නුවර දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව බෞද්ධයන් තුළ ඇත්තේ ඉමහත් භක්තියක්. දළදා වහන්සේ සතු හාස්කම් සහ බලය පිලිබඳ පුරාවෘත බොහොමයක් පවතින අතර ඇතැම් අවස්ථාවල දී දළදා වහන්සේ ඈදා ගනිමින් නොමඟ යවන සුළු සටහන් ද අපට දැක ගන්නට ලැබෙනවා. මේ එවන් සමාජ මාධ්‍ය ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් 

1921 දී රොබට් චාර්මස් නම් ආණ්ඩුකාරවරයෙක් ලංකාව පාලනය කරන ලද බව සහ මහනුවර සිටියදී එම ආණ්ඩුකාරවරයා දළදා වහන්සේ විනාශ කිරීමට 1921 වසරේදී උත්සාහ ගත් බවත්, එම අවස්ථාවේදී දින ගණනාවක් එක දිගට මොර සුරන වැසි නුවරට වැටි මහා ගංවතුර තත්වයක් ඇති වූ බවත්, මේ ආකාරයට දළදා වහන්සේ ආරක්ෂා වූ බවයි. එසේම 1921 වසරේ සිදුවූ එම සිදුවීමෙන් කම්පා වූ රොබට් චාර්මස් ආණ්ඩුකාරවරයා ලංකාවේ පිටවූ බවත් ඇතුළු විස්තරාත්මක සමාජ ජාලා සටහන් මෙතනින් | Archived

මෙම සටහන් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබු බවක් ද අපට දැකගන්නට ලැබුණා.

එසේම මෙම සටහන් වසර කිහිපයක සිටම හුවමාරු වී තිබු බව ද නිරීක්ෂණය වූ අතර 2020 වසරේ දී මෙම සටහන බ්ලොග් අඩවියක පළවී තිබුනේ මෙලෙසින් | Archived 2019 වසරේ දී මෙම විස්තරයම ලංකාදීප පුවත්පතේ පළවී තිබුනේ මෙලෙසින්. Archived එම කරුණු ඇතුළත්ව නිර්මාණය කර තිබු වීඩියෝවක් මෙතනින්

මේ හේතුවෙන් කාලයක් පුරා හුවමාරු වන මෙම සටහන් සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම විමසා බැලුවේ 1921 වකවානුවේ ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ජාතික ආණ්ඩුකාරවරයා කවුරුන්ද යන්නයි. එහිදී අපට දක්නට ලැබුණේ එවකට ලංකාව පාලනය කළා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුයේ, ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන රොබර්ට් චාම්ස් නොව, විලියම් හෙන්රි මැනින් නමැති ආණ්ඩුකාරවරයෙකු බවයි. කෙසේ වෙතත් මැනින් ආණ්ඩුකාරවරයා විසින් මේ ආකාරයට දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ කල බවට කිසිදු විශ්වාසනීය මුලාශ්‍රයක් නැහැ. 

අනෙත් වැදගත් කාරණය නම් මැනින් ආණ්ඩුකාරවරයා විසින් 1918-25 දක්වා ලංකාව පාලනය කර තිබෙන අතර මෙම සමාජ ජාලා සටහනේ දැක්වෙන ආකාරයෙන් 1921 දී ආණ්ඩුකාර පදවිය අත්හැර දමා සිය මවුරටට ගොස් නැහැ .ලංකාව පාලනය කල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු සහ ඔවුන්ගේ නිල කාල පිළිබද තොරතුරු මෙතනින්.

1921 වසරේ දී ලංකාවේ සිට ආණ්ඩුකාරවරයා රොබර්ට් චාම්ස් නොවේ!

Robert Chalmers ආණ්ඩුකාරවරයා ලංකාව පාලනය කර ඇත්තේ 1913-16 දක්වා කාල වකවානුවේදීයි. ඔහු විසින් මේ ආකාරයෙන් දළදා වහන්සේට විනාශ කිරීමට උත්සාහ කල බවට කිසිදු සදහනක් විස්වාසනීය මුලාශ්‍රවල නැහැ.

එසේම චාර්මස් ආණ්ඩුකාරවරයා ලංකාවට පැමිණීමට පෙර සිටම ප්‍රකටව සිටියේ, පාලි භාෂාව සහ බෞද්ධ දර්ශනය පිළිබඳව ප්‍රාමාණික විද්වතෙක් ලෙසයි. ඔහු ලංකාවට පැමිණි පසුවද බෞද්ධ දර්ශනය සහ පාලි බස සම්බන්ධ කටයුතුවලට සම්බන්ධව තිබෙනවා. ඔහු විසින් පාලියෙන් රචනා කර ඇති බොහෝ බෞද්ධ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට ද මුල් වී තිබෙනවා.

කෙසේනමුත්, අවාසනාවන්ත ලෙස, ඔහුගේ මෙම ශාස්ත්‍රීය පසුබිම ම, 1915 වසරේ ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම්කාරී තත්වයන් සමනය කිරීමට නුසුදුසු වූ අතර එම කැරලි මර්ධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගග හේතුවෙන්, චර්ම්ස් ආණ්ඩුකාරවරයා දැඩි විවේචනයට ලක්ව තිබෙන අතර ඔහුව නැවත බ්‍රිතාන්‍යයට කැඳවීමට ද එම හේතුව මුල් වී තිබුණා. Robert Chalmers ආණ්ඩුකාරවරයා සම්බන්ධ විස්තර මෙතනින්.  ඔහු පිලිබඳ තවත් පුවත් වාර්තාවක් මෙතනින්

එසේම 1921 යනු ඉතා ඈත අතීතයක් නොව, මීට වසර සියයකට පමණ පෙර,  20 වන සියවසේ මුල් භාගයයි. එම කාලයේ ලංකාවේ සිදුවූ බොහෝ වැදගත් සිදුවීම් පොත් පත්වල දක්වා ඇති අතර, එම කාලයේ දළදා වතුරක් පැමිණි බවට හෝ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා මේ ආකාරයට ප්‍රසිද්ධියේ දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ කල බවට  කිසිදු විස්වාසනීය මුලාශ්‍රයක සදහන් වන්නේ නැහැ. 

‘දළදා වතුර’ ලෙස විශාල ගංවතුර තත්වයක්, 1828 දී සිදුවූ බවට පැරණි වාර්තාවන්හි සඳහන් වී තිබෙනවා

1828 වසරේ දී පැවැත්වූ දළදා ප්‍රදර්ශනයකට සමගාමිව, ඒ වනවිට රටේ පැවති නියග සමයත් අවසන් කරමින්, විශාල ධාරාණිපාත වැසි පතිත වූ සිදුවීමක් ‘දළදා වතුර’ ලෙස  බොහෝ මුලාශ්‍රවල දැක්වෙනවා.

‘සිළුමිණ’ වෙබ් අඩවියේ ඒ පිලිබදව පොතකින් උපුටාගත් විස්තරයක් දක්වමින් වාර්තා කර තිබුනේ, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1815 වසරේදී කන්ද උඩරට පාලනය නතු ගැනීමෙන් අනතුරුව දළදා වහන්සේට සිදු කරන පුද පුජාවලට රාජ්‍ය අනුග්‍රහය නොදැක්වීම සහ වාර්ෂික දළදා පෙරහැර නොපැවැත්වීම නිසා රටට නියං සමයක් පැමිණි බවට බොහෝ දෙනා විශ්වාස කල බව සහ එම නිසා බ්‍රිතාන්‍ය පාලකයයන්ගේද අනුග්‍රහය ඇතිව දළදා ප්‍රදර්ශනයක් පවත්වා , පෙරහැර පැවැත්වීම නිසා මහ වැසි ඇදවැටී ,ගංවතුරක්ද ගලා නියං සමය අවසන්වූ බවයි. එම සටහන උපුටා ගත් පොත සහ මුලාශ්‍රය පිලිබදව සිළුමිණ වෙබ් අඩවියේ දැක්වෙන සටහන පහතින්.

“එක්දහස් අටසිය පහළොවේ ඉංග්‍රීසින්ට රට යටත්වූ අලුතම වාගේ මහත් නියංසායක් ඇති විය. සිංහල රජ දවස අසිරිමත්ව පැවැත්වූ දළදා පෙරහැර සිරිත් ප්‍රකාරව නොපවත්වා අවුරුදු දහ පහළොවක් ගතවූ විට ඇතිවූ මේ දැඩි නියඟයට හේතු සාධක වශයෙන් බෞද්ධයන් විසින් ඉංග්‍රීසින්ට චෝදනා කළේ පාරම්පරිකව පැවැත්වූ දළදා පුද සිරිත් වලට රාජානුග්‍රහය නොදැක්වීමය. ඇති වී තිබෙන නියඟය දුරුකර ගැනීමට අවශ්‍යව සිටි ඉංග්‍රීසිහුද ඒ සඳහා අවසරය ලබා දුන්හ. ඒ 1828 මැයි 29 දාට යෙදුන වෙසක් පොහෝ දිනයෙහි එම පූජෝත්සවය පවත්වන ලෙසය. ඉංග්‍රීසීහු වර්ෂ 1828 මැයි 29 බ්‍රහස්පතින්දා දන්ත ධාතූන් වහන්සේ මාළිගාවෙන් පිටතට වඩම්මවා මහනුවර වීදි ඔස්සේ පෙරහර කරවූහ.

