දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සයිබර් වංචනිකයින් සිදුකරන වංචා හමුවේ, රජයේ හෝ රජයට අනුබද්ධිත ආයතන වල සිදුව තිබෙන මුදල් වංචා කිරීම් කිහිපයක් ගැනම පසුගිය දින කිහිපයේදීම අසන්නට ලැබුණා. මේ අතර මහජන බැංකුවේ පද්ධතියට හැකරවරුන් ඇතුළු වී මුදල් වංචාවක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මහජන බැංකුවේ පරිගණක පද්ධතියට හැකර්වරුන් ඇතුළු වීම හේතුවෙන් කෝටි 65ට වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය විය.

මෙම සටහනේ නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මහජන බැංකුවේ පද්ධතියට හැකර්ස්ලා ඇතුළු වීම හේතුවෙන්, ඉහත දක්වා ඇති ආකාරයේ මුදල් වංචාවක් සිදු වී ඇත් ද, යන්න අප ප්‍රථමයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබේ.
බැංකුවේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද, මේ පිළිබඳව වාර්තා කර ඇත් ද, යන්න පරීක්ෂා කළ ත්, මහජන බැංකුවේ පද්ධතියට හැකර්ස්ලා ඇතුළු වී මුදල් වංචාවක් කර ඇති බවට සඳහනක් දැක ගන්නට නොලැබුණි.
නමුත් මෙවැනි සටහන් නිර්මාණය වීමට හේතුව පරීක්ෂා කිරීමේදී, විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇතිවූ තාක්ෂණික දෝෂණයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට රුපියල් මිලියන 656 ක වඩා ඉහළ මුදලක්, වැඩිපුර ගෙවීමේ සිදුවීමක් පිළිබඳ මාධ්‍ය නිවේදනයක් පළ කර තිබුණි.
2023 මැයි මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලය ඇතුළත, එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදුවූ දෝෂයක් හේතු කොටගෙන මෙය සිදුව ඇති බව ත්, මෙම දෝෂය මෑතකදි හඳුනාගත් බව ත්, මෙහිදී පැහැදිලිව සඳහන් කර ඇති අතර , මෙය හැකර්ස්ලා මහජන බැංකුවේ පද්ධතියට ප්‍රවිශ්ඨ වීම නිසා වූ සිදුවීමක් බව එහි සඳහන් නොවේ.
මේ නිසා සිදුවූ රුපියල් මිලියන 656 ක ඇස්තමේන්තුගත මූල්‍යමය බලපෑම, දැනටමත් බැංකුව විසින් අදාළ කාලසීමාව තුළ ප්‍රකාශයට පත් කර ඇති ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් වී ඇත බව ත්, වත්මන් ගණන් බැලීම්වලට අනුව තවදුරටත් මින් කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකරන බවත් නිල නිවේදනය දක්වා තිබුණි.
එසේම මේ හා සම්බන්ධ ගනුදෙනු වලට අදාළ ගනුදෙනුකරුවන්ගෙන් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවත්, එය සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි පහත දැක්වෙන නිවේදනයේ වැඩිදුරටත් අදහස් දක්වා තිබුණේ.
මෙමගින් මහජන බැංකුවේ එදිනෙදා බැංකු කටයුතු, ඩිජිටල් බැංකු පහසුකම් සහ ගනුදෙනුකාර සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සියලුම ගනුදෙනුකරුවන්හට සහ පාර්ශවකරුවන්ට වැඩිදුරටත් දැනුම් දී තිබුණා.

මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාව
අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාවේ, කළමණාකරණ අංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් සඳහන් කළේ ද, මෙම මුදල් මහජන බැංකු පද්ධතියට ඇතුළු අනිශ්ෂ ප්‍රවේශයක් හේතුකොට ගෙන නොව, විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇතිවූ තාක්ෂණික දෝෂණයක් හේතුවෙන් වූ සිදුවීමක් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මහජන බැංකුවේ පරිගණක පද්ධතියට හැකර්වරුන් ඇතුළු වීම හේතුවෙන් කෝටි 65ට වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවා ඇති බවට පළ වන සටහන් අසත්‍ය බව මහජන බැංකුව තහවුරු කර සිටින බවයි.
මෙහිදී සිදුව ඇත්තේ, මහජන බැංකුවේ, විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක, එක් මුදල් ඒකකයක් පරිවර්තනය කිරීමේදී ඇතිවූ තාක්ෂණික දෝෂණයක් හේතුවෙන්, ගනුදෙනුකරුවන් පිරිසකට, වසර තුනක කාලයක් තුළ රුපියල් මිලියන 656 ක මුදලක් වැඩිපුර ගෙවී තිබීම බවත්, ඔවුන්ගෙන් නැවත අයකරගැනීමේ ක්‍රියාවලිය දැනටත් ක්‍රියාත්මක වන බවත්, මහජන බැංකුව සඳහන් කරයි.


