දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය මැයි 19 වන ද ජාතික රණවිරු සැමරුම යෙදී තිබුණි. එසේම මැයි 18 වන දා යුද්ධයෙන් මියගිය උතුරේ වැසියන් සිහිපත් කිරීම සඳහා විවිධ සැමරුම්, දමිළ ජන කොටස් අතර ද සංවිධානය වී තිබිණි. මෙම සැමරුම් අතරතුර උතුරේ තරුණයින් පිරිසක් හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ අතර, හිස් වැසුම් නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන්, අදාළ තරුණයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු විය.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් එම තරුණයින් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කළ බව දක්වමින් සටහනක් හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මීට සමාන තවත් සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


අදාල සටහන යූ ටියුබ් ඔස්සේද හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යභාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මැයි 18 වන දා උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධයෙන් මියගිය දමිළ වැසියන් සිහිපත් කරමින් පැවැත්වුනු සැමරුම් උත්සවයන්ට සමගාමීව හිස්වැසුම් නොමැතිව තරුණයින් පිරිසක් යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.
අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් එම තරුණයන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කරමින්ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරුවී තිබුණා. එවැනි පසුබිමකදී එම තරුණයන් අත්තඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තාකර තිබිය යුතුයි. කෙසේ නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට වාර්තා කර තිබුණේ නැහැ.
දසත News පුවත් පිටුව ඔස්සේ එවැනි සටහනක් පළකර නොමැත
එසේම අදාළ සටහන දසත News පුවත් පිටුවෙහි නිල ආකෘති ඔස්සේ නිර්මාණය වී තිබූ බැවින් එම ෆේස්බුක් පිටුව ඔස්සේ මෙවැනි සටහනක් පලකර ඇත්ද යන්න අප විසින් පරීක්ෂා කළ අතර, එහිදී හඳුනාගැනීමට ලැබුණේ දසත News පුවත් පිටුව ඔස්සේ එවැනි සටහනක් පළකර නොමැති බවයි.
දසත News නිල වෙබ් අඩවිය ඔස්සේ සටහනක් පල කරමින් දසත News ආයතනය විසින් අදාළ සටහන දසත News විසින් පළ කරන ලද සටහනක් නොවන බවත් එහි ආකෘතිය යොදා ගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහනක් බවත් තහවුරු කර තිබුණා. ඒ මෙලෙසින්.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල
අප විසින් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාල මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදුකළ අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මෙම සටහන අසත්‍ය සටහනක් වන බවත්ය.
යාපනය ප්‍රදේශයේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත
2026.05.23 වන දින ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ 2026.05.18 දින උතුරු පළාත තුළ පැවැත්වෙනුව සැමරුම් උත්සවයන්ට සමගාමීව හිස්වැසුම් නොමැතිව අනාරක්ෂිත ලෙස යතුරුපැදිවල ගමන් කළ තරුණයින් අත්තඩංගුවට ගෙන ඇති බවයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය
2026.05.23 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් මුලතිව් කොට්ඨාශ භාර නිලධාරීතුමා ආරම්භ කළ බවත්, යතුරුපැදිවල සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ යම්කිසි බාධාවක් තිබූ බවත්, කෙසේ නමුත් මේ වන විට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.
එසේම ශ්‍රී ලංකා පොලිසිය විසින් 2026.05.24 වන දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් 2026.05.23 දින මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, අනතුරුව රු 150,000 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදා හැර ඇති බවත් ය. විමර්ශනවල ප්‍රගතිය 2026.06.16 වන දින නැවත අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිත බවත් එම නිවේදනය ඔස්සේ දක්වා තිබුණා. ඒ මෙලෙසින්.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනේ පුදුකුඩුඉරිප්පු පොලීසිය විසින්
එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සහ පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කළ ද, මුලතිව් පොලීසිය විසින් එවැනි අත්තඩංගුවට ගැනීමක් සිදු කර නොමැති බවට ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා.

මේ සම්බන්ධයෙන් අප මුලතිව් පොලීසියෙන් සහ පුදුකුඩුඉරිප්පු පොලීසියෙන් විමසීමක් කළා. එහිදී මුලතිව් පොලීස් ස්ථානාධිපති විසින් සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ෂණ සිදු කලද එම අත්තඩංගුවට ගැනීම මුලතිව් පොලීසිය විසින් සිදු නොකළ බවත්, අත්තඩංගුවට ගැනීම සිදු කළේ පුදුකුඩුඉරිප්පු පොලීසිය විසින් බවත් ය.
ඒ අනුව අප පුදුකුඩුඉරිප්පු පොලීසියෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, එහිදී තහවුරු වූයේ අදාළ සැකකරුවන් පුදුකුඩුඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු බවයි.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
අප මේ පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද, වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ ද, මෙම පිරිස අත්අඩංගුවට ගැනීම පුදුකුඩුඉරිප්පු පොලීසිය විසින් සිදු කර ඇති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, උතුරේ හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ තරුණයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ප්‍රකාශයක් සිදු කරමින්, එම තරුණයන් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කළ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැත. එසේම අදාල සැකකරුවන් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.


