් ද උපුටා දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන් ම මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරට ලක් වූ අවස්ථාවේ දී ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට රුපියල් මිලියන 890 ක් ගෙවීමට සිදු වී ඇතැයි අධිකරණ ඇමති ආචාර්ය වියජදාස රාජපක්ෂ මහතා සඳහන් කළ බව ද, එම පුවතේ දක්වා තිබුණා.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ උපුටා දක්වා තිබු පුවත් පත් වාර්තා සඳහා මුල් වී තිබුනේ පසුගිය 22 වන දා දෙරණ නාලිකාවේ 360 ′ කාලීන දේශපාලනෙ වැඩසටහනට සහභාගී වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පවසන්නේ, නිව් ඩයමන්ඩ් නෞකාවේ සහ එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිවීම සහ පරිසර හානිය වළක්වා ගැනීමට ඉන්දීය රුපියල් මිලියන 890ක් මුදල් ප්‍රමාණයක් ඉන්දියානු රජය විසින් ලිඛිත ව ලිපියකින් ඉල්ලා එවා ඇති බවයි.

එනම්, නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානිය වළක්වා ගැනීමට කටයුතු කළේ මූලික වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා රජයේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාව බවත්, පරිසර හානිය තවත් බරපතළ වීමට තිබූ හැකියාව වළක්වා ගැනීමට ඉන්දීය නාවික හමුදාව දුන් දායකත්වය සම්බන්ධයෙන් නිව් ඩයමන්ඩ් නෞකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 400ක් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ඉන්දීය රු.මි. 490ක ප්‍රමාණයක් ඉල්ලා ඇති බවයි.

https://youtu.be/0BwoSiwOcYg?t=722

කෙසේනමුත් ඉන්දියානු රජය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙනුවෙන් සිදුකර තිබූ ඉල්ලීම ද ලංකාව විසින් එම නැව සම්බන්ධයෙන් සිදුකරන හිමිකම් පෑමට ඇතුළත් කරන ලෙස නීතිපති තුමාට උපදෙස් දුන් බව ද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා පැහැදිලිවම පවසා තිබුණත් එම තොරතුරු පුවත් වාර්තාවන් හි ඇතුළත් නොවීම හේතුවෙන් ද මෙම මුදල ලංකා රජය විසින් සෘජුවම ඉන්දියානු රජය වෙත ලබාදිය යුතු ගෙවීමක් බවට බොහෝ දෙනෙක් උපකල්පනය කර තිබුණා.

ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කරුණු පැහැදිලි කිරීම

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසූවේ, 2020 සැප්තැම්බර් සහ 2021 මැයි-ජුනි මාසවලදී MT New Diamond සහ MV Xpress Pearl නෞකාවේ ඇති වූ ගිනිගැනීම් වලදී ලබා දුන් සහය සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් වන්දි/හානි ලබාදෙන ලෙසට නියම කර ඇති බවට යෝජනා කරන මාධ්‍ය වාර්තා අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

MT New Diamond සහ MV Xpress Pearl නෞකාවල ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා කඩිනම් සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශ්චිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රජය වහාම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ (ICG) නැව් යෙදවූ බවත්, මෙම නෞකා විසින් සිදු කරන ලද මෙහෙයුම් හේතුවෙන් ගිනි අනතුරු දෙකෙහි අන්තරායකර බලපෑම් මැඩපැවැත්වීමට සහ එමගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා සමුද්‍ර පරිසරයට වන හානිය සීමා කිරීමට උපකාරි වූ බවත්, එහි සඳහන් වේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ‘දූදූෂකයා ගෙවිය යුතුය’( Polluter Pay Principle) අනුකූලව, ඉන්දීය නැව් හරහා සිදු කරන ලද ගලවා ගැනීම් කටයුතු සහ අයිතම/ගබඩා සඳහා හිමිකම් පෑමක් සිදුකර ඇති බවත්, එම වන්දි මුදල්, ශ්‍රී ලංකා පාර්ශවයේ ද වන්දි ඉල්ලීම් සමඟ එක් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීම සිදුකර තිබු බවත්, එම පියවීම සහ ස්ථාපිත මාර්ග හරහා ලැබෙන වන්දි ප්‍රතිපූරණය කිරීම සඳහා රක්ෂණකරු/හිමිකරු වෙත මෙම වන්දි ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිවේදනයේ අවධාරණය කෙරේ.

එමෙන් ම ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් කිසිදු හානියක්/වන්දියක් ඉල්ලා නොමැති බවත් ඉන්දීය රජය වහාම නැව් යෙදවීම සිදු කළේ, 'අසල්වැසියා ප්‍රථමයෙන්' යන ප්‍රතිපත්තියට සහ සැමට ආරක්ෂාව සහ වර්ධනය (S.A.G.A.R) යන මූලධර්මයට අනුකූල බවත් ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එම සම්පුර්ණ නිවේදනය මෙතනින්. Archived

මේ සම්බන්ධයෙන් අප ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ද විමසීමක් කළ අතර ඔවුන් ද ඉහත කරුණු තහවුරු කරමින් පැහැදිලි කර සිටියේ ඉන්දියානු රජය විසින් මෙම නෞකා සම්බන්ධෙන් ඉල්ලීමේ දී පැහැදිලිවම පවසා තිබුණේ, ශ්‍රී ලංකා රජය මඟින් සිදුකරන වන්දි ඉල්ලීම් තුළට, ඉන්දියාවේ හිමිකම් පෑමේ කොටස ද ඇතුළත් කරමින්, වන්දි ප්‍රතිපුර්ණය කිරීම සඳහා අදාළ රක්ෂණකරු/හිමිකරු යන පාර්ශවය වෙත යොමුකරන ලෙස විනා, ශ්‍රී ලංකා රජයෙන් සෘජු ගෙවීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් නොවන බවයි.

2020 සැප්තැම්බර් මස සිදුවූ 'නිව් ඩයමන්ඩ්' නෞකාවේ ගිනි ගැනීම

බොරතෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහසක් හා ඩීසල් මෙට්‍රික් ටොන් එක්දහස් හත්සීයක් රැගෙන, පැනමා ධජය සහිත 'නිව් ඩයමන්ඩ්' නෞකාව කුවේට් හී මිනා අල් අහමදී වරායෙන් පිටත්වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් තිබියදී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමකට ලක් වූයේ 2020 වසරේ සැප්තැම්බර් 03 වන දායි.

නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක හටගත් පිපිරීමත් සමග මෙම ගින්නහට ගෙන තිබුණි. ගින්න පැතිරීමත් සමග නෞකාවේ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හැර ඉතිරි සියලු දෙනාම නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු කන්දයම්වලය හැකිවුණා.

සතියක් පමණ ලංකා මුහුදු තීරයේ ගිනිගත් මෙම නෞකාවේ ගින්න නිවීමේ කටයුතු සම්බන්ධයෙන්, රුපියල් මිලියන 442ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබාදීමට නෞකාවේ හිමිකාර සමාගම එකඟතාව පළකළ ද එමඟින් සිදුවූ පාරිසරික හානි පුර්ණය පිලිබඳ ඇස්තමේන්තුගත වන්දි මුදල් ප්‍රමාණය ලබාගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

2021 මැයි මස සිදුවූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ ඛේදවාචකය

2021 වසරේ මැයි 20 වනදා කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ X-Press Pearl නෞකාව පසුව මුහුදුබත් වන්නට පටන් ගත්තේ, මෙරට සමුද්‍රීය මෙන්ම වෙරළබඩ පරිසර පද්ධතියට ද දැඩි බලපෑම් ඇති කළ හැකි තෙල් හා රසායනික කාන්දුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කරමිනි.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ හටගත් ගින්න පාලනය කර කිරීමට සතියකට ත් වඩා වැඩි කාලයක් ගත විය. නෞකාවේ ගින්න වාර්තාවීමෙන් අනතුරුව පරීක්ෂා කිරීම් සඳහා නැව වෙත ගිය ගලවා ගැනීමේ කණ්ඩායම් නිර්දේශ කරනු ලැබුවේ, බලපෑම අවම කර ගැනීම සඳහා නැව ගැඹුරු මුහුදුට ගෙන යා යුතු බවටයි.

පසුව ගිනිගනිමින් තිබූ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට පියවර ගත්ත ද නැව ඇද ගන යා හැකි වූයේ, සැතපුම් 0.3 ක පමණ ඈතකට පමණි. මැයි 20 වනදා ගිනිගැනීම ආරම්භ වන විට නෞකාවේ තිබූ බහාලුම් 1486 අතර නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25 ක් ද ඇතුළු අන්තරායකර භාණ්ඩ සහිත බහාලුම් 81ක් ද තිබුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ අතිමහත් හානියට එරෙහිව විදේශීය රටකදී නඩු පවරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබුණා. අමාත්‍යවරයා පැවසුවේ, විදේශීය නීතිඥ ආයතන 2ක් ඒ සඳහා සම්බන්ධ කරගන්නා බවයි. ඒ සම්බන්ධ වාර්තාව මෙතනින්.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන් සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අදාළ නෞකා සමාගම් වලින් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ සම්බන්ධ වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් වන්දියක් ඉල්ලූ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් !

Written By: Pavithra Sandamali

Result: Explainer