දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නොයෙකුත් ලෙඩ රෝග වලට පිළියම් ලෙස සඳහන් කරමින් නැතහොත් ලෙඩ රෝග සුව කරන ශාක බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් සටහන් හුවමාරු වනවා. මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග යන අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

තණකොළ යනු පිළිකාව, ගර්භාශයේ ගෙඩි සහ තුවාල, වකුගඩු ආබාධ, දියවැඩියාව, ලේ ගැලීම් සහ තුවාල, නියුමෝනියාව, අධිරුධිර පීඩනය, උණ සහ කෙන්ඩ පෙරලීම වැනි රෝග වලට ප්‍රතිකාරකයක් බවට දක්වමින් හුවමාරු වූ සටහනක් 11,000කට අධික ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා. එම සටහනේ අන්තරගතය පහතින්.

“90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.

හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා.  මේ මහ පොළවේ මැජිකල් දේවල් හැදෙනවා.. අපි දන්නේ නෑ හරියට.

මෙන්න මේ පැලේ දැකල ඇතිනේ, අපෝ, දැක්ක තැන ගලවල විසි කරනවා. ආයේ පැළවෙයි කියල පුච්චලත් දානවනේ? ඔහෙලා දන්නවද ඔය පැලේ ගුණ කොයිතරම්ද කියල? නෑනේ? ඔන්න එහෙනම් දැනගන්න මිත්‍රවරුණි. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ Gooes Grass කියල, සිංහලෙන් නම් බැල තණ, සාමාන්‍ය මිනිස්සුන්ට වල් තණකොළ තමා 🥴

මේකට පුලුවන් පහලින් මම ලියන රෝග ටිකට කොරවෙන්න උත්තර දෙන්න. 

පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වලට දුවන්න පහර දෙන්න පුලුවන්. 

ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන පට්ට Antiinflamatory ගුණය නිසා කාන්තාවොන්ගේ reproductive system එකේ ප්‍රශ්ණ වලට මේ බැලතණකොල හොද උත්තරයක් කියල සැලෙකෙනවා.

වකුගඩු ආබාධ: මේ පොඩි පැලේට පුලුවන්ලු ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න.

දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ Anti Diabetic properties තියන නිසා. 

ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. මේ පැලේ තියන සුපිරි හැකියාව ඇස් පනාපිට හුගක් අය දැකල ඇති.

පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා. 

අන්න ඒ ඒකට තමයි. 

නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.

අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් කම්බස්.

උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.

කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා. 

කොහොමද ? කොරනේ? මේ ලෝකේ බෙහෙතක් නොවන කිසි ශාකයක් නැත කියල කතාවක් තියනවානේ? 

ඔය කතාව ආවා කියල කියන්නේ , පුලස්ථි සෘශිවරයා රාවණ කුමාරයා කාලේ සියළු වෙදකම් උගන්වල කැලේට ගිහින් බෙහෙතක් නොවන ශාඛ කොටසක් අරන් එන්න කිවුවාලු, රාවණත් කැලේට රිංගල එලෝ මෙලෝ නැතුව ඇදිරි වැටෙනකම් හොයල හොයල හොයාගන්න බැරුව ආපහු ඇවිත් අනේ අංකල්, මට මුකුත් හොයාගන්න බැරිවුනානේ, ගස් වැල් ඔක්කෝම බෙහෙත් කියල කිවුවාම තමයිලු පොර ටෙස්ට් එකෙන් පාස් වෙලා තියෙන්නේ. 

මම නම් රාවණා කියල කෙනෙක්ව පිලිගන්නේ නෑ, ඒත් ඔය කතාව ප්‍රභණ්ධයක් වුනත් කොහෙන් හරි පත්තුවෙලා ආපු ඒ සීන් එක නම් ඇත්ත.

බොරුවට අපි ලංකාවේ, අපි බෞද්ධ ,අරකයි මේකයි කියල පපුවට ගහගන්න ජෝකර්ලා නොවී අපි වගේ ජන්දේ නොදාන නිරාගමික උනුත් ඉගෙනගන්න මේ රටේ තියන පාරම්පරික සාස්තර ගැන ඉඩ තියන වෙලාවට නිකමට වගේ කියවල ඉගෙනගනිම් ඈ..

මම වෙදෙක් නෙවෙයි, ඒ වගේම මේවා මෙඩිකල් ඇඩ්වයිස් නෙවෙයි හොදේ. 

මේ පැලේ ගැන පිටරට පේජ් එකක ලියල තිබුනා දැකල මටම ලැජ්ජ හිතිලා මේක ගැන හෑල්ලක් ලියන්න හිතුනේ. #copied”

Facebook | Archived Link

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ ව්‍යාප්ත වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

තණකොළ වල ඉහත සඳහන් කළ අයුරින් ගුණ පවතිනවාද යන්න විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

Eleusine indica විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තණකොළ වලින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙඩ රෝග සුව කරන බවට අධ්‍යනයන් පවතිනවා ද යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා.

තණකොළ යනු නිවර්තන සහ උපනිවර්තන කලාපවල දේශීය ශාකයක් වන අතර ආක්‍රමණශීලී විශේෂයකි. මුළු ශාකයම, විශේෂයෙන් මුල්, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ ඩයුරටික්, ප්‍රති-හෙල්මින්තික්, ඩයපෝරෙටික් සහ උණ නාශකයක් ලෙස සහ කැස්ස සහ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි. තම්බන ලද ශාක, කසාය ප්‍රති-හෙල්මින්තික් සහ උණ නාශක ප්‍රතිකාර ලෙස පරිභෝජනය කරයි. බීජ සමහර විට සාගත ආහාර ලෙස භාවිතා කරන අතර අක්මා රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදීද භාවිතා වේ. බොහෝ ශාකසාර නිෂ්පාදනවල සාම්ප්‍රදායික භාවිතයන් ඇති අතර ඒවා සාමාන්‍ය වෛද්‍ය භාවිතයට ඇතුළත් කිරීමට පහසුකම් සපයන සාක්ෂි පදනමක් නිර්මාණය කිරීමට දැන් විමර්ශනය වෙමින් පවතී. මෙම අධ්‍යනය ද,සිදු කර තිබුණේ මීයන් සම්බන්ධවයි.

පූර්ව සායනික අධ්‍යයනයන් පර්යේෂණාත්මක සතුන් සහ රසායනාගාර ක්ෂුද්‍ර ජීවීන් මත සිදු කරන ලද ඒවා පමණකි.

එසේම තණකොළ කිසිම ආකාරයක ඖෂධීය ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රකාශ කළ නොහැක බවට පිලිපීනයේ සාම්ප්‍රදායික හා විකල්ප සෞඛ්‍ය ආරක්ෂණ ආයතනයේ (PITAHC) පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් පිලිපීනයේ කරුණු විමර්ෂණ කණ්ඩායමක් වෙත සඳහන් කර තිබුණේ මෙලෙසින්. ඔවුන් පවසන්නේ ඇතැම් අධ්‍යයනයන් මගින් තෘණ ශාකයට ඖෂධීය ක්‍රියාකාරී ගුණාංග කිහිපයක් ඇති බව සොයාගෙන ඇති නමුත් මෙම අධ්‍යයනයන් පූර්ව සායනික පර්යේෂණ පමණක් වන අතර මිනිසුන්ට යොදාගනිමින් සායනිකව ඔප්පු කර නොමැති බවයි.

එමෙන් ම පිලිපීන වෛද්‍ය පිළිකා සංගමයේ වෛද්‍ය Ann Meredith Trinidad පවසා තිබුණේ, තණකොළ, ඌනතාවය මත පදනම්ව මිනිසුන් තුළ පිළිකා වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ කළ නොහැකි බවත් මෙම ප්‍රකාශයන් සනාථ කිරීම සඳහා ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, මෙම ශාකයට පිළිකා වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට උපකාරී වන ගුණ ඇති බව පැවසෙන අතර, රසායනාගාර අධ්‍යයනයන් තවමත් එය මිනිසුන් මත ක්‍රියා කරන සායනික සාක්ෂි ලබා දී නොමැති බවයි.

එසේම සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල්වී තිබු බවට අනුමාන කළ හැකි මෙවැනි පරියේෂණ පත්‍රිකාවල ද සඳහන් වන්නේ මේ පිළිබඳව, මේ පිලිබඳ තවදුරටත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍ය බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක

විද්‍යාත්මක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙම ශාකයේ (තෘණ) සඳහන් වන බොහෝ ගුණාංග නිවැරදිය. (තුවාල සුව කිරීම, වකුගඩු පද්ධතියේ සමහර රෝග සුව කිරීමට උපකාරී වේ) නමුත් මෙම ශාකය පරිභෝජනය කිරීමෙන් පමණක් ඉහත සඳහන් රෝග සුව නොවේ. රෝගය සුව කිරීම සඳහා රෝගයේ බොහෝ සාධක අනුව නියම කරන ලද ප්‍රතිකාර ක්‍රමයක් ඇත. (උදා. මාත්‍රාව, ශාකයේ කොටස්, කාලසීමාව, සකස් කිරීමේ ක්‍රමය ආදිය.)

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ

එමෙන්ම, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, පිළිකා වලට ප්‍රතිකාර ක්‍රම බොහෝමයක් ඇති අතර බටහිර විද්‍යාවේ ප්‍රතිකාර ලෙස, ඖෂධ ලබා ගැනීම, සැත්කම් කර පිළිකා ඉවත් කිරීම්, විකිරණ ප්‍රතිකාර වැනි දෑ ඇති අතර කුමන ප්‍රතිකර්මයට යොමු විය යුතු ද යන්න අදාළ වෛද්‍යවරුන් තීරණය කරන අතර එම ප්‍රතිකාර වෛද්‍යවරුන් නොවන අයට ප්‍රතිකාර ක්‍රම ලෙස උපදෙස් ලබා දිය නොහැකි බවයි සඳහන් කළේ.

පිළිකා වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි සටහන් වල දැක්වෙන උපදෙස් අනුගමනය නොකර ප්‍රතිකාර අවස්ථා සඳහා පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා එම ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමු වීම කළ යුතු බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය තවදුරටත් අවධාරණය කළේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:‘බැලතණ’ නොහොත් තණකොළ ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට පිළියම් කරනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්!

Written By: Pavithra Sandamali

Result: Insight