දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

චන්ද්‍රයාන්-3 , සඳේ පෘෂ්ඨය මත සාර්ථකව ගොඩා බැසීමත් හා සමගම ඉන්දියාව සහ එහි විද්‍යාඥයන් පිළිබඳ බොහෝ තොරතුරු සමාජ ජාලා වල පැතිරෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරැ වැරැදි සහගත අතර, තවත් සමහර තොරතුරු ආන්දෝලනාත්මක සහ පැහැදිලි සාක්ෂි රහිතයි. අපි මේ අවධානය යොමු කරන්නේ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන්.

සමාජ ජාලා සටහන් : 

පාවහන් පවා නොපැළඳ සිටින, බැලූ බැල්මට සරල දිවි පෙවෙතක් ගෙවිය හැකි මිනිසෙක් ඉන්දියාවේ අගමැති මෝඩි සමඟ සිටින සේයාරුවක් සමග දිගු සටහනක්ද සමග පවසා තිබුණේ එම පුද්ගලයා සම්බාජි බීඩේ නම් භෞතික විද්‍යාඥයා වන බවයි.

ඉන්දියාව හදට ගිය රහස... ඉන්දියාවේ නායක නරේන්ද්‍ර මෝදි මහතා ළඟින් ගමන් කරන මේ කෙසඟ පුද්ගලයා කවුද දන්නවද..? ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. පරමාණුක භෞතික විද්‍යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්‍යාඥයෙක්. පූනා හී ෆගියුසන් ආයතනයේ මෙන්ම රටේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්‍යයන ප්‍රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්‍යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි. මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර. මහනෙත්පාමුල කල්‍යාණමිත්‍ර ඔබ මදක් සිතා බලන්න ජාතියේ අසහාය නායකයා හා එක්ව කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව. ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ........ ! උගත්කමට මනුෂ්‍යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්. භාරතයේ විද්වතුන් උගතුන්ගේ සරල බව අපේ අයත් අධ්‍යයන කල යුතුයි. ‍මෙහෙම මිනිසුන් ජීවත් වන්නෙ මේ මහ පොලවෙමයි. (උපුටාගත්තක්)

Facebook | Archived

ඒ සම්බන්ධව පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම සටහන් සිංහල පරිශීලකයන් අතර වට්ස් ඇප් හරහා බොහෝ සෙයින් පැතිර තිබුණේ මෙලෙසින්.

අප මුලින්ම සොයා බැලුවේ මෙම සේයාරුව සත්‍ය එකක්ද සහ මෙය සම්බාජි බීඩේ නම් පුද්ගලයෙක් සහ අගමැති නරේන්ද්‍ර මෝඩිව නිරුපණය කරන එකක්ද යන්නයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය සත්‍ය සේයාරුවක් සහ මෙහි සිටින්නේද එම නම සහිත පුද්ගලයා බවයි. නමුත් ඔහු සම්බන්ධව සමාජ ජාලා සටහන්වල පැතිරෙන අනෙත් කරුණු  සත්‍ය ද ? මේ ,ඒ පිළිබඳව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

Explanation :

86 හැවිරිදි සම්බාජි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රාන්තයේ ශ්‍රී ශිව් ප්‍රතිෂ්ඨාන් හින්දු සංවිධානයේ සාමාජිකයෙක්  වේ. RSS (The Rashtriya Swayamsevak Sangh) නම් ජාතිකවාදී හින්දු සංවිධානයේ  සම්බාජි පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙක්ව දශක කිහිපයකට පෙර සිටි ඔහු පසුව එහි ඇති වූ ආරවුල් තත්ත්වයක් නිසා 1984 දී සංග්ලි දිස්ත්‍රික්කයේ ශ්‍රී ශිව් ප්‍රතිෂ්තාන් නම් හිංදු සංවිධානය පිහිටුවා ගත්තේය. 

බීබීසී හින්දි භාෂා පුවත් අංශය 2019 වසරේ හින්දි භාෂාවෙන් පැතිර ගිය මෙවැනි සමාජ ජාලා සටහන් නිසා මෙම පුද්ගලයා පිළිබඳව සොයා බැලීමක් සිදු කර ඇත. එහි ශිව් ප්‍රතිෂ්තාන් නම් සම්බාජි බීඩේ නායකත්වය දරන සංවිධානයේ ප්‍රකාශක නිතින් චෞගල් කියා සිටියේ සම්බාජි භිඩේ න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳ රන් පදක්කමක් දිනා ඇති බවයි. පූනේ ෆර්ගසන් විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කර ඇති බවද පවසා තිබෙනවා. එමෙන්ම බීඩේ මහාරාෂ්ට්‍රයේ ප්‍රජා සේවයේ යෙදී සිටින පුද්ගලයෙක් බව පවසා තිබෙන ඔහුන් ඔහු යටතේ කටයුතු කරන ස්වේච්ඡා සේවකයන් 10 ලක්ෂයකට වඩා සිටින බව පවසා තිබෙනවා. එහෙත්, සමාජ ජාලා සටහන්වල ඇති අනෙත් බොහෝ තොරතුරු අසත්‍ය බව අදාළ ප්‍රකාශකයා පවසා තිබෙනවා

ඔහු ජාතික හා ජාත්‍යන්තර සම්මාන 100කට අධික ප්‍රමාණයක් දිනාගෙන ඇති බවත්, NASA සහ Pentagon හි ඇමෙරිකානු රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, න්‍යෂ්ටික විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදු කර 67 දෙනෙකුට වැඩි පිරිසකට මගපෙන්වූ බවටද කටකතා පවතී.

2018 ජනවාරි 6 වන දින ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කළේ, බිඩේ භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සාර්ථකව නිමාකර රන් පදක්කමක් සහ භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති බවත් ෆර්ගසන් විද්‍යාලයේ මහාචාර්ය ධුරයේ කාලයක් කටයුතු කර ඇති බවත් ය. එහෙත් ඔහු කොපමණ කාලයක් එහි සේවය කළේද යන්න පිළිබඳ තොරතුරු නොමැත. කෙසේ වෙතත් එහි න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳව විශේෂ සටහනක් නොමැත .

ෆර්ගසන් විද්‍යාලය පවත්වාගෙන යන සංවිධානයේ සාමාජිකයෙකු වන කිරන් ශාලිග්‍රම් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත පැවසුවේ “බීඩේ , විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ නමුත් ඔහු කොපමණ කාලයක් එහි මහාචාර්යවරයකු ලෙස සිටියේ දැයි නොදනී,” ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්

පූනේ ෆර්ගසන් විද්‍යාලයේ වෙබ් අඩවිය පිරික්සූ අපට එම විද්‍යාලයේ න්‍යෂ්ටික විද්‍යා පාඨමාලා මේ වන විට නොමැති බව සොයා ගැනීමට හැකි විය.එම වෙබ් අඩවියේ දත්ත මෙතනින්

ෆර්ගියුසන් විද්‍යාලයේ තොරතුරුවලට අනුව සම්බාජි බීඩේ ෆර්ගසන් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු හෝ මහාචාර්යවරයකු බව සනාථ කිරීමට කිසිදු ලියවිල්ලක් හෝ වාර්තා නොමැති බව විද්‍යාලයේ නිලධාරියෙක් බීබීසී හින්දි සේවයට පවසා තිබුණි.

නරේන්ද්‍ර මෝඩි 2014 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු සඳහා රයිගාඩ් කොටුවේදී සම්බාජි බීඩේ හමුවිය. මැතිවරණ ප්‍රචාරක වේදිකාවේදී සම්බාජි බිඩේව භාරතීය ජනතා පක්ෂ නායකයන් විසින් ගුරුජි ලෙසින් වර්ණනා කරන ලදී. ඔහුගේ සහාය මැතිවරණ කටයුතුවලදී ඉන්දීය දේශපාලන නායකයන් ලබාගෙන ඇත.

නරේන්ද්‍ර මෝදිගේ සමීපතම සම්භාජි බීඩේ සම්මාන 100කට අධික ප්‍රමාණයක් දිනාගෙන නාසා ආයතනයේ සහ පෙන්ටගනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර න්‍යෂ්ටික විද්‍යා පර්යේෂණ 67කට වැඩි ගණනකට නායකත්වය ලබාදී ඇත යන්න සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉන්දීය කරුණු විමර්ශන කණඩායමක් මගින් පෙන්වා දෙනවා. ඔවුන් තවදුරටත් පවසන්නේ සම්බාජි බිජි න්‍යෂ්ටික භෞතික විද්‍යාවෙන් රන් පදක්කම් ලාභියෙකු වූ බවට සහ ඉන්දියාවෙ පුනේ ෆර්ගසන් විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ බවට වූ ප්‍රකාශවල සත්‍යතාව තහවුරු කිරීමට අපහසු බවයි. එම කණ්ඩායම සිදුකල කරුණු විමසා බැලීමට පිවිසිය හැකියි මෙතනින්

මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූ Fact Crescendo ඉන්දීය කණ්ඩායමද පැවසුවේ නාසා ආයතනයේ උපදේශක ලෙස කටයුතු කර ඇති බවට ආදී බිජේ සම්බන්ධ කරුණු අසත්‍ය බවයි. කෙසේ වෙතත් ඔහු සතු උපාධි ආදිය සම්බන්ධ කරුණු තහවුරු කිරීමට අපහසු බවත් ඔවුන් පැවසුවා .

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ඉන්දියාවේ අගමැති මෝඩි සමග පාවහන් පවා නොපැළද සිටින මේ සරල මිනිසා ,සම්බාජි බීඩේ නම් භෞතික විද්‍යාඥයා ද ??

Written By: Kalana Krishantha

Result: Insight