දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් තවත් සටහන් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්




Facebook Facebook Facebook Facebook
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් ගොඩනැඟී තිබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් 2026.05.15 වන දින පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන මූල්‍ය ගනුදෙනු දෝෂයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අවධාරණය කර තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නායි ශාඛාවෙන් ඩුබායි හි පිහිටි නියෝජිත ආයතනයකට සිදුකළ යුතුව තිබූ ගෙවීමක්, සිදු වූ දෝෂයක් හේතුවෙන් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ වෙනත් ගිණුමකට බැර වී ඇති බව ඔහු පවසා තිබුණා. මෙලෙස වැරදි ගිණුමට බැර වී ඇති මුදල ඩිරාම් 974,500ක් වන අතර, එය ලංකා මුදලින් රුපියල් කෝටි 8කට අධික බව ඔහු පෙන්වා දුන්නේය. එම මුදල් නැවත අයකර ගැනීමට දුෂ්කරතා මතු වී ඇති බව ඔහු සඳහන් කළේය. ඔහු තම ප්‍රකාශයේදී කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නායි ශාඛාව සහ ඩුබායි මෙහෙයුම්වලට අදාළව මෙම ගෙවීම් සිදුකර ඇති බවයි. එම ප්‍රකාශය පහතින්.
ඩුබායි සමාගමේ ඊමේල් පද්ධතිය හැක් කර වංචනිකයන් විසින් සිදුකළ සයිබර් අපරාධයක්
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් 2026 මැයි 16 වන දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි සඳහන් වන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි සේවා සපයන්නෙකු විසින් තමන් වෙත ලැබිය යුතු AED 974,000 ක මුදලක් ලැබී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයට දන්වා ඇති බවයි. පසුව අනාවරණය වී ඇත්තේ අදාළ සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් ගිණුම තෙවන පාර්ශවයක් විසින් හැක් කර ඇති බවයි. ඔවුන් විසින් බැංකු ගිණුම් විස්තර වෙනස් කර, නිල සන්නිවේදන මාර්ග හරහා අමතර ලේඛනගත සාක්ෂි ද සපයා ඇත. එමඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවය නොමඟ යවමින්, තමන් සැබෑ සේවා සපයන්නා සමඟ සෘජුවම ගනුදෙනු කරන බව හැඟවීමට ඔවුන් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය වහාම ක්‍රියාත්මක වී අදාළ ගිණුමට තවදුරටත් ගෙවීම් කිරීම වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට සහ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව වාර්තා කර ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පරීක්ෂණ ක්‍රියාත්මක බවත්, මෙම ගෙවීම සිදු කරනු ලැබුවේ නිල විද්‍යුත් තැපැල් උපදෙස් සහ බලයලත් අත්සන් සහිත ලේඛන පදනම් කරගෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවතත් අවධාරණය කරයි. සයිබර් ප්‍රහාරය සිදුව ඇත්තේ බාහිර සේවා සපයන්නාගේ පද්ධතියට බැවින්, එම මුදල් අහිමි වීමේ වගකීම ගුවන් සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඩුබායි සමාගමේ ඊමේල් හැක් වී සිදුවූ සහ වංචාව චෙන්නායි ශාඛාවේ සිදුවූ අභ්‍යන්තර මුදල් අවභාවිතය යන එකිනෙකට වෙනස් සිදුවීම් දෙක එකක් ලෙස පටලවාගෙන වාර්තා කර ඇත
එසේම ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යාලයේ සිදුවූ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය එම නිවේදනය තුළ දන්වා සිටිනවා. චෙන්නායි හි මුදල් අංශයේ සේවය කරන ඉන්දීය ජාතික සේවකයින් කිහිප දෙනෙකු විසින් ඉන්වොයිසි, ගෙවීම් විස්තර සහ අත්සන් වංචනික ලෙස වෙනස් කරමින් කලක් තිස්සේ ඉන්දීය රුපියල් මිලියන 22 ක මුදලක් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව එම නිවේදනය තුළ දක්වා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය වහාම මෙම කරුණ අදාළ ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන් වෙත යොමු කර ඇති අතර, දැනට පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සිදුවූ පාඩුව පියවා ගැනීමට ඉදිරියේදී පියවර ගනු ඇති බව නිවේදනය මගින් දක්වා තිබෙනවා.එම නිවේදනය පහතින්. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින්ද වාර්තාකර තිබුණා. ඒ මෙලෙසින් සහ මෙලෙසින්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය
අප විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු ලෙස කටයුතු කරන දීපාල් පෙරේරා මහතා විසින් සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඩුබායිහි නියෝජිත ආයතනයකට ගෙවිය යුතුව තිබූ මුදලක් වෙනත් ගිණුමකට බැරවීමේ සිදුවීම අදාල ආයතනයේ ඊමේල් ගිණුමට අනවසරයෙන් පිවිසි සයිබර් වංචාකරුවන් විසින් තොරතුරු වෙනස් කර නිල සන්නිවේදන හරහා ඔවුන් නීත්‍යානුකූල සැපයුම්කරු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය නොමග යැවීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් බවයි. එසේම මෙම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනයෙන් පරිබාහිරව සේවා සපයන්නාගේ ඊමේල් පද්ධතියේ අනාරක්ෂිත බව හේතුවෙන් උද්ගත වූ තත්ත්වයක් බවද ඔහු විසින් සඳහන් කළා. එසේම විශේෂයෙන්ම මෙම ගනුදෙනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදු කළ ගනුදෙනුවක් නොවන බවද ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ චෙන්නයි ශාඛවේ සිදු වූ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් වන සිදුවීම වෙනත් සිදුවීමක් බවත්, මෙම සිදුවීම් දෙක එකිනෙක පටලවාගෙන වාර්තා කර ඇති බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මේ සම්බන්ධයෙන් පළ කළ නිවේදනයෙහි, අදාළ සිදුවීම් ද්විත්වයම සම්බන්ධයෙන් වෙන් වෙන්ව පැහැදිලි කර ඇති බවත් ඔහු විසින් සඳහන් කළා.
අප විසින් අදාල ඩුබායිහි සේවා සැපයුම් ආයතනයෙන් මේ සම්බන්ධයෙන් ලිඛිතව විමසීමක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාරය මත මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ඩිරාම් 974,000 මුදලක් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ ගිණුමකට බැර වීමේ සිදුවීම කිසියම් තුන්වන පාර්ශ්වයක් විසින් ඩුබායි සැපයුම්කරුගේ ඊමේල් ගිණුමට අනවසරයෙන් පිවිස බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර නිල සන්නිවේදන හරහා නිත්‍යානුකූල සැපයුම්කරු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය නොමඟ යැවීම හේතුවෙන් ඇති වූ සිදුවීමක් බවයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනයෙන් පරිබාහිරව සේවා සපයන්නාගේ ඊමේල් පද්ධතියේ අනාරක්ෂිත බව හේතුවෙන් උද්ගත වූවක් නිසාවෙන් අදාළ මුදල් නොලැබීම සම්බන්ධයෙන් වගකීමක් භාර ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කර ඇත. එසේම අදාල ගෙවීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ චෙන්නයි ශාඛාව මගින් සිදුකරන ලද්දක් නොවේ. ඩුබායි සමාගමේ ඊමේල් ගිණුමට වෙනත් පාර්ශ්වයක් ඇතුළු වීම හේතුවෙන් සිදුවූ සයිබර් වංචාව සහ චෙන්නයි ශාඛාවේ සිදුවී ඇති අභ්‍යන්තර මුදල් අවභාවිතය එකිනෙකට වෙනස් සිදුවීම් දෙකකි.


