ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නවතම සයිබර් වංචා ජාලයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ගිනිකොන දිග ආසියාවේ රටවල් තුළ දියත් කළ සයිබර් වංචා සම්බන්ධ මෙහෙයුම් හේතුවෙන් එම රටවලින් ඉවත් වීමට සිදු වූ අන්තර්ජාතික සයිබර් වංචා ජාලයන් ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් එම සයිබර් වංචා සිදුකිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. නවතම නිල වාර්තා මගින් දක්වන ආකාරයට 2026 වසරේ පළමු මාස පහ තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ සයිබර් වංචා සම්බන්ධයෙන් විදේශික ජාතිකයන් 1,000 කට වඩා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් බහුතරය සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ, පසුව විදේශීය හා වැඩි වශයෙන් දේශීය පුද්ගලයන් ඉලක්ක කරගත් සයිබර් වංචා මෙහෙයුම් ආරම්භ කළ චීන, වියට්නාම සහ ඉන්දීය ජාතිකයන් ය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්

මීට පෙර කාම්බෝජය, මියන්මාරය සහ ලාඕසය පුරා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සේවකයන් බලහත්කාරයෙන් යොදවමින් මහා පරිමාණයේ මාර්ගගත වංචා සිදු කරන ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබුණි. Asia Foundation සහ එක්සත් ජාතීන්ගේ ආයතන ඇස්තමේන්තු කරන්නේ අවම වශයෙන් පුද්ගලයන් 300,000ක් මෙම ගොඩනැගිලි වල ජාවාරම් සඳහා යොදවා  ඇති බවත්, මෙම සයිබර් වංචා හරහා වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 40ක් පමණ පුද්ගලයන්ගෙන් වංචා කරන බවත් ය. 

2025 මැද භාගයේ සිට මෙම තත්වය වඩා බරපතල වී ඇත.  කාම්බෝජය විසින් මෙවැනි සයිබර් වංචා ජාල සම්බන්ධයෙන්  වැටලීම් සහ පිටුවහල් කිරීම් සිදු කර ඇත. 2026 ජනවාරි 29 වැනිදා චීනය මියන්මාරයේ කොකං කලාපයේ ස්කෑම්  මෙහෙයුම් සමඟ සම්බන්ධ වූ, සයිබර් වංචා ජාලයන්හි  නායකයන් ඇතුළු 11 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී ඇත. කෙසේ නමුත් එවැනි නීති ක්‍රියාත්මක කිරීම හමුවේ වුවද මෙම සයිබර් වංචා ජාලයන් අවසන් වීමක් නිරීක්ෂණය කළ නොහැකිය. ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තාකර ඇති පරිදි, මෙවැනි සයිබර් වංචා ජාලයන් විසිර ගොස් නැවත එකතු වේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

සයිබර් වංචාකරුවන් සහ ශ්‍රී ලංකාව 

මෙම සයිබර් වංචා ජාලයන් ශ්‍රී ලංකාව ඉලක්ක කර ගැනීමට  හේතු ගණනාවක් බලපා ඇත. චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් 40කට වැඩි ප්‍රමාණයක පුරවැසියන්ට, මෙරටට පැමිණීමේදී දීර්ඝ කළ හැකි දින 30ක සංචාරක වීසා නොමිලේ ලැබෙන අතර, මේ වසරේ අත්අඩංගුවට ගත් සියලුම සයිබර් වංචාකරුවන් සංචාරක වීසා මත පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. 

එසේම, SIM කාඩ්පත් සහ අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳ මෙරට තුළ බරපතල නියාමනයක් නොමැති වීම නිසා හෝටල් කාමරයක හෝ කුලියට ගත් මහල් නිවාසයක සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ හැකිය.  එසේම මෙරට තුළ ක්‍රියාත්මක වන ලිහිල් අන්තර්ජාල සූදු ක්‍රීඩා නීති සහ  මෙහෙයුම්කරුවන්ට බැංකු වාර්තා නොමැතිව මුදල් සහ ක්‍රිප්ටෝ ගෙනයාමට ඉඩ සලසන ‘උන්ඩියල්’ ලෙස දේශීයව හඳුන්වන අවිධිමත් මුදල් හුවමාරු ක්‍රම නිසාද මෙම සයිබර් වංචාකරුවන් ශ්‍රී ලංකාවේ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වීමට යොමු වී ඇත. එසේම, වඩාත්ම තීරණාත්මක කාරණය වන්නේ මෙරට තුළ එවැනි සයිබර් ජාල සම්බන්ධයෙන් පවතින සීමිත නඩු පැවරීමේ හැකියාව ද මීට හේතුවක් වී ඇත.  බවයි. මෙරට තුළ සිට විදේශීය පුද්ගලයන් ඉලක්ක කරගනිමින්  වංචා දියත් කරන අතරම, WhatsApp, Facebook සහ Telegram හරහා ශ්‍රී ලාංකික ඊමේල් සහ දුරකථන වෙත ද ළඟා වෙමින් අදාළ සයිබර් වංචා ජාලයන් ක්‍රියාත්මක වෙමින් පවතී.  මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.  

2026 ප්‍රධාන වැටලීම්

දිනයස්ථානයඅත්අඩංගුවටජාතිකත්වයන්
2026 මාර්තුතනි ස්කෑම් මධ්‍යස්ථානයක්135චීන
2026 මාර්තුඅනුරාධපුර (උතුරු මැද)134ප්‍රධාන වශයෙන් චීන
2026 අප්‍රේල්චිලෝ හෝටලය (වයඹ)150+බහුතරයක් චීන
2026 අප්‍රේල්කොළඹ ගුවන්තොටුපළ9චීන
2026 මැයි 11මිදිගම, හික්කඩුව, ගාල්ල198ඉන්දීය 173, නේපාල 25
2026 මැයිගාල්ල සහ මාතර221ඉන්දීය 192, නේපාල 29
2026 මැයිකොළඹ අවට280විවිධ
2026 ජූනිකොළඹ19චීන 18, ලාඕස් 1

නිල දත්ත වාර්තාවලට අනුව මෙරට තුළ ක්‍රියාත්මක වන සයිබර් වංචා ජාල සම්බන්ධයෙන් 2026 පළමු මාස පහ තුළ සිදුකළ අත්අඩංගුවට ගැනීම් 1,000ට වැඩි බව පැහැදිලි වේ. මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මෙම සයිබර් වංචා මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය

ශ්‍රී ලංකාව තුල මෙම සයිබර් වංචාකරුවන් ක්‍රියාත්මක වන ආකාරය කාම්බෝජයේ සහ මියන්මාරයේ ආකාරවලට වඩා වෙනස් ය. වාර්තා මගින් පෙන්වා දෙන ආකාරයට, මෙම සයිබර් වංචාකරුවන් පුද්ගලයන් පහක්, දහයක් පමණ සිටින කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියා කරන අතර, සෑම මාස කිහිපයකට රැඳී සිටින  හෝටල්, නිවාස සහ කාර්යාල අතර මාරු වෙති. නිතර රැඳී සිටින ස්ථානය මාරු කිරීම හරහා මෙම ජාලයන් කොටු කර ගැනීම වඩා අසීරු වී ඇත.    

ජූනි මාසයේ කොළඹදී සිදුකරන ලද මෙම එක්  වැටලීමකදී එම පරිශ්‍රය සෝදිසි කළ නිලධාරීන්ට එම ස්ථානයේ තිබී චීන ගමන් බලපත්‍ර 62ක්, දුරකථන, ලැප්ටොප්, පෙන් ඩ්‍රයිව්, ලේඛන ව්‍යාජ ලෙස සැකසීමට මුද්‍රාවක්, ව්‍යාජ ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලිපි, ව්‍යාජ US සමාගම් ලියාපදිංචියක් සහ එම ව්‍යාජ සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වටින බවට වන සහතිකයක් හමු වී ඇත.  ඇමරිකානු පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ඔවුන් ව්‍යාජ ඇමරිකා එක්සත් ජනපද සමාගමක ආයෝජනය කරවීමට උත්සාහ කළ මෙම මෙහෙයුම පිටුපස චීන සංවිධානයක් සිටි බව ශ්‍රී ලංකා පොලීසිය විසින් සනාථ කර තිබේ.  මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ප්‍රධාන වංචා වර්ග සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය

මෙම සයිබර් වංචා ජාලයන් එක් ක්‍රමයක් පමණක් ක්‍රියාත්මක කරන්නේ නැත. ඔවුන් මෙහෙයවන්නේ වංචා එකතුවකි. 

*ආයෝජන සහ ක්‍රිප්ටෝ වංචා, (ඩීප්ෆේක් ඇතුළුව)

මෙය වංචාකරුවන්ගේ ප්‍රධාන වංචා ක්‍රමයයි. මෙම සයිබර් වංචා ජාල ක්‍රියාත්මක කරන්නන් ව්‍යාජ වෙළඳ වේදිකා ගොඩනගා, අසාමාන්‍ය ප්‍රතිලාභ ලබා දෙන බව පවසමින් එම වේදිකා තුළ ආයෝජනය කරන ලෙස පුද්ගලයන්ට ඒත්තු ගන්වනු ලබයි. මෙම ඒත්තු ගැන්වීම වැඩි වශයෙන් කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද අන්තර්ගත ඔස්සේ සිදු කරනු ලබයි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය, කුමාර් සංගක්කාර, ඔටාරා ගුණවර්ධන ඇතුළු ප්‍රසිද්ධ සහ විශ්වසනීය පුද්ගලයන් මෙම ආයෝජන යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන බව හඟවන ව්‍යාජ වීඩියෝ නිර්මාණය කරමින් මෙම මෙහෙයුම්කරුවන් විසින් පුද්ගලයන් මේ සම්බන්ධයෙන් ආකර්ෂණය කර ගනී. 

Also read :

අගමැති හරිනි ප්‍රවර්ධන කරන, ඉතා ඉහළ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ලෙස, විටින් විට හුවමාරු වන ව්‍යාජ නිර්මාණවලට රැවටෙන්න එපා!

Don’t Fall for Fake Investment Schemes Promoted Through Popular Public Figures!

*ආදර සම්බන්ධතා ලෙස හෝ “Pig Butchering” ලෙස සිදුකරන වංචා

මෙහිදී සයිබර් මෙහෙයුම්කරුවන් ඩේටිං යෙදුම්, වට්සැප් හෝ සමාජ මාධ්‍ය හරහා ආදර හෝ මිත්‍ර සබඳතාවක් ගොඩනගාගනිමින් විශ්වාසය තහවුරු වූ පසු ව්‍යාජ ආයෝජන වේදිකාවක් වෙත පුද්ගකයා යොමු කරනු ලබයි. වාර්තා මගින් පෙන්වා දෙන ආකාරයට මෙවැනි වංචා, සයිබර් වංචා ජාලයන්ගේ ප්‍රධාන ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇත. මෙහිදී වංචාකරු සමග විශ්වාසනීයත්වයක් ගොඩනගාගෙන ඇති බැවින් එහිදී සයිබර් වංචාකරුවන්ට වඩා ඉක්මනින් හසුවීමේ හැකියාව ඇත.  මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්මෙතනින් සහ මෙතනින්.

*රැකියා බඳවාගැනීමේ වංචා සහ මිනිස් ජාවාරම

ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ අංශයන්හි, ඇමතුම් මධ්‍යස්ථාවල හෝ විදේශීය රැකියා ලබාදීමේ පොරොන්දු සහිත ව්‍යාජ දැන්වීම් මෙහිදී භාවිතා වේ.  මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්

*ව්‍යාපාරික ඊමේල් හරහා සිදුකරන වංචා 

සෑම වංචාවක්ම පුද්ගලයන් ඉලක්ක නොකරයි. 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි අවසානය දක්වා, හැකර්වරුන් මෙරට මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඊමේල් සහ ගෙවීම් පද්ධති වලට ඇතුළු වී, ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය ආපසු ගෙවීමකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනතකට යොමු කළ සිදුවීමද මීට උදාහරණයකි. මෙම සිදුවීම දේශීය සයිබර් වංචාකරුවන් විසින් සිදු කරන ලද්දක්ද නැතහොත් බාහිර පාර්ශවයක් විසින් සිදු කරන ලද්දක්ද යන්න විමර්ශකයන් තවමත් පරීක්ෂා කරමින් ඇත. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

*ව්‍යාජ රථවාහන දඩ සහ රාජ්‍ය ගෙවීම් වංචා

මෙය බොහෝ දෙනාට බහුලව හමුවන සහ මුහුණ දීමට සිදුවන දේශීය වංචාවකි. 2026 මැයි මාසයේදී, ශ්‍රී ලංකා පොලිසිය සහ Sri Lanka CERT විසින්  CCTV කැමරාවකින් රථවාහන වරදක් අල්ලාගත් බව හඟවමින්, දඩයක් ගෙවීමට සබැඳියක් ක්ලික් කරන ලෙස දන්වන SMS සහ WhatsApp පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණි. එම සබැඳිය ඔස්සේ බැංකු කාඩ්පත් විස්තර, OTP කේත සහ ජාතික හැඳුනුම්පත් තොරතුරු එක්රැස් කරන, රජයේ GovPay වේදිකාව අනුකරණය කරන ව්‍යාජ පිටුවකට ගෙන රැගෙන යයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්

*ෆිෂිං සහ පුද්ගලාරෝපණ වංචා

සයිබර් වංචා වලදී ක්ෂණික මුදල් හුවමාරුවකට වඩා රහසිගත තොරතුරු ලබාගැනීම ඉලක්ක කරයි. 2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් සුලභ මාර්ගගත මූල්‍ය වංචා නවයක් හඳුනාගෙන ඇති අතර, ඒ අතරට SMS, ඊමේල් සහ වට්සැප් මගින් එවන ෆිෂිං සබැඳි, ව්‍යාජ බැංකු ප්‍රවර්ධන, QR කේත වංචා, ඇමතුම්කරුගේ අනන්‍යතාව යොදාගනිමින් සිදු කරන වංචා, ව්‍යාජ වාණිජ වෙබ් අඩවි සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා දක්වා ඉහළ නිලධාරීන් අනුකරණය කිරීම ඇතුළත් වේ. මේවායේ ඉලක්කය වන්නේ ජාතික හැඳුනුම්පත් අංක, බැංකු කාඩ්පත් විස්තර, OTP සහ PIN අංක එක්රැස් කිරීමයි. 

Also read :

A fraudulent scheme using fake documents & promising low-cost housing? Find out the truth…

මෙම සයිබර් වංචා සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග 

මෙම සයිබර් අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ ඒකකය විසින් විමර්ශන කෙරෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවද සාමූහිකව කටයුතු කරමින් සිටී. මෙම සයිබර් අපරාධ ජාල සම්බන්ධයෙන් පවතින නෛතික ක්‍රියාකාරීත්වයේ හිඩැස ලෙස විශේෂඥයන් විසින් හඳුනාගන්නේ නඩු විභාගයකට නොයා රටින්  පිටුවහල් කිරීමෙන් අවසන් වන නීති ක්‍රියාත්මක කිරීමයි.  මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මෙම වංචා හඳුනාගෙන වළක්වා ගන්නේ කෙසේද ?

මෙම සයිබර් වංචාකරුවන් විසින් ක්‍රියාත්මක කරන වංචා ක්‍රමවේද සඳහා උපක්‍රම කිහිපයක් නිරන්තරයෙන් යොදා ගනී.   

• හදිසි කිරීම. දැන්ම ආයෝජනය කරන්න, දීමනාව අද රැයින් අවසන්. යනුවෙන් පවසමින් ක්ෂණික ආයෝජනයන්ට පෙළඹවීම.

• “ඔබේ මිතුරෙකුගේ යාළුවෙක්” වැනි ව්‍යාජ සමීපත්වයක් සහිතව, WhatsApp, Telegram හෝ Facebook හරහා නාඳුනන අයගෙන් එන මිතුරු ඇරයුන් (Request)

• ඔබට ස්වාධීනව තහවුරු කළ නොහැකි ගිණුම් වලට ගෙවීමට,  ඉල්ලීම් කිරීම.

• ආයෝජන ක්‍රමයක විශ්වාසය ගොඩනැගීමට ප්‍රසිද්ධ චරිතයක් යොදාගෙන වීඩියෝ ඡායාරූප ඉදිරිපත් කිරීම. 

• OTP, PIN, මුරපද, කාඩ්පත් අංක හෝ ජාතික හැඳුනුම්පත් අංක සඳහා වන ඉල්ලීම්

• දඩ ගෙවීමට, ත්‍යාග ලබාගැනීමට හෝ ගිණුම් යාවත්කාලීන කිරීමට පවසමින් එවන සබැඳි. 

කළ යුතු දේ

කිසිදු හේතුවක් නිසා, කිසිවෙකු සමඟ OTP, PIN, මුරපද, කාඩ්පත් විස්තර හෝ ජාතික හැඳුනුම්පත් අංක බෙදා නොගන්න.

• ස්වාධීනව තහවුරු කරගන්න. සමාගමේ නම සොයන්න, මූල්‍ය ආයතනයක් නම් මහ බැංකුව මගින් සහතික කරන ලද ආයතනයක්ද යන්න තහවුරු කරගන්න, සහ GovPay වැනි නිල අඩවි ලිපිනය ඔබම ටයිප් කර එම නිල වෙබ් අඩවි වලට පිවිසෙන්න. 

• ඕනෑම ආයෝජනයකට පෙර හොඳින් සිතා බලා  කටයුතු කරන්න. නීත්‍යානුකූල ආයතන කිසි විටෙක වේගවත් ප්‍රතිලාභ ලබාදීමට සහතික නොකරයි.

• සැක සහිත පණිවිඩ, දැන්වීම් හෝ වීඩියෝ පොලිස් සයිබර් අපරාධ ඒකකයට වාර්තා කරන්න, සහ තිර රූප Fact Crescendo හි WhatsApp ටිප්ලයින් 0771514696 වෙත එවන්න. අප විසින් ඒවා පරීක්ෂා කර කරුණු පරීක්ෂා කිරීමේ වාර්තාවක් ප්‍රකාශයට පත් කරන්නෙමු.

නිගමනය

ගිනිකොන දිග ආසියාතික රටවලින් තහනම් කරන ලද සයිබර් වංචා ජාල ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ස්ථාපිත වී ඇති අතර, 2026 වසර පුරා මෙරට තුළදී අත්අඩංගුවට ගැනුනු සයිබර් වංචාකරුවක්  සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ ගොස් ඇත. එම ජාලයන් ආයෝජන වංචා, සබඳතා වංචා, ව්‍යාජ රැකියා, ව්‍යාපාරික ඊමේල් වංචා, රථවාහන දඩ ෆිෂිං සහ පුද්ගලාරෝපණ වංචා හරහා මහජනතාව වෙත ළඟා වේ.  මේ හේතුවෙන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා මහ බැංකුව, SL Cert, විසින් ලබා දෙන දැනුවත් කිරීම් සමග යාවත්කාලීන වෙමින් කටයුතු කරන ලෙස Factcrescendo Sri Lanka අප මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Result Stamp

Title: ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නවතම සයිබර් වංචා ජාලයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

Written By: B.P Hansani

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *