දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

2019 වසරේ අග භාගයේදී සැළකිය යුතු ප්‍රමාණයක මිනිස් ජීවිතය අහිමි කරමින්, ලොව පුරා හදිසි තත්ත්වයක් ද ඇති කරමින් කොවිඩ් වසංගතය පැතිරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් ව කොවිඩ් වෛරසය ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කඩිනමින් එන්නත් කරණය වැඩපිළිවෙළ ලොව පුරා දියත් කෙරු‍ණේ, කොවිඩ් වසංගතය පාලනය කරමින්. මේ අතර මෙම එන්නත් සම්බන්ධයෙන් හා ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශයන් සමාජයේ මුල් බැස ගනිද්දි, “කුමක් කරන්නත් ප්‍රථමයෙන් ජීවිත් විය යුතුයි” යන්න පෙරදැරි කොටගෙන ලොව සැලකියයුතු ප්‍රමාණයක් මෙම එන්නත් ලබා ගත්තා. මේ අතර සමාජයේ වරින් වර මෙම එන්නත් සම්බන්ධයෙන් නොයෙකුත් මත ඉදිරිපත් වෙද්දී, මේ දිනවල ද, මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර බහුලව සංසරණය වූ සටහනක් වෙත අපගේ අවධානය යොමු වූ අතර මේ FactCrescendo අප ඒ පිළිබඳව සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමක්.

සමාජ මාධ්‍ය සටහන් :

“කවුරුත් නොකීවා ට.. කාටත් නොදැනුනාට ගහපු බෙහෙත් තුනේ භයානක ප්‍රතිපල මිනිසුන් අත් විදිමින් සිටි”  යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා. 

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මෙහි එන්නත් කළ බෙහෙත් වර්ගය හෝ එන්නත් කරන ලද බෙහෙත් වර්ගය හේතුවෙන් ඇති වී ඇති ප්‍රථිපලය කුමක් ද යන්න මෙම සටහන් වල දක්වා නොමැති වූව ත්, මෙහි සඳහන් වන්නේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් බවට බොහෝ දෙනා උපකල්පනය කරමින් ප්‍රතිචාර දක්වා තිබු‍ණා.

එමෙන් ම මෙම සටහන් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනෙකු අනිසි බියකින් පසු වූ අතර කොවිඩ් එන්නත් කරණය හේතුවෙන් අත්විඳිය හැකි භයානක ප්‍රථිපල සම්බන්ධයෙන් බොහෝ දෙන විමසීමෙන් පසු වූවා.

Facebook | Archived Link

එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මේ සම්බන්ධයෙන් විමසමින් අප වෙත ද මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

COVID-19 වසංගතය 2019 දෙසැම්බර් මාසයේදී වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ අතර එය ලොව පුරා විවිධ ප්‍රජාවන්ට සහ රටවල ජීවිත වලට බලපෑවේ මරණ අත්කරමින්. COVID-19 ට එරෙහි සටනේදී කොවිඩ් වසංගය වළක්වා ගැනීමට එන්නත්කරණය කඩිනමින් නොමිලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත බෙදාහැරිණි.

ඒ අනුව සැළකියයුතු අන්දමින් කොවිඩ් මරණ සංඛ්‍යාව පාලනය වූ අතර කොවිඩ් වසංගතය ද යම්තාක් දුරට පාලනය වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස්වලට කොටු වූ සිටි ජනතාවට නිවසින් එළියට බැසීමට අවස්ථාව සලස්වමින්.

මේ අතර කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් සමාජයේ දුස් තොරතුරු ද, සංසරණය වූ අතර ඇතැම් පුද්ගලයන් එම වකවානුවේදී ද, එන්නත් කරණයෙන් වැළකී සිටියා.

කොවිඩ් එන්නත්කරණය

වෛරසයට එරෙහිව සටන් කිරීමට ඇති එකම ක්‍රමය වූයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආසාදනයට එරෙහිව ආරක්ෂාවක් ඇති කිරීමට ඉඩ සලසන එන්නතක් නිපදවීමයි. එන්නත් ශරීරයේ අනුවර්තන ප්‍රතිශක්තිය උත්තේජනය කරන අතර රෝගාබාධ වළක්වන බැවින්, වසංගතය පාලනය කිරීම සහතික කිරීම සඳහා COVID-19 එන්නත් නිපදවීම අත්‍යවශ්‍ය වූවා.

COVID-19 එන්නත් හඳුන්වා දීම සඳහා, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල පර්යේෂකයන් සහ වෛද්‍ය සමාගම් ඒවා යථාර්ථයක් කිරීමට බොහෝ සම්පත් ඒකාබද්ධ කරනු ලැබුවා. කෙසේ වෙතත්, මෙම එන්නත් වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පිළිබඳ තවමත් අවිනිශ්චිතතා කිහිපයක් තිබේ.

COVID-19 මරණ අනුපාතිකය එන්නත් කළ පුද්ගලයින් සහ එන්නත් නොකරන අය අතර වෙනස් වන්නේ කෙසේද?

වසංගතය විකාශනය වන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා, එන්නත් තත්ත්වය මගින් COVID-19 මරණ අනුපාතය බලපාන්නේ කෙසේද යන්න දැන ගැනීම ඉතා වැදගත් වේ.

මරණ අනුපාතය යනු රෝගයේ දරුණු ස්වරූපයන්ට එරෙහිව එන්නත් කෙතරම් ඵලදායීද යන්න නිවැරදිව පෙන්විය හැකි ප්‍රධාන මිනුම් දණ්ඩකි. COVID-19 ව්‍යාප්තියේ වෙනස්කම් ඇති විට සහ ප්‍රතිශක්තිය හීන වීම, වෛරසයේ නව වික්‍රියා සහ බූස්ටර භාවිතය වැනි සාධක නිසා මෙය කාලයත් සමඟ වෙනස් විය හැක.

එන්නත් සහ එන්නත් නොකළ අතර මරණ අනුපාත සංසන්දනය කිරීමට අපට අවශ්‍ය වන්නේ ඇයි?

වසංගතයක් අතරතුර, “වෛරසයෙන් මියගිය අයගෙන් අඩක් එන්නත් කර ඇත” වැනි සිරස්තල ඔබට දැකගත හැකිය.

මෙවැනි සිරස්තල මත පදනම්ව, එන්නත් මගින් මිනිසුන් වෛරසයෙන් ආරක්ෂා කරන්නේද යන්න පිළිබඳව යම් නිගමනවලට එළඹීම සිදු නොකළ යුත්තේ එවැනි සිරස්තලය කිසිදු නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් තොරතුරු සපයා නොමැති බැවිනි.

උදාහරණයක් ලෙස, පුද්ගලයින් 60 දෙනෙකුගෙන් යුත් ජනගහනයක් සිටින ස්ථානයක අප ජීවත් වන බව සිතන්න.

මේ පිරිස අතරින් අපිට දැනගන්න ලැබෙනවා 10 දෙනෙක් මිය ගිහින් බවට, එමෙන් ම ඔවුන්ගෙන් 50% ක් එන්නත් කර ඇති බව අපට දැනගන්නට ලැබේ.

" මියගිය අයගෙන් අඩක් එන්නත් කර ඇත" යනුවෙන් සඳහන් වන හෝ ඉහත සමාජ මාධ්‍ය සටහනේ පැවසෙන පරිදි එන්නත් වලින් භයානක ප්‍රතිඵල අත්විඳින බව ට පැවසුව ද, එන්නත මිනිසුන් ආරක්ෂා කරයිද නැද්ද යන්න මෙයින් සඳහන් නොකරයි.

සත්‍ය වාර්තාවක් දක්වන්නේ නම්, මේ හේතුවෙන් එන්නත්කරණය හේතුවෙන් මිය නොගිය අය හෝ කිසිදු රෝගා බාධයක් නොමැති අය ගැන සඳහන් කළ යුතුයි. මෙම ජනගහනයෙන් කී දෙනෙකුට එන්නත් ලබා දී තිබේද? සහ එන්නත් නොකළ කී දෙනෙක් ඇත් ද යන්න තොරතුරු ද ඇතුළත් විය යුතුයි.

අවශ්‍ය සියලුම තොරතුරු ඇති දත්ත මත මරණ අනුපාත ගණනය කළ හැකි වනු ඇත.

එන්නත් නොකළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 5 දෙනෙකු මිය ගොස් ඇත → එන්නත් නොකළ අය අතර මරණ අනුපාතය 50% කි.

එන්නත් කළ පුද්ගලයින් 50 දෙනෙකුගෙන් 5 දෙනෙකු මිය ගොස් ඇත → එන්නත් කළ අය අතර මරණ අනුපාතය 10% කි.

එබැවින්, එන්නත ලබා දුන් අය අතර මරණ අනුපාතය එන්නත් නොකළ අයට වඩා 5 ගුණයකින් අඩු බව අපට පෙනේ.මෙලෙසින් තාර්කික ලෙස කොවිඩ් මරණ අනුපාතය ගණනය කිරීමට හැකියි.මෙම තර්කයම වත්මන් COVID-19 වසංගතයට ද අදාළ ගණනය කිරිම්වලටද අදාළවේ. ourworldindata

ලෝකයේ බොහොමයක් රටවල, COVID-19 ට එරෙහිව එන්නත් කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව එන්නත් නොකළ පුද්ගලයින්ගේ සංඛ්‍යාවට වඩා විශාලවේ. එම දත්ත මෙතනින්.

එක්සත් ජනපදය එහි ජනගහනයෙන් 81.39 % කට  එන්නත් කර ඇත, ප්‍රධාන වශයෙන් Pfizer සහ Moderna  සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද mRNA එන්නත් මෙලෙස ලබාදී ඇත . රෝග වලක්වාගැනීම සහ පාලනය පිළිබද ඇමෙරිකානු ආයතනය  එන්නත් තත්ත්වය අනුව මරණ දත්ත ප්‍රකාශයට පත් කරයි.

ourworldindata | Archived Link

ඉහත ප්‍රස්ථාරය මඟින් ඇමෙරිකා එක්සත් ජනපදය හා සම්බන්ධ දත්ත ඉදිරිපත් කරයි. එන්නත් නොකළ පුද්ගලයින් අතර (මාත්‍රා 0 ක් ලැබී ඇත), යාවත්කාලීන කරන ලද බූස්ටර් එන්නතක් මගින් එන්නත් කරණයට ලක්නොකර නමුත් මුලික එන්නත් පමණක් ලබාගත් පුද්ගලයින් සහ යාවත්කාලීන කරන ලද බූස්ටර් එන්නතක්ද ලබාදුන් පුද්ගලයින් අතර COVID-19 මරණ අනුපාතය ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හා මරණ අනුපාත සම්බන්ධ දත්ත පහත ප්‍රස්තාරයෙන්.

ourworldindata

ශ්‍රී ලංකාවේ, 2020 ජනවාරි 3 සිට 2023 අගෝස්තු 2 දින ප.ව. 1:56 දක්වා, COVID-19 රෝගීන් 672,569 ක් සහ මරණ 16,880 ක් වාර්තා වී ඇති බව WHO වෙත වාර්තා කර ඇත. 2022 ඔක්තෝබර් 29 වන විට, එන්නත් මාත්‍රා 40,116,590 ක් ලබා දී ඇත. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින්.

COVID-19 එන්නත් කිරීම සහ මරණ අනුපාතය

COVID-19 ට එරෙහිව එන්නත් කිරීම සහ COVID-19 මරණ අනුපාතය සහ COVID-19 පැතිරීමේ අනුපාතය යන දෙකම අතර සම්බන්ධය විමසා බලමු. අපගේ ඉලක්කය වන්නේ එන්නත් කිරීම ප්‍රාදේශීය මට්ටමින් අඩු මරණ සහ/හෝ රෝග පැතිරීම සමඟ සම්බන්ධ වේද යන්න තීරණය කිරීමයි. අප මෙහිදී භාවිතයට ගන්නා විශ්ලේෂණය ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත මට්ටමින් සිදු කරන ලද එකක් වන අතර, 2022 පළමු භාගයේදී පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ Covid Dashboard (පෙන්සිල්වේනියාව සඳහා COVID-19 දත්ත (pa.gov) වෙතින් රැස් කරන ලද දත්ත මේ සදහා උපයෝගීකරගෙන ඇත . එන්නත් සහ ප්‍රචලිත කොවිඩ් ප්‍රභේද අතර නොගැලපීමක් ඇති අවස්ථාවක පවා, කොරොන වෛරසයෙන් සිදුවන මරණය වැලැක්වීම සඳහා එන්නත් ඉතා ඵලදායී බව මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. විශේෂයෙන්, එන්නත් කිරීමේ ප්‍රතිශතය 1% ක වැඩිවීමක් මරණ අනුපාතිකයේ 0.751% අඩුවීමකට අනුරූප වන බව සොයා ගන්නා ලදී.. ප්‍රාන්ත මට්ටමින් ව්‍යාප්තිය සහ එන්නත් කිරීමේ ප්‍රතිශතය කොවිඩ් රෝගයෙන් සිදුවන මරණය වැලැක්වීම සඳහා ඉතා ඵලදායී බව ලොව පුරා පෙර සොයාගැනීම්වලට මෙම ප්‍රතිඵල සහාය දක්වයි. එම අධ්‍යනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා මධ්‍යස්ථානය (CDC) COVID-19 එන්නත් වල ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කරයි 

ඔවුන් පෙන්වා දෙන්නේ, COVID-19 එන්නත් ආරක්ෂිත සහ ඵලදායී බවත්, අමෙරිකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවකට එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම තීව්‍ර ආරක්ෂණ අධීක්ෂණය යටතේ COVID-19 එන්නත් ලැබී ඇති බවයි.

මාස 6 සිට අවුරුදු 17 දක්වා ළමුන් සහ තරුණ ප්‍රජාව සහ වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන් සියලු දෙනා සඳහා CDC සෑම කෙනෙකුම ඔවුන්ගේ වයස් කාණ්ඩය සඳහා COVID-19 එන්නත් සුදුසු බව ද, ඔවුන් නිර්දේශ කරයි.

COVID-19 එන්නත් සායනික අත්හදා බැලීම් සඳහා සහභාගී වූවන් දස දහස් ගණනක් තුළ ඇගයීමට ලක් කරන ලදී. මෙම එන්නත් ආහාර සහ ඖෂධ පරිපාලනයේ (FDA's) දැඩි විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුකූලව ආරක්ෂාව, සඵලතාවය සහ නිෂ්පාදන ගුණාත්මක භාවය සඳහා හදිසි භාවිත අවසරය (EUA) සඳහා අවසර හිමි වේ. හදිසි භාවිත අවසරය (EUA) සඳහා වැඩිදුර විස්තර මෙතනින්.

Pfizer-BioNTech, Moderna, සහ Johnson & Johnson/Janssen සහ Novavax COVID-19 එන්නත් එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම තීව්‍ර ආරක්‍ෂිත අධීක්‍ෂණයට ලක් වී ඇත. COVID-19 එන්නත් ආරක්ෂිත බව සහතික කර ගැනීම සඳහා ස්ථාපිත සහ නව ආරක්‍ෂක අධීක්ෂණ පද්ධති භාවිතා කිරීම මෙම අධීක්ෂණයට ඇතුළත් වී තිබේ.

COVID-19 එන්නත් වල පොදු අතුරු ආබාධ 

සමහර පුද්ගලයින්ට ඔවුන්ගේ COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ ඇති වන අතර අනෙක් අයට අතුරු ආබාධ නොමැති විය හැකිය. අතුරු ආබාධ දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාවට බලපෑ හැකි නමුත් ඒවා දින කිහිපයක් ඇතුළත පහව යා යුතුය.

  • COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවන අතුරු ආබාධ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
  • සමහර අය සුළු අපහසුතාවයක් අත්විඳින අතර ඔවුන්ගේ දවස දිගටම කරගෙන යා හැකිය. තවත් සමහරුන්ට දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාවට බලපාන අතුරු ආබාධ ඇත.
  • අතුරු ආබාධ සාමාන්යයෙන් දින කිහිපයකින් පහව යයි.
  • ඔබ කිසිදු අතුරු ආබාධයක් අත්විඳ නැති වුවද, ඔබේ ශරීරය COVID-19 ඇති කරන වෛරසයට එරෙහිව ආරක්ෂාව ගොඩනඟයි.
  • අහිතකර සිදුවීම් (බරපතල සෞඛ්‍ය ගැටළු) දුර්ලභ නමුත් දිගුකාලීන සෞඛ්‍ය ගැටළු ඇති විය හැක. ඒවා සාමාන්‍යයෙන් එන්නත ලබා ගැනීමෙන් සති හයක් ඇතුළත සිදු වේ.

COVID-19 එන්නත ලබා දීමෙන් පසු ඇතිවන අතුරු ආබාධ මෘදු, තාවකාලික සහ සාමාන්‍යයෙන් එන්නත් කිරීමකින් පසු අත්විඳින්නට සිදුවන ඒවා වේ. අතුරු ආබාධ බලපාන ආකාරය විවිධ වයස් කාණ්ඩවල අය සදහා වෙනස් විය හැකිය.

COVID-19 එන්නතෙහි වඩාත් පොදු අතුරු ආබාධ වූයේ තෙහෙට්ටුව, එන්නත් කරන ස්ථානයේ වේදනාව සහ ඉදිමීම, හිසරදය, නිදිමත සහ කම්මැලිකම, සන්ධි වේදනාව සහ උණ තත්ත්වයයි . The Healthy Indian Project හි වාර්තාවක් ඒ බව පෙන්වා දෙනවා.

තවද, COVID-19 එන්නත් මාත්‍රා ගණන සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අතුරු ආබාධ ගණන අතර සැලකිය යුතු සම්බන්ධයක් ඇති බව ත්, පළමු මාත්‍රාවෙන් පසු අතුරු ආබාධ වඩාත් කැපී පෙනෙන බව ත් ඔවුන් සඳහන් කරනවා.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අනුව, දෙවන මාත්‍රාවෙන් පසු අතුරු ආබාධ වඩාත් තීව්‍ර විය හැකිය. ඊට අමතරව, එන්නතෙහි ද්විත්ව මාත්‍රාව ලබා ගත් අය අතර COVID-19 ආසාදනය වීමේ ප්‍රවණතාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත්, එය සම්පූර්ණ එන්නත ලබා ගැනීමේ වටිනාකම පිළිඹිඹු වන බව ත්, ඔවුන් පවසනවා.

හෘද පේශිවල දැවිල්ල ලෙස අර්ථ දක්වා ඇති Myocarditis පැමිණීම, COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසුව නොව, COVID-19 වෛරසය නිසා ඇති වූ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමයකින් පසුව බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් බව සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත්, තරුණ ප්‍රජාවට මෙය බලපාන ආකාරය සහ අනුක්‍රමික එන්නත් මාත්‍රාවලින් පසු අවදානම් ස්වභාවය එතරම් නිශ්චිත නැහැ . එක්සත් ජනපදයේ සමීක්ෂණ වාර්තා මත පදනම්ව, mRNA මුලිකව සැකසුනු COVID-19 එන්නත් ලබා ගැනීමෙන් පසු Myocarditis අවදානම විවිධ වයස් සහ ලිංගික ස්ථර හරහා විචලනය වී ඇති බව ත්, නව යොවුන් වියේ පිරිමි සහ තරුණයින් සඳහා දෙවන එන්නතෙන් පසුව එය ඉහළම අගය ගත් බව ත් ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

COVID-19 එන්නත් හි අහිතකර සිදුවීම්, බරපතල ආසාත්මික ප්‍රතික්‍රියා දුර්ලභයි

සමහර අවස්ථාවන්හිදී, COVID-19 එන්නත ලබා දීමෙන් පසු මිනිසුන් බරපතල සෞඛ්‍ය ප්‍රශ්න අත්විඳ ඇත. එන්නත් කිරීමෙන් පසු ඇතිවන ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් ආසාත්මික ප්‍රතික්‍රියාවක් ලෙස සැලකේ. එන්නත නිසා ආසාදිත ප්‍රතික්‍රියාවක් හෝ එන්නතට සම්බන්ධ නොවන අහඹු සිදුවීමක් නිසාද එවැනි තත්ත්වයක් ඇති විය හැක.

අද වන විට, මෙම එන්නත් විදීමෙන් පසු එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පවතින ක්‍රමවේද මගින් , COVID-19 එන්නත ලබා දීමෙන් පසු බරපතල ආකාරයේ ආසාත්මික ප්‍රතික්‍රියා වර්ග හතරක් සොයාගෙන ඇති අතර, නිරන්තරයෙන් ඇති නොවුනත් , ඇතැම් COVID-19 එන්නත් ලබාදීමේ අතුරුඵලයක් ලෙස මෙම තත්ත්වයන් ඇතිවන බවට සාක්ෂි ඇත. ඒවා නම්,

COVID-19 එන්නත් කිරීමෙන් පසු ඇනෆිලැක්සිස්(Anaphylaxis)

COVID-19 එන්නත් කිරීමෙන් පසු ඇනෆිලැක්සිස් නම් තත්ත්වය සමහර අවස්ථාවල ඇතිවේ . එන්නත් වාර මිලියනයකට ආසන්න වශයෙන් අවස්ථා 5 ක අනුපාතයකින් එය සිදුවී ඇත. ඇනෆිලැක්සිස්, දරුණු ආකාරයේ ආසාත්මිකතා ප්‍රතික්රියාවක් වන අතර කොවිඩ් 19 පමණක් නොව ඕනෑම ආකාරයක එන්නතකින් පසුව සිදු විය හැක. එය සිදුවුවහොත්, සෞඛ්‍ය සේවකයන් විසින් එනනත්කරණයට ලක්වූ පුද්ගලයාට වහාම ප්‍රතිකාර කළ යුතුය . COVID-19 එන්නත් සහ ඇනෆිලැක්සිස් ඇතුළු අසාත්මික ප්‍රතික්‍රියා ගැන වැඩිදුර තොරතුරු මෙතනින්.

COVID-19 එන්නත් කිරීමෙන් පසු Guillain-Barré Syndrome (GBS)

GBS යනු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ස්නායු සෛල වලට හානි කරන දුර්ලභ ආබාධයක් වන අතර, මාංශ පේශි දුර්වල වීම සහ සමහර විට අංශභාගය ඇති කරයි. GBS බොහෝ දුරට වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයින් අතර නිරීක්ෂණය වී ඇත.

Vaccine Safety Datalink (VSD) හි දත්ත විශ්ලේෂණයක් මත පදනම්ව, J&J/Janssen COVID-19 එන්නතෙන් පසු පළමු දින 21 තුළ GBS අනුපාතය Pfizer-BioNTech හෝ Moderna (mRNA) COVID ට වඩා 21 ගුණයකින් වැඩි බව සොයා ගන්නා ලදී. පළමු දින 42ට පසුව, J&J/Janssen COVID-19 එන්නත් කිරීමෙන් පසුව GBS අනුපාතය 11 ගුණයකින් වැඩි විය. විශ්ලේෂණයෙන් අනාවරණය කරගෙන ඇති පරිදි Pfizer-BioNTech හෝ Moderna එන්නත් කිරීමෙන් පසු GBS තත්ත්වයක් ඇතිවීමේ වැඩි අවදානමක් නොමැත.

J&J/Janssen COVID-19 එන්නත් කිරීමෙන් පසුව ඇමෙරිකානු රජය මගින් පවත්වාගෙන යන Vaccine Adverse Events Resporting System(VAERS )වෙත වාර්තා වූ GBS හි අගය , අපේක්ෂිත අනුපාතයට වඩා වැඩි අගයක් නමුත් mRNA COVID-19 එන්නත් සදහා එම තත්ත්වය ඇති වී නොමැත. J&J/Janssen COVID-19 එන්නත වෙනුවට mRNA COVID-19 එන්නත් භාවිතා කිරීමට ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව (ACIP) විසින් කරන ලද නිර්දේශයට මෙම නිරීක්ෂණ දායක වී තිබේ. මේ වන විට J&J/Janssen COVID-19 එන්නත එක්සත් ජනපදයේ භාවිතා නොවේ .ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

COVID-19 එන්නත් කිරීමෙන් පසු Myocarditis සහ Pericarditis

COVID-19 එන්නත් කිරීමෙන් පසු Myocarditis සහ pericarditis  තත්ත්වයන් ඇතිවීම  එතරම් සුලබ නොවන නමුත් එම තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී . Myocarditis යනු හෘද පේශිවල දැවිල්ල(ප්‍රදාහය )  වන අතර pericarditis යනු හෘදයේ පිටතට වන්නට පිහිටි පටක ප්‍රදේශයේ ඇතිවන ප්‍රදාහයයි.. COVID-19 එන්නත ලබා දීමෙන් පසු myocarditis හෝ pericarditis ඇති වූ  රෝගීන් ඖෂධ සහ විවේකයට හොඳින් ප්‍රතිචාර දැක්වූ අතර ඉක්මනින් සුවයක් දැනුණු බව ත් වාර්තාවල සදහන් .mRNA COVID-19 එන්නත් ලබා ගැනීමෙන් පසු ඇතිවූ මෙවන් තත්ත්වයන් පිලිබදව බොහෝ වාර්තා ඇත.

අද වන විට, සාක්ෂි මගින් පෙන්නුම් කරන්නේ mRNA COVID-19 එන්නතෙහි ප්‍රතිලාභ මයෝකාඩයිටිස් අවදානම ඉක්මවා යන බවයි. CDC සහ FDA විසින් COVID-19 එන්නත ලබා දීමෙන් පසු මයෝකාඩයිටිස් සහ පෙරිකාර්ඩයිටිස් පිළිබඳ වාර්තා නිරීක්ෂණය කිරීම සහ ඇගයීම දිගටම සිදු කරගෙන යයි . mRNA COVID-19 එන්නත් කිරීමෙන් පසු සායනික සලකා බැලීම් ඇතුළුව myocarditis සහ pericarditis ගැන වැඩිදුර තොරතුරු සහ අධ්‍යන වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

VSD සහ VAERS වෙතින් ලැබෙන දත්ත වලට අනුව, COVID-19 එන්නත ලබා දීමෙන් පසු මයෝකාඩයිටිස් අනුපාතය ඉහළම වන්නේ නව යොවුන් වියේ සහ අවුරුදු 20 ගණන්වල මුල් භාගයේ සිටින පිරිමින් අතර, සාමාන්‍යයෙන් එන්නතෙහි දෙවන මාත්‍රාවෙන් පසුවය.

