දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN අංකය) මේ දිනවල දැඩි ලෙස කතා බහට ලක් වන මාතෘකාවක්. මේ ඔස්සේ නොයෙකුත් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ බහුල ව සංසරණය වනවා එලෙසින් පළ වූ නොමග යන සුළු සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

සංගණනයක් සඳහා තොරතුරු රැස් කරන බව පවසමින්, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක්, ගෙයින් ගෙට යමින්, නිවැසියන් සතුව වලංගු හැඳුනුම්පතක් සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ද ඇති බව තහවුරු කළ යුතු බව දක්වන මුවාවෙන් මංකොල්ලකෑම් සඳහා යොමු වී ඇති බව සඳහන් කරමින්, එවැනි පිරිසක් පැමිණියොත් තොරතුරු ලබා නොදෙන ලෙස සඳහන් කර දැනුවත් කිරීමේ මාධ්‍ය සටහනක් WhatsApp ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

“*අධි ආරක්‍ෂක ඇඟවීම:*

ප්‍රවේශම් වන්න, එවැනි එක් කණ්ඩායමක් ස්වදේශ කටයුතු නිලධාරියෙකු ලෙස මවා පාමින් ගෙයින් ගෙට යමින් සිටී. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන සහ ලිපි ශීර්ෂය ඔවුන් සතුව ඇති අතර ඉදිරි සංගණනය සඳහා සෑම කෙනෙකුටම වලංගු හැඳුනුම්පතක් සහ tin අංකයක් ඇති බව තහවුරු කළ යුතු බව ඔවුන් පවසයි.

ඔවුන් ගෙවල් කොල්ල කනවා. රජයෙන් එවැනි වැඩපිළිවෙලක් නොමැති බව සලකන්න. මෙය ඔබේ අසල්වැසි කණ්ඩායම් කතාබහට යවන්න. ඔවුන් සෑම තැනම සිටින අතර ඒවා ඉදිරිපත් කළ හැකි බවක් පෙනේ. කරුණාකර ඔබේ පවුලේ අය සහ මිතුරන් දැනුවත් කරන්න.

යම් පුද්ගලයෙක් නිවසට පැමිණ සමහර යෝජනා ක්‍රම යටතේ ඔබේ ඡායාරූපය / මාපට ඇඟිල්ල ලබා ගැනීමට අවශ්ය යැයි පවසයි. ඔවුන් සතුව ලැප්ටොප් පරිගණකයක්, ජෛවමිතික යන්ත්‍රයක් සහ සියලුම නම් ලැයිස්තුවක් ඇත. ඔවුන් ලැයිස්තුවක් පෙන්වමින් මේ සියලු තොරතුරු ඉල්ලා සිටී. මේ සියල්ල සාවද්‍ය බව පෙන්වා දී ඇත. ඔවුන්ට කිසිම තොරතුරක් දෙන්න එපා. සැම දෙනාගේම දැන ගැනීම සඳහා මම මෙම ලිපිය එවන්නෙමි. සෑම කෙනෙකුම අවදියෙන් සිටිය යුතු අතර කණ්ඩායමේ නැති අයට කියන්න.”

mso-ascii-font-family:Calibri;mso-ascii-theme-font:minor-latin;mso-hansi-font-family:

Calibri;mso-hansi-theme-font:minor-latin;mso-bidi-language:SI-LK">මේ සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ෆේස්බුක් සටහනක් පහතින්.

Facebook | Archived

මෙහි නිරවද්‍යතාවය විමසමින් බොහෝ දෙනෙකු අපගෙන් විමසීමක් කළ අතර අප මේ පිළිබඳව කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සටහන් වල පෙන්වා දෙන පරිද් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස පෙනිමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළත්, එවැනි මාධ්‍ය වාර්තාවක් පළ වී නොතිබුණු බවට ප්‍රත්‍යක්ෂ වුණා.

එමෙන් ඉහත සටහනේ මෑතකදී අවධානයට පත් වූ සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) යන කොටස ඇතුළත් කළ සටහනක් දැක ගැනීමට හැකි වූවත්, මෙම සටහන පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කිරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) පිළිබඳ සඳහන් නොවුණු 2021 වසරේ පළ වූ සටහනක් ද, විමර්ශනය වූයේ මෙලෙසින්. Archived Link

එමෙන් ම මෙම සටහනේ තොරතුරු ද, ඇතුළත් කරමින් වෙනස් ස්වරූපයකින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප මීට පෙර කරුණු විමර්ශනයක් ද, සිදු කර තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් මෙම සටහන නැවත වරක් සංසරණය වී තිබූ බැවින් මෙහි දක්වා ඇති කරුණු තවදුරට ත් තහවුරු කර ගැනීමට මෙහි සඳහන් කර ඇති අංශ කිහිපයක් සම්බන්ධ කර ගත්ත‍ා.

ආරක්ෂක අමාත්‍යාංශය

අප ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර ඒ මහතා ප්‍රකාශ කළේ, බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් වෙනත් කණ්ඩායමක් විසින් තොරතුරු ලබා ගන්නා බවට වාර්තා වී නොමැති බවයි. පුද්ගලයන් විවිධ නිලධාරීන් ලෙස පෙනී සිටි අවස්ථා මීට පෙරද ඇති නමුත් අපරාධ කණ්ඩායම් මහජනතාවගෙන් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය ලියාපදිංචිය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් නිශ්චිත සිදුවීම් වාර්තා වී නොමැති බව මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් අවධාරණය කළා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

පොලිස් මාධ්‍ය කොට්ඨාශයට ඉහත සටහනේ දක්වා ඇති පරිදි ස්වදේශ අමාත්‍යාංශයේ සාමාජිකයින් ලෙස පෙනී සිටිමින් ගෙයින් ගෙට ගොස් තොරතුරු ලබා ගන්නා අපරාධ කණ්ඩායමක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවට තහවුරු කළා.

ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මාධ්‍ය තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන පරිදි ක්‍රියාවක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු ප්‍රවෘත්තියක් හෝ වාර්තාවක් ලැබී නොමැති බවයි. තවද, තම අමාත්‍යාංශයේ නිලධාරීන් මහජනතාවගෙන් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක සඳහා ගෙයින් ගෙට ගොස් සෝදිසි කිරීම් සිදු නොකරන බවද ඔවුන් පැහැදිලි කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් ගෙයින් ගෙට යමින් සංගණනයක් සඳහා තොරතුරු රැස් කරන බවත්, මෙහිදී ඔවුන් ට තමන් සතුව වලංගු හැඳුනුම්පතක් සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ද ඇති බව ට තහවුරු කළ යුතු බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන නොමග යන සුළු වේ. එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද, තහවුරු කරයි.

Avatar

Title:TIN අංකය ලියාපදිංචිය තහවුරු කිරීමට රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැමිණෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ සාක්ෂි නොමැත!

Written By: Pavithra Sandamali

Result: Misleading