දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංසරණය වනවා. අලුතින් නිකුත්කරන ලද රුපියල් දස දහසේ නෝට්ටු යනුවෙන් කලින් කලට නොයෙකුත් ඡායාරුප සටහන් විවිධ ආණ්ඩු යටතේ නිර්මාණය වෙනවා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර සිටින්නේ දැනට භාවිතය සඳහා රුපියල් දස දහසේ නෝට්ටුවක් නිකුත් කර නොමැති බවත්, කලින් කලට විවිධ තේමා යටතේ හුවමාරු වන්නේ ව්‍යාජ නිර්මාණයන් බවයි.
වාර කිහිපයකදී එලෙසින් හුවමාරු වූ ව්‍යාජ ඡායාරූප සංස්කරණ කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
ජනපති අනුර කුමාර දිසානායක ගේ රුව සහිතව නව රුපියල් දස දහසේ නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති බව හඟවමින් ඡායාරුප සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.



එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. 10,000ක වටිනාකමින් යුත් නෝට්ටුවක් නිකුත් කර ඇති බවට දක්වමින් 2023 නොවැම්බරයේ දී ද සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වූවා.
මෙහි මුහුණත කපුටෙකු සහ සමනළයෙකු සිටින ආකාරයක් දැක ගන්නට ලැබෙන අතර මේ දිනවල හෝටලයක් බවට පත්කිරීමට යෝජනා වී තිබු නුවරඑළිය තැපැල් කාර්යාලයේ සේයාරුවක් ඇතුළු තවත් ලකුණු කිහිපයක් ද සමගින් මෙම නෝට්ටුව මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බවට ද එහි පෙන්වා දෙනවා.

මෙම සටහන බහුලව සංසරණය වී තිබූ අතර මෙය ව්‍යාජ සංස්කරණයක් බව කිහිපදෙනෙක්ම හඳුනාගෙන තිබුණ ද මෙහි සත්‍යතාවය පිළිබඳව ද ඇතැමුන් විමසා තිබුණා.
මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන් ම විමර්ශනයක් සිදු කළේ, මහ බැංකුව විසින් රුපියල් දස දහසකින් යුතු මුදල් නෝට්ටුවක් නිකුත් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්නයි. නමුත් අපට එවැනි පුවතක් හෝ ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිවේදනයක් හෝ නිකුත් කර ඇති බව ට දැක ගන්නට නොලැබුණි.
අප මහ බැංකු නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද, මේ පිළිබඳ ව පරීක්ෂා කළ අතර එලෙසින් නව නෝට්ටුවක් නිකුත් කළ බවට එහිදී ද, සඳහන් කර නොතිබුණි.
දැනට නිකුත් කර ඇති ඉහළම වටිනාකම ඇති නෝට්ටුවේ අගය රු. 5000 – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ නිතර අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ද එම ආයතනය පැහැදිලිවම සඳහන් කර සිටින්නේ, දැනට සංසරණයේ පවතින ඉහළම නෝට්ටුවේ වටිනාකම රුපියල් පන්දහස බවයි. Archived

අප ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද මේ පිළිබඳ විමසූ අතර ඔවුන් තහවුරු කළේ, රුපියල් 10,000 වටිනාකමින් යුත් නෝට්ටුවක් ශ්‍රී ලංකාව තුළ මුදුණය කර නොමැති බවත්, එලෙසින් රුපියල් 10,000 නෝට්ටුවක් නිකුත් කිරීමේ කඩිනම් සැලැස්මක් මේ මොහොතේ නොමැති බවත්, මේ මොහොතේ මෙරට සංසරණයේ ඇති ඉහළම අගය ඇති නෝට්ටුව වන්නේ රු. 5000 මුදල් නෝට්ටුව පමණක් බවයි.
AI ඔස්සේ සිදුකළ නිර්මාණයක්
එසේම ඉහත ජනපති අනුර කුමාර මහතාගේ ඡායාරුපය සහිතව නිකුත් කළ බව දැක්වෙන නෝට්ටුවේ, ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු සඳහා යොදා ගැනෙන්නේ නැති, නොගැලපෙන අකුරු, පාට, මෙන්ම අක්ෂර යොදා ගැනීමේ පැහැදිලි අඩුපාඩු දැකගත හැකි අතර, AI ඔස්සේ (Google Gemini Watermark) සිදුකළ නිර්මාණයක් බව පැහැදිලිවම දැක බලාගැනීමට පුළුවන්.

රුපියල් පන්දහසේ නෝට්ටුවක් යොදාගනිමින් සිදුකළ ව්‍යාජ සංස්කරණයක්
2023 වසරේ නොවැම්බර් 15 වන දින නිකුත් කළ බවට දක්වා ඇති මෙම නෝට්ටුව සහිත ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී මෙහි මුදල් අමාත්‍යවරයා වශයෙන් සඳහන් ව ඇති අත්සන, එවකට මුදල් ඇමති සහ ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් භාවිතා කරන අත්සන නොවන බවද නිරීක්ෂණය වේ.
ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉලක්කම් කේත භාවිතයේ පවතින එක් එක් මුදල් ඒකකයේ වටිනාකම අනුව වෙනස් වේ. එනම් සාමාන්‍යයෙන් මුදල් නෝට්ටු 20,50,100,500,1000 සහ 5000 මුද්‍රණය කරනු ලබන්නේ පිළිවෙලින් W, V, U, T, S, R යන අකුරු වලින්ය. මෙහි දී 5000 මුදල් නෝට්ටු සඳහා භාවිත කරන ඉංග්‍රීසි අකුර R අකුර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන රු.10,000 නෝට්ටුවල ද දැක ගන්නට ලැබේ.
අප කළ වැඩිදුර නිරීක්ෂණයේදී තහවුරු වූයේ මෙම නෝට්ටුව මීට පෙර අන්තර්ජාලය ඔස්‍සේ පළ වී තිබූ රු. 5000 ක නෝට්ටුවක ඇති අංක ( R | 2 995015) මෙහිදී ද දැක්වෙන බවයි. එම නෝට්ටුව මෙතනින්.
ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රු.10,000 මුදල් නෝට්ටුව ඉහත දක්වා ඇති රු. 5000 ඡායාරූපය සංස්කරණය කරමන් නිර්මාණය කරන ලද බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහ ඉහත මුදල් නෝට්ටුවේ ඡායාරූප අතර සංසන්දනය පහතින්.
| ALTERED |
| ORIGINAL |
Also Read :
ශ්‍රී ලංකා ඉතිහාසයේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!
FACT CHECK: ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 1000, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රු.10,000 මුදල් නෝට්ටුවක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන නෝට්ටු පෙළක් බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර සිටින්නේ, රු.10,000 මුදල් නෝට්ටුවක් නිකුත් නොකළ බව ත්, දැනට මෙරට සංසරණයේ ඇති ඉහළම අගය ඇති නෝට්ටුව වන්නේ රු. 5000 මුදල් නෝට්ටුව පමණක් බවයි.
Title:ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?
Written By: Pavithra SandamaliResult: Altered