COVID-19 එන්නත ලබා දීමෙන් පසු Thrombosis සමඟ Thrombocytopenia Syndrome (TTS)

J&J/Janssen COVID-19 එන්නත ලබා දීමෙන් පසු ත්‍රොම්බොසයිටොපීනියා සින්ඩ්‍රෝමය (TTS) සහිත ත්‍රොම්බොසිස් තත්ත්වයන් කලාතුරකින් නිරීක්ෂණය වී ඇති අතර එන්නත්කරණය කරන ලද මාත්‍රා මිලියනයකට ආසන්න වශයෙන් අවස්ථා 4කදී සිදුවී ඇත. TTS යනු දුර්ලභ නමුත් බරපතල අහිතකර සිදුවීමක් වන අතර එය විශාල රුධිර නාලවල රුධිර කැටි ගැසීම් ඇතිවීමට සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු කිරීමට හේතුවේ .

J&J/Janssen COVID-19 එන්නත භාවිතයෙන් බැහැරව mRNA COVID-19 එන්නත් භාවිතා කිරීමට ACIP විසින් කරන ලද නිර්දේශයට මෙම නිරීක්ෂණයද දායක විය.

අධ්‍යයනයකින් හෙළිව ඇති පරිදි , 2021 මාර්තු 2 සිට අප්‍රේල් 12 දක්වා ලබා දුන් J&J/Janssen COVID-19 එන්නත්කරණයේදී ලබාදුන් දළ වශයෙන් මිලියන 7ක මාත්‍රාවලින්, VAERS වෙත වයස අවුරුදු 18-59 අතර කාන්තාවන් අතර thrombocytopenia සමඟ මස්තිෂ්ක ශිරා සයිනස් ත්‍රොම්බොසිස් (CVST) වාර්තා 12ක් ලැබී ඇත. එම සියලුම රෝගීන් රෝහල් ගත කර ඇති බව ත්, 10 දෙනෙක් දැඩි සත්කාර ඒකක (ICU) වෙත ඇතුළත් කර ඇති බවයි.

2021 අප්‍රේල් 21 වන දින වන විට, රෝගීන් 4 දෙනෙකු නිවසට යවා ඇත අතර 2 දෙනෙකු ICU වලින් පිටත රෝහල් ඒකක වෙත ගෙන ගොස් ඇත, 3 ක් අඛණ්ඩ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර 3 දෙනෙකු මිය ගොස් ඇති බව ත් ඔවුන් පෙන්වා දෙනවා. එම වාර්තාව මෙතනින්.

2020 දෙසැම්බර් 14 සිට 2021 අගෝස්තු 31 දක්වා ලබාදුන් J&J/Janssen එන්නත මිලියන 14.1කට අධික මාත්‍රාවලින් සහ mRNA එන්නත් මිලියන 351කින්, CISA විසින් TTS තත්ත්වයන් ඇතිවීමේ සිද්ධීන් 57 ක් වාර්තා වී ඇත .ඉන් 54 J&J/Janss ලැබීමෙන් පසුව සහ අවස්ථා 3 ක් m-RNA එන්නත්කරණයෙන් පසුවයි. J&J/Janssen එන්නතෙන් පසු TTS හි බොහෝ අවස්ථා කාන්තාවන් සහ අවුරුදු 50 ට අඩු පුද්ගලයින් තුළ සිදු වූ අතර, ඔවුන් රෝහල්ගත වීම සිදු වී තිබුණා. J&J/Janssen එන්නතෙන් පසු TTS රෝගීන් වාර්තා කිරීමේ අනුපාතය ලබාදුන් එන්නත් මාත්‍රා මිලියනයකට 3.83 ක් වූ අතර, mRNA එන්නත් සදහා එම අනුපාතය,එන්නත්කරණයකින් පසුව TTS හටගැනීමේ සාමාන්‍ය අනුපාතයට (.0085 පරිපාලනය කරන ලද මාත්‍රාවලට) අනුකූල විය. මෙම විශ්ලේෂණය TTS J&J/Janssen COVID-19 එන්නත් කිරීම හා සම්බන්ධ දුර්ලභ නමුත් බරපතල අහිතකර සිදුවීමක් බව නිගමනය විය. ඒ සම්බන්ධ වාර්තාවක් මෙතනින්.

දෙසැම්බර් 16, 2021 CDC ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව (ACIP) වෙත ඉදිරිපත් කරණ ලද වාර්තාවකින් පෙන්නුම් කළේ එක්සත් ජනපදයේ J&J/Janssen COVID-19 එන්නත් කිරීමෙන් පසුව TTS සිද්ධි වාර්තා කිරීමේ අනුපාතය (මාත්‍රා මිලියනයකට 3.8) කලින් ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි බවයි. වයස අවුරුදු 40-49 පිරිමින් සඳහා සහ අවුරුදු 50-64 අතර කාන්තාවන් සඳහා මෙම තත්ත්වය ඇතිවීමේ අනුපාතයන් වයස අවුරුදු 18-29 කාන්තාවන්ට සමාන විය (මාත්‍රා මිලියනයකට 4-5 පමණ එම වාර්තාව මෙතනින්.

J&J/Janssen COVID-19 එන්නත ලබා ගැනීමෙන් පසු TTS සහ GBS අවස්ථා වාර්තා වී ඇත. 2021 දෙසැම්බර් 16 වන දින, යාවත්කාලීන කළ එන්නත් කාර්යක්ෂමතාව සහ ආරක්‍ෂිත දත්ත සමාලෝචනය කිරීමෙන් පසුව, ACIP විසින් වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා J&J/Janssen COVID-19 එන්නතට වඩා mRNA (Pfizer-BioNTech හෝ Moderna) COVID-19 එන්නත් සුදුසු බවට නිර්දේශයක් කරන ලදී. එම වාර්තාව මෙතනින්.

COVID-19 එන්නත් කිරීමෙන් පසු මරණ වාර්තා

COVID-19 එන්නත ලබා දීමෙන් පසු සිදුවන මරණ පිළිබඳ වාර්තා සඳහා විවිධ සාධක දායක වේ . FDA අවසරය යටතේ අවශ්‍යතා සපුරා , සෞඛ්‍ය සේවා සපයන්නන්(එන්නත්කරණය සිදුකරන පුද්ගලයන් ) COVID-19 එන්නත ලබා දීමෙන් පසුව සිදුවන ඕනෑම මරණයක් VAERS වෙත වාර්තා කරයි (එය එසේ වුවද. එන්නත හේතුවද යන්න පැහැදිලි නැත).එම දත්තවලට අනුව COVID-19 එන්නත් ලබා ගන්නා පුද්ගලයින් COVID-19 සහ එහි සංකූලතා හේතුවෙන් මිය යාමේ සම්භාවිතාව අඩු වන අතර එන්නත් නොකළ පුද්ගලයින්ට වඩා COVID-නොවන හේතූන් නිසා මරණයට පත්වීමේ වැඩි අවදානමක් නොමැත.

COVID-19 එන්නත් කිරීමෙන් පසු-COVID-19 නොවන මරණ අවදානම තක්සේරු කිරීමේ  අධ්‍යයනයක්

මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ COVID-19 එන්නත් ලබා ගත් පුද්ගලයින් අතර මරණ අනුපාතය COVID-19 එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට වඩා අඩු බවයි. මේ දක්වා සිදු කරන ලද විශාලතම අධ්‍යයනයේ දී, පර්යේෂකයන් විසින් Pfizer-BioNTech, Moderna, හෝ Johnson and Johnson's Janssen (J&J/Janssen) COVID-19 එන්නත් ලබා ගත් පුද්ගලයින් අතර මරණ අවදානම වැඩි වී නැති බව පෙන්වා දෙයි. COVID-19 එන්නත් කිරීමෙන් පසු COVID-19 නොවන මරණ අවදානම තක්සේරු කරන අධ්‍යයන වාර්තාව මෙතනින්.

Vaccine Safety Datalink (VSD) හි දත්ත භාවිතා කරමින් සිදු කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ COVID-19 එන්නත් ලබා ගත් පුද්ගලයින් අතර මරණ අනුපාතය COVID-19 එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට වඩා අඩු බවයි. දැනට එක්සත් ජනපදයේ භාවිතය සඳහා අවසර දී ඇති COVID-19 එන්නත් වල ආරක්ෂාව තහවුරු කරමින්, COVID-19 එන්නත් ලබන්නන් අතර සාපේක්ෂව ඉහල මරණ අවදානමක් නොමැති බව පර්යේෂකයන් විසින් තීරණය කරන ලදී. එම වාර්තාව මෙතනින්.

මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් විසින් COVID-19 එන්නත ලබා දීමෙන් පසු මරණ පිළිබඳ VAERS( Vaccine Adverse Event Reporting System) වාර්තා විශ්ලේෂණය කළ අතර එන්නත ලබා දීමෙන් පසු මරණ අනුපාතය සාමාන්‍ය ජනගහනයේ ඕනෑම හේතුවක් නිසා සිදුවන පසුබිම් මරණ අනුපාතයට වඩා අඩු බව සොයා ගන්නා ලදී. මෙම අධ්‍යයනයේ සොයාගැනීම් COVID-19 එන්නත් කිරීම මගින් හටගන්නා අතුරු ආබාධ ඔස්සේ පුද්ගලයන් මිය යාමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවට පවතින මතවාදයට අභියෝග කරයි.එම අධ්‍යයන වාර්තාව මෙතනින්.

මෙම අධ්‍යයනයේ යෙදුනු පර්යේෂකයන් VAERS සහ v-safe හි 2020 දෙසැම්බර් සිට 2021 ජූනි දක්වා mRNA COVID-19 එන්නත් ආරක්ෂණ දත්තවල මුල් මාස හය සමාලෝචනය කළ අතර mRNA එන්නත් වල බහුලව වාර්තා වන අතුරු ආබාධ මෘදු හා කෙටි කාලසීමාවක් බව සොයා ගන්නා ලදී. වාර්තා වූ ආසාත්මික ප්‍රතික්‍රියාවලින් බහුතරයක් බරපතල ඒවා නොවේ. පර්යේෂකයන් විසින් VAERS වෙත ඉදිරිපත් කරන ලද මරණ වාර්තා ද සමාලෝචනය කළ අතර mRNA එන්නත් කිරීමෙන් පසු අසාමාන්‍ය මරණ රටා සිදුවූ බවට සාක්ෂ්‍ය හමු නොවීය. එම අධ්‍යන වාර්තාව මෙතනින්.

එන්නත් කිරීමේ ප්‍රතිලාභ අවදානමට වඩා වැඩිය

COVID-19 එන්නත ඇතුළු ඕනෑම එන්නතකින් පසු දිගුකාලීන සෞඛ්‍ය ගැටලුවක් ඇති කළ හැකි බරපතල අතුරු ආබාධ අතිශයින් දුර්ලභ ය. COVID-19 එන්නත් කිරීමේ ප්‍රතිලාභ ,සිදුවිය හැකි හානිකර තත්ත්වයන්ට වඩා වැඩි බවට CDC පෙන්වා දෙන්නේ මෙලෙසින්.

CDC COVID-19 එන්නත් වල ආරක්ෂාව සමීපව අධීක්ෂණය කරයි. COVID-19 එන්නත ලබා ගන්නා සෑම කෙනෙකුටම තමන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ මාස 6 සහ ඊට වැඩි යැපෙන්නන් v-safe නමින් හැඳින්වෙන ස්මාර්ට්ෆෝන් පාදක පද්ධතියකට ඇතුළත් කර ගැනීමෙන් සහ COVID-19 එන්නත ලබා දීමෙන් පසු සෞඛ්‍ය පරීක්‍ෂණ සම්පූර්ණ කිරීමෙන් ආරක්‍ෂාව නිරීක්ෂණයට සහභාගී වී තිබේ.

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, කොවිඩ් එන්නත් කරණය නිසා කොවිඩ් වැළඳී මරණය වැළඳ ගැනීමෙන් ආරක්ෂා වූ බවයි. කොවිඩ් එන්නත් හේතුවෙන්ම වෙනත් රෝගී තත්ත්වයන් ඇති වූ බවට හෝ මරණ සිදුවූ බවට පැහැදිලි සාක්ෂි සහිතව වාර්තා නොවූ බව ත් ඒ මහතා පෙන්වා දෙනවා.

කොවිඩ් 19 එන්නත්කරණය සහ මනෝ ව්‍යාධි තත්ත්වයන් ඇතිවීම අතර සම්බන්ධයක් පවතිනවාද?

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පළ කළ උපදේශන මනෝ චිකිත්සකවරියක වන ආචාර්ය කල්හාරි පිටිගල මහත්මිය පැවසුවේ කොවිඩ් 19 එන්නත්කරණය සහ මනෝ ව්‍යාධි තත්ත්වයන් ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව පැවසීමට තරම් පර්යේෂණාත්මක සාක්ෂි ශ්‍රී ලාංකික සන්දර්භය තුළ මෙතෙක් සොයාගෙන නොමැති බවයි.කෙසේ වෙතත් කොවිඩ් වකවානුව තුළ තුළ විෂාදය (Depression), OCD ( Obsessive Compulsory Disorder) වැනි තත්ත්වයන්ගේ ඉහල යාමක් දක්නට ලැබුණත් ,, එම සිදුවීම කොවිඩ් එනනත්කරණය නිසා සිදුවූවක් ලෙසට වඩා කොවිඩ් වසංගතය පැතිර තිබුණු වකවානුවේ ජනතාවට මුහුණදීමට සිදුවූ සුවිශේෂී තත්ත්වයන් වන රට වසා දැමීම ආදී තත්ත්වයන් නිසා ඇතිවූ වෙහෙසකාරී මානසික තත්ත්වය ,ඒ සමගම පැමිණි ආර්ථික හා සාමාජිය ගැටළු නිසා ඇතිවූවක් බවට සැලකිය හැකි බවත් ඇය සදහන් කළා .එමෙන්ම ඇය වැඩිදුරටත් අප සමග පැවසුවේ කොවිඩ් වසංගතය යම් තරමකට පහව පවතින මෙම වකවානුවේ මානසික ගැටළු සඳහා ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන පුද්ගලයන්ගේ සැලකිය යුතු වැඩිවීමක් තමන් හට දක්නට නොලැබෙන බවයි. නමුත් ලංකාවේ පවතින තත්ත්වය පිලිබදව පැහැදිලි නිගමනයකට පැමිණීමට නම් ඒ සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් සිදුකල යුතු බවත් ආචාර්ය පිටිගල මහත්මිය සඳහන් කළා.

Also Read :

කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?

කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

Moderna එන්නත මගින් අනාගතයේදී මිනිසුන් පාලනය කිරීමේ හැකියාවක්?

රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

කෝවිඩ් සඳහා මිශ්‍ර එන්නත් ලබා ගැනීම සුදුසු ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:කොවිඩ් එන්නතේ භයානක ප්‍රතිඵල ඇති බවට පැවසූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

Written By: Pavithra Sandamali

Result: Insight