ගබ්සා පෙත්තට ලංකා රජයේ අනුමැතිය ලැබුණා ද?

International Misleading Social

Last updated on May 9th, 2023 at 08:48 am

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලංකාව තුළ ගබ්සා කිරීම් නීතිගත කරමින් ඒ සඳහා පෙත්තක් රජය විසින් අනුමත කළ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් මෙරට ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය ලබා දුන් බව දක්වා, එම තීරණ සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. 

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණ වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙරට රජය විසින් එවැනි තීරණයක් ගත් බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

‍‍මේ ‍‍හේතුවෙන් අප මේ පිළිබඳව විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ගබ්සා කිරීම යනු ස්වභාවයෙන් සිදුවන ගබ්සාව නොව කෘත්‍රිමව ගර්භයක් ශරීරයෙන් ඉවත් කිරීමයි.  එනම්, ගබ්සාව ලෙස හඳුන්වනු ලබන්නේ නොමේරු කලලයක් ස්වාභාවිකව හෝ බාහිර බලපෑමක් මඟින් ගර්භයෙන් පිටතට ගැනීමයි. සති 28 කට පෙර එසේ ඉවත් කිරීම abortion (ගබ්සාව) ලෙස සලකනු ලබන අතර සති 28 න් පසුව සලකන්නේ premature delivery (නොමේරූ දරු උපතක්) ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මවගේ ජීවිතය බේරා ගැනීමට ගර්භය ඉවත් කිරීම හැර, අනෙකුත් අවස්ථාවල ගබ්සාව ලංකාවේ නීතියට අනුව වසර 3 සිට 10 දක්වා සිරදඬුවම් ලැබිය හැකි  නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තාවක කරුණු දක්වා තිබු අයුරු මෙතනින්

එවන් වපසරියක් තුළ, මෙරට රජය විසින් ගබ්සා කිරීමට අනුමැතිය ලබා දීමේ තීරණයක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා. නමුත් එවැනි පුවතක් සම්බන්ධයෙන් වාර්තා වී නොතිබුණි.

අප මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේනමුත් දූෂණයට ලක් කාන්තාවන් සඳහා ගබ්සාව නීතිගත කිරීම ගැන ශ්‍රී ලංකාව සළකා බැලිය යුතු බව හිටපු අධිකරණ ඇමති අලි සබ්‍රි 2022 වසරේ දී ද පාර්ලිමේන්තුවේ දී අවධාරණ කර තිබුණා.

The Family Planning Association විසින් ගබ්සාව පිළිබඳ නීතිමය තත්වය මෙන්ම අනාරක්ෂිත ගබ්සා කිරීමේ අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද රැසක් ලංකාවේ දී සිදුකරනවා. ආරක්‍ෂිත ගබ්සා කිරීමේ ක්‍රම සඳහා ප්‍රවේශයක් නොමැති විට, බොහෝ දෙනෙකුට අනාරක්ෂිත ක්‍රමයකට යොමු වීමට පෙළඹෙන බවත් එය ඔවුන්ගේ සෞඛ්‍යය හා ජීවිත අවදානමට ලක් කරන අයුරු ඔවුන් පෙන්වා දෙන වීඩියෝවක් මෙතනින්. ඒ පිලිබඳ ඔවුන් ලංකාවේ සිදුකළ අධ්‍යයනයක් මෙතනින්

ලෝකයේ ඇතැම් රටවල නොයෙකුත් හේතුන් මත ගබ්සා නීතිය ලිහිල් කොට තිබේ. නමුත් ලංකාව ඇතුළු රටවල් රැසකම, අද දක්වාම ගබ්සාව නීති විරෝධී ක්‍රියාවක් බවට පත්ව තිබේ.

විවිධ හේතු මත, ගබ්සා කිරීම් සඳහා තහනම් කර සහ සීමා පනවා ඇති රටවල් පිලිබඳ තොරතුරු මෙතනින්. ගබ්සා නිතිය විවිධ රටවල බලපැවැත්වෙන අයුරු මෙතනින්

ජපානයේ ගබ්සා පෙත්තක් අනුමත කිරීමේ පුවත, නොමඟ යවන සුළු සිරස්තලයකින් වාර්තා කළ අවස්ථාවක්!

ඉන් අනතුරුව මෙම සටහන් නිර්මාණය වීමට හේතු වී ඇති කරුණු සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කළා. “ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් පළ වූ ෆේස්බුක් සටහනක දක්වා තිබූ සබැඳිය ඔස්සේ කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, එම පුවතේ සඳහන් වන්නේ, ගබ්සා කිරීම සඳහා පෙති ලබා ගැනීමට ජපාන රජය අනුමැතිය ලබා දුන් පුවතකි.

Dasatha | Archived Link

කෙසේ වෙතත් මෙහි ශීර්ෂ පාඨයේ කුමන රටක රජය විසින් ලබා ගත් තීරණයක් ද යන්න දක්වා නොමැති බැවින් මෙම නොමග යෑම සිදු ව තිබුණා.

ජපන් රජය විසින් එරට ගබ්සා කිරීම සඳහා පෙත්තක් ලබා ගැනීමට අනුමැතිය ලබාදීම පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ පුවත් මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකාවේ ගබ්සාව නීති ගත කළ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් නොමග යන සුළුයි. 

ලංකාවේ නීතියට අනුව, මවගේ ජීවිතය බේරා ගැනීමට ගර්භය ඉවත් කිරීම හැර, අනෙකුත් අවස්ථාවල ගබ්සාව තහනම් වේ. ජපන් රජය විසින් එරට ගබ්සා කිරීම සඳහා පෙත්තක් ලබා ගැනීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පළ වූ පුවතක් නොමඟ යවන සුළු සිරස්තලයකින් වාර්තා කිරීම, මෙම නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වීමට මුල් වී තිබුණා.

Avatar

Title:ගබ්සා පෙත්තට ලංකා රජයේ අනුමැතිය ලැබුණා ද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply