දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක්. ෆේස්බුක් ජනාධිපති ඒ අසහාය රංගධරයට අපහාස කරන විදිය” යනුවෙන් සඳහන් කරමින් අනුර කුමාර දිසානායක මහතා ඒ ආකාරයට පැවසු බව හඟවන පරිදි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook

එම වීඩියෝ කොටස හුවමාරු වූ තවත් අවස්ථාවක් මෙතනින්. මෙම වීඩියෝව ඔස්සේ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ද නිර්මාණය වී තිබු අතර මෙහි නිරවද්‍යතාවය විමසමින් බොහෝ දෙනෙකු අප වෙත එක් කළ ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් “ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක්” යනුවෙන් ඉහත සඳහන් වීඩියෝවේ ප්‍රකාශ කළා ද, යන්න පරීක්ෂා කිරීමේ දී ද, එම වීඩියෝවේ ද, ඔහු විසින් රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදු කරන බවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

මේ හේතුවෙන් මෙම ප්‍රකාශය පිළිබඳ නිසි අවබෝධය ලබා ගැනීම සඳහා එම වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව වෙත අපගේ අවධානය යොමු කිරීමට අප පියවර ගත්තා. ඒ අනුව මේ වසරේ ජනවාරි 03 වන දා පැවති ජාතික ජන බලවේගයේ කලාවැව ආසන සමුළුවේදී දිසානායක මහතා විසින් සිදු කළ ඉහත වීඩියෝව ඇතුළත් සම්පූර්ණ ෆේස්බුක් සජීවි වීඩියෝව අප නිරික්ෂණය කළා.

එහිදී ද, දැක ගන්නට ලැබුණේ අනුර කුමාර දිසානායක මහතා විසින් සඳහන් කරන්නේ, ජාවාරම්කාර මාධ්‍ය ආයතන කිහිපයක් පවතින බවත්, ඒවා විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව මාධ්‍ය මගින් පුම්බන බවත්, එම මාධ්‍ය ජාවාරම්කරුවන් විසින් මහින්ද රාජපක්ෂ පිලිබඳ මත ජනතාව වෙත පොප්ප කරනු ලැබූ බවයි.

එමෙන්ම ජැක්සන් ඇන්තනී මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙළපත පිළිබඳව මෙන් ම මහින්ද සහ ගැමුණු රජතුමා අතර ඥාතීත්වයක් පවතින බවට සිදු කළ ප්‍රකාශය, මාධ්‍ය මගින් පුම්බා පෙන්වූයේ මහින්ද රාජපක්ෂ මහතා බුදුරජාණන් වහන්සේගේ ඥාතීත්වයක් ඇති බවක් පෙන්වීමට බවත්, ඒ ඔස්සේ රාජපක්ෂවරුන් පිළිබඳව ජනතා ප්‍රසාදයක් ඇතිකළ ආකාරය පිළිබඳවයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ඇතැම් මාධ්‍ය වෙත චෝදනා කරනු ලබන්නේ.

ඒ අනුව පැහැදිලි වන්නේ අනුර කුමාර මහතා , රාජපක්ෂවරු පිලිබඳ යහපත් මත ඉස්මතු කිරීමට කටයුතු කළ මාධ්‍ය වෙත දෝෂාරෝපණය කරමින් අදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ යනු මාධ්‍ය විසින් පුම්බා තිබු චරිතයක් බවයි.

ඔහු පවසන්නේ, දේශපාලයින්ට උදව් ලබාදෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පිරිසක් සිටින බවත්ද එම ඔවුන්ට අත්උදව් වෙන දුෂිත නිලධාරින් පිරිසක් සිටින බවත්, ඒ ඔස්සේ මත ජනගත කරන මාධ්‍ය පිරිසක් සිටින බවත්, මේ සියල්ල මෙම ජාවාරම්කාර වළල්ලට සම්බන්ධ බවයි.

මෙම ජාවාරම සඳහා ඇතැම් මාධ්‍ය සහභාගී වූ ආකාරය පිලිබඳ අනුර කුමාරගේ ප්‍රකාශය ඇතුළත් කොටස පහතින්.

මේ ජාවාරම්කාර මාධ්‍ය අයිතිකරුවන් කිහිපදෙනෙක් සිටිනවා. එයාලා තමයි මේ මත පොම්ප කරන්නේ. මහින්ද රාජපක්ෂ ගැන පොත් ලියලා, ගීත ලියලා, චිත්‍රපට හදලා, ඒවා පෙන්නලා, ගෙනල්ල ගෙනල්ල අන්තිමට කිව්වා මොකක්ද, ජැක්සන් ඇන්තනි මහත්තයා කිව්වා, මහින්ද රාජපක්ෂ බුදුන්ගේ ඥාතීයෙක් කිව්වා. කිව්වා..

ගිරවාපත්තුවේ සුද්ධෝදන රජ්ජුරුවෝ, ශාක්‍ය වංශෙ සම්බන්ධයක් තියෙනවා ගිරවාපත්තුවට, ඒ ගිරවාපත්තුවෙන් පැවත එන්නේ බුදුහාමුදුරුවන්ගේ ඥාතීන් කිව්වා. කිසි ඉතිහාසඥයෙක් ප්‍රශ්න කළේ නෑ. කිසි සමාජ විද්‍යාඥයෙක් ප්‍රශ්න කළේ නෑ. ඇයි? මේ මාධ්‍යවලින් පුම්බලා හැදුවා කට්ටියට හිතුනා වෙන්නත් බැරි නෑ කියලා. එහෙමයි මේ මාධ්‍ය මේගොල්ලො හැදුවේ. පහුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවලින් හැංගුවා”

https://youtu.be/aV4hcVpQ6rA?t=10248

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අනුර කුමාර දිසානායක මහතා විසින් “ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක්” යනුවෙන් ඔහුගේ කතාවක් අතරතුර දී සඳහන් කළ බවට දක්වමින් පළ වූ සටහන් සහ වීඩියෝ නොමග යවන සුළු බවයි.

අනුර කුමාර මෙහිදී පවසන්නේ ජැක්සන් ඇන්තනි විසින් සිදුකළ ප්‍රකාශයක්, සොයා බැලීමකින් තොරව ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රවර්ධන කිරීම මඟින් එකී මාධ්‍ය විසින් මහින්ද රාජපක්ෂ මහතා පුම්බා තිබු බවකි.

Avatar

Title:ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

Written By: Pavithra Sandamali

Result: Misleading