පසුව මහජනතාවට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූහ. ඉන්පසු ලංකාවට එතෙක් තිබුණු දැඩි නියඟය තුරන්වී මහා ගංවතුරක් පවා ගැලූයේය. මේ දළදා පෙරහැර පිළිබඳ විස්තරයක් එම කටයුතු සංවිධානය පිළිබඳ ලේකම් මිටිය භාරව සිටි නිලමෙතුමා විසින් ඇසින්දුටු පරිදි එම දිනවලම ලියා තැබුවේය. එම ලේකම් මීටියකින් තමා වෙත ලැබුණු පත් ඉරු කීපයක සඳහන්ව තිබූ කරුණු ගළපා එම ප්‍රලේඛනය ස්වකීය “පුරාවෘත” නැමති ග්‍රන්ථයට ඇතුළත් කොට 1928 අගෝස්තු 31 දින එනම් ඊට සියවසකට පසුව දිවංගත ඩී.ඩී. රණසිංහ පාඨශාලාචාර්ය තුමන් කළ උදාර මෙහෙයට පින්සිදු වන්නට අද එම වටිනා ලියවිල්ල ඔබ හමුවට පැමිණවීම හැකියාව ලැබුණි.”

සිළුමිණ වෙබ් අඩවියේ ඇති ඉහත ලිපියට පිවිසිය හැකියි මෙතනින්. Archived

1828 වසරේ පැවති මෙම දළදා ප්‍රදර්ශනය අවස්ථාවේ නුවර දක්නට ලැබුණු අස්වාභාවික කාලගුණ තත්ත්වය සහ හදිසියේ පැමිණි වර්ෂාව සම්බන්ධයෙන් එකල ලංකාවේ කටයුතු කල සමහර බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් පසුකාලීනව රචනා කරන ලද ග්‍රන්ථවල ද දක්වා තිබෙනවා.1826-37 කාලය තුළ ලංකාවේ සේවය කරන ලද බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් වන මේජර් ජොනතන් ෆෝබ්ස් විසින් රචනා කරන Eleven Years in Ceylon නම් ග්‍රන්තයේද 1828 වසරේ පවත්වන ලද මෙම දළදා ප්‍රදර්ශනය සහ එම කාලසීමාව තුළ දක්නට ලැබුණු මෙම හදිසි දේශගුණ විපර්යාසය සහ මහ වැසි ඇතිවීම පිළිබද විස්තර දක්වා තිබෙනවා. එම පොත ඔබට  බාගත කරගත හැකියි මෙතනින්(මෙහි 296 වැනි පිටුව බලන්න ).

හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න

දිගු කාලයක් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවූ, හිටපු දියවඩන නිලමේවරයෙක් වන නෙරංජන් විජේරත්නගෙන්ද අප මේ පිලිබදව විමසා සිටියා.

රොබට් චාර්මර්ස් ආණ්ඩුකාරයා විසින් 1921 දී දළදා වහන්සේට හානි සිදුකිරීමට උත්සාහ කිරීම හා සම්බන්ධව සමාජ ජාලා වල සදහන්වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත්, එය ප්‍රබන්ධයක් පමණක් බවත් පවසමින් හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේ “ දළදා වතුර” නමින් හැදින්වෙන ප්‍රකට ගංවතුර තත්ත්වය ඇතිවී මහනුවර නගරය ජලයෙන් යටවීමේ ඉතිහාසගත සිදුවීම සිදුව ඇත්තේ 1828 වසරේදී බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් ඇති ඉතිහාසගත කරුණු සැකෙවින් අප හා පැවසුවා.

1815 දී අත්සන් තැබුණු උඩරට ගිවිසුමේ ඇති වගන්ති ප්‍රකාරව උඩරැටියන්ගේ අයිතීන් සහ ගෞරවය ආරක්ෂා වන ආකාරයට බ්‍රිතාන්‍යයන් කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා 1818 වසරේ උඩරට කැරැල්ල ඇතිව ඇති බව ඉතිහාස පොත්වල  සදහන්ව ඇති බව ඔහු පැවසුවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ කැරැල්ලෙන් පසුව ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ දළදා පෙරහැර වසර 10 ක් පමණ පවත්වා නොමැති බවත්, 1828 වසර වන විට රටේ දැඩි නියග තත්ත්වයක් ඇතිවී පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ , බ්‍රිතාන්‍ය පාලකයන්ගේද අනුග්‍රහය ඇතිව දළදා ප්‍රදර්ශනයක් සහ පෙරහැර පැවැත්වූ බවත්, එම දළදා ප්‍රදර්ශනය පැවැත්වූ දිනවල අධික වර්ෂාවක් ඇතිවී නියගය දුරුව ගිය බව මෙන්ම එම වර්ෂාව සමග නුවර නගරයට පැමිණි ගංවතුර , “දළදා වතුර” ලෙස ඉතිහාසයේ හදුන්වන බවත් හිටපු දියවඩන නිලමේවරයා පැවසුවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කළේ 1828 සිට මේ දක්වා අඛණ්ඩව දළදා පෙරහැර පැවැත්වෙන බවට දළදා පෙරහැර සම්බන්ධ ඉතිහාසගත මුලාශ්‍ර පරිශීලනය කිරීමෙන් තමන් දැනගත් බවයි. කෙසේ වෙතත් 1989 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල සමයේ දළදා පෙරහැර පැවැත්වීමටද බාධා පැමිණි බවත් ඔහු පැවසුවා.

මහනුවර ප්‍රදේශයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් සහ දළදා ඉතිහාසය සම්බන්ධයෙන් යම් යම් සොයා බැලීම් සිදුකර ඇති අසේල කුරුළුවංශ ද අප සමග පැවසුවේ  1921 දී “දළදා වතුරක් “පැමිණි බවට සහ ඒ හා සම්බන්ධවන සමාජ ජාලාවල පැතිරෙන චාර්මර්ස් ආණ්ඩුකාරයා හා සම්බන්ධ සිදුවීමද සත්‍යයෙන් තොර බවය. 1921 දී නුවරට මහා පරිමාණ ජල ගැලීමක් සිදුව නොමැති බවත් ඒ පිලිබඳ කිසිඳු වාර්තාවක් නොමැති බවත් ඔහු පැවසුවා. එමෙන්ම “දළදා වතුර” නම් ඉතිහාසගත සිදුවීම සිදුව ඇත්තේ 1828 වසරේ බව පැවසූ ඔහු හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න පැවසූ අදහස්වලට සමාන අදහස් දැක්වීමක් සිදුකළා. එමෙන්ම ඔහු තවදුරටත් පැවසුවේ 19 වන සියවසේ අග භාගය වන විට බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා දළදා වහන්සේගේ පැවැත්ම සහ වැදගත්බව පිළිගෙන තිබුණු නිසා 20 වන සියවසේ මුල් බාගයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙක් විසින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ කල බවට වන කතාවෙහි කිසිදු තාර්කික පදනමක්ද නොමැති බවයි.

මෙම සමාජ ජාලා සටහනේ ඇති  සේයාරුව පිළිබදවද අප විමසා බැලූ අතර එහි නිශ්චිත මූලාශ්‍රය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ අතර ඒ  සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අර්ථකතන ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් වඩාත් ප්‍රකට මතය නම් මෙම සේයාරුව 1947 වසරේ නුවරට ගැලු ගංවතුරක් අවස්ථාවේ ගන්නා ලද එකක් බවයි. 1947 සහ 1957 වසර වලදී මහනුවර ප්‍රදේශයට ද බලාපාන පරිදි දැඩි ගංවතුර තත්වයන් ඇතිව තිබෙන අතර ඒ තොරතුරු ද ඇතුළත් ලිපියක් මෙතනින් 

මේ පිළිබද වැඩිදුර තොරතුරු අප දළදා මාලිගාවේ මාධ්‍ය අංශයෙන්ද විමසු අතර ඔවුන්ගේ ප්‍රතිචාර මත මෙම ලිපිය යාවත්කාලීන වනු ඇත.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වූවේ “දළදා වතුර” ලෙස හදුන්වන සුප්‍රකට ගංවතුර තත්ත්වය ශ්‍රී ලංකාවේ ඇතිවු බවට මුලාශ්‍ර රැසක දැක්වෙන්නේ 1828 වසරේදී බවයි. ඒ කලකට පසු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ ද රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වූ දළදා ප්‍රදර්ශනයක් සහ පෙරහැරට සමගාමීවයි.

1921 දී දළදා වතුරක් ඇතිවූ බව සහ චාර්මර්ස් නම් ආණ්ඩුකාරවරයෙක් විසින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ කළ බවට වන සටහන් අසත්‍ය සහ නොමගයවන සුලු වන අතර එවැනි සිදුවීමක් වූ බවට තහවුරු කිරීමට කිසිදු විශ්වාසනීය සාක්ෂියක් නොමැත. එසේම 1921 වන විට ලංකාවේ ආන්දුකාරවරයාව සිටියේ ද රොබර්ට් චාම්ස් ආණ්ඩුකාරවරයා නොවේ.

Avatar

Title:1921 දී “දළදා වතුර” නමින් නුවරට ගැලු මහා ගංවතුරක් පිලිබඳ සමාජ ජාලා සටහන් සාවද්‍යයි!

Written By: Kalana Krishantha

Result: False