දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෙවර වෙසක් උත්සව කාලයේ දි උතුරු පළාතේ දන්සැල් දීම හෝ වෙනත් වෙසක් සැරසිලි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවක් හඟවමින්, සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. Factcresecndo අප කණ්ඩායම මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පුවත්පත් ලිපියක මෙම තොරතුරු පළවී තිබු ආකාරයක් දක්වමින් මෙම ඡායාරූප සටහන් පළවී තිබු අයුරු පහතින්.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.






මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් අප මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කළේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙවර වෙසක් සමයේ දී උතුරු පළාතේ දන්සැල් දීම හෝ වෙනත් වෙසක් සැරසිලි කිරීම තහනම් කරමින්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කර ඇත්නම්, ඒ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබිය යුතුයි. නමුත් අප කළ පරීක්ෂාවේදී තහවුරු වූයේ එවැනි පුවතක් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොමැති බවයි.
එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබුණේ, පුවත් පතක පළ වූ ලිපියක් බවට හැඟවෙන ආකාරයට වුවද, එහි කුමන මාධ්‍ය ආයතනයකට අයත් පුවත් ලිපියක් ද, යන්න සඳහන් කර නොතිබීම මෙන් ම, එම ලිපියේ අක්ෂර වින්‍යාසයේ ඇති අඩුපාඩු, Font වර්ගය, පැහැය යනාදිය, මෙරට පුවත් පත් වල භාවිත නොකරන බැවින්, මෙය ඩිජිටල් ලෙස කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කිරීමේ ඉහළ සම්භාවිතාවයක් ඇති බව පෙන්වා දිය හැක.

එමෙන් ම කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලමකට ද, අප ඉහත ඡායාරූපය යොමු කිරීමේදී මෙය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කිරීමේ ඉහළ සම්භාවිතවයක් ඇති බවට තවදුරටත් තහවුරු විය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා
එසේම, පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ඉහත ප්‍රකාශය, සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බවට දක්වමින්, උතුරු පළාත් ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කරනු ලැබුවා.
එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් වගකීමෙන් යුතුව දන්වා සිටින බව එහි සඳහන්.
දිගු කාලයක් තිස්සේ ලංකාවේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව ද, මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත බව ත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා.
මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතිව, ජාතික හා ආගමික සංහිඳියාව සහ සාමය ආරක්ෂා කරගනිමින් ජීවත් වන ලෙසත් සැමට ආදරයෙන් ඉල්ලා සිටින බවයි ආණ්ඩුකාරවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. භාෂා ත්‍රිත්වයෙන්ම එම නිවේදනය මෙතනින්.

යාපනය පොලීසිය
අප මේ පිළිබඳව යාපනය පොලීසියෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, යාපනය ආණ්ඩුකාරවරයා විසින් දන්සැල් නොපවත්වන ලෙසට හෝ වෙසක් සැරසිලි සිදු නොකරන ලෙසට කිසිදු ඉල්ලීමක් කර නොමැති බවයි. යාපනය පොලීසිය විසින් මෙවර ද, අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහන් කළේ, යාපනයේ වැඩි වශයෙන් සිටින්නේ, දමිළ ජනතාව බැවින් වෙසක් කාලයට විශේෂයෙන් දන්සැල් පැවැත්වීමක් සිදු නොකරන බවයි. නමුත්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, නාවික හමුදාව හා පොලීසිය එක්ව වෙසක් කලාප, දන්සැල් පවත්වන බව ත්, නාගදීපය අවට ද, වෙනස් සැරසිලි දන්සැල් පවත් වන අතර ඒවාට දමිළ ජනතාව සහභාගී වන බවත් ඔවුන් පවසා සිටියා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙවර වෙසක් උත්සව කාලයේ දි උතුරු පළාතේ දන්සැල් දීම හෝ වෙනත් වෙසක් සැරසිලි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ආණ්ඩුකාරවරයා විසින් එවැනි නිවේදයක් යොමු නොකර ඇති බවට එම පුවත අසත්‍ය බවට ආණ්ඩුකාරවරයා ද, නිවේදනයක් මගින් තහවුරු කරනවා.
එමෙන් ම, පුවත්පතක පළ වූ ලිපියක් ලෙස පෙන්වා දුන් එම සටහන කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති අතර එවැනි පුවතක් මෙරට නිල පුවත් පතක පළ වී නොමැති බව ද, තහවුරු කළ හැක.


