දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින්, ඇතැම් දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශයක් විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ අළලා සිදුකර තිබු නොමඟ යවන සුළු සටහනක් පිළිබඳ ව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම හේතුවෙන්, MAS සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති වන මහේෂ් අමලියන් “එල්ලා දමන” බවට, ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ පළකර තිබු වීඩියෝව දී පැවසු බවක් හඟවමින්, සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබුනේ පහත විස්තරයත් සමඟින්, විනාඩියක පමණ කෙටි වීඩියෝවක් ද සමඟින්.

“මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වන මහේෂ් අමලියන් වැන්නවුන් විසින් රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම හේතුවෙන් “එල්ලා දමන” බවට ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය ප්‍රකාශක, කෝට්ටේ නගර සභාපති අපේක්ෂක චතුරංග අබේසිංහ පවසයි. ඔහු විසින්ම පටිගත කර පළ කර ඇති එම වීඩියෝවේ කියන ආකාරයට ලංකාවේ රාජ්‍ය ව්‍යාපාරවලින් ලාබ ඉපැයීමට අසමත් වූ සියලු ඉහළ නිලධාරීන් ජාජබ රෙජීමයක් යටතේ මරණීය දණ්ඩනයට පමුණුවනු ඇත.

මහේෂ් අමලියන් යනු සුප්‍රකට MAS සමූහ ව්‍යාපාරයේ සම-නිර්මාතෘවරයෙකු වන කෝටිපති ව්‍යාපාරික දානපතියෙකි. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) සභාපතිවරයා ලෙස 2008 - 2019 දක්වා ඔහු ක්‍රියා කළේය. එම ව්‍යාපාරය ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය යටතේ ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වේ. 2021 වසරේ ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිසම විසින් සිදු කළ කාර්යසාධන ඇගයීම් වාර්තාවට අනුව SLINTEC ආයතනය දිගින් දිගටම වාර්ෂිකව රුපියල් මිලියන සිය ගණනින් පාඩු ලබා ඇත. එම කෝටි ගණනක පාඩුව පියවා ඇත්තේ රජයේ භාණ්ඩාගාරයේ මුදලින් හෙවත් ජනතාවගේ බදු මුදලිනි.

එම වාර්තාවට අනුව SLINTEC ආයතනය මූල්‍යමය වශයෙන් තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයට පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ මහලේකම්ගේ පුත්‍රයා වන චතුරංග අබේසිංහ එම පක්ෂයේ විධායක කමිටුවේ ප්‍රබල සාමාජිකයෙකි. එතුමා පවසන ආකාරයට ඉහත ආකාරයේ පාඩු ලැබීම් සඳහා ඒවායේ නායකත්වය අනිවාර්යෙන් වගකිව යුතු වන අතර එම අවකළමනාකරණය වෙනුවෙන් දඬුවම් විඳිය යුතුය. චතුරංග ඉතා ප්‍රචණ්ඩකාරීව පවසන්නේ එවැනි පුද්ගලයන් “එල්ලා” ඝාතනය කර දැමිය යුතු බවයි.”

Facebook | Archived Link

ඒ අදහසින්ම හුවමාරු වූ තවත් සටහනක් පහතින්.

Facebook | Archived Link

එරන්ද ගිනිගේ විසින් ලියන ලද එම සටහන වෙබ් අඩවියක ද, පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචර වලින් ද, පෙනී ගියේ චතුරංග අබේසිංහ මහතා විසින් MAS සමූහ ව්‍යාපාරයේ සම-නිර්මාතෘවරයෙකු වන කෝටිපති ව්‍යාපාරික මහේෂ් අමලියන් මහතා සම්බන්ධයෙන් මෙලෙසින් ප්‍රකාශ කරන බවයි.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම චතුරංග අබේසිංහ මහතා විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් මහේෂ් අමලියන් මහතා සම්බන්ධයෙන් සිදු කර තිබුණේ ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පරීක්ෂාවක් සිදු කළත්, අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

ඉන් අනතුරු ජාතික ජන බලවේගයේ සමාජික චතුරංග මහතා විසින් මෙම ප්‍රකාශය ඇතුළත් මුල් වීඩියෝව පිලිබඳ තොරතුරු පරික්ෂා කිරීමේ දී අනාවරණය වුයේ සම්පුර්ණ වීඩියෝවේ කොටසක් පමණක් සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු බවයි. එබැවින් සමාජ මාධ්‍ය සටහන්හි යොදාගෙන තිබු විනාඩියක වීඩියෝව ඇතුළත් වූ සම්පූර්ණ විනාඩි 15ක පමණ වීඩියෝව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා.

වීඩියෝවේ කිසිදු අවස්ථාවක මහේෂ් අමලියන් සම්බන්ධයෙන් චතුරංග පවසන්නේ නැහැ!

මුල් වීඩියෝව චතුරංග අබේසිංහ සිය ෆේස්බුක් ගිණුමේ සජීවී වීඩියෝවක් ලෙස ජනවාරි මස 02 වැනිදා පළකර තිබුනේ මෙලෙසින්.

එහිදී ඔහු බදු පැනවීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වන අතර එහිදී පවසන්නේ මහ බැංකු අධිපති ආචාර්‍ය නන්ද ලාල් වීරසිංහ මහතා බදු අය කර ගැනීම සම්බධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් විවේචනය කරමින් සිය අදහස් දක්වනු ලබයි.

මෙම වීඩියෝවේ දී අර්ජුන ඇලෝසියස්, දයා ගමගේ වැනි පුද්ගල නාම කිහිපයක් ගැන චතුරංග සඳහන් කළ ද කිසිඳු අවස්ථාවක MAS ආයතනය සම්බන්ධයෙන් හෝ SLINTEC ආයතනය සම්බන්ධයෙන් හෝ ප්‍රකාශයක් සිදු කරන්නේ නැහැ.

වංචා හා දූෂණය හේතුවෙන් අහිමි වූ බදු ප්‍රමාණය සහ ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කර එම බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙස ද අවධාරණය කරමින්, ඔහු මෙහිදී විවේචනය කරන්නේ මහබැංකු අධිපති වශයෙන් ගත යුතු තීරණ නොගන්නා බවත්, වංචනිකයින් හොර කල්ලිය ආරක්ෂා කරන බවයි.

වත්කම් නිසියාකාරව කළමණාකරණය නොකිරීම හේතුවෙන් ජනතාවගේ වත්කම් