දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ නිල ජාතික රණවිරු සැමරුම් දිනය සෑම වසරකම මැයි 19 වැනිදාට යෙදී තිබෙනවා. එසේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධයෙන් මියගිය දමිළ සිවිල් වැසියන් සිහිකිරීමේ අනුස්මරණ දිනය ද මැයි මස 18 වන දාට යෙදී තිබෙනවා. මෙවර මෙම සැමරුම් දිනයන්ට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නොමග යවන සුළු සහ අසත්‍ය තොරතුරු හුවමාරු වී තිබුණා. එවැනි අසත්‍ය නොමග යවන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මැයි 18 වන දා රණවිරු ස්මාරකය වෙත යාමට උත්සහ කිරීමේදී විමල් වීරවංශ මහතා සහ පොලිසිය අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මත පදනම්ව”අද විමල් වීරවංශ ඇතුලට ? ඊයේ රෑ අවසන් තීන්දුවත් ගනී” යනුවෙන් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මහ රෑ විමල් වීරවංශ අත්අඩංගුවට යනුවෙන් දක්වමින් ද වීඩියෝවක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
ඒ අනුව විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 මැයි 18 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. මැයි 19 වැනිදාට යෙදෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නිල පෙරහුරු කටයුතු සහ සංවිධාන කටයුතු රණවිරු ස්මාරකය අභියස සිදු වෙමින් පැවති අවස්ථාවේදී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා එම භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බව එම වාර්තාවන් තුළ දක්වා තිබුණා. එහිදී විමල් වීරවංශ මහතා සහ පොලිසිය අතර ඇති වූ උණුසුම් තත්ත්වය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්
මැයි 18 සිදුවීමට අදාළව මේ වන විට (2026 මැයි 20) විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැත
අදාල සිදුවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත්නම් එය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබිය යුතුය. අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් ඔස්සේ වාර්තා කර තිබුණේ නැහැ.
කෙසේ නමුත් ජාතික රණවිරු සැමරුම් පෙරහුරු කටයුතුවලට බාධා කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට එරෙහිව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා පොලීසිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. එම නිවේදනය මෙතනින්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බවයි. කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දිනයේ උසාවියට කරුණු වාර්තා කිරීමක් සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් තහවුරු කළා.
Claim 2
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රණවිරු සැමරුම බොරු වැඩක් යුද්ධය කළේ අපෙන් අහලා නොවෙයි – කොටි ඩයස්පෝරාව හමුවීමට හරිනි ලන්ඩන් යයි” යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්

මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යභාවය සොයාබැලීමටද අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 මැයි 18 වැනිදා 22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම ඇතුළු නිල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය තාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික හමුවීම් කිහිපයකට සූදානමින් සිටින බවත්, සසෙක්ස් විශ්ව විද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාලය කිහිපයක ශාස්ත්‍රීය දේශන සහ සමුළු ඇමතීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තාවන් තුළ දක්වා තිබුණා එම වාර්තාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එසේම මැයි 19 වන දින අග්‍රාමාත්‍යවරිය විසින් සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සමුළුවක් ඇමතීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් පළ කර තිබුණේ මෙලෙසින්.
2026 අප්‍රේල් මස 02 වන දින මන්නාරම අඩම්බල් ප්‍රදේශයේ පැවති කාන්තා හමුවකදී කාන්තාවන් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයක් නොමඟ යවන සුළු ලෙස ගෙන ඇත
2026 අප්‍රේල් මස 02 වන දින මන්නාරම අඩම්බල් ප්‍රදේශයේ පැවති කාන්තා හමුවකදී අග්‍රාමාත්‍යවරිය විසින් යුද්ධ වලින් බෙදුනු රටක් නිසා මෙරට කාන්තාවන් අපහසුතාවයට ලක් වූ බවත්, තම සැමියා, දරුවා නොමැතිව දුක් වන කාන්තාවන් බොහෝ දෙනෙක් මෙරට තුළ සිටිනා බවත් මෙම ප්‍රදේශයේත් එවැනි අත්දැකීම් වලට ලක්වූ කාන්තාවන් සිටිනා බව දන්නා බවත් සඳහන් කර තිබුණා. යුද්ධ පටන් ගන්නා විට සහ යුද්ධ කරන විට අපෙන් අසා යුද්ධ කළේ නැති බවත්, නමුත් යුද්ධයේ ප්‍රතිවිපාක කාන්තාවන් වන අපට අත්විදීමට සිදු වී ඇති බවටත් අග්‍රාමාත්‍යවරිය විසින් එහිදී ප්‍රකාශ කර තිබුණා. අදාළ සම්පූර්ණ කතාව විමසීමේදී ‘අප’ යනුවෙන් අදහස් කරන්නේ රටෙහි සමස්ත කාන්තාවන් වන බව පැහැදිලි වනවා.එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන නොමග යවන සුළු සටහනක් ලෙස සඳහන් කළා.
Claim 3
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අපි තමයි මහින්ද දම්මලා යුද්ධය කරේ” යනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ප්‍රකාශයක් සිදුකර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්


අමාත්‍ය විජිත හේරත් විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය සටහන දිනමිණ නිල ආකෘතිය ඔස්සේ නිර්මාණය කර තිබීම හේතුවෙන්, අදාළ පුවත දිනමිණ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද පුවතක් ද යන්න තහවුරු කර ගැනීමට අප කටයුතු කළා. කෙසේ නමුත් දිනමිණ නිල සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි සටහනක් පලකර තිබුණේ නැහැ.
අමාත්‍ය විජිත හේරත් විසින් ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තාකර ඇද්ද යන සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළ අතර, කෙසේ නමුත් එවැන්නක් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් ඔස්සේ වාර්තා කර තිබුණේ නැහැ.
ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ඡායාරූපය 2026.03.18 වන දින ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඩිජිටල් ප්‍රවර්ධනය උදෙසා ශක්තිමත් පදනමක් සපයන LilyLanka නැමති වේදිකාව දියත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ලබාගත් ඡායාරූපයකි.

අමාත්‍ය විජිත හේරත්
අප විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතාගේ මාධ්‍ය ලේකම්ගෙන් විමසීමක් සිදුකළ අතර, එහිදී ඔහු විසින් සඳහන් කළේ, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අදාළ සටහන අසත්‍ය ලෙස නිර්මාණය කරන ලද සටහනක් බවත් ය.
Claim 4
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
වේළුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ තරුණියන් දූෂණය කළ වීඩියෝ පටයක් වසර 17කට පසු සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව පවසමින් ලින්ක් එකක් හරහා එම වීඩියෝ පටය නැරඹීමට ආරාධනා කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහනේ සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමටද අප කටයුතු කළා
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය සටහන තුළ දක්වා ඇති සබැඳිය පරීක්ෂා කිරීමේදී එය කිසිඳු වීඩියෝවක් සඳහා යොමු කරන ලිපිනයක් නොව ව්‍යාජ සබැඳියක් බව දක්නට ලැබුණි. ඒ අනුව මෙම සබැඳිය සත්‍ය වීඩියෝවක සබැඳියක් නොව තතුබෑම් වංචාවක් (phishing scam) බවට තහවුරු වේ.
Phishing Attack යනු කුමක්ද?
තතුබෑම් ප්‍රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්‍රියාවකි. මෙහිදී ප්‍රහාරකයන් විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා ඔබව රවටා තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.
එසේම, වේළුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධව එවැනි සිදුවීමක් සම්බන්දධයෙන් කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් ඔස්සේ ද කිසිදු පිළිගත හැකි තොරතුරක් වාර්තා කර තිබුණේ නැහැ.
කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ඡායාරූපයක්
අදාළ සමාජ මාධ්‍ය සටහන තුළ වේළුපිල්ලේ ප්‍රභාකරන් කාන්තාවන් නිදා සිටින ස්ථානයක සිටගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද අන්තර්ගත වනවා. එම රූපයේ බැලූ බැල්මට නිරීක්ෂණය වන අස්වාභාවික ස්වරූපය හේතුවෙන් අප විසින් කෘතිම බුද්ධි පරීක්ෂක මෙවලම් ඔස්සේ එම ඡායාරූපය පරීක්ෂාවට ලක් කළ අතර එහිදී තහවුරු වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.


Claim 5
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“යුද හමුදාව සමඟ අපට ඇත්තේ අමිහිරි අතීතයක් නිසා ඔවුන්ව සැමරීමට අපේ සමහර සහෝදරවරුන් මැලිකමක් දක්වනවා” යනුවෙන් අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේමෙලෙසින්.

ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් සැබෑ ලෙසම මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබුණේ නම් එය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙවැනි පුවතක් වාර්තා කර ඇත්ද යන්න පරීක්ෂා කළත් එවැන්නක් හමුවුණේ නැහැ.
එසේම අමාත්‍යවරයා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප විසින් අවධානය යොමු කළ අතර, අමාත්‍යවරයා විසින් එම අවස්ථාවක හෝ මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බව හඳුනා ගැනීමට ලැබුණා.
අදාළ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අමාත්‍යවරයාගේ ඡායාරූපය 2026.05.12 වන දිනකෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහය ඇතිව CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනාගැනීමේ පද්ධතිය දියත් කිරීමේ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයකි. එම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැත.

Top News ෆේස්බුක් පිටුවෙහි ආකෘතියට නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනක්
අදාළ සටහන Top News නොමැති ෆේස්බුක් පිටුවක ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් සටහනක් තබමින් එම ෆේස්බුක් පිටුව ඔස්සේ සඳහන් කර ඇත්තේ මෙම සටහන අදාළ ෆේස්බුක් පිටුව මගින් පළ කරන ලද්දක් නොවන බවත් එහි ආකෘතියෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනක් වන බවත්ය.

මාධ්‍ය ලේකම්–අමාත්‍ය ලාල් කාන්ත
අප විසින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කල අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ මෙම සමාජ මාධ්‍ය සටහන අසත්‍ය සටහනක් බවත් අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


