දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිපලයන් පිලිබදව පණිවුඩ, මේ දිනවල නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙනවා. මීට පෙරද කෝවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළවුනත් මෙවර අපට අසන්නට ලැබෙන්නේ වෙනස්ම පුවතක්. එනම් දැන් මියයන පුද්ගලයන්ගේ මල සිරුරු වල අද්භූත ලේ කැටි හමු වන බවයි. එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන්:

ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවක හුවමාරුවූ පණිවිඩයක සඳහන් වුණේ, “රටපුරාම එම්බාම් කරන පුද්ගලයට දිගු තන්තු වැනි විශාල ලේ කැටිති මල සිරුරු වල දක්නට ලැබෙන බවයි.” එම සමාජ මාධ්‍ය සටහන් පහතින්.

Facebook | Archived 

තවත් ෆේස්බුක් පරිශීලකයෙකු අද්භූත ලේ කැටිති යන තේමාව ඔස්සේ, නව රෝගයක් හදුනාගෙන ඇති බව මෙසේ වාර්තා කලා. 

Facebook | Archived 

“ඉදිරියට ලේ කැටි ගැහිලා මොලේ හෝ හදවතෙහි හිර වෙලා මැරුණ ගාන වැඩි වෙයි හැමෝම හිතන්නේ කොරෝනා කියලා ඒ ලෙඩේ හඳුනගන්න විද්‍යාඥයෝ  තවම හිතලවත් නැහැ” යනුවෙන් ෆේස්බුක් පණිවිඩ හුවමාරු වුණා. එමෙන්ම ෆේස්බුක් පරිශීලකයින් ද, මෙම පලකිරීම් සඳහා ප්‍රතිචාර දක්වා තිබුණේ පහත අයුරින්. 

මේ ආකාරයට මෙයට ප්‍රතිචාර දැක්වූවන් කියා සිටියේ මෙය කොවිඩ් සදහා ලබා දුන් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් බවයි. 

මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා .

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප මුලින්ම සොයා බැලුවේ මෙම සමාජ ජාලා සටහන්වල දැක්වෙන පුවත් වාර්තා සහ ඒ සම්බන්ධව ඇති තොරතුරුයි.මෙහි එක සටහනක දැක්වෙන සේයාරුවේ ඇත්තේ NTD නම් ඇමෙරිකාවේ නිව්යෝක් කේන්ද්‍ර කරගත් පුවත් සේවයක විකාශයවූ පුවතක් බව අපට දැකගන්නට ලැබුණා.ඒ සම්බන්ධ ටික් ටොක් වීඩියෝවක් පළව තිබුණේ පහත අයුරින් .

https://www.tiktok.com/@standingwhitebuffalo/video/7216133006652607750

ඉන් අනතුරුව අප NTD නිල වෙබ් අඩවිය වෙත ගොස් මෙහි සඳහන් පුවත ඇතුලත් වීඩියෝව සම්පුර්ණ නැරබුවා. ඒ වෙත ඔබටත් පිවිසිය හැකියි මෙතනින්. එය 2022 සැප්තැම්බරයේ අන්තර්ජාලයට එක්කර තිබුණු වීඩියෝවක් වන අතර ඔවුන් රටපුරාම හෙවත් අමෙරිකාව පුරාම සිටින මල සිරුරු එම්බාම් කරන පුද්ගලයන් විසින් මරණයට පත්වන පුද්ගලයන්ගේ රුධිරයේ ලේ කැටිති ඇති බව පවසන්නේ Epoch Times නම් වෙබ් අඩවියක ඇති පුවතක් පාදක කර ගනිමින්. මෙම Epoch Times වෙබ් අඩවිය මගින් වැරදි තොරතුරු දිගින් දිගටම ප්‍රචාරය කිරීම නිසා ෆේස්බුක් සමාජ ජාලා අඩවිය තුළ ඔවුන්ගේ දැන්වීම් ප්‍රචාරණ කටයුතු පවා තහනමට පවා ලක්ව ඇති වෙබ් අඩවියක්. ඒ සම්බන්ධ විස්තර මෙතනින්

ඊට අමතරව NTD පුවත්සේවය විසින් මෙම පුවත ප්‍රචාරණය කිරීමේදී , තවත් සාධකයක් ලෙස ගන්නේ රිචර්ඩ් හර්ස්මන් නම් මල සිරුරු එම්බාම් කරන පුද්ගලයෙක් හා පවත්වන සාකච්ඡාවක් .  ඔහු තමන් එම්බාම් කරන පුද්ගලයන් සැලකිය යුතු ප්‍රතිශතයක රුධිරයේ කැටි තිබෙන බව පවසන අතර ,එම රුධිර කැටි/දිගු තන්තුමය ද්‍රව්‍ය බව සදහන් කරන පරීක්ෂණ නල තුළ ඇති යම් ද්‍රව්‍යයක්ද වීඩියෝව අතර දැකගත හැකියි. එමෙන්ම ඔහු විසින් පවසන තවත් කාරණයක් වන්නේ මෙම රුධිර කැටි ඇතිවීම සදහා කොවිඩ්-19  එන්නත්කරණයේ බලපෑමක් ඇති බවට විශ්වාස කරන බවයි. මෙම වීඩියෝව අතරතුර එයද දැක්වෙනවා.

කෙසේ වෙතත් සිරුරු එම්බාම් කිරීම සහ අවමංගල්‍ය කටයතු සදහා දේහයන් සකසන බොහෝ පළපුරුදු සහ වෘත්තීය දේශකවරියක් වන මොනිකා ටොරස් ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ මල සිරුර ශීතකරණවල බහා දිගු කලක් තිබීමේදී ඒවායේ රුධිර කැටි ඇතිවීම සාමාන්‍ය දෙයක් සහ එය විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නොවන බවයි.

සනාල වෛද්‍ය විද්‍යාව පිළිබද ප්‍රංශ සංගමයේ සභාපති මාරි ඇන්තොනයිත් , ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ අදාළ විඩියෝවේ දැක්වෙන තන්තු රුධිර කැටිද වෙනත් ද්‍රව්‍ය ද යන්න හදුනාගැනීම අපහසු බවයි. එමෙන්ම වැඩිදුරටත් ඇ පවසන්නේ එම්බාම් කිරීමේදී එතරම් සිරුර ගැඹුරට සිරුර විච්චේදනය නොකරන නිසා මෙතරම් දිගු තන්තු හසුවනු ඇති බවට විශ්වාස කිරීම අපහසු බවයි.

එසේම ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි Vall d’Hebron University රෝහලේ කායික රෝග විශේෂඥවරියක් වන Irene Sansano පවසන්නේ රිචර්ඩ් හර්ස්මන් සොයා ගන්නා ලද කැටි ගැසීම් තමාට රෝහලේ රුධිර කැටි ගැසීමේ මරණ පරීක්‍ෂණවලදී නිරන්තරයෙන් සොයා ගන්නා ඒවාට වඩා විශාල වෙනසක් නොපෙන්වන බවයි. එසේම මිය ගිය පුද්ගලයින් අතර thromboembolism (රුධිර කැටි ගැසීම්) නිතර දැකගන්නට ලැබෙන බවත් ප්‍රධාන වශයෙන් තරබාරුකම, වාඩි වී සිටීම, දුම්පානය සහ මෙන්ම COVID-19 නිසා ද මෙම තත්වය ඇතිවිය හැකි බවත් ඇය පවසනවා.

මොකක්ද මේ රුධිර කැටි ගැසීම කියන්නේ 

රුධිර කැටි ගැසීම හෝ කැටි ගැසීම (Blood clotting, or coagulation) යනු රුධිර නාලයකට තුවාල වූ විට අධික රුධිර වහනය වළක්වන වැදගත් ක්‍රියාවලියකි.

පට්ටිකා (platelets, රුධිර සෛල වර්ගයක්) සහ ඔබේ ප්ලාස්මාවේ ඇති ප්‍රෝටීන (plasma protein) තුවාලයක් මත කැටියක් සෑදීමෙන් ලේ ගැලීම නැවැත්වීමට එකට ක්‍රියා කරයි. සාමාන්‍යයෙන්, තුවාලය සුව වූ පසු ශරීරයේ ස්වභාවිකවම රුධිර කැටිය විසුරුවා හරිනු ලබනවා.

වැඩි විස්තර මෙතනින්   හා  මෙතනින් 

කොරෝනා එන්නත් නිසා රුධිර කැටි ඇතිවෙනවාද ? 

අප මෙම සිද්ධිය පිළිබදව තොරතුරු දන ගැනීම සදහා ජාතික බෝවන රෝග ආයතනයේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාව සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු පැවසුවේ, “මෙවැනි රුධිර කැටි හමුවනුයේ හෘදයාබාධයන් නිසා මිය ගිය පුද්ගලයන්ගේ විය හැකි බවයි. කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ මෙලෙස රුධිර කැටි හමුවීමක් ඔවුන්ට වාර්තා නොවූ බව ඔහු කියා සිටියා.”   

අප මේ සම්බන්ධව ඇති ජාත්‍යන්තරයේ අදහස් කෙරෙහිත් අවධානය යොමු කලා.

මෙම රුධිර කැටි සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය වල මීට පෙරත් වාර්තා කර තිබුණා. එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ උපදේශක ව්‍යාධි විද්‍යාඥයෙකු සහ ජ්‍යෙෂ්ඨ සායනික කථිකාචාර්ය වන ඩේවිඩ් ඩෝවර්ඩ්ගේ අදහස අප සලකා බැලුවා. ඔහු පැවසුවේ “සාමාන්‍යයෙන් රුධිරය කැටි ගැසීමට හේතුව කුමක්දැයි එක විටම පැවසිමට නොහැකි බවයි. "උදාහරණයක් ලෙස, විශාල ශල්‍යකර්මයකින් පසු දිගු කාලීන ඇඳ විවේකයෙන් පසුවන රෝගියකුගේ සිරුරේ ඇතිවන රුධිර කැටි ගැසීම් හා සසඳන විට කොවිඩ් ආසාදනය හේතුවෙන් රුධිර කැටි ගැසුණු රෝගියකුගේ රුධිර කැටියක් බොහෝ දුරට සමාන වනු ඇති බවයි." වැඩි විස්තර මෙතනින්.

සමහර සමාජ ජාලා පරිශීලකයන්  මෙම රුධිර කැටි ඇතිවීමේ තත්වය කොවිඩ් සදහා ලබා දුන් එන්නතෙහි  අඩංගු අහිතකර සංඝටක නිසා සිදු වූ බවද පවසා තිබුණා. 

Also Read: ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

ඒ අනුව බොහෝ චෝදනා එල්ල වුයේ ෆයිසර් එන්නතටයි. එනිසා අපි ෆයිසර් එන්නතෙහි ආරක්ෂිතබවය පිලිබදව සොයා බැලිමට තිරණය කලා.

එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව (GACVS), ආරක්ෂිත එන්නත් භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ සහ ස්වාධීන මඟ පෙන්වීමක් සපයන විශේෂඥයින් කණ්ඩායමකින් යුත් කමිටුවක් ලෙස හදුන්වා දිය හැකියි. මේ කමිටුවේ නිගමනය වන්නේෆයිසර් ද ඇතුළු mRNA COVID-19 එන්නත් මගින් COVID-19 හේතුවෙන් රෝහල්ගතවීම් සහ මරණ අවම කිරීම සඳහා පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි. එසේම, සියලුම වයස් කාණ්ඩ සඳහා පැහැදිලි ප්‍රතිලාභ mRNA COVID-19 එන්නත් මගින් ලබා දෙන බවයි. වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න.

එසේම ෆයිසර් එන්නතේ ඉතා දුර්ලභ බරපතල අහිතකර සිදුවීමක් පිලිබදව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර තිබෙනවා. එය මයෝකාඩයිටිස් ලෙස හදුන්වන අතර එය ප්‍රධාන වශයෙන් දෙවන මාත්‍රාවෙන් පසු වයස අවුරුදු 18-35 අතර තරුණ පිරිමින් තුළ දක්නට ලැබෙන බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම myocarditis අවස්ථා සාමාන්‍යයෙන් එන්නත ලබා දීමෙන් පසු දින කිහිපයක් ඇතුළත සිදු වන බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනවා. ඒ පිළිබද විස්තර මෙතනින්.

Health University of UTAH COVID-19 ආශ්‍රිතව රුධිර කැටි ගැසීමේ අවධානම සම්බන්ධව සිදුකල පරීක්ෂණය අප මිලගට බලමු.

ඔවුන් පෙන්වා දෙන්නේ Moderna හෝ Pfizer-BioNTech mRNA එන්නත් සම්බන්ධව සිදුකළ බොහොමයක් අධ්‍යයනවලදී රුධිර කැටි ගැසීමේ අවදානම වැඩි කරන බව පෙන්වා දී නොමැති බවයි. එසේම Health University of UTAH, COVID-19 ආසාදනයේ ප්‍රතිඵලයක් ලෙස රුධිර කැටි ගැසීමේ අවදානමක් ඇති පුද්ගලයන් කාණ්ඩ ගත කර තිබෙනවා. ඒ අනුව කොවිඩ් එන්නත් නිසා රුධිර කැටි ගැසීමේ කාණ්ඩයට ඇතුළත් වන්නේ:

  • රුධිර කැටි ගැසීම් හෝ පාරම්පරික රුධිර කැටි ගැසීමේ ආබාධයක් පිළිබඳ පූර්ව වෛද්ය ඉතිහාසයක් තිබේන පුද්ගලයන්
  • ශ්වසන අපහසුතා සහිත, දරුණු COVID-19 රෝගයක් තිබෙන දැඩි සත්කාර වල ප්‍රතිකාර ලබන පුද්ගලයින්
  • අධි රුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුකම හෝ පිළිකා වැනි යටින් පවතින රෝග තිබේන පුද්ගලයන්

කෙසේ වෙතත්, AstraZeneca COVID-19 එන්නත හා පසුව Johnson & Johnson COVID-19 එන්නත සම්බන්ධව ඉතා දුර්ලභ සිදු විඉම් කිහිපයක් වාර්තා වන බවයි ඔවුන් පවසා සිටින්නේ. කලාතුරකින්, මිලියනයකට 2 සිට 20 දක්වා, එන්නතෙහි අතුරු ආබාධයක් ලෙස ශරීරය නිපදවන ප්‍රතිදේහ පට්ටිකා පාලනයකින් තොරව සක්‍රීය වීම සිදු වන බවයි එයින් කියවෙන්නේ. මෙය රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම සහ රුධිර කැටි ගැසීම් යන දෙකටම හේතු වනවා. නමුත් මෙය ඉතාම කලාතුරකින් සිදු වන දෙයක් බව අවදාරණයෙන් කිව යුතුයි. වැඩි විස්තර මෙතනින්.

Also Read: COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

Factcrescendo අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ, රුධිර කැටි ගැසීමේ තත්වයන් හෘදයාබාධ වැනි තත්ත්වවලදී හට ගන්නා අතර එය වෙනත් භයානක ලෙඩක් හෝ එන්නතෙහි බලපෑමක් නිසා සිදු නොවූ බවයි.

COVID-19 ආසාදනය වීම ඔස්සේ රුධිර කැටි ගැසීමේ යම් සම්භාවිතාවක් තිබුණ ද, COVID-19 එන්නත් මගින් දරුණු COVID-19 තත්වයන සහ ඒ හා සම්බන්ධ හෘද වාහිනී සංකූලතා ඇතිවීම අවම කරනවා. එමෙන්ම, ඉතාම දුලභ ලෙස වාර්තා වී ඇති සිදුවීම් අතලොස්සක් හැරුනුකොට, කොවිඩ් එන්නත්කරණයෙන් රුධිර කැටිගැසීම් ඇතිවන බවට විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් නොමැත.

එමෙන්ම මෙම පුවත ඇමෙරිකාවේ NTD නාලිකාවේ පළ කිරීමට යොදාගන්නා ලද මුලාශ්‍රය වන Epoch Times වෙබ් අඩවිය ,වැරදි තොරතුරු ජනගත කිරීම නිසා අසාධු ලේඛන ගත කර වාරණයට ලක්කර ඇති වෙබ් අඩවියකි.

Avatar

Title:කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

Written By: Fact Crescendo Team

Result: Misleading