දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් අනතුරුව දිගින් දිගටම අඛන්ඩව රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මේ වසර ගණනාව පුරා රට තුළ පවතිනවා. අදාල එන්නත්කරණය ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිශක්තිය සහ වෙනත් සාධක නිසා කොවිඩ් ආශ්‍රිත මරණ සිදුවීමේ අවමභාවය මුල් කරගෙන මේ වනවිට කොවිඩ් රෝගය සඳහා අප විසින් අනුගමනය කළ ආරක්ෂක විධිවිධාන පවා ඉවත් කරගෙන සිටිනවා.

එවන් පසුබිමක නැවත කොවිඩ්-19 අවදානමක් පිළිබඳව රට තුළ කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය පලකිරීම්

දින කිහිපයක සිට නවතම කොවිඩ්-19 ප්‍රභේදය පිළිබඳවත්, එය ශ්‍රී ලංකාවේ පැතිරී යාම පිළිබඳවත් විශාල කතිකාවතක් සමාජය තුළ ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධ ප්‍රවෘත්ති ඇතුළු කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ෆේස්බුක් | සංරක්ෂිත

ෆේස්බුක් | සංරක්ෂිත

තවත් පුවත් ලිපියක් මෙතනින්.

මෙම පුවත වැඩි වශයෙන් හුවමාරු වීමට සහ ජනතාව අතර ආන්දෝලනය වැඩි කළේ දෙසැම්බර් 23දා මහනුවර ප්‍රදේශයෙන් සිදුවූ කොවිඩ්-19 ලෙස සැලකෙන පුද්ගල මරණයක් සමඟයි.

ෆේස්බුක් | සංරක්ෂිත

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් මේ වන විටත් හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අතර ප්‍රධාන මාධ්‍ය ජාලා ඔස්සේද මේ සම්බන්ධ ප්‍රවෘත්ති පල කර තිබුණා.

ෆේස්බුක් | සංරක්ෂිත

ඒ අනුව මෙම පලකිරීම් පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බැලීමට අපි තීරණය කළා.

කරුණු විමර්ශණය

කොවිඩ්-19 JN. 1 ප්‍රභේධයේ පැතිරයාම:

මේ වන විට ලොව පුරා කොවිඩ් JN. 1 උපප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරී යමින් පවතිනවා. මෙය කොවිඩ්-19 ඔමික්‍රෝන්හි තවත් උපප්‍රභේදයක්. සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ දක්නට ලැබීමෙන් අනතුරුව මේ වන විට මෙම ප්‍රභේදය රටවල් 41ක ව්‍යාප්ත ව පවතිනවා. මෙහි සම්ප්‍රේෂණ හැකියාව සාපේක්ෂව ඉහළ අගයක පවතින නිසා අනතුරුදායක බව ඉහළ තත්ත්වයක පවතිනවා.

මේ වන විටත් අසල්වැසි ඉන්දියාවේ මෙම කොවිඩ් උපප්‍රභේදය ඉහළ වශයෙන් ව්‍යාප්ත වී පවතිනවා. ඉන්දියාවේ කොවිඩ් JN. 1 ප්‍රභේදයේ පැතිරීම පිළිබඳව තොරතුරු මෙතනින්.

කෙසේ නමුත් ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සමඟ ශ්‍රී ලංකාව යම් අවදානමකට මුහුණ දී සිටිනවා. ඒ සමඟ JN. 1 ප්‍රභේදයේ රෝගීන් රට තුළින් හඳුනාගැනීම් පිළිබඳව කතාබහක් ඇතිවී තිබෙනවා.

මේ පිළිබඳව තහවුරු කිරීම සඳහා මහාචාර්‍ය චන්දිම ජීවන්දර මහතාව අපි සම්බන්ධ කර ගත්තා. මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව තවමත් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, තවමත් JN. 1 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී ඇත්දැයි තහවුරු කර නොගත්බවයි. නමුත් මෙවැන්නක් පිළිබඳව තහවුරු කරගත් වහාම ඒ පිළිබඳව ජනතාව සහ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කරන බව එතුමා ප්‍රකාශ කළා. කෙසේ නමුත් මෙයින් පැවසෙන්නේ JN. 1 ප්‍රභේදයෙන් ලංකාවට බලපෑමක් ඇතිවී නැති බව නොවෙයි. මෙයින් පෙන්වා දෙන්නේ තවමත් මේ පිළිබඳව තහවුරු කිරීමට අවශ්‍ය පර්‍යේෂණ කටයුතු කෙරෙමින් පවතින බවත්, එහි ප්‍රතිඵල තවමත් තහවුරු වී නොමැති බවත් පමණයි.

වෙනත් රටවල්වල සිට ශ්‍රී ලංකාවට පිරිස පැමිණීම ඉතා සුලා දෙයක් වන නිසා මේ වනවිටත් මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැවතීමට විශාල ඉඩ කඩක් පවතිනවා. ඒ නිසාවෙන් අවදානමට පෙර, මෙතැන් සිටම ඒ සඳහා අදාල ආරක්ෂිත ක්‍රියාමාර්ග සඳහා නැවත අනුගත වීම වැදගත්.

මහාචාර්‍ය ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් අවදානම අවම වී ඇති බව මිනිසුන් සලකා තිබුණද, කොවිඩ් රෝගීන් 2020 වසරේ සිට මේ වන විටත් රට තුළ වාර්තා වෙමින් සිටින බවයි. මෙවර මෙම ආන්දෝලනය ඇතිවී ඇත්තේ JN. 1 උපප්‍රභේදයේ ව්‍යාප්ති අවදානමත් සමඟ වුවත්, තවමත් අප කොවිඩ් රෝගය සමඟ සමාජයේ ජීවත් වන නිසා පූර්ව ආරක්ෂක පිළිවෙත් ඉතා වැදගත්.

ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිරයාම:

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ව්‍යාප්තිය මේ දක්වා අඛන්ඩව සිදු වුණා. රෝගීන් අඩුවීම සහ මරණ සිදු නොවීම හේතුවෙන් මිනිසුන් අතර කොවිඩ් අවදානම පහව ඇති බවට මතයක් ඉදිරිපත් වුණා. නමුත්, තවමත් කොවිඩ් රෝගීන් රටපුරා සිටිනවා. නව ප්‍රභේදය කෙසේ වුවත්, සාමාන්‍ය මීට පෙර පැවති ප්‍රභේද රට තුළ තවමත් ව්‍යාප්තව තිබෙනවා. මෙය නැවත කරලියට පැමිණ ඇත්තේ JN. 1 සහ කොවිඩ් රෝගය නිසා සිදුවූ බවට ප්‍රචාරය වන මරණය නිසා වුවත් කොවිඩ් 19 දිගින් දිගටම සමාජය තුළ පැවතුණා.

ශ්‍රී ලංකාවේ නැවත කොවිඩ්-19 මරණයක්?

මහනුවර ජාතික රෝහලෙන් ඉකුත් 23 දා වාර්තා වූ මරණය සිදුවී ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ 65 හැවිරිදි තැනැත්තෙක්. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඔහුව ඇතුල් කර තිබුණා.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කලේ , මෙම රෝගියා සිරෝරිසි රෝග තත්ත්වය නිසා රෝහල් ගත වූවෙකු බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලෙන් මහනුවර රෝහලට මාරු කර එවූ බවයි. කෙසේ නමුත්, දියවැඩියාව ඇතුළු රෝග රැසක් රෝගියාට වැළඳී තිබූ බවත්, මරණයට හේතුව සිරෝසිස් රෝග තත්ත්වය නිසා ඇතිවූ ව්‍යාකූලතාවක් බවත් එතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් රෝගියාට කොවිඩ්-19 රෝගයද ආසාදනය වී තිබී ඇති බව පසුව සොයා ගෙන තිබුණා. ඒ අනුව වෛද්‍යවරුන්ගේ මතයට අනුව මෙම මරණය කොවිඩ් රෝගය නිසා සිදුවූවක් වන්නේ නැහැ.

කොවිඩ්-19 JN. 1 රෝග ලක්ෂණ:

මෙහි රෝග ලක්ෂණ කොවිඩ්-19 අනෙකුත් ප්‍රබේද වලට තරමක් සමාන වන අතර කැස්ස, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, වෙහෙසකරබව, හිසරදය, ක්ලාන්තය, මාංශ පේෂි වේදනාව, සුවඳ දැනීම වෙනස් වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය ආදිය දක්නට ලබෙනවා. කෙසේ නමුත් ලක්ෂණවල මතුවීම සහ තීව්‍ර බව ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය මත රඳා පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්.

කොවිඩ්-19 JN. 1 රෝගයෙන් සහ ශ්‍රී ලංකාවේ පවතින බවට තහවුරු වූ අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාවීම:

අදාල කොවිඩ් එන්නත්කරණයට යොමු වී සිටීම මෙම අවස්ථාවේදී වැදගත්. සිරුරේ ප්‍රතිශක්තිය සඳහා මෙම එන්නත්වල දායකත්වයක් පවතින අතර, රෝගයේ තත්ත්වය පාලනය සඳහා මෙම ප්‍රතිශක්තිය ඉතා වැදගත්. එමෙන්ම, හොඳ සෞඛ්‍යමම්ත් ආහාර රටාවක් පවත්වා ගැනීම තුළිනුත් කොවිඩ්වලට එරෙහි ප්‍ර්‍රතිශක්තිය නිපදවීම සඳහා සිරුරට සහයෝගයක් ලැබෙනවා.

එමෙන්ම මීට වසර දෙකකට ප්‍රථම සිදු කළා මෙන් යම් ස්ථානවලට යන විට මුහුණු ආවරණ පැලඳීම, නිසි දුර පරතරයක් සහිතව සමාජයේ කටයුතු කිරීම, කුඩා අවකාශ තුළ මිනිසුන් ප්‍රමාණය ඉක්මවා නොගැවසීම ආදිය සිදු කළ හැකියි.

කොවිඩ් සම්බන්ධ රෝග ලක්ෂණයක් යම් ලෙසකින් හෝ මතු වුවහොත් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කර ප්‍රතිකාර කරා යොමු වීම සිදු කළ යුතුයි. එමෙන්ම කොවිඩ් යැයි තහවුරු වූ අයෙකුට නිරාවරණය වූ විටද සෞඛ්‍ය අංශ හා එක්ව අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම වැදගත්.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

තවමත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් JN. 1 උපප්‍රභේදය ව්‍යාප්තව ඇති බවට තහවුරු වී නැතත්, ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ තවමත් රට තුළ සිදු කෙරෙමින් පවතිනවා. ඒ නිසා ඉදිරියේදී ඒ පිළිබඳව සත්‍යාපනය කළ තොරතුරු ඉදිරිපත් වනු ඇති. කෙසේ වෙතත්, තවමත් රට තුළ කොවිඩ් අවදානම පහ වී නැති නිසා පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත්.

එමෙන්ම පසුගිය දා මහනුවර ජාතික රෝහලේදී මිය ගිය තැනැත්තාගේ මරණයට හේතුව කොවිඩ් රෝගය නොවන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සොයා ගත් එක් කරුණක් ලෙස ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව පෙන්වා දී තිබෙනවා.

Read also : JN.1 Variant: A New Omicron Subvariant on the Rise(Covid 19 Update)

Avatar

Title:ශ්‍රී ලංකාව තුළ නව කොවිඩ් ප්‍රභේදය පැතිර යනවාද? කොවිඩ් අවදානම නැවත රට තුළ වර්ධනය වනවාද?

Written By: Fact Crescendo Team

Result: Insight