දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සුළං ඔස්සේ බලශක්තිය නිපදවීම මේ වන විට වඩාත් ජනප්‍රිය සහ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද අතරින් එකක්. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් විසින් සුළං බලාගාර සහ සමස්ත සුළං බලශක්ති උත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා. මෙලෙස ප්‍රශ්න කරන්නන් අතර ප්‍රධාන කොටසක් වන්නේ දේශගුණික විපර්‍යාස ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් වීම විශේෂත්වයක්.

මෙවැනි අදහස් අතුරින් එක් ප්‍රකාශයක් මෑතකදී ප්‍රචලිත වුණා. එහිදී කියවුණේ, සුළං ටර්බයිනයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී වැය වන ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, සුළං ටර්බයිනයක් මඟින් පුරා වසර හතරක් බලශක්තිය උත්පාදනය කළ යුතු බවයි. මෙම කරුණ පිළිබඳව තොරතුරු අප විසින් විමසා බැලුණා.

සමාජ මාධ්‍ය පලකිරීම්

සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කරන්නේ සුළං ටර්බයිනයක් නිෂ්පාදනය කිරීමේදී වැයවන ශක්තිය ප්‍රතිස්ථාපනය සඳහා සුළං ටර්බයිනයකින් වසර හතරක් නිපදවෙන ශක්තිය අවශ්‍ය වන අතර, බොහෝ සුළං ටර්බයිනවල පැවැත්ම වසර 3-7 දක්වා කාලයක් පමණක් සීමා වෙන බවයි.

තවදුරටත් මෙම පලකිරීම්වල සඳහන් වන්නේ, සාමාන්‍යයෙන් සුළං ටර්බයිනයක් ක්‍රියාත්මක කරන කාලයේදී ඊට ලිහිසි තෙල් ගැලුම් 60ක් පමණ අවශ්‍ය වන බවයි. ලිහිසි තෙල් යනු ෆොසිල ඉන්ධන විශේෂයක් වන අතර, මෙම පලකිරීම්වලින් මතු කිරීමට උත්සහ කර තිබුනේ, සුළඟ පුනර්ජනනීය ශක්ති මූලාශ්‍රයක් වුවත්, එය ශක්තිය බවට පරිවර්තන කිරීමේදී සිදුවන පරිසර හානිය දරුණු බවයි.

Facebook | Archived

මේ පිළිබඳව කරුණු විමර්ෂණය කර සත්‍ය සොයාබැලීම සඳහා අපි කටයුතු කළා.

කරුණු විමසා බැලීම 

අපි පළමුවෙන්ම විමසා බැලුවේ සුළං ටර්බයිනයක නිෂ්පාදන ක්‍රියාවලියකදී කොපමණ බලශක්ති භාවිතයක් සිදු වනවාද යන්න සහ එම ශක්තිය නැවත ලබාගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇතිද යන්න පිලිබඳ සිදුකර තිබු පර්යේෂණ වෙතටයි.

පර්‍යේෂණ අධ්‍යනයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට අනුව, නවීන සුළං ටර්බයින නිෂ්පාදන ක්‍රියාවලියේදී වැය වන ශක්තිය මාස කිහිපයක් තුළ නැවත නිපදවාගැනීමට පුළුවන්. ඒ සඳහා වසර ගණනාවක් වැනි දිගු කාලයක් බලා සිටීම අවශ්‍ය වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් සුළං ටර්බයින නිෂ්පාදනයේ පියවර කිහිපයක් තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කැණීම් කර, පසුව එම අමුද්‍රව්‍ය කුළුණු සහ රොටර් කොටස් බවට පරිවර්තනය කිරීම මුලින්ම සිදුවනවා. මෙසේ නිෂ්පාදිත ටර්බයින කොටස් නැව්ගත කිරීම ඔස්සේ බෙදා හැරීම අවසන් පියවර ලෙස සිදු වෙනවා.

“සුළං ටර්බයිනවලට වසරක් පමණ ඇතුළත ශුද්ධ ධනාත්මක බලශක්ති නැවත උත්පාදනයක් තිබෙනවා.” කැලිෆෝනියාවේ, ස්ටෑන්ඩ්ෆෝර්හි Carnegie Institution of Scienceහි ගෝලීය පරිසර විද්‍යාව පිළිබඳව ජ්‍යේෂ්ඨ විද්‍යාඥ කෙන් කැල්ඩෙරියා PolitiFact වෙත අදහස් දක්වමින් පැවසුවා. ඊට අදාල ලිපිය මෙතනින්.

මේ පිළිබඳව සම-සමාලෝචනය කරන ලද ඇතැම් පර්‍යේෂන පත්‍රිකා පවසන්නේ ඉතා ඉක්මනින් ශක්තිය නැවත ලබා ගැනීමට සුළං ටර්බයින සමත් බවයි.

බ්‍රසීලියානු පර්‍යේෂකයින් කණ්ඩායමක් 2022 දී පෙන්වා දුන්නේ ද සුළං ටර්බයිනවලට මාස 6ක් තුළදී නිෂ්පාදනයට වැය වූ සම්පූර්ණ ශක්තිය නැවත ලබා ගත හැකි බවයි. ඊට අදාල ලිපිය මෙතනින්.

එමෙන්ම යුරෝපීය පර්‍යේෂකයින් කණ්ඩායමක් විසින් 2019දී කළ සමීක්ෂණයකට අනුව, ඒවා මාස 4ක් හෝ 6ක් ඇතුළත වැය වූ ශක්තිය නැවත රැස් කරගැනීමට සමත් බව සොයා ගත්තා. එම පරියේෂණය සම්බන්ධ ලිපිය මෙතනින්.

2017 වසරේ තායිවාන පර්‍යේෂකයින් සොයා ගත්තේ බලශක්තිය නැවත උපයා ගැනීමේ කාලය උපරිම වශයෙන් මාස 13 සිට 14 දක්වා කාලයක් විය හැකි බවයි. අදාල ලිපිය මෙතනින්.

මෙම බොහෝ පර්‍යේෂන සහ සමීක්ෂණයන්ට අනුව, ශක්තිය නැවත ලබා ගැනීම සඳහා සුළං ටර්බයිනවලට වසර 4ක් ගත නොවන බව පැහැදිළියි.

ලිහිසිකරණය - ෆොසිල ඉන්ධන භාවිතය

සමාජ මාධ්‍ය පලකිරීම් ඔස්සේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය විවේචනයට ලක්කර තිබුණා. මෙහිදී සුළං ටර්බයින සඳහා ලිහිසි කිරීම සඳහා ලිහිසිකාරකය වශයෙන් ෆොසිල ඉන්ධන භාවිතා කරන බවත්, මෙහිදී දැවැන්ත කාන්දු වීම් පවා සිදුවන බවත් පවසා තිබුණා. මෙම තත්වය සත්‍යක් වුවත්, ඊට අදාල ඇතැම් කරුණු මෙහිදී නොසලකා හැර තිබුණා.

ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ යාන්ත්‍රික ඉන්ජිනේරු පර්‍යේෂකයෙකු වන ජෙරොන් වෑන් ඩෑම්, USA TODAY කරුණු පිරික්සුම් කණ්ඩායමට විද්‍යුත් තැපැල් මාර්ගයෙන් දැනුම් දෙමින් ප්‍රකාශ කළේ ලිහීසිකරණය සඳහා ෆොසිල ඉන්ධන යොදාගැනුනත්, එම තෙල් පිළිස්සීමට ලක් නොවන බවයි. සාමාන්‍යයෙන් වසර 5කට පමණ වරක් මෙම නොපිළිස්සුණු තෙල් ප්‍රතිචක්‍රීකරණය කරන බවත් ඔහු වැඩි දුර අදහස් දක්වමින් පවසා තිබුණා. තෙල් කාන්දු වීම් පිළිබඳව ඔහු පවසා තිබුණේ මෙම තෙල් කාන්දු වී වැටෙන විට, ඒවා බිමට වැටීමට පෙර එකතු කර ගැනීම සඳහා කටයුතු කරන බවයි. එම කාන්දු වූ තෙල් එවිට නැවත ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට පුළුවන්. USA TODAY හි මේ පිළිබඳව පළවූ වූ ලිපිය මෙතනින්. Archived

තවද සමාජ මාධ්‍ය පලකිරීම්වල සුළං ටර්බයින බ්ලේඩ් වසර 3-7ක් පමණ කාලයක් පමණක් පැවැත්මක් ඇති බව සඳහන් වුණා. නමුත් එය ද සත්‍යක් නොවෙයි. බොහෝ සුළං ටර්බයිනවල බ්ලේඩ් වසර 20-25ක පමණ කල්පැවැත්මක් සහිතයි. මේ පිළිබඳව වැඩි තොරතුරු මෙතනින් සහ මෙතනින්.

මේ පිළිබඳව ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගාරයේ ඉන්ජිනේරුවරයෙකු වන මාර්ක් බොලින්ගර් Newswise වෙත අදහස් පලකළා.

“නිසි නඩත්තුවක් සහිතව, සුළං ටර්බයින වසර 20ක් හෝ ඊට වැඩි කාලයක් ක්‍රියා කිරීමට බලාපොරොත්තුවෙන් නිෂ්පාදනය කළ යුතුයි. (මේ දිනවල කර්මාණ්ත ප්‍රක්ෂේපණය්න්ට අනුව වසර 30ක් පමණ) මෙයින් අදහස් වන්නේ ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සුළං ටර්බයින ඔවුන්ගේ නිෂ්පාදනය සඳහා වැය වූ බලශක්ති ණය බොහෝ වාරයක් වැඩියෙක් ගෙවන බවයි.” Newswise ලිපිය මෙතනින් කියවන්න.

තවද සුළං ටර්බයින භාවිතයෙන් පසුව ඉවත් කර බිම ගොඩ කිරීම සිදු කරනවා. කෙසේ වෙතත්, මෙම ටර්බයිනවල තල ප්‍රතිචක්‍රීකරණය කිරීමට පුළුවන්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙම තල ප්‍රතිචක්‍රීකරණය සඳහා පියවර ගන්නා බවට ප්‍රතිඥා දී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්. Archived

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ෂණයෙන් සොයා ගැනුනේ සුළං ටර්බයින නිෂ්පාදනයේදී වැයවන බලශක්තිය මාස කිහිපයක් තුළ නැවත ජනනය කරගත හැකි බව බොහෝ පර්යේෂණවලට පෙන්වා දිය හැකි අතර, ඒ සඳහා වසර 4ක කාලයක් ගතවන්නේ නැති බවයි.

සුළං ටර්බයින නිෂ්පාදනයේ දී ලිහිසි තෙල් සඳහා ෆොසිල ඉන්ධන භාවිතය සත්‍ය තත්ත්වයක් වුවත්, එම තෙල් ප්‍රතිචක්‍රීකරණය කරන නිසා හානිය අඩුයි. ලිහිසි තෙල්වල කාන්දු වීම් සිදුවුණත්, බිම වැටෙන්නට පෙර එම කාන්දුවන තෙල් එකතු කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

තවද ටර්බයින සහ ඒවාගේ තලවල පැවැත්ම අවුරුදු 3-7 අතර කාලයක් නොව අවුරුදු 20-25ත් අතර කාලයක් වෙනවා. මෙම ටර්බයින භාවිතයෙන් පසු බිම ගොඩ කිරීමෙන් ඉවත් කෙරුණත්, තල ප්‍රතිචක්‍රීකරණය සඳහා ක්‍රම පවතින නිසා ඒවා බිම් ගොඩකිරීම් ඔස්සේ පරිසරයට අනිවාර්‍යෙන්ම එකතු වීමක් සිදු වන්නේ නැහැ.

Avatar

Title:සුළං ටර්බයින නිෂ්පාදනය කිරීමේදී පරිභෝජනය වන ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුළං ටර්බයිනයක් වසර හතරක් මුළුල්ලේ ශක්තිය ජනනය කල යුතු ද?

Written By: Fact Crescendo Team

Result: False