දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ MV Hondius නම් සුඛෝපභෝගී සංචාරක නෞකාවක හන්ටා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තහවුරු කිරීමත් සමඟ හැන්ටා වෛරසය සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරව බොහෝ දෙනා අවධානය යොමු කරමින් සිටිනවා. හැන්ටා වෛරසය සහ එහි පැතිරයාම සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“හන්ටා වෛරසය පැතිරීමෙන් තිදෙනෙකු මරුට,ලෝක සෞඛ්‍ය සංවිධානය සෝදිසියෙන්” යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍යය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

හන්ටා වෛරසයේ පැතිර යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සටහන් හුවමාරු වී තිබුණා.



සමාජ මාධ්‍යයේ ඉතා වේගයෙන් මෙම හන්ටා නම් වෛරසය සම්බන්ධයෙන් සටහන් හුවමාරු වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අප විසින් කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ MV Hondius නම් නෞකාව 2026 අප්‍රේල් 1 වන දින ආර්ජන්ටිනාවේ උෂුවායා වරායෙන් පිටත්ව ඇති අතර, එය දකුණු ජෝර්ජියාව, ට්‍රිස්ටන් ඩා කුන්හා සහ ශාන්ත හෙලේනා දූපත් හරහා කේප් වර්ඩ් බලා ගමන් කරමින් තිබී ඇත. මේ අතර, අප්‍රේල් මස මුල් සතියේදී මගීන් කිහිප දෙනෙකුට උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ මතු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත අනුව, හන්ටා වෛරසය වැලඳීමෙන් මෙම නෞකාවේ මේ වන විට මරණ 3ක් තහවුරු කර ඇත. අප්‍රේල් 11 වනදා නෞකාව තුළදීම 70 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙක් මිය ගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ (69 හැවිරිදි) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි රෝහලකදී මියගිය අතර, තෙවන මරණය මැයි 2 වන දින නෞකාව තුළදීම මියගිය ජර්මානු ජාතික කාන්තාවකි. මියගිය පුද්ගලයන්ගේ සාම්පල දකුණු අප්‍රිකාවේ National Institute for Communicable Diseases (NICD) ආයතනය මගින් පරීක්ෂා කර ඇති අතර, ඔවුන් විසින් මෙය Andes strain නම් වූ හන්ටා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඇති වූ මරණ ලෙස තහවුරු කර තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
හන්ටා වයිරසය යනු කුමක්ද?
හන්ටා වයිරසය යනු මීයන් මගින් බෝවන වෛරස් සමූහයක් වන අතර, මෙය ප්‍රධාන වශයෙන් රෝගී තත්ත්වයන් දෙකක් ඇති කරයි. HPS (Hantavirus Pulmonary Syndrome) මෙය මාරාන්තික ශ්වසන රෝගයක් වන අතර, මෙය ප්‍රධාන වශයෙන් ඇමරිකානු කලාපයේ උතුරු සහ දකුණු ඇමරිකාව තුළ දක්නට ලැබේ. HFRS (Hemorrhagic Fever with Renal Syndrome) මෙය වකුගඩු අකර්මණ්‍ය කරන රක්තපාත උණ තත්ත්වයකි. මෙය යුරෝපය සහ ආසියානු කලාපයේ බහුලව දක්නට ලැබේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
හන්ටා වයිරසය පැතිරෙන්නේ කෙසේද?
මෙම රෝගයේ ප්‍රධාන වාහකයා වන්නේ මීයන්ය. වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන ආකාර කිහිපයකි. ආසාදිත මීයන්ගේ මුත්‍රා, මළපහ සහ කෙළ වියළී ගිය පසු ඒවායේ ඇති වෛරසය දූවිලි අංශු සමඟ මිශ්‍ර වේ. මිනිසුන් මෙම අපිරිසිදු වාතය ආශ්වාස කළ විට වෛරසය පෙනහළු කරා ගමන් කරන බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සඳහන් කරයි. වෛරසය සහිත මී අපද්‍රව්‍ය ස්පර්ශ කර, එම දෑත්වලින් මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන් සහ මී අපද්‍රව්‍ය මගින් අපවිත්‍ර වූ ආහාර පාන ලබා ගැනීමෙන් රෝගය වැළඳීමේ අවධානමක් ඇත. එසේම ආසාදිත මීයෙකු සෘජුවම මිනිසෙකු සපා කෑමෙන් ද රෝගය වැළඳීමේ අවධානමක් ඇත. සාමාන්‍යයෙන් හන්ටා වෛරසය මිනිසාගෙන් මිනිසාට බෝ නොවන බව පිළිගැනේ. කෙසේ වෙතත්, දකුණු ඇමරිකාවේ (විශේෂයෙන් ආර්ජන්ටිනාව සහ චිලී) දක්නට ලැබෙන Andes Virus (ඇන්ඩීස් ප්‍රභේදය) මිනිසාගෙන් මිනිසාට බෝ විය හැකි බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
රෝග ලක්ෂණ
WHO මඟින් තහවුරු කරන පරිදි රෝග ලක්ෂණ මතු වීමට සති 1 සිට 8 දක්වා කාලයක් ගත විය හැකි අතර, ආරම්භක රෝග ලක්ෂණ ලෙස මුල් දින 3-5 තුළ තද උණ, අධික මාංශ පේශි වේදනාව, හිසරදය, සීතල වෙව්ලීම සහ වමනයත් දින 4-10 පසු HPS තත්ත්වයේදී පෙනහළු වල දියර පිරීම නිසා අධික ලෙස හුස්ම හිරවීම සහ කැස්ස, HFRS තත්ත්වයේදී රුධිර පීඩනය වේගයෙන් අඩුවීම, වකුගඩු අකර්මණ්‍ය වීම සහ අභ්‍යන්තර රුධිර වහනයත් ඇති විය හැකිය. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් සඳහන් කරන පරිදි HPS තත්ත්වයේදී මරණ අනුපාතය 35%-40% දක්වා පරාසයක පවතී. HFRS තත්ත්වයේදී මරණ අනුපාතය 1%-15% දක්වා පරාසයක පවතී. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
රෝග විනිශ්චය සහ ප්‍රතිකාර
රෝග විනිශ්චය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණවල ඉතිහාසය, මීයන් ගැවසෙන ස්ථාන වලට නිරාවරණය වීමේ ඉතිහාසය සහ රසායනාගාර පරීක්ෂණ මත පදනම් වේ. රුධිර පරීක්ෂණ මගින්, PCR මත පදනම් වූ ක්‍රම මගින් වෛරසය හඳුනාගත හැකිය.
හන්ටා වෛරසය සඳහා තවමත් විශේෂිත ඖෂධයක් හෝ එන්නතක් නිපදවා නැත. දරුණු ශ්වසන රෝග ඇති රෝගීන්ට ඔක්සිජන් චිකිත්සාව, වාතාශ්‍රය ලබාදීම හෝ දැඩි සත්කාර ඒකකයන් තුළ ප්‍රතිකාර ලබාදීම් අවශ්‍ය විය හැකිය.
WHO සහ CDC අවධාරණය කරන්නේ රෝගය මුල් කාලීනව හදුනාගනිමින් වෛද්‍ය ප්‍රතිකාර මගින් රෝගය උත්සන්න වීමේ අවස්ථා සැලකිය යුතු ලෙස අවම කළ හැකි බවයි.
හන්ටා වෛරසයේ ඉතිහාසය
හන්ටා වෛරසය සම්බන්ධයෙන් මුල්ම වාර්තා වීම් 1950-1953 කාලය දක්වා දිවෙන අතර, හන්ටා වෛරසය මුලින්ම ලෝකයේ දැඩි අවධානයට ලක්වූයේ කොරියානු යුද්ධය සමයේදීය. එහිදී සේවය කළ සෙබළුන් 3,000කට අධික පිරිසකට “කොරියානු රක්තපාත උණ” (Korean Hemorrhagic Fever) වැළඳුණු අතර, ඔවුන්ට වකුගඩු අකර්මණ්‍ය වීම සහ අභ්‍යන්තර රුධිර වහනය වැනි ලක්ෂණ මතු විය. 1993 දී ඇමරිකා එක්සත් ජනපදයේ ‘Four Corners’ (ඇරිසෝනා, නිව් මෙක්සිකෝ, කොලරාඩෝ සහ යූටා ප්‍රාන්ත හමුවන ස්ථානය) ප්‍රදේශයේ පෙනහළු ආශ්‍රිතව මෙම රෝගී තත්ත්වය පැතිර ගියේය. 1995-1996 කාලයේදී ආර්ජන්ටිනාවේ පැතිර ගිය ව්‍යාප්තියකදී මෙහි Andes virus ප්‍රභේදය හඳුනාගැනිණි. මෙහි ඉතිහාසයේ සුවිශේෂීම අවස්ථාව වන්නේ, මිනිසාගෙන් මිනිසාට බෝ විය හැකි එකම හන්ටා වෛරස ප්‍රභේදය ලෙස මෙය හඳුනාගැනීමයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
CDC දත්ත වලට අනුව , 1993 සහ 2022 අතර කාලය තුළ එක්සත් ජනපදය හන්ටා වයිරස් රෝගීන් 864 ක් වාර්තා කර ඇති අතර, මරණ අනුපාතය 35-36% ක් පමණ විය.
ආසියානු රටවලට ඇති බලපෑම කෙබඳුද ?
2026 වසරේ මැයි මස වන විට පවතින තත්ත්වය අනුව, ආසියානු රටවල් සඳහා හන්ටා වෛරසය පිළිබඳ ගෝලීය අවදානම අඩු මට්ටමක පවතිනවා. 2026 ජනවාරි මාසයේදී තායිවානයේ තායිපේ නුවරින් හන්ටා වෛරසය ආසාදනය වූ එක් මරණයක් වාර්තා වූ අතර, එය එරට වසරේ වාර්තා වූ පළමු සිදුවීමයි. ආසියාවේ (විශේෂයෙන් චීනය සහ දකුණු කොරියාව) වසර පුරා හන්ටා වෛරසය නිසා ඇතිවන වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන් (HFRS) සුළු වශයෙන් වාර්තා වුවද, මෑත දශක කිහිපය තුළ එම සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී ඇත. MV Hondius නෞකාවේ රෝග ව්‍යාප්තිය ද එම නෞකාවට පමණක් සීමා වී ඇති අතර, එයින් ආසියානු රටවලට සෘජු බලපෑමක් ඇති බවට සාක්ෂි නැත. එබැවින්, කලාපයේ මහජනතාව භීතියට පත්වීමට කිසිදු හේතුවක් නොමැති බව විශේෂඥයින් පවසති. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
රෝගය වැළැක්වීම සඳහා මහජන සෞඛ්‍ය උපදෙස්
හැන්ටා වයිරස අවධානම අඩු කිරීම සඳහා WHO සහ CDC විසින් ප්‍රායෝගික පියවර කිහිපයක් නිර්දේශ කර තිබෙනවා. මීයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා නිවාස සහ සේවා ස්ථාන පිරිසිදුව තබා ගැනීම, ආහාර සහ ආරක්ෂිතව ගබඩා කිරීම සහ කුණු, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම, සහ යම් ආසාදනයක් හෝ රෝගී තත්වයක් ඇත්නම් කඩිනමින් ප්‍රතිකාර ගැනීම නිර්දේශ කර තිබෙනවා.
මීයන් ගැවසුණු ප්‍රදේශ පිරිසිදු කිරීමේදී, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරන්නේ අත්වැසුම් සහ මුහුණු ආවරණ පැළඳීම, වසා දමා තිබූ ස්ථාන වලට ඇතුළු වීමට පෙර වාතාශ්‍රය ලබා දීම සහ විෂබීජ නාශක හෝ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය භාවිතා කිරීමද නිර්දේශ කර තිබෙනවා.
මීයන් ගැවසුණු ස්ථාන වල ගැවසීමෙන් පසු උණ, මාංශ පේශි වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා අත්විඳින පුද්ගලයින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවත්, මුල් කාලීනව රෝග විනිශ්චය සිදු කිරීම මගින් රෝගය සැලකිය යුතු ලෙස මර්ධනය කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය
හන්ටා වෛරසය සම්බන්ධයෙන් සහ එමඟින් මෙරටට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අප විසින් වසංගත රෝග විද්‍යා අංශයෙන් විමසීමක් කලා. එහිදී තහවුරු වූයේ හන්ටා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගැටළුවක් ලෙස හඳුනාගෙන නොමැති බවත්, නමුත් ලෝකයේ මෙවැනි ගැටළුවක් හඳුනාගෙන ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් මෙරට රෝහල් සහ සෞඛ්‍ය අංශ විමසිලිමත්ව කටයුතු කරන බවත් ය. එසේම හන්ටා වෛරසය ඉක්මනින් පැතිර යන රෝගයක් නොවන බවත්, මෙරට තුළ එවැනි තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වසංගත රෝග විද්‍යා අංශය විසින් තවදුරටත් තහවුරු කළා.
Also Read : What Is Hantavirus? Understanding the Virus, Recent 2026 Concerns, and Actual Public Health Risks
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


