දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් නම් (පුද්ගලික) සමාගමක් සම්බන්ධයෙන් මෑතකදී දැඩි මතභේදාත්මක තත්වයක් පැන නැගී තිබුණා. එහි අධ්‍යක්ෂවරයා විසින් රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීම සහ විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීම පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
කසාගල ප්ලාන්ටේෂන් යන සමාගම පිරමීඩ ජාවාරමක් ද යන්න විමසමින් සටහන් පළ වී තිබුණේ මෙලෙසින්

එසේම, කසාගල ප්ලාන්ටේෂන් ආයතනය මහ බැංකුවෙන් නියාමනය වන ආයතනයක් බව සලකමින් සහ උද්ගත වී ඇති මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



ඒ අනුව අප විසින් පවතින තොරතුරු මත පදනම්ව මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමට කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගම කුමන ආකාරයේ සමාගමක් ද ?
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම එම සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට කෘෂිකර්මාන්තය, අපනයනය සහ ආයෝජන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමූහයක (Kasagala Group) ප්‍රධාන අනුබද්ධ ආයතනයකි. ඉහළ ඉල්ලුමක් ඇති ගම්මිරිස්, කුරුඳු, අඹ, බෙල්පෙපර් සහ ස්කොච් බොනට් වැනි බෝග වගා කිරීම සහ අපනයනය කිරීම මෙම සමාගම සිදු කරයි. වගා කරන කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි කිරීම සඳහාම ‘කසාගල ග්‍රීන් සුපර්’ නමින් ඔවුන්ගේම සුපිරි වෙළෙඳසැල් ජාලයක් දිවයින පුරා පවත්වාගෙන යයි. මෙම කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා මහජනතාවගෙන් මුදල් ආයෝජන ලබාගන්නා අතර, ඉඩම් සහ වැවිලි වැනි ස්ථාවර වත්කම් මත ඒවා පදනම් වී ඇති බව සමාගම ප්‍රකාශ කරයි. වැඩිදුර තොරතුරු මෙතනින් Archived
ඉහළ ප්‍රතිලාභ ලබා දෙන ආයෝජන ක්‍රම බව පවසමින්, මහජනතාවගෙන් මුදල් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය වේදිකා සහ දැඩි ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරන අනවසර ආයතනවල වර්ධනයක් දක්නට ලැබෙන බව දක්වමින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ අධ්‍යක්ෂක විසින් 2026.06.08 දින ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක් වෙමින් සිදු කරන ලද ප්‍රකාශය
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ සභාපති රංජිත් පීරිස් මහතා විසින් 2026.06.08 වන දින ස්වාධීන රූපවාහිනී සේවයේ පිණි වියන වැඩසටහනට එක් වෙමින් වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ කසාගල සමූහ ව්‍යාපාරය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අත්කරගත් ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබුණා.
එසේම එහිදී ඒ මහතා විසින් විශේෂයෙන් ප්‍රකාශ කර තිබුණේ, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වන ආයතනයක් බවත්, සෑම මාස හයකට වරක් ම මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන බවත් ය.
එම සම්පූර්ණ වැඩසටහන මෙතනින්.
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වන ආයතනයක් නොවන බවට මහ බැංකුවෙන් නිවේදනයක්.
කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ, රංජිත් පීරිස් මහතා 2026.06.08 වන දින, ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) “පිනි වියන” රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර ඇති පහත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
*කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන ආයතනයකි,
*කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාව පරිදි සෑම මාස හයකට (6කට) වරක්ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු/ලිපි ලේඛන/දත්ත ඉදිරිපත් කරයි, සහ
*යම් ගැටලුවක් පවතී නම්, ශ්‍රී ලංකා මහ බැංකුව කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන්පුද්ගලික සමාගමෙන් ඒ පිළිබඳව විමසීමක් කරනු ඇත.
යනුවෙන්, පීරිස් මහතා විසින් අදාළ රූපවාහිනී වැඩසටහනේදී සිදුකරන ලද ඉහත ප්‍රකාශයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් සහ තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා. තව ද, ඒවා අසත්‍ය, නොමග යවන සුළු සහ නෛතික පදනමක් රහිත ප්‍රකාශ බව මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනය කර තිබුණා.
කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේද නැතහොත් පවත්වාගෙන යමින් සිටින්නේද, හෝ මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන තිබේද නැතහොත් ලබාගනිමින් සිටින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ විමර්ශනයක් පවත්වමින් සිටින බවටද ශ්‍රී ලංකා මහ බැංකුව එම නිවේදනය ඔස්සේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා. එම නිවේදනය මෙතනින්.

මේ වන විට විමර්ෂණයක් ක්‍රියාත්මක වේ
බැංකුව විසින් නිවේදනය කරන පරිදි කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත හි 2 වැනි වගන්තිය උල්ලංඝනය කරමින්
- මුදල් ව්‍යාපාරයක් (finance business) පවත්වාගෙන ගොස් ඇත්ද, නැතහොත් පවත්වාගෙන යමින් සිටින්නේද,
- මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇත්ද, නැතහොත් ලබාගනිමින් සිටින්නේද
යන්න තහවුරු කර ගැනීම සඳහා විමර්ශනයක් මේ වන විට සිදුකරමින් පවතින අතර, තවමත් මෙම ආයතනය එවැනි වරදක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත. කෙසේ නමුත් එවැනි හැකියාවක් පිළිබඳව සැකයක් මහ බැංකුව සතුව ඇති බව පැහැදිලි වේ.
මහ බැංකුවේ නිවේදනයෙන් පසු කසාගල ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම
මහා බැංකුව විසින් මෙම නිවේදනය ඉදිරිපත් කිරීමෙන් පසුවද, කසාගල ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් සමාගම පාර්ශවයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. එහිදී එම සමාගමේ පාලනාධිකාරිය විසින් සඳහන් කර තිබුණේ කසාගල සමූහ ව්‍යාපාරය 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ වැවිලි සමාගමක් බවයි. වැවිලි කටයුතු සිදු කිරීම සඳහා මහ බැංකුවේ අවසරය අවශ්‍ය නොවන බවද පවසා තිබුණා.
තම ආයතනය මූල්‍ය පනත උල්ලංඝනය කරමින් මහජන තැන්පතු භාර නොගන්නා බවත්, ඔවුන් සිදු කරන්නේ පැළ විකිණීම සහ බෝග ගිවිසුම් මත පදනම් වූ ව්‍යාපාරයක් බවත් ඔවුන් පැහැදිලි කර තිබුණා. ආයතනය පිළිබඳ පරීක්ෂණයක් කිරීමට මහ බැංකුව ලේඛන ඉල්ලා ඇති අතර, ආයතනය විසින් අවශ්‍ය සියලුම ලේඛන ලබා දී ඇති බවද ඔවුන් සඳහන් කර තිබුණා. එම සම්පූර්ණ මාධ්‍ය හමුව මෙතනින්.එසේම මේ වන විට අදාළ සමාගම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරීව අන්තර්ගතයන් පළ කරමින් සහ දැන්වීම් පළ කරමින් ක්‍රියාත්මක වේ.
මෙවැනි ආයතන සම්බන්ධයෙන් මහ බැංකුව මීට පෙර ක්‍රියා කර ඇත්තේ කෙසේද ?
මෙයට පෙර අවස්ථා කිහිපයකදීත් එවැනි ආයතන සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව මහ බැංකුව නෛතික පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83C වැනි වගන්තිය යටතේ, සාමාජිකයන් බඳවාගැනීම හෝ ඔවුන්ගේ දායකත්වය වැඩිකිරීම මත පමණක් ලාබ උපදවන ඕනෑම ක්‍රමයක් එනම් පිරමීඩ ව්යාපාරයක් නීති විරෝධී වන අතර, එවැනි ක්‍රමයක් ප්‍රවර්ධනය, ප්‍රචාරණය, ආයෝජනය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත හැකිය. මෙම නීති රාමුව මහ බැංකුවේ පිරමීඩ වංචා පිටුවේ විස්තර කර ඇත.
මෙවැනි ආයෝජන ක්‍රමයක් වංචාවක් විය හැකි බව හඳුනාගත හැක්කේ කෙසේද?
මහ බැංකුව නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි මෙවැනි අවස්ථාවලදී සැලකිලිමත් වියයුතු ලක්ෂණ කිහිපයක් මෙසේය,
*සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ, ආයෝජන ප්‍රතිලාභ ලබාදීමට පොරොන්දු වීම
*ව්‍යාපාරයේ ආදායම් ප්‍රභවය පැහැදිලිව විස්තර කළ නොහැකි වීම. විශේෂයෙන් අලුත් ආයෝජකයින් බඳවාගැනීම මත රඳාපැවතීම
*රාජ්‍ය නියාමන ආයතන සමග සම්බන්ධතාවක් ඇතැයි කියමින්, එහෙත් එම ආයතනය හරහා එය තහවුරු කරගත නොහැකි වීම
*රූපවාහිනී/සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් සිදුකිරීම ඔස්සේ විශ්වසනීයත්වය ගොඩනඟාගැනීම
*සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේ ලේඛන පැවති පමණින්, මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වූ මහ බැංකු බලපත්‍රයක් ඇතැයි වරදවා වටහාගැනීම
(සමාගමක් රෙජිස්ට්‍රාර් ජනරාල් යටතේ නිතිගතව ලියාපදිංචි ව්‍යාපාරයක් වීමෙන්, එය මහ බැංකුව විසින් මූල්‍ය ආයතනයක් ලෙස නියාමනය කර ඇති බවට කිව නොහැක. මෙය බොහෝ විට ආයෝජකයින් අතර වරදවා වටහාගැනීමක් ඇතිකරන කරුණකි.)
ඒ අනුව පැහැදිලි වන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය මහ බැංකු විසින් නියාමනය කරනු ලබන ආයතනයක් නොවන බවයි. කෙසේ නමුත්, මහා බැංකුව තවමත් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගම මුදල් වංචාවක නියැළී ඇති බවට නිගමනය කර නොමැත. ඒ සම්බන්ධයෙන් විමර්ෂණය ක්‍රියාත්මක වෙමින් පවතී.
කෙසේ නමුත් කිසියම් ආයතනයක ආයෝජනයක් කිරීමට පෙර මහජනතාව
*අදාල ආයතනය මහ බැංකුවේ බලපත්‍රලාභී ලියාපදිංචි ආයතනයක් ද යන්න සොයා බැලීම,
*කිසියම් සැකයක් ඇත්නම් මහ බැංකුවේ 1935 අංකය අමතා හෝ fcrd@cbsl.lk වෙත ඊමේල්කර හෝ WhatsApp 0765780000 හරහා විමසීම,
*මාධ්‍ය ඔස්සේ විකාශය වූ පමණින් ඒ මත පමණක් විශ්වාසය නොතැබීම, වඩා වැදගත් වේ.
එසේම අනුමත නොකළ ආයෝජන යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව විසින් මාධ්‍ය ආයතන වෙත ද අනතුරු ඇඟවීම් කර ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


