කැරම් බෝඩ් නඩුවෙන් විත්තිකරුවෙක් නිදහස් ද ? 

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළ බවට වන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවේ තුන්වැනි විත්තිකරු වූ නන්ද මල්ලවාරච්චි නඩුවෙන් ඉවත් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් විවිධ සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වෙනස් වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

ඒ සම්බන්ධයෙන් තවත් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කැරම් බෝඩ් සිදුවීමට අදාළව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව

2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස. හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2025 මැයි මස 29 වන දා නියෝග කරනු ලැබුවා. ඒ අනුව, හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.2014 වසරේ දෙසැම්බර් මස 07 වන දා හා එම මස 24 වන දා අතර කාලසීමාව තුළ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර දේශපාලන අවශ්‍යතා සඳහා ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තිය යටතේ “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනාකොට අධිචෝදනා 6ක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. ඒ පිළිබදව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

කැරම් බෝඩ් සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ පැවරූ නඩුව

එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් රජයට කෝටි හතරකට ආසන්න මුදලක් පාඩු කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් නඩු පවරා තිබුණා. 

නීතිපතිවරයා මෙම නඩුවේ දී හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සමඟ තෙවන විත්තිකරු වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි නම් කර තිබුණා. නමුත් මෙම සිදුවීමට අදාළව මීට පෙර අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවේ දී නන්ද මල්ලවාරච්චි නම් කර තිබුණේ සාක්ෂිකරුවකු වශයෙනි.

කැරම් බෝඩ් සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් පැවරූ නඩුවෙන් ඉවත් කර ඇත්තේ එහි තෙවැනි විත්තිකරු වූ නන්ද මල්ලවාරච්චි පමණයි

අදාළ නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වගන්තිය යටතේ කළ ඉල්ලීම මත එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ මහාධිකරණය 2026 මාර්තු 30 තීන්දු කර  තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු විසින් නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉල්ලීම පිළිගනිමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 194.1 යටතේ තෙවැනි විත්තිකරු වූ නන්ද මල්ලවාරච්චි නඩුවෙන් ඉවත් කිරීමට අවසර දී තිබෙනවා. ඒ පිළිබදව වැඩිදුර තොරතුරු මෙතනින්.

මහින්දානන්දගේ සහ නලින්ගේ මුලික විරෝධතා ප්‍රතික්ෂේප කර ඇත 

එකම චෝදනාවකට මේ ආකාරයෙන් නැවත නඩු පැවරීම නීතියට පටහැනි බවත්, ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කරමින් විත්තියේ නීතිඥවරුන් විසින් මූලික විරෝධතා මතු කර තිබුණා. එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුව ගොනු කර තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙම නඩුවට අදාළව රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය 2026 මාර්තු 30 තීන්දු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්

අධිකරණ වාර්තාකරුවන්

අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වාර්තාකරුවන්ගෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ,  මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් මෙම කැරම් සහ දාම් බෝඩ් සිදුවීමට අදාළව පවරන ලද අල්ලස් නඩුවක වැරදිකරුවන්ව ඇති බැවින් සමාන චෝදනා යටතේ යළි නඩු පැවරීම කළ නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධය සම්බන්ධයෙන් නියෝගය නිකුත් කිරීම මාර්තු 30 වන දා කොළඹ මහාධිකරණයේදී සිදු කළ බවත්, ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා විසින් මෙම නඩු දෙකට බලපාන සාධක වල ප්‍රබලත්වය වෙනස් බැවින් නඩුව පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බවත්, ඒ අනුව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය කටයුතු කළ බවත් ය. 

එසේම මෙම නඩුවේ තෙවැනි විත්තිකරු වූ නන්ද මල්ලවාරච්චිට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගැනීම නිසා ඔහු නඩුවෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා නියෝග කර තිබෙන බවත් කෙසේ නමුත් එය නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවත් ඔවුන් විසින් සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කැරම් බෝර්ඩ් සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් නන්ද මල්ලවාරච්චි එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා කළ ඉල්ලීම මත අධිකරණය විසින් තීන්දු කර ඇති නමුත්, එය නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බව අධිකරණය විසින් පවසා තිබේ. 

එසේම නන්ද මල්ලවාරච්චි මෙම සිදුවීමට අදාළව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ විත්තිකරුවෙක් නොවූ අතර එම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරුවන් බව මහාධිකරණය විසින් 2025 වසරේදී තීරණය කරනු ලැබුවා. 

මෙම සිදුවීම ම අරඹයා නීතිපතිවරයා විසින් පැවරූ වත්මනදී විභාග වන නඩුව වන අතර, කැරම් සහ දාම් බෝඩ් සිදුවීමට අදාළව පවරන ලද අල්ලස් නඩුවක වැරදිකරුවන්ව ඇති බැවින්, සමාන චෝදනා යටතේ යළි නඩු පැවරීම කළ නොහැකි බවට මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධය සම්බන්ධයෙන් නියෝගය නිකුත් කිරීම මාර්තු 30 වන දා කොළඹ මහාධිකරණයේදී සිදු කරනු ලැබුවා. ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා විසින් මෙම නඩු දෙකට බලපාන සාධක වල ප්‍රබලත්වය වෙනස් බැවින් නඩුව ඉදිරයට පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබෙනවා.

Result Stamp

Title: කැරම් බෝඩ් නඩුවෙන් විත්තිකරුවෙක් නිදහස් ද ?

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *