පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ලක්ෂ 69ක වංචාවක් සිදු කරලද?

Business Misleading

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විසින් පාරිභෝගිකයන්ට “ලක්ෂ 69ක වංචාවක්” සිදු කර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. මෙහි හඟවා තිබුණේ, පසුගිය සමයේ ඇතැම් මූල්‍ය ආයතන වල පාරිභෝගික මුදල් තැන්පතු අරඹයා සිදු වී තිබූ මුදල් වංචා ජාලයේ ම තව ත් එවැනි මූල්‍ය වංචාවක් ලෙසයි. මේ හේතුවෙන්  මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

පුවත් වෙබ් අඩවියක ද, මේ පිළිබඳ ලිපියක් වාර්තා වී තිබුණේ මෙලෙසින්. Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී (People’s Insurance PLC) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සාමාන්‍ය රක්ෂණ සමාගමකි. මෙම සමාගම තුළ පාරිභෝගිකයන් ඉලක්ක කරගත් හෝ ඔවුන්ගේ මුදල් අහිමි වූ මූල්‍ය වංචාවක් සිදු වූ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා කර නොතිබුණි. 

ඉහත සමාජ මාධ්‍ය සටහන් සහ වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වන්නේ ද, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සේවකයෙකුට 2019 වසරේ ගෙවිය යුතුව තිබූ දිරි දීමනා මුදලක් රු. 6,966,482කට වඩා වැඩි මුදලක් ලෙස වෙනත් අයෙකු වංචනිකව ලබාගත් බවයි. එහෙත් මෙම චෝදනාව සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නිල අධිකරණ නියෝගය පරීක්ෂා කිරීමේදී, එහි සඳහන් සත්‍ය මුදල් අගය රු. 1,966,482  ක් බව දැක ගන්නට ලැබෙනවා. එනම් ඉහත සටහන්හි දැක්වෙන අගයට වඩා ආසන්න වශයෙන් ගුණාකාර 3.5කින් අඩු බවයි.

එමෙන්ම, අධිකරණ ලේඛනයට අනුව මෙය සමාගමේ ක්‍රමානුකූල වූ මුදල් වංචාවක් නොව, විශේෂිත සේවකයෙකුට හිමිවිය යුතු දිරි දීමනා ගෙවීමක් වෙනත් බැංකු ගිණුමකට හරවා යැවීම සම්බන්ධ තනි සිද්ධියකි. චෝදනාව අනුව, එම සේවකයාගේ අනන්‍යතාවය/බැංකු තොරතුරු අනිසි ලෙස භාවිතා කර මෙම ගෙවීම හරවා යැවීමට කටයුතු කර ඇති බවට සැක පළ වේ.

පැමිණිල්ල ආයතනයේ ප්‍රධාන නීති නිලධාරී විසින් කොළඹ වංචා විමර්ශන අංශයට ඉදිරිපත් කර ඇති අතර, පොලිස් පරීක්ෂකවරයෙකු මගින් සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබෙනවා. අධිකරණය මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයට නියෝග කර ඇත්තේ, සැක සහිත ගෙවීම ලැබුණු ගිණුමේ හිමිකරුගේ තොරතුරු විමර්ශන නිලධාරීන් වෙත ලබාදෙන ලෙසයි. මෙය තවමත් විමර්ශන අවධියේ පවතින සිද්ධියක් මිස, කිසිවෙකු වරදකරු කොට අධිකරණය තීන්දු කරන ලද අවස්ථාවක් නොවේ.

“පීපල්ස් ලීසිං” හෝ සමූහයේ අනෙකුත් ආයතන මෙයට සම්බන්ධද?

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමූහයට අනුබද්ධ සමාගමකි. එහෙත් අධිකරණ ලේඛනයේ සඳහන් වන්නේ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ අභ්‍යන්තර දිරි දීමනා ගෙවීමකට සම්බන්ධ තනි සිද්ධියක් පිළිබඳව පමණි. සමූහයේ අනෙකුත් ආයතන (පීපල්ස් ලීසිං ඇතුළුව) සම්බන්ධයෙන් මූල්‍ය අක්‍රමිකතා චෝදනා අධිකරණ ලේඛනයේ අන්තර්ගත නොවේ.

මෙම අක්‍රමිකතාව මෑතකදී (2026) වූ සිදුවීමක් ද?

මෙම මූල්‍ය අක්‍රමිකතාව 2019-2021 කාලය තුළ සිදුවූවක් බවත්, 2019 වසරේ අභ්‍යන්තර යොමු පත්‍ර මගින් වෙළඳ නිලධාරිනියකට රුපියල් මිලියන දෙකකට වැඩි දිරි දීමනාවක් ගෙවීමට යෝජනා කර, එවකට ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ අනුමැතියට යටත්ව එය සිදුවී ඇති බවත්ය. එම ලිපියට අනුව, මේ සම්බන්ධයෙන් 2021 වසරේ වෝහාරික විගණනයක් සිදු කර ආයතනික මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, 2023.04.03 වන දින කරන ලද පැමිණිල්ලක් අනුව මෙම කරුණ දැන් අධිකරණය හරහා විමර්ශනය වෙමින් පවතී.

මෙය අධිකරණ නියෝගයේ දැක්වෙන “සේවකයෙකුගේ අනන්‍යතාවය අනිසි ලෙස භාවිතා කර ගෙවීම වෙනත් ගිණුමකට හරවා යැවීම” වේ. කෙසේ වෙතත්, දෙඅංශයෙන්ම තහවුරු වන පොදු කරුණ නම්, මුදල් අගය රු. මිලියන 2කට ආසන්න වන අතර, එය රු. 6,966,482 නොවන බවත් එම අධිකරණ වාර්තා පරීක්ෂා කිරීමේදී ද, තහවුරු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී ආයතනය වෙතින් මූල්‍ය අක්‍රමකිතාවක් සිදු වී ඇති බවට පැමිණිලි ලැබී ඇත් ද, යන්න පිළිබඳව ද, අප මහ බැංකුව විසින් විමසා සිටි අතර, ඔවුන් සඳහන් කළේ, එවැනි මූලික අක්‍රමිකතාවයක් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

සමාගමේ නිල ප්‍රතිචාරය

සිද්ධිය අන්තර්ජාලයේ ප්‍රචාරය වීමෙන් පසුව, පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම විසින් 2026 ජූනි 24 වන දින සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් පළ කර, සමාගම තුළ සිදු වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ පළ වූ ලිපියක මෑතක වූ සිදුවීමක් ලෙස හා පාරිභෝගිකයන්ගේ ගිණුම් වලට සිදු වී ඇති වංචාවක් ලෙසට හඟවමින් නොමග යන අන්දමින් පුවත් පළ කර ඇති බව දක්වා තිබුණා.

2018 සිට 2020 දක්වා කාලය තුළ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු සම්බන්ධ වී සිදු වූ සිදුවීම් සහ ගනුදෙනුවලට අදාළ වන බව එහි වැඩිදුරටත් සඳහන්.

අභ්‍යන්තර විගණන සහ පාලනයන් පිළිබඳව විනිවිද පෙනෙන ආදර්ශයක් සපයමින් පීපල්ස් ඉන්ෂූවරන්ස් සමාගම මීට වසර හයකට පමණ පෙර සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව විමර්ශණය කරන ලෙස කොළඹ වංචා විමර්ශන අංශයට පෙර කළ පැමිණිල්ලක් අනුව ඊට අදාල විමර්ශණ ආරම්භ වී තිබේ. 

එම ආයතනයේ ප්‍රධාන නීති නිලධාරී සුමුදු කල්ප වික්‍රමාරච්චි මහතා විසින් කොළඹ වංචා විමර්ශන අංශයට මෙම පැමිණිල්ල කළ බව ත්, එවකට අභ්‍යන්තර යොමු පත්‍ර මගින් දෙදහස් දහනවය වසරේ ආයතනයේ සේවයේ නියුතු වෙළඳ නිලධාරිනියකට රුපියල් මිලියන දෙකකට වැඩි මුදලක් දිරි දීමනාවක් වශයෙන් ගෙවීමට යෝජනා කර තිබේ.

2010 වසරේ මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස ආරම්භකො ට වර්තමානය වන විට මෙරට ප්‍රධානතම රක්ෂණ සමාගමක් ලෙස සහ කීර්තිමත් නමක් සටහන් කිරීමට පීපල්ස් ඉන්ෂූවරන්ස් සමාගමට හැකිවී ඇති බවත්, එම සාර්ථකත්වයට ඉවහල් වනුයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ විනය ගරුක කැපවීම සහ ආයතනික වශයෙන්  පවතින විධිමත් පරිපාලන විගණන ක්‍රියාවලියන් බවත් එම නිවේදනයේ සඳහන්ය.

මෙම අක්‍රමිකතාවයන් පිළිබඳව පීපල්ස් ඉන්ෂූවරන්ස්  සමාගම සංවේදී වීමෙන් ආයතනයේ අභ්‍යන්තර සහ බාහිර විනය කටයුතු මිස මෙමගින් පාරිභෝගිකයන්ට කිසිදු මූල්‍ය වංචාවක් සිදු නොවූ බව ත්, ඔවුන් අප කළ විමසීමේදී පවසා සිටියා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම තුළ අභ්‍යන්තර වංචා චෝදනාවක් පිළිබඳ විමර්ශනයක් සැබවින්ම සිදුවෙමින් පවතින නමුත්, සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන රු. 6,966,482 යන මුදල් අගය නිල අධිකරණ ලේඛනයේ සඳහන් රු. 1,966,482 යන සත්‍ය අගය සමඟ නොගැලපෙන බවයි. 

එමෙන්ම මෙය සමාගමේ පුළුල් අර්බුදයක් නොව, තනි සේවක දිරි දීමනාවක් හරවා යැවීම සම්බන්ධ තනි සිද්ධියක් වන අතර, විමර්ශනය තවමත් අවසන් නොවී ඇති බැවින් කිසිදු පාර්ශ්වයක් වරදකරු බවට අධිකරණය මගින් තීන්දු කර නැත. මෙම කරුණ 2019-2021 කාලයට අයත් පැරණි කාරණයක් වන අතර, මෙය මෑතක වූ සිදුවීමක් ද නොවේ. 

මෙම සිදුවීම් දෙකම ආයතනයේ අභ්‍යන්තර පාලන කටයුතු සහ සේවකයන්ට අදාළ ඒවා වන අතර, සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ රක්ෂණ ආවරණ හෝ ඔවුන් සමාගම සතු කර ඇති මුදල්වලට ඉන් කිසිදු බලපෑමක් හෝ හානියක් සිදුව නොමැති බව සමාගම අවධාරණය කරයි.

Result Stamp

Title: පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ලක්ෂ 69ක වංචාවක් සිදු කරලද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *