කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරනවාද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරන කරන බවට බෞද්ධ හිමිනමක වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී සිදු කරන ප්‍රකාශයක් ඇතුළත්  වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

හිරු රූපවාහිනි නාලිකාවේ ‘සලකුණ’ වැඩසටහනට ඊයේ (20) එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ විසින් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල ඇතුළු අනෙක් රෝහල් වලද, ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් කරන සැත්කම් සිදු කරන බව සඳහන් කරනු ලබනවා.

කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ විසින් අදහස් දක්වන්නේ, කාසල් රෝහලේ ඇතුළු තව ත් රෝහල්වල මෙම සැත්කම සිදු වන බවයි.

කාසල් කාන්තා රෝහලේ අධ්‍යක්ෂ

මෙය අසත්‍ය චෝදනාවක් බව ත්, කාසල් රෝහලේ එවැනි සත්කම් සිදු නොවන බවට ත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේ නම්, ඒ සඳහා ද, සහය දක්වන බව පවසමින් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

https://srilanka.factcrescendo.com/wp-content/uploads/2026/05/CamScanner-20-05-2026-0842_260520_101250.pdf

CamScanner-20-05-2026-0842_260520_101250

කාසල් වීදියේ කාන්තා රෝහල යනු මෙරට ප්‍රධානතම රජයේ මාතෘ රෝහලක් වන අතර එහි ප්‍රධාන කාර්යභාරයන් වන්නේ, ගැබිණි මව්වරුන් වෙනුවෙන් ප්‍රසව හා නාරිවේද සායන පැවැත්වීම, ආරක්ෂිත දරු ප්‍රසූතීන් සිදු කිරීම, මඳසරුභාවයෙන් (දරුවන් නොමැතිව) පෙළෙන අය වෙනුවෙන් සාර්ථක නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සහ ශුක්‍රාණු බැංකු සේවා සැපයීම වේ. මේ සඳහා ද, ස්වාමීන් වහන්සේලා විසින් මීට පෙර චෝදනා එල්ල කර තිබුණේ,  සමලිංගකයන් සඳහා දරුවන් සෑදීමට මෙලෙසින් ක්‍රියාකරන බවයි.

කෙසේ වෙතත් කාසල් රෝහල ළදරුවන් හා කාන්තාවන් සම්බන්ධ රෝහලක් බැවින් ශ්‍රී ලංකාව තුළ උපතේදී බාහිර ලිංගික අවයවවල වෙනස්කම් සහිතව එනම්, ද්වි ලිංගික හෝ විද්‍යාත්මකව Disorders of Sex Development – DSD ලෙස හඳුන්වන තත්ත්වයෙන් උපදින දරුවන් සඳහා සැත්කම් සිදු කරනවාද යන්න පිළිබඳ විමසා බැලීම සඳහා අප කාසල් වීදියේ කාන්තා රෝහල අධ්‍යක්ෂකගෙන් මේ පිළිබඳ වැඩිදුර විමසීමක් කළා.

වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කළේ, කාන්තාවන් පිරිමින් බවට පරිවර්තනය කරන හෝ කුඩා දරුවන්ගේ ඉහත කී තත්ත්වය මත හෝ සැත්කම් හෝ වෙනත් ප්‍රතිකාර එම රෝහල තුළ සිදු නොකරන බවයි. එහි ඇත්තේ, ප්‍රසව හා නාරිවේදයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් පමණක් බව ත් ඒ මහතා පවසා සිටියා.

කොළඹ පිහිටි ලේඩි රිජ්වේ ළමා රෝහලේ හිටපු අධ්‍යක්ෂ

කොළඹ පිහිටි ලේඩි රිජ්වේ ළමා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විජේසූරිය මහතාගෙන් අප මෙවැනි සැත්කම් දරුවන්ට කරනවා ද, යන්න විමසීමක් කළ අතර, හිටපු අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, එවැනි සැත්කම් සිදු නොකර බවයි. එමෙන් ම උපතේදී බාහිර ලිංගික අවයවවල වෙනස්කම් සහිතව DSD තත්ත්වය නොව කුඩා වෙනස් කම් සහිතව ඉපදෙන දරුවන් සඳහා ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර කරන බවයි. නමුත් සම්පූර්ණයෙන් වෙනස් කරමින් ගැහැණු පිරිමි බවට පත් කරන සැත්කම් සිදු නොකරන බවයි.

ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡාවෙන් සිය ලිංගිකත්වය වෙනස් කිරීමට කැමති වැඩිහිටි  (Transgender) පුද්ගලයන් සඳහා හෝමෝන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම (Gender Affirming Surgery / SRS) පෞද්ගලික රෝහල් වල සිදු කරන බවට ත්, ලංකාවේ පෞද්ගලික අංශය තුළ ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයන් සඳහාම වෙන්වූ නිල වෛද්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බව අප කළ විමසීමේදී වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පැවසීය. කෙසේ වෙතත්, මෙම සැත්කම් සිදු කරනු ලබන්නේ ක්ෂණිකව නොව, දැඩි වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක ඇගයීම් ක්‍රියාවලියකට පසුව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශය සහ මනෝ වෛද්‍ය සායන හරහා මූලික උපදේශනය, හෝමෝන ප්‍රතිකාර සඳහා යොමු කිරීමේන් පසුව වේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2016 වසරේදී නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛ මඟින් මේ සඳහා අවශ්‍ය නීතිමය සහ වෛද්‍යමය ප්‍රතිපත්ති සකස් කර තිබේ.

ලංකාව තුළ පියයුරු ඉවත් කිරීම  හෝ පියයුරු විශාල කිරීම වැනි සැත්කම් බහුලව සිදු වුවද, පූර්ණ ලිංගික අවයව ප්‍රතිනිර්මාණය කිරීමේ සංකීර්ණ සැත්කම් (Vaginoplasty / Phalloplasty වැනි Bottom Surgeries) සඳහා පවතින විශේෂඥ පහසුකම් සහ පළපුරුද්ද සීමිත බැවින් ඇතැම් ශ්‍රී ලාංකිකයන් මූලික හෝමෝන ප්‍රතිකාර ලංකාවෙන් ලබාගෙන, අවසාන සංකීර්ණ සැත්කම් සඳහා තායිලන්තය වැනි රටවලට යොමු වීමට නැඹුරු වන බවට සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවගේ මතය වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් බවට පරිවර්තනය කිරීමේ සැත්කම් සිදු කරන කරන බවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව එම රෝහලේ අධ්‍යක්ෂ සඳහන් කරනු ලබනවා. නමුත් මෙරට ස්වේච්ඡාවෙන් සිය ලිංගිකත්වය වෙනස් කිරීමට කැමති වැඩිහිටි  පුද්ගලයන් සඳහා හෝමෝන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පෞද්ගලික රෝහල් වල සිදු කරන  අතර, කුඩා දරුවන් ඉපදීමේදී බාහිර ලිංගික අවයවවල කුඩා වෙනස්කම් සහිතව ඉපදෙන දරුවන් සඳහා ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර කරනු ලබයි.

Result Stamp

Title: කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරනවාද?

Written By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *