සාගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවාගන්නා රොබෝ මාළුවෙක් ? 

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සාගරයේ පවතින අපද්‍රව්‍ය ආහාරයට ගෙන, එයින්ම බලය නිපදවාගන්න රොබෝ මාළුවකු නිර්මාණය කර ඇති බවටත්, මෙම රොබෝ මාළුවා  ජලයත් සමග එන ඇසට නොපෙනෙන තරම් කුඩා ප්ලාස්ටික් කැබලි ඇඟ ඇතුළේ ඇති දැලකට එකතු කරගන්නා බවත්,එම එකතු කරගන්නා ප්ලාස්ටික් කුණු දිරාපත් කර, එයින්ම රොබෝ මාළුවාට පීනන්නට අවශ්‍ය ශක්තිය ඉබේම නිර්මාණය කරගන්නා බවත් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts :

Facebook  | Archived link

මෙම රොබෝ මත්ස්‍යයා විසින් සාගරයේ පවතින අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවා ගන්නා බවටත්, බැටරි අවශ්‍යතාවයක් නොමැති බවත් දක්වමින් තවදුරටත් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook  Facebook  Facebook  Facebook  

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact check (කරුණු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ආකාරයේ ‘Gillbert’ නම් රොබෝ මාළුවකු නිර්මාණය කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් සිදු කළ පරීක්ෂාව්දී හඳුනා ගැනීමට ලැබුණේ, බ්‍රිතාන්‍යයේ සරේ විශ්වවිද්‍යාලය (University of Surrey) විසින් 2022 වසරේදී පවත්වන ලද ‘Natural Robotics Contest’ තරඟයෙන් ජයග්‍රහණය කළ, සිසුවියක විසින් එම තරඟය සඳහා මෙම ‘Gillbert’ නැමති රොබෝ මත්ස්‍ය සැලසුම ඉදිරිපත් කර ඇති බවයි.  

මෙම තරඟය සහ රොබෝ මාළුවාගේ සැලසුම් ක්‍රියාවලිය පිළිබඳව Dr. Robert Siddall ඇතුළු කණ්ඩායම විසින් සම සමාලෝචනයට (peer-reviewed) ලක් කරන ලද විද්‍යාත්මක පත්‍රිකාවක් arXiv සහ IOPscience හි ප්‍රකාශයට පත් කර ඇත. මෙය මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඉහළම විශ්වසනීයත්වයකින් යුත් ශාස්ත්‍රීය මූලාශ්‍රයකි.

බ්‍රිතාන්‍යයේ සරේ විශ්වවිද්‍යාලය (University of Surrey)

බ්‍රිතාන්‍යයේ සරේ විශ්වවිද්‍යාලයේ (University of Surrey) නිල වෙබ් පිටුව ඔස්සේ මේ සම්බන්ධයෙන් සටහනක් ද තබා තිබුණා. එහි දැක්වෙන්නේ,සරේ විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද “The Natural Robotics Contest” නමැති  තරගය සඳහා, ක්ෂුද්‍ර ප්ලාස්ටික් පෙරීමේ හැකියාව සහිත රොබෝ මත්ස්‍යයෙකු නිර්මාණය කර ඇති බවයි.  එලිනෝර් මැකින්ටොෂ් (Eleanor Mackintosh) නමැති ශිෂ්‍යාවක විසින් ඉදිරිපත් කරන ලද මෙම රොබෝ මත්ස්‍ය සැලසුම, ජල මාර්ගවල ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස ගත හැකි බැවින් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක විශේෂ අවධානයට එය ලක් වී ඇත. කෙසේ නමුත් බ්‍රිතාන්‍යයේ සරේ විශ්ව විද්‍යාලය මගින් මෙම රොබෝ මත්ස්‍යයා සම්බන්ධයෙන් කිසිදු තැනක එය බැටරියකින් තොරව ක්‍රියාත්මක වන බවට හෝ ප්ලාස්ටික් බලශක්තිය බවට පරිවර්තනය කර ක්‍රියාත්මක වන බවට සඳහන් කර නැත.

මෙම රොබෝ මත්ස්‍යයා සැමන් මත්ස්‍යයෙකුගේ ප්‍රමාණයෙන් යුක්ත වන අතර, එය පිහිනන අවස්ථාවේදී ජලය පෙරීම සඳහා වූ විශේෂිත කරමල් පද්ධතියකින් සමන්විත වේ. මෙහි සැලසුම විවෘත මූලාශ්‍රයක් (open source) වන අතර සරේ විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් එය නොමිලේ බාගත කර ගත හැකිය. වැඩිදුර තොරතුරු මෙතනින්.

මෙම සැලසුම සඳහා කිසිදු පේටන්ට් බලපත්‍රයක් (patent) ලබාගෙන නොමැති අතර, මෙය හිතාමතාම Open-Source ලෙස GrabCAD වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත. එනම්, ඕනෑම 3D printer ක් ඇති අයෙකුට මෙය නොමිලේ බාගත කර තනා ගත හැකි බව GrabCAD නිල පිටුවේ සඳහන් වේ

සරේ විශ්ව විද්‍යාලය මගින් පල කර ඇති මෙම රොබෝ මත්ස්‍යයාගේ සැලසුම සහ එහි මූලාකෘතිය මෙතනින්.

රොබෝ මත්ස්‍යයා විසින් සාගරයේ පවතින අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවා ගන්නවාද ? බැටරි අවශ්‍ය නැත්ද?

සමාජ මාධ්‍ය සටහන් තුළ මෙම රොබෝ මත්ස්‍යයාගේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කරන බලය නිපදවීම සඳහා බැටරි අවශ්‍යතාවයක් නොමැති බවත්, සාගරයේ පවතින අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවා ගැනීමට මෙම රොබෝ මත්ස්‍යයායාට හැකියාව ඇති බවත් දැක්වූවත්,  සරේ විශ්ව විද්‍යාලය මගින් පල කර ඇති රොබෝ මත්ස්‍යයාගේ මූලික සැලසුම සහිත රූප සටහන් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එම මූලික සැලසුමට  බැටරියක් අන්තර්ගත වී ඇති බවයි.

අදාළ තරඟය සඳහා මෙම සැලසුම ඉදිරිපත් කර ජයග්‍රහණය කළ පසුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් විසින් එය 3D තාක්ෂණයෙන් යුත් මූලාකෘතියක් ලෙස නිපදවා ඇත.සරේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් විසින් මෙම ‘Gillbert’ රොබෝ මත්ස්‍යයා නිපදවූ ආකාරය පිළිබඳ තොරතුරු GrabCAD වෙබ් අඩවියටද විවෘත මූලාශ්‍රයක් (Open source) ලෙස එකතු කර ඇත. එහි ඇති උපාංග ලැයිස්තුවට අනුවද, මෙහි වල්ගය සහ වරල් ක්‍රියා කරවීම සඳහා වෙන වෙනම මෝටර් සවිකර ඇති අතර, ඒ සියල්ලටම විද්‍යුත් බලය සපයන්නේ එහි ඇති බැටරිය සහ මයික්‍රොකොන්ට්‍රෝලරය මඟිනි. 

සරේ විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් එංගලන්තයේ ගිල්ඩ්ෆෝර්ඩ් හි පිහිටි විලකදී මෙය පරීක්ෂා කර ඇති අතර, එහිදී රොබෝ මත්ස්‍යයා ක්‍රියා කරවීම සඳහා mAh 5000ක USB බැටරියක් භාවිතා කර ඇති බව වාර්තාවල සඳහන් වේ

මෙම රොබෝ මත්ස්‍යයාගේ මූලික සැලසුම අනුව නිර්මාණය කරන ලද රොබෝ මත්ස්‍යයා ප්‍රායෝගිකව අත්හදා බලන වීඩියෝව පහතින්.

රොබෝ මත්ස්‍යයා ප්ලාස්ටික්වලින් පිරුණු පසු මිනිසුන් විසින් එය ඉවතට ගෙන ප්ලාස්ටික් ඉවත් කර කර නැවත රොබෝ මත්ස්‍යයා ජලයට එකතු කළ යුතුය

විද්‍යාත්මක වාර්තාවලට අනුව මෙම රොබෝ මත්ස්‍යයා පිහිනමින් මිලිමීටර 5ට වඩා අඩු ක්ෂුද්‍ර ප්ලාස්ටික් පෙරා ගෙන ශරීරය වෙත ඇතුලු කරගන්නා අතර, රොබෝ මත්ස්‍යයා ප්ලාස්ටික්වලින් පිරුණු පසු මිනිසුන් විසින් එය ඉවතට ගෙන ප්ලාස්ටික් ඉවත් කර කර නැවත රොබෝ මත්ස්‍යයා ජලයට එකතු කළ යුතුය. එසේම දැනට මෙය බැටරියෙන් ක්‍රියා කළද, අනාගතයේදී අපද්‍රව්‍ය මඟින් බලශක්තිය නිපදවිය හැකි තාක්ෂණයක් වෙත යාමට පර්යේෂකයන් උත්සාහ කරන බව ද එම වාර්තාවල සඳහන්. එය අනුව රොබෝ මත්ස්‍යයා අපද්‍රව්‍ය ආහාරයට ගන්නා බව දැක්වීම නොමඟ යවන සුළු බව පැහැදිලි වේ.

රොබෝ මත්ස්‍යාගේ අභ්‍යන්තර කොටස්වල රූපසටහන් සමඟ එය බැටරි සහ මෝටර් මඟින් ක්‍රියා කරන ආකාරය පිළිබඳ විස්තරාත්මක තාක්ෂණික වාර්තා මෙතනින් සහ  මෙතනින්.

රොබෝ මත්ස්‍යා බැටරි නොමැතිව ප්ලාස්ටික් මගින් නිපදවාගන්නා බලයෙන් ක්‍රියාකරන බවට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වූයේ ඇයි ?

විද්‍යා වෙබ් අඩවි තුළද නොමඟ යවන සුළු වර්තාකරණයන්

මෙම නිර්මාණය හා බැඳුණු නොමඟ වයන සුළු සංවාද සමාජ මාධ්‍ය සටහන්වලට පමණක් සීමා නොවේ. ඇතැම් ජනප්‍රිය විද්‍යා මාධ්‍ය වෙබ් අඩවි ද 2025 ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී මෙම රොබෝ මාළුවා දැනටමත් ‘self-sustaining’ (ස්වයං-බල සපයන) බවටත්, ‘microbial fuel cell’ (ක්ෂුද්‍ර ජීවී බල කෝෂයක්) භාවිතයෙන් ප්ලාස්ටික් බලශක්තිය බවට හරවන බවටත් වැරදි අර්ථකතන සමඟ වාර්තා කර තිබුණි.

EcoServants Project වාර්තාව මගින් පෙන්වා දෙන්නේ රොබෝ මත්ස්‍යා තවමත් බැටරියෙන් ක්‍රියා කරන බවත් ප්ලාස්ටික්වලින් බලශක්තිය නිපදවීමේ හැකියාව තවමත් නිර්මාණය කර නොමැති බවත් ය.  A-Z Animals විද්‍යාත්මක වාර්තාව මගින්ද පෙන්වා දෙන්නේ, අනාගතයේදී ප්ලාස්ටික් බලශක්තිය බවට හැරවීමට බලාපොරොත්තු වුවද, දැනට මෙම රොබෝ මත්ස්‍යයා ක්‍රියා කරන්නේ බැටරියකින් පමණක් බවයි.

අනාගතයේදී ප්ලාස්ටික් බලශක්තිය ලෙස යොදා ගනිමින් මෙම රොබෝ මත්ස්‍යයා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ඉහත වාර්තා මගින් පැහැදිලි වේ. ඒ මත පදනම්ව ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කර ඇති බව උපකල්පනය කළ හැකිය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Gillbert නමැති රොබෝ මත්ස්‍යයා සාගරයේ අපද්‍රව්‍ය/ප්ලාස්ටික් ආහාරයට ගෙන, එයින්ම ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය නිෂ්පාදනය කරගන්නා බවට සහ බැටරි අවශ්‍ය නොවන බවට හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. රොබෝ මත්ස්‍යා නිර්මාණය කිරීම සහ එමගින් ජලයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඉවත් කිරීම සත්‍යයක් වුවද, එම රොබෝ මත්ස්‍යයා ක්‍රියාත්මක වන්නේ ප්ලාස්ටික්වලින් නිපදවන බලශක්තියෙන් නොව නැවත ආරෝපණය කළ හැකි සාමාන්‍ය බැටරියකිනි.

මෙම සැලසුම සඳහා කිසිදු පේටන්ට් බලපත්‍රයක් නොමැති අතර එය හිතාමතාම open-source පළකර තිබේ.  plastic-to-energy තාක්ෂණය තවමත් සංකල්පමය අදියරේ පවතින අතර, ඇතැම් විද්‍යා මාධ්‍ය වෙබ් අඩවි ද 2025 අග භාගයේදී මෙය වරදවා වාර්තා කර තිබීම ද මෙම නොමඟ යවන සුළු සටහන් වයිරල් වීමටත් හේතු වී තිබෙනවා.

Result Stamp

Title: සාගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවාගන්නා රොබෝ මාළුවෙක් ?

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *