දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සම්පූර්ණ ප්‍රකාශයන්ගෙන් කොටසක් පමණක් ගෙන විවිධ ශීර්ෂපාඨ සහිතව පළ කිරීමේදී ඇතැම් අවස්ථාවල අර්ථය විකෘති වීමක් ද සිදු වේ. මේ එලෙස පළ කරන ලද සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රටින් ගේන බඩු ලංකාවේ නිෂ්පාදනය කරන බඩුවලට වඩා අඩුවට වික්කොත් දැඩි දඬුවම්’’ තේමාවෙන් පළ කරන ලද මෙම සටහනේ දැක්වෙන්නේ, දේශීය නිෂ්පාදනවලට වඩා අඩු මිලට මෙරට අලෙවි වන ආනයනික භාණ්ඩ පිළිබඳ සොයා බලා, ඒවාට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර ඇති බවයි.
මාතලේ කර්මාන්තපුර නිරීක්ෂණයකදී අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර ඇති බවත් නීතිවිරෝධීව මෙරටට ගෙන්වා අඩු මිලට අලෙවි කරන සපත්තු, ටයිල් සහ ගිනිපෙට්ටි වැනි නිෂ්පාදන පිළිබඳව තොරතුරු ලබාදීම දේශීය කර්මාන්තකරුවන්ගේ වගකීමක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් එහි සඳහන් ය.

එසේම ඉහත සටහන සඳහා යොදාගෙන තිබු ඡායාරූප සහ “රටින් ගේන බඩු ලංකාවේ නිෂ්පාදනය කරන බඩුවලට වඩා අඩුවට වික්කොත් දැඩි දඬුවම්’’ යන තේමාව යොදාගනිමින්, උපහාසාත්මක කෝණයන්ගෙන් ද සටහන් පෙළක් නිර්මාණය වී තිබුනේ මෙලෙසින්.



අමාත්‍යවරයා විසින් සඳහන් කරන්නේ සියලුම ආනයනික භාණ්ඩ මෙරට නිෂ්පාදන වලට වඩා අඩු මිලක පවතිනවානම්, පැමිණිලි කරන ලෙස හෝ දඬුවම් ලබා දිය හැකි බවට හැඟී යන ලෙස මෙම සටහන් පළ කර තිබුණා.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ දැයි අප පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මාධ්‍ය කිහිපයක් විසින් එම පුවත මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.

මෙහි සත්‍යතාව විමසා පාඨකයින්ගෙන් ලද ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මූලිකවම මෙම පුවත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද, “රටින් ගේන බඩු ලංකාවේ නිෂ්පාදනය කරන බඩුවලට වඩා අඩුවට වික්කොත් දැඩි දඬුවම්’’ යන තේමාවෙන් පුවත් පළ කර තිබූ බැවින් මේ පිළිබඳ නිසි තොරතුරු පරීක්ෂා කිරීමට අප මාතලේ කර්මාන්තපුර නිරීක්ෂණයකදී අමාත්‍යවරයා සත්‍ය වශයෙන් ම ප්‍රකාශ කළේ කුමක් ද යන්න පිළිබඳ තවදුරටත් විමසා බැලීමට පියවර ගත්තා.
අමාත්‍යවරයා සත්‍ය වශයෙන්ම පවසන්නේ කුමක් ද?
මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්තපුරයන්හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, යම් කිසි ආනයනික භාණ්ඩයක්, අදාළ රටේදී එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා යන පිරිවැයටත් වඩා අඩුවෙන්, මෙරට වෙළඳපොළේ අලෙවි කිරීමට තිබේ නම්, දේශීය කර්මාන්තකරුවන්ට ඒ පිළිබඳ සාක්ෂි සහිතව පැමිණිලි කිරීමේ හැකියාව ඇති බවයි. එසේ පැමිණිලි කරන්නේ නම් ඒ පිළිබඳව Anti-dumping පනත හරහා විභාග කිරීමට හැකියාව පවතින බවයි.
“සමහර බඩු තියෙනවා. චීනෙන්, තායිලන්තෙන් ගේන බඩු තියෙනවා. සමහර ඒවා ඒ රටේ පිරිවැයටත් වඩා, 100%ක් ටැක්ස් කරාමත් අඩුවෙන් එන්නේ , අන්ඩර් වැලියු කරලා නැත්නම් හොර පාරෙන් ආපු එකක්. එතකොට අපිට ඒකෙ ඔරිජින් එකටම ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන් අපේ භාණ්ඩයකට මේක ත්‍රෙට් එකක් හැබැයි සාක්ෂි සහිතව ඒක පැමිණිල්ලක් එන්න ඕන’’
ඒ අනුව අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ප්‍රමිතියෙන් බාල ආනයනික භාණ්ඩ වලින් දේශීය ව්‍යවසායකයා හා පාරිභෝගිකයා සුරැකීම සඳහා Anti-dumping පනත හරහා ක්‍රියා කිරීමේ හැකියාව පවතින බවයි.
අමාත්‍යවරයා තවදුරටත් උදාහරණ සහිතව කරුණු පැහැදිලි කරමින් එහිදී කියා සිටින්නේ, ඇතැම් භාණ්ඩ සඳහා රජය 100%ක් බදු අය කළත් මෙරට වෙළඳපොළ එම ඇතැම් භාණ්ඩ අදාළ බද්දටත් වඩා අඩු මුදලට අලෙවි කරන බවයි. නිසි ලෙස ප්‍රමිතියෙන් යුතුව නිසි ක්‍රමවේදයට රටට ආනයනය කරන භාණ්ඩයක් එලෙස අලෙවි කිරීමේ හැකියාවක් නොමැත.
“ඒගොල්ලන්ට අපි 200%ක් ටැක්ස් කරාමත් අපේ සපත්තු ජෝඩුවට වඩා මිල අඩුයි. ටයිල් , ලයිටර්, ගිනිපෙට්ටි 100%ක් සමාන ඒවා තියෙනවා තුට්ටු 2 ගානට ලයිටර් තියෙනවා ගොඩ ගහලා අපි ගහන ටැක්ස් එකටත් වඩා මිල අඩුයි”
අමාත්‍යවරයා සවිස්තරරාත්මකව අදාළ කරුණ පැහැදිලි කරන ආකාරය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ ද මෙලෙස පළ කර තිබුණා. අඩු ප්‍රමිතියෙන් යුතු ආනයනික භාණ්ඩ වලින් දේශීය ව්‍යවසායකයා හා පාරිභෝගිකයා සුරැකීම වෙනුවන් Anti-dumping පනත හරහා විමර්ශන සිදු කළ හැකි බවට අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කළ බවයි.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවයරගේ මාධ්‍ය ලේකම්
මේ අතර අප කළ විමසීමකදී අමාත්‍යවරයා මාධ්‍ය ලේකම්වරයා ද ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා එහිදී පැහැදිලිවම සඳහන් කර සිටියේ, නීතිවිරෝධිව මෙරටට ගෙන්වන, අදාළ රටේ භාණ්ඩය නිෂ්පාදනය සඳහා යන වියදමටත් වඩා අඩුවෙන් මෙරට වෙළඳපොළේ අලෙවි කරන ප්‍රමිතියෙන් බාල භාණ්ඩ පිළිබඳව බවයි. නිසි ක්‍රමවේදයට ආනයනය කරන නිසි ප්‍රමිතියෙන් යුතු, ආනයනික භාණ්ඩ පිළිබඳව නොවන බවයි. ඇතැම් සමාජ මාධ්‍ය සටහන් මගින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සමාජය නොමග යන සුළු ආකාරයෙන් වාර්තා කර ඇති බව ද මාධ්‍ය ලේකම්වරයා කියා සිටියා.
Anti-Dumping පනත – ඇත්තටම කියන්නේ කුමක් ද?
වානිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක 2018 අංක 2 දරන Anti-Dumping and Countervailing Duties පනත අනුව අමාත්‍යවරයා සඳහන් කරනු ලබන නීතිමය කරුණ මෙසේයි. එනම් මෙම පනත සියලුම අඩු මිල භාණ්ඩ සඳහා දඩ පැනවීම සඳහා නොවන අතර මෙය සීමිත විෂය පථයක් සහිත සාක්ෂි මත පදනම් වූ ක්‍රමවේදයකි. ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නම්, පහත කොන්දේසි තුනම සපුරා තිබිය යුතුයි.
- භාණ්ඩය ඩම්පින් කර තිබීම – එනම් මුල් රටේ සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට විකිණීම (ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩුවීම පමණක් නොවේ).
- එම ඩම්පින් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තයට සැලකිය යුතු හානියක් සිදුවීම.
- එකී හානිය සහ ඩම්පින් කිරීම අතර පැහැදිලි සම්බන්ධතාවක් පෙන්නුම් කිරීම.
තව ද පනත අනුව සාක්ෂි ප්‍රමාණවත් නොවුවහොත් හෝ ඩම්පින් අගය ඉතා සුළු නම් පරීක්ෂණ නවතා දැමිය යුතුයි. මේ අතර 2024 දී පනත සංශෝධනය කර පරීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් නිවැරදි කර ඇති අතර ඉන් අදහස් වන්නේ, ආනයනික භාණ්ඩයක් සහ දේශීය භාණ්ඩයක් අතර මිල වෙනස් වීම පමණක්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හේතුවක් නොවන බවයි. ඒ සඳහා නිල පැමිණිලල්ක් , සාක්ෂි සහ සම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය වේ. මේ පිළිබඳව අමාත්‍යවරයා ද සිය කරුණු පැහැදිලි කිරීමේදී සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් මගින් මෙම නීතිමය තත්ත්වය සම්පූර්ණයෙන්ම වැරදි ලෙස ප්‍රකාශ කරමින් ඕනෑම ආනයනික භාණ්ඩයක් අඩු මිලට විකිණීම දඬුවම් ලැබිය හැකි තත්ත්වයක් බවට හැඟීයන ආකාරයෙන් කරුණු ප්‍රකාශ කර තිබේ. එ් අනුව සමාජ මාධ්‍ය සටහන්වල පවසන ආකාරයේ කරුණක් අමාත්‍යවරයා ද ප්‍රකාශ නොකරයි.
ආනයනික භාණ්ඩ ලංකාවේ දේශීය නිෂ්පාදනවලට වඩා අඩු මිලට තිබිය හැක්කේ ඇයි? — සාධාරණ හේතු මත ඇති වන මිල වෙනස්කම්
මෙය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සහ අමාත්‍යවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් පළ කර ඇති මාධ්‍ය වාර්තාවල සඳහන් නොවන තවත් සුවිශේෂි කරුණකි. නිසි ක්‍රමවේදයට ආනයනය කර භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩවලට වඩා අඩු මිලකට අලෙවි වීමේ හැකියාවක් පවතී. ඒ ශ්‍රී ලංකාව බොහෝ කාර්මික අංශවල නිෂ්පාදන ධාරිතාවක් නොමැති නිසා සහ තරගකාරී මිල ගණන් යටතේ භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙනි. එය අවබෝධ කර ගත හැකි උදාහරණ කිහිපයක් මෙසේයි.
ගෘහස්ත විදුලි උපකරණ (රූපවාහිනි යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර,ශීතකරණ):
ශ්‍රි ලංකාවේ සමාන්‍යයෙන් විදුලි උපකරණ නිෂ්පාදනය සිදු නොවන අතර Hisense, Samsung, LG වැනි වෙළඳ නාම යටතේ මෙම උපකරණ ආනයනය කරනු ලබයි. ඒවා විශාල පරිමාණ නිෂ්පාදන නිසා එක් ඒකකයට වියදම 30–50%ක් දක්වා අඩු වේ. ඒ අනුව ආනයනික බදු පැවතිය ද මෙම භාණ්ඩ තරගකාරී මිලකට හෝ අඩු මුදලකට ලබා ගත හැකියි. එනම් ලංකාවේදී එවැනි උපකරණයක් නිෂ්පාදනය කර අලෙවි කරන මිලට වඩා අඩු මුදලකට ආනයනය කරන උපකරණයක් මිලදී ගත හැකියි. මෙහිදී එම ආනයනික භාණ්ඩය මිල අඩු වන්නේ, එය නීති විරෝධි නිසා නොව ඔවුන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන නිසා සහ අඩු නිෂ්පාදන වියදම නිසාය.
සෙරමික් ටයිල්ස් :
ඉන්දියාව, චීනය වැනි රටවල් ස්වයංක්‍රීය උදුන් සහ අඩු බලශක්ති වියදමකින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ටයිල් වැනිදේ නිෂ්පාදනය කරන අතර ඒ අනුව නිසි ක්‍රමවේදයට බදු ගෙවා ආනයනය කරනු ලබන ටයිල් ඩම්පින් නිසා නොව නිෂ්පාදනයට යන පිරිවැය අඩු නිසාම දේශීය ටයිල්වලට වඩා අඩු මිලදී ගත හැකි අවස්ථා පවතී.
ලයිටර් සහ ගිනි පෙට්ටි :
අමාත්‍යවරයා සියා අදහස් පළ කිරීමේදී ද පවසන පරිදි 100%ක් බදු තිබුණ ද ලයිටර් වැනි දේ ඉතා අඩු මිලට මෙරටට පැමිණේ, මෙය නිෂ්පාදන වියදම් වාසිය නිසා සිදු වන දෙයක් වන අතර එය අනිවර්ය නීති විරෝධි වෙළඳාමක් බවට සාක්ෂියක් නොවේ.
ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ :
ශ්‍රී ලංකාව ප්ලාස්ටික් නිෂ්පාදනයට අවශ්‍ය කරන polymer සහ resin වැනි දේ අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ආනයනය කරනු ලබන අතර ඒ අනුව දේශීයව නිෂ්පාදිත ප්ලාස්ටික් භාණ්ඩ බදු පැවතිය ද ආනයනය කරන විදේශීය භාණ්ඩවලට වඩා මිල අධික විය හැකියි.
ඒ අනුව මෙම සියලු අවස්ථාවලදී අඩු මිලක් පෙන්නුම් කරනු ලබන්නේ, රටවල් අතර තරගකාරීත්වය විශාල පරිමාණයේ නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ කර්මාන්ත හැකියාවන්හි හිඟය ආදී කරුණු නිසා මිස නීතිවිරෝධි ඩම්පින් නිසා නොවේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දේශීය නිෂ්පාදනවලට වඩා අඩු මිලට මෙරට අලෙවි වන ආනයනික භාණ්ඩ පිළිබඳ සොයා බලා, ඒවාට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන සටහන සමාජය නොමග යවන සුළු බවයි.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, පනවා ඇති බදුවලටත් වඩා අඩු මිලකට, අදාළ රටේ එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා යන පිරිවැයටත් වඩා අඩු මුදලකට මෙරට වෙළඳපොළේ කිසියම් භාණ්ඩයක් අලෙවි වන්නේ නම්, එය ප්‍රමිතියෙන් බාල, නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද භාණ්ඩ විය හැකි බවත් ඒ අනුව එවැනි නිෂ්පාදන පිළිබඳව සාක්ෂිත සහිතව නිසි ලෙස පැමිණිල්ලක් සිදු කරන්නේ නම්, ඒ ගැන සොයා බලා, ඊට එරෙහිව Anti-dumping පනත හරහා ක්‍රියා කළ හැකි බව අමාත්‍යවරයා අවධාරණය කරයි.


