කොත්මලේ ජලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් අනුයුක්ත කරල ද?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවට බපලෑ අයහපත් කාලගුණය හමුවේ සිදුවූ දැඩි ව්‍යසනයක් සිදුවූයේ, බලධාරීන් නිසි අවස්ථාවේ නිසි පියවර නොගත් නිසා බවට විවිධ පාර්ශව තවදුරටත් චෝදනා එල්ල කරමින් සිටී. ඒ අතර කොත්මලේ ජලාශය පිළිබඳව කතාබහ තවදුරටත් රටේ මාතෘකාවක් බවට පත්ව ඇති අතර මේ කොත්මලේ වේල්ලේ සේවයේ නියුතු ඉංජිනේරුවරුන් සහ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධව පළ වූ අදහස් පිළිබඳ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) 

කතාව ඇත්තනම් චෝදනා වබරපතලයි! කොත්මලේ ජලාශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් දාලා තිබිලා‘ යනුවෙන් සඳහන් මෙම සටහන පළ කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතාගේ ඡායාරූපයක් ද සහිතවයි. මෙම සටහනට අදාළ වැඩි විස්තර සඳහා වන Newshub.lk වෙබ් පුවතෙහි සඳහන්ව ඇත්තේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කොත්මලේ ජලාශය ආශ්‍රිතව සිදුවූ බව කියන නිලධාරී මාරුවීම් සහ ජල කළමනාකරණය පිළිබඳව බරපතළ ප්‍රකාශයක් සිදු කර  ඇති බවයි. 

එම පුවතෙහි සඳහන්ව ඇත්තේ, කොත්මලේ ජලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් තිදෙනෙකු ඉවත් කර, ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආධුනික ඉංජිනේරුවරුන් Archived Link ඒ සඳහා පත්කර තිබූ බවට තොරතුරු ලැබී ඇති බවත්, දරුණු සුළි කුණාටුවක් පිළිබඳ පූර්ව කාලගුණ අනතුරු ඇඟවීම් තිබියදී පවා, ජලාශයේ ජලය ඉහළම මට්ටමට එන තෙක් අදාළ නිලධාරීන් බලා සිට ඇති බවයි. 

Facbook | Archived Link

හිටපු මන්ත්‍රීවරයා කළ බව කියන පුවත පාදක කර ගනිමින් තවත් වෙබ් අඩිවි කිහිපයක් මෙම පුවත වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් Archived Link සහ මෙතැනින් Archived Link

මේ අනුව කොත්මලේ ජලාශය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා සිදු කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා. 

Explainer (කරුණු පැහැදිලි කිරීම)  

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා 

හිටපු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කොත්මලේ ජලාශය සම්බන්ධව සිදු කර ඇති බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද වාර්තා කර තිබේ අප පරීක්ෂා කර බැලුවා. එහිදී පසුගිය 09 වැනිදා HiruNews ඔස්සේ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී සිදු කළ එම ප්‍රකාශය වාර්තා කර තිබෙනු මෙලෙස දැකගත හැකි විය. හිටපු මන්ත්‍රීවරයා එහිදී පවසන්නේ, කොත්මලේ ජලාශය භාරව අත්දැකීම් සහිත ඉංජිනේරුවරුන් 3 දෙනෙකු සිට ඇති බවත් ඔවුන් ඉවත් කර ජනතා විමුක්ති පෙරමුණට, වත්මන් ආණ්ඩුවට හිතවත් ආධුනික ඉංජිනේරුවරුන් 3 දෙනෙකු කොත්මලේ ජලාශයේ මූලික වගකීමට යොමු කර ඇති බවට  තමන්ට ආරංචි වූ බවයි.  තවද කිසිදු දැනුම්දීමකින් තොරව රාත්‍රී කාලයේ දොරටු 4 ක් හෝ 5ක් එකවර විවෘත කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති  බවත් ඒ සමග ගෙළිඔය, ගම්පොළ, ගැටඹේ, පේරාදෙණිය ඇතුළු ප්‍රදේශ යට වී ජීවිත දේපොළ හානී වූ බව ද හිටපු මන්ත්‍රීවරයා එහිදී චෝදනා කර සිටී.   

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රතිචාරය

හිටපු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සිදු කර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.කේ හේරත් මහතාගෙන් විමසීමක් කළා. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මන්ත්‍රීවරයා සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු ඉංජිනේරුවරුන් අනියුක්ත කිරීමක් සිදු කර නොමැති  බවත් එක් ඉංජිනේරුවරයෙකු පමණක් අදාළ ඉංජිනේරුවරයාගේ ඉල්ලීම මත අනියුක්ත කර සිටි බවත් ය. කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශයට එරෙහිව ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ‍යෙමු කළ බවත් ඊට අදාළව අද දිනයේ තමන් එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ද ලබා දෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. 

මේ අතර රාත්‍රී කාලයේ දොරටු 4 ක් හෝ 5ක් එකවර විවෘත කර ඇති බවට වන මන්ත්‍රීවරයාගේ ප්‍රකශයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශය කළේ, ජලාශයේ ඇත්තේ, වාන් දොරටු 3ක් පමණක් බවයි. 

Kothmale Hydropower Project

මහවැලි අධිකාරියෙන් CIDයට පැමිණිල්ලක් හිරු රූපවාහිනිය මගින් 2025.12.09 දින රාත්‍රි0 7.00 ප්‍රවෘත්ති ප්‍රකාශය මඟින් සිදුකරන ලද කොත්මලේ වේල්ලේ රාජකාරී නියුතු ඉංජිනේරු කායමණ්ඩලය අනුයුක්ත කිරීම පිළිබඳව කරනු ලබන පැමිණිල්ල‘ යන ශීර්ෂයෙන් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල යොමු කර තිබේ. අධිකාරිය අදාළ පැමිණිල්ල මගින් ප්‍රකාශ කර සිටින්නේ, කොත්මලේ හිටපු අත්දැකීම් තිබෙන ඉංජිනේරුවන් තිදෙනෙක් ඉවත් කර, ආණ්ඩුවට / ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආධුනික ඉංජිනේරුවන් තිදෙනෙක් අනුයුක්ත කර ඇති බවත්, වාන් දොරටු 04ක් හෝ 05ක් විවෘත කළ බවටත් වන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බවයි. 

මේ අතර මහවැලි අධිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අදාළ පැමිණිල්ල යොමු කර ඇත්තේ, අනියුක්ත කර ඇති ඉංජිනේරුවරුන්ගේ නම් ඔවුන් මුල් පත්වීම් ලද දිනයන් සහ ඒ ඒ අංශවලට අනුයුක්ත කළ දින වකවානු ද සහිතවයි. 

ඉංජි: ඒ.එම්.ඒ.කේ.සෙනෙවිරත්න මහතා – කාර්යභාර ඉංජිනේරු (කොත්මලේ)

ඉංජි: කේ.ආර්.එස්.එම්.කුමාරි මෙය – ප්‍රධාන ඉංජිනේරු (සිවිල්)

ඉංජි: සී.ආර්.අරඹේපොල මහතා – සිවිල් ඉංජිනේරු

ඉංජි: ආර්.එම්.එස්.එස්.ආර්.රත්නායක මහතා – විදුලි ඉංජිනේරු

යන ඉංජිනේරුවරුන්ගේ විස්තර පහතින් දැක්වේ. 

තව ද ඉහත පැමිණිල්ලට අනුව එම ඉංජිනේරුවරුන්ගෙන් 2025 වසරේ කොත්මලේ කාර්යභාර ඉංජිනේරු කායාලයේ සේවයට අනුයුක්ත කර ඇත්තේ ඉංජි: ආර්.එම්.එස්.එස්.ආර්.රත්නායක මහතා (2025.04.07) පමණක් වන අතර එය ද සිදු කර ඇත්තේ ද   අදාළ ඉංජිනේරුවරයාගේ ඉල්ලීම මත බව අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇත. 

වාන් දොරටු 4ක් හෝ  5ක් විවෘත වූ බවට වන ප්‍රකාශය පිළිබඳව ද මෙම පැමිණිල්ලේ සඳහන් අතර එහි සඳහන් වන්නේ, ජලාශයේ ඇත්තේ, වාන් දොරටු 3ක් පමණක් බවයි.  

ප්‍රාදේශීය වාර්තාකරුවන් 

මේ අතර කොත්මලේ ජලාශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් සේවයට යොදවා තිබූ බවට වන චෝදනාව පිළිබඳව අප ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ, එවැනි තොරතුරක් ඔවුන්ට වාර්තා වී නොමැති බවයි. තව ද කොත්මලේ ජලාශයේ ඇත්තේ, වාන් දොරටු 3ක් බව ද ඔවුන් අප හමුවේ තහවුරු කළා.  

 කොත්මලේ ජලාශයේ වාන් දොරටු අරින්න පමා වූවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොත්මලේ ජලාශය පිළිබඳ සමාජයේ මත පිළිබඳව  පසුගිය 8 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියා.

මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම, වේල්ලට දරා ගැනීමට නොහැකි මට්ටමේ ජල ප්‍රමාණයක් පසුගිය 27 වැනිදා කොත්මලේ ජලාශයට ලැබුණු බවත්, එම නිසා කොත්මලේ වේල්ල ආරක්ෂා කරගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික ක්‍රමයට අනුව විද්‍යාත්මක ලෙස වාන් දොරටු විවෘත කළ බවත් ය. 

මේ අතර කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිරෙන කටකතා අසත්‍ය බවත්, විද්‍යාත්මක සහ දත්ත පදනම් කරගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇති බවත් මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය 09 වැනිදා මාධ්‍යට පවසා තිබුණා. ඒ එදින කොත්මලේ ජලාශ වේල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:කොත්මලේ ජලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් අනුයුක්ත කරලද?

Fact Check By: Sagarika Chathumali  

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *