දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එක් වැදගත් මෙහෙයුමක් ලෙස යුක්තිය මෙහෙයුම දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නායකත්වය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වනවා. මෙම මෙහෙයුමෙන් මේ වන විට දිනකට සැලකිය යුතු තරම් වැටලීම් ගණනක් සිදු කර අත්අඩංගුවට ගැනීම් රැසක් ද සිදුව තිබෙනවා. යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමඟ යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඉලක්ක කරගනිමින් හුවමාරු වී තිබු සටහන් පෙළකින් දක්වා තිබුනේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ‘යුක්තිය’ මත්ද්‍රව්‍ය නාශක සහ අපරාධ මර්දන මෙහෙයුමේදී, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග අතරින්, සාම්පල 790ක් පමණම පාන්පිටි ලෙස හඳුනාගෙන ඇති බවකි.

Facebook | Archived

සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ සඳහා පහත පරිදි ප්‍රතිචාර දක්වා තිබුණා.

මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය පළ කිරීම්වල මූලාරම්භය:

‘යුක්තිය’ මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සාම්පල 790ක් රජයේ විශ්ලේෂකයින් විසින් පාන්පිටි බවට හඳුනාගෙන ඇති බවට පෙන්වා දෙන ප්‍රවෘත්තියක් දෙරණ රූපාවාහිණී නාලිකාවේ වැඩසටහනකින් ඉදිරිපත් කරන අන්දම දැක්වෙන රූපයක් සමඟ මෙම අදාළ පළ කිරීම සිදු කර ඇති අතර, ඊට වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ රුවද එක් කොට උපහාසාත්මක ලෙස සමාජ මාධ්‍යන්ගේ පල කර තිබුණා.

දෙරණ රූපවාහිණී නාලිකාවෙන් ලබාගත් ලෙස දැක්වෙන රූපය පිළිබඳව තහවුරු කිරීම:

Reverse Image යෙදවුම භාවිතයෙන් අදාල රූපය පිළිබඳව විමසා බැලීමේදී පෙනී ගියේ, මීට මාසයකට ඉහත දී, එනම් දෙසැම්බර් 5වනදා දෙරණ රූපවාහිණියේ උදෑසන පුවත්පත් විශ්ලේෂනය කෙරෙන දෙරණ අරුණ වැඩසටහනට අදාල වීඩියෝවක් බවයි.

මෙම වැඩසටහනේදී එදින අරුණ පුවත්පතේ ලිපියක් උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, 2023 ජනවාරි 1 සිට 2023 නොවැම්බර් 8 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකළ වැටලීම්වලින්, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය සාම්පල් 7000කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එම සාම්පල අතරින් 790ක් පමණ පාන්පිටි සහ පැරසිටමෝල් අනාදි ලෙස මත්ද්‍රව්‍ය වලින් තොර සාම්පල බවට රජයේ විශ්ලේෂකයන් විසින් හඳුනාගෙන ඇති බවකි. එසේ මත්ද්‍රව්‍ය තොර සාම්පල ඉදිරිපත් කර තිබු පොලිස් ස්ථාන අතර වැල්ලම්පිටිය, කඩුවෙල, මරදාන යනාදී පොලිස් ස්ථාන මුල් තැන ගෙන තිබු බව ද සඳහන් වී තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කලේ මේ ආකාරයට නිතිය අවභාවිතා කරමින් පොලිසිය කටයුතු කිරීම කිසිසේත් අනුමත කළනොහැකි ක්‍රියාවක් බවයි.

මීට අදාල දෙරණ රූපවාහිණී නාලිකාවේ වීඩියෝව මෙතනින්.

කාල රාමුව පිළිබඳව තහවුරු කිරීම:

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගත්තේ නොවැම්බර් 30වනදා වන අතර යුක්තිය මෙහෙයුම ආරම්භ වුණේ දෙසැම්බර් 16 වනදායි. එනම් පොලිස්පතිතුමා වැඩභාරගත් දිනයටත් පසුවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාල රූපයේ සඳහන් වන මත්ද්‍රව්‍ය සාම්පලවල ගැටළුව යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමටත් පෙර මෙන්ම වැඩබලන පොලිස්පතිවරයා සිය ධුරයේ රාජකාරි භාරගැනීමටත් පෙර ඇතිවූවක් බව පෙනී යනවා. එනම්, එහිදී ප්‍රශ්න සහගත හෙරොයින් සාම්පල 790 සොයා ගෙන ඇත්තේ 2023 නොවැම්බර් 30ටත් පෙර, ජනවාරි 1ත්, නොවැම්බර් 8ත් අතර කාලසීමාවේදීයි. ඒ අනුව මෙම සාම්පල යුක්තිය මෙහෙයුමට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැහැ.

යුක්තිය මෙහෙයුම පිළිබඳව තහවුරු කිරීම:

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මඟපෙන්වීම යටතේ යුක්තිය මෙහෙයුම මේ වන විට රට පුරා ක්‍රියාත්මකව පවතිනවා. මේ වන විටත් සැලකිය යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ සැකකරුවන් රැසක්ද මෙම මෙහෙයුම යටතේ අත් අඩංගුවට පත්ව ඇති බව විවිධ වාර්ථා ඔස්සේ සනාථ කරනවා. කෙසේ වෙතත්, යුක්තිය මෙහෙයුමට අදාලව ව්‍යාජ හෙරොයින් සාම්පල් හමුවීමේ සිද්දියක් පිළිබඳව මෙතෙක් කිසිදු ආකාර වාර්තා වීමක් සිදුව නොමැති අතර එවැනි ගැටලුවක් ඇතිවුයේ නොමැති බවට ද පොලිස් මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශ කළා.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ

මත්ද්‍රව්‍ය යටතේ අත් අඩංගුවට ගන්නා මෙවැනි පාන් පිටි, පැරසිටමෝල් ආදියෙන් සමන්විත අවස්ථා පිළිබඳව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ නිරන්තරයෙන් සිය කනස්සල්ල පළ කර තිබෙනවා. 2023 දෙසැම්බර් 28 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අදහස් දැක්විමක දී ද ඔහු සඳහන් කළේ නැවත නැවතත් මතුවන ප්‍රශ්නය විසඳා ගැනීමට ක්‍රමවේදයක අවශ්‍යතාවය පිළිබඳවයි.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

‘යුක්තිය’ මෙහෙයුමෙන් සිදුකළ වැටලීම් වලින් සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල් ව්‍යාජ හෙරොයින් සාම්පල් බවට පැතිරී යන සමාජ මාධ්‍ය ප්‍රකාශයන් නොමඟ යවන සුළුයි. අදාළ සමාජ ජාලා සටහන්වල සඳහන් මත්ද්‍රව්‍ය ලෙස සැලකුණු සාම්පලවල පාන්පිටි සහ පැරසිටමෝල් තිබීම මඟින් පැනනැගුණු ගැටළුව ‘යුක්තිය’ මෙහෙයුම ක්‍රියාත්මක වීමට පෙර සිදු කළ වැටලීම්වලදී සොයා ගත් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීමක්. දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම මීට අදාල නොවන අතර, එහිදී වැටලූ මත්ද්‍රව්‍ය ව්‍යාජ බවට මෙතෙක් කිසිදු වාර්තාවක් හමු වී නැහැ.

Avatar

Title:ශ්‍රී ලංකාවේ යුක්තිය මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ව්‍යාජ ඒවා බවට දැක්වෙන ආන්දෝලනාත්මක ප්‍රකාශවල ඇත්ත කතාව!

Written By: Fact Crescendo Team

Result: Missing Context