ඇලහැර අමුණ UNESCO ලෝක උරුමයක්ද?

Missing Context Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇලහැර අමුණ (ඇලහැර පුරාණ ගල් අමුණ සහ යෝධ ඇළ පද්ධතිය) යනු හෙළ වාරි තාක්ෂණයේ විශිෂ්ටත්වය ලොවටම කියාපාන අද්විතීය ඓතිහාසික නිර්මාණයකි. ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසේදී වසභ රජතුමා විසින් අඹන් ගඟ හරස් කරමින් ඉදි කරන ලද මෙම වාරි පද්ධතිය, වර්තමානයේදී පවා මින්නේරිය, ගිරිතලේ සහ කවුඩුල්ල වැනි ප්‍රධාන වැව් පෝෂණය කරමින් ක්‍රියාකාරී මට්ටමේ පවතී. කෙසේ වෙතත්, මෑතකාලීනව සමාජ මාධ්‍ය ජාලා, පුවත්පත් සහ විවිධ පුවත් වෙබ් අඩවි ඔස්සේ මෙම අමුණ ලෝක උරුම අඩවියක් බවට දක්වා තිබීම හේතුවෙන්  මෙය Unesco හි ලෝක උරුමයක් යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිවැරදි දත්තයන් සොයා Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook 

Facebook 

Facebook 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලෝක උරුම (World Heritage) සංකල්පය මෙහෙයවනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) විසිනි. යම් ස්ථානයක් ‘ලෝක උරුම ස්ථානයක්’ (World Heritage Site) ලෙස නම් කළ හැක්කේ 1972 ලෝක උරුම සම්මුතිය මගින් පිහිටුවා ඇති නිල ක්‍රියාවලියක් හරහා යුනෙස්කෝවේ ලෝක උරුම කමිටුව විසින් පමණි.

යුනෙස්කෝවේ නිල ලෝක උරුම මධ්‍යස්ථානයේ (UNESCO World Heritage Centre) වෙබ් අඩවියේ පළ කර ඇති ශ්‍රී ලංකාවට අදාළ නිල ලැයිස්තුව අනුව, දැනට ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථාන 08ක් පමණක් ලියාපදිංචි වී තිබෙනවා. ඒවා නම්,

1. අනුරාධපුර ශුද්ධ නගරය (1982)

2. පොළොන්නරුව පුරාණ නගරය (1982)

3. සීගිරිය පුරාණ නගරය (1982)

4. මහනුවර ශුද්ධ නගරය (1988)

5. සිංහරාජ වන රක්ෂිතය (1988)

6. ගාල්ල පැරණි නගරය හා බලකොටු (1988)

7. රංගිරි දඹුල්ල ගල් විහාරය (1991)

8. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (2010)

මෙම නිල ලැයිස්තුවේ ඇලහැර අමුණ හෝ ඊට අදාළ කිසිදු වාරි නිර්මාණයක් ඇතුළත් වී නොමැති බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

එපමණක් නොව, යුනෙස්කෝව විසින් අනාගතයේදී ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා සලකා බැලිය හැකි ස්ථාන ලෙස තැබෙන ‘තාවකාලික ලැයිස්තුවේ‘ (Tentative List) ද, ශ්‍රී ලංකාවට අදාළව ස්ථාන 05ක් පමණක් ඇතුළත් වන අතර, ඒවා අතරද ඇලහැර අමුණ නොමැත. ඒ අනුව, ඇලහැර අමුණ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති ස්ථානයක් ලෙස වත්මන්හි සලකා නොමැති බව පැහැදිලි වේ.

එසේ නම්  ‘ලෝක උරුම’ යැයි කියන ප්‍රකාශයේ සත්‍යතාව කුමක්ද?

2022 වසරේදී ජාත්‍යන්තර වාරිමාර්ග සහ ජලාපවහන කොමිසම (ICID) විසින් ඇලහැර අමුණ ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහයක් (World Heritage Irrigation Structure -WHIS) ලෙස පිළිගන්නා ලදී. Archived Link

මෙම ගෞරව නාමය පිරිනමනු ලබන්නේ යුනෙස්කෝ ආයතනයෙන් නොව, ජාත්‍යන්තර වාරිමාර්ග සහ ජලාපවහන කොමිසම මඟිනි. වසර 100කට වඩා පැරණි, තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතින සුවිශේෂී වාරි නිර්මාණ අගය කිරීම සඳහා මෙම සම්මානය පිරිනමයි.

මෙම වාරි නිර්මාණය ජාත්‍යන්තර වාරිමාර්ග සහ ජලාපවහන කොමිසම විසින් ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහයක් ලෙස පිළිගෙන තිබීම සහ එහි ඇති අතිමහත් ඓතිහාසික වටිනාකම නිසා සමාජ මාධ්‍ය හා සමහර පුවත්පත්වල එය “ලෝක උරුමයක්” ලෙස වැරදියට අර්ථකථනය කරනු ලැබේ.

මෙම හඳුනාගැනීම ලබා දී ඇත්තේ 2018 වසරේ කැනඩාවේ සස්කැටූන් නුවර පැවති ICID හි 69වන ජාත්‍යන්තර විධායක සභා (IEC) රැස්වීමේදී ය. එහිදී අමුණ ඉදිකළ වසභ රජු, පසුව එය වැඩිදියුණු කළ අග්බෝ රජු සහ විජයබාහු රජු පිළිබඳවත්, එය අඹන් ගඟ හරහා නිර්මාණය කර හෙක්ටයාර් 6,700ක භූමියක් වාරි ජලයෙන් සපයන බවත් ICID වාර්තාවේ සඳහන් වේ.

එහෙත් ICID ආයතනය යනු යුනෙස්කෝව නොවේ. ICID යනු වාරිමාර්ග හා ජලාපවහන ක්ෂේත්‍රයේ නිරත ජාත්‍යන්තර වෘත්තීය සංවිධානයක් වන අතර, 2012 සිට එය ලෝකයේ ඓතිහාසික වාරි නිර්මාණ හඳුනාගෙන ‘Plaque’ පිරිනැමීම සිදු කරයි. මෙය යුනෙස්කෝවේ ‘ලෝක උරුම ස්ථාන’ (World Heritage Sites) සංකල්පයට සමාන නමක් යොදාගෙන ඇතත්, එහි නිර්ණායක, තෝරාගැනීමේ ක්‍රියාවලිය, ප්‍රතිඵලයේ ගෝලීය වැදගත්කම සහ නෛතික තත්ත්වය යනාදිය යුනෙස්කෝවේ ලෝක උරුම ලැයිස්තුවට වඩා බෙහෙවින් වෙනස් ය. 

පැරණි, තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතින වාරිමාර්ග ව්‍යුහයන් මෙන්ම ඓතිහාසික ලේඛනගත වටිනාකමක් ඇති ව්‍යුහයන් ද ඇතුළත් වන පරිදි ‘ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහයන්’ (WHIS) තේරීම සඳහා ICID ජාතික කමිටු වෙතින් නාම යෝජනා කැඳවනු ලැබේ. විවිධ ජාතික කමිටු (NCs) වෙතින් ලැබෙන ඓතිහාසික වාරිමාර්ග/ජලාපවහන ව්‍යුහයන් තෝරා ගැනීම සඳහා සෑම වසරකම කාර්ය සාධක කණ්ඩායමක් (Task Team) පිහිටුවනු ලබයි. මෙහි අරමුණ වන්නේ යුනෙස්කෝව විසින් පිළිගනු ලබන ලෝක උරුම අඩවිවල ආකෘතියට සමාන ලෙස මෙම ඓතිහාසික වාරිමාර්ග ව්‍යුහයන් සඳහා ද ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දීමයි. ජාතික කමිටුවකට එක් ව්‍යුහයකට වඩා වැඩි ප්‍රමාණයක් නම් කළ හැකි අතර, ඒ එක් එක් ව්‍යුහය සඳහා වෙනම නාම යෝජනා පත්‍රයක් භාවිත කළ යුතුය. අනුබද්ධ සාමාජිකයින්ට සහ සාමාජික නොවන රටවලට ඔවුන්ගේ ව්‍යුහයන් අසල්වැසි ක්‍රියාකාරී ජාතික කමිටු හරහා හෝ සෘජුවම ICID මධ්‍යම කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් නම් කළ හැකි බවට එම වෙබ් අඩවියේ ද, දැක්වේ.

ඒ අනුව, ICID ආයතනය ඔවුන්ගේ සම්මාන ක්‍රමය හඳුන්වා දී ඇත්තේ “යුනෙස්කෝ ලෝක උරුමයන් පිරිනමන ආකෘතියට/ක්‍රමවේදයට සමාන වන අයුරින්” (on the lines of World Heritage Sites as recognized by UNESCO) මිස යුනෙස්කෝව සමඟ එක්ව නොවන බව පැහැදිලි වේ. 

ඇලහැර අමුණ ලෝකයේ වැදගත් ඓතිහාසික වාරි නිර්මාණයක් ලෙස ICID විසින් නිල වශයෙන් ම හඳුනාගෙන ඇති බව සත්‍යයකි. එහෙත් එය යුනෙස්කෝවේ ‘ලෝක උරුම ස්ථානයක්’ (UNESCO World Heritage Site) නොවේ. ‘ලෝක උරුමයක්’ යන නාමට පමණක් සමාජ මාධ්‍යවල භාවිත කරන විට, බොහෝ දෙනෙකු එය යුනෙස්කෝවේ ප්‍රසිද්ධ ලෝක උරුම ලැයිස්තුවට සමාන කරගෙන වරදවා වටහාගෙන ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඇලහැර අමුණ භාර කාර්යාලයෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර, එහි ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, ඇලහැර අමුණ ජාත්‍යන්තර වාරිමාර්ග සහ ජලාපවහන කොමිසම විසින් ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහයක්  ලෙස පිළිගෙන ඒ සඳහා සහතිකයක් ද, ලබා දී ඇති බවයි. නමුත් එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගෙන  නොමැති බව ත්, ඒ මහතා තහවුරු කළා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව/ ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ සාමාජික ප්‍රසන්න රත්නායක මහතාගෙන් අප මේ පිළිබඳ විමසා සිටියා. ඒ මහතා ද, සඳහන් කළේ, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ඇලහැර අමුණ නම් කර නොමැති බවයි. නමුත්  ජාත්‍යන්තර වාරිමාර්ග සහ ජලාපවහන කොමිසම විසින් ලෝක උරුම වාරිමාර්ගයක් ලෙස එය නම් කර ඇති බව ත්, නමුත් එය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කිරීමක් නොවන බවයි. මීට පෙර අවස්ථාවකදී ඇලහැර අමුණ ලෝක උරුමයක් ලෙස නම් කරමින් හඳුන්වා දීම පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ බව ත්, ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් තමන් ට ලබා දී ඇති සහතිකය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුවත් කළ බව ත්, ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ICID සහ යුනෙස්කෝ (UNESCO) යනු ආයතනික වශයෙන් එකිනෙකට සෘජු සම්බන්ධයක් නොමැති, සම්පූර්ණයෙන්ම ස්වාධීන ජාත්‍යන්තර සංවිධාන දෙකකි. 

ඔවුන් අතර ඇති වෙනස්කම් සහ වක්‍ර සම්බන්ධතාවය පහත පරිදි වටහාගත හැකිය

ආයතනික ස්වභාවය සහ වෙනස

  • යුනෙස්කෝ (UNESCO): මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UN) අයත් නිල රාජ්‍ය තාන්ත්‍රික ආයතනයකි. ඔවුන් ලෝක උරුම අඩවි (World Heritage Sites) ප්‍රකාශයට පත් කරන්නේ රටවල් අතර ඇති කරගත් ජාත්‍යන්තර සම්මුතීන් මත පදනම්වය. වැඩිදුර තොරතුරු  මෙතනින්,මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
  • ICID (ජාත්‍යන්තර වාරිමාර්ග සහ ජලාපවහන කොමිසම): මෙය ලෝකය පුරා සිටින වාරිමාර්ග ඉංජිනේරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ලාභ නොලබන, රාජ්‍ය නොවන ජාත්‍යන්තර වෘත්තීය සංවිධානයකි (NGO).වැඩිදුර තොරතුරු මෙතනින්.

මෙම ආයතන දෙකම ගෝලීය වශයෙන් “ජල කළමනාකරණය” සහ “පැරණි ජල උරුමයන්” සංරක්ෂණය කිරීම සඳහා එකට වැඩ කරන අවස්ථා දැක ගැනීමට හැක.

  • උපදේශන මට්ටමේ සබඳතා: ICID ආයතනය යුනෙස්කෝවේ ජාත්‍යන්තර හයිඩ්‍රොලොජිකල් වැඩසටහන (UNESCO-IHP) සමඟ තාක්ෂණික සහයෝගීතාවයෙන් කටයුතු කරයි. ලෝකයේ පවතින සුවිශේෂී ජල මූලාශ්‍ර සහ පැරණි වාරි තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ කිරීමේදී ඔවුන් තොරතුරු හුවමාරු කර ගනී. මෙතනින්, මෙතනින්
  • ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය: ලංකාව තුළ පවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මෙම ආයතන දෙකෙහිම කටයුතු සම්බන්ධීකරණය කිරීමට ඒකාබද්ධ කමිටු (Joint Committees) ක්‍රියාත්මක වේ. මෙතනින්.

ලෝක උරුම ලැයිස්තු දෙකේ වෙනස

ලක්ෂණයුනෙස්කෝ ලෝක උරුම (UNESCO)ICID වාරිමාර්ග ලෝක උරුම (ICID-WHIS)
ප්‍රධාන අරමුණමුළු මානව වර්ගයාටම පොදු සංස්කෘතික හෝ ස්වාභාවික වටිනාකම් ආරක්ෂා කිරීම.පැරණි කෘෂිකාර්මික හා වාරිමාර්ග ව්‍යුහයන්ගේ ඉංජිනේරුමය වටිනාකම අගය කිරීම.
නිල නාමයලෝක උරුම ස්ථානයWorld Heritage Siteලෝක උරුම වාරිමාර්ග ව්‍යුහයWorld Heritage Irrigation Structure 
ලංකාවේ උදාහරණසීගිරිය, අනුරාධපුරය, සිංහරාජයඇලහැර අමුණ (ICID), පැරණි පරාක්‍රම සමුද්‍රය බිසෝකොටුව.

ඇලහැර අමුණ

ඇලහැර අමුණ, ක්‍රි.ව. 67-111 කාලයේ රජකළ වසභ රජු මූලිකව ආරම්භ කර, පසුව මහසේන් රජු විසින් වර්තමාන තත්ත්වයට පත් කරන ලද ඓතිහාසික හා ඉංජිනේරු වටිනාකමින් යුත් වාරි ඉදිකිරීමක් බව සත්‍යයකි. එය ශ්‍රී ලංකාවේ පුරාණ වාරි ශිෂ්ටාචාරයේ වැදගත් සලකුණක් වන අතර, ජාතික මට්ටමින් සුරැකිය යුතු උරුමයක් ලෙස පරිසරවේදීන් හා ඉතිහාසඥයින් විසින් නිතර අවධාරණය කරනු ලැබේ. එහෙත් ජාතික වශයෙන් වැදගත් වීම හෝ ඓතිහාසික වටිනාකමක් තිබීම, යුනෙස්කෝවේ නිල ‘ලෝක උරුම’ තත්ත්වයට සමාන නොවේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

යුනෙස්කෝවේ නිල වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ ලෝක උරුම ලැයිස්තුවේ ඇතුළත් ස්ථාන 08 අතරද, අනාගතයේ සලකා බැලීමට යෝජිත තාවකාලික ලැයිස්තුවේ ස්ථාන 05 අතරද ඇලහැර අමුණ ඇතුළත් වී නොමැත. එබැවින් ඇලහැර අමුණ යුනෙස්කෝවේ නිල ‘ලෝක උරුමයක්’ නොවේ.

එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරු සහ ICID ආයතනයේ නිල වෙබ් අඩවියේ සඳහන් තොරතුරු අනුව, ඇලහැර අමුණ 2018 වසරේදී ජාත්‍යන්තර වාරිමාර්ග හා ජලාපවහන කොමිසම (ICID) විසින් ‘ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහය ලෙස’ නිල වශයෙන් හඳුනාගෙන සහතිකයක් ලබා දී ඇති බව සත්‍යයකි. එබැවින්, ‘ඇලහැර අමුණ ලෝක උරුමයක්’ යැයි කීම සම්පූර්ණයෙන් අසත්‍යයක් නොවේ. යුනෙස්කෝවේ ලෝක උරුම ලැයිස්තුවට වඩා බෙහෙවින් වෙනස් ප්‍රමිතියක් හා පරිමාණයක් ඇති ICID ආයතනයේ ‘ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහය ලෙස’ හඳුනාගැනීම, යුනෙස්කෝවේ ලෝක උරුම ස්ථාන’ තත්ත්වය සමඟ පටලවා ගැනීම නිසා මෙම ව්‍යාකූලත්වය ඇති වීමට හේතුවී තිබේ.

Result Stamp

Title: ඇලහැර අමුණ UNESCO ලෝක උරුමයක්ද?

Fact Check By: Pavithra sandamali

Result: Missing Context


Leave a Reply

Your email address will not be published. Required fields are marked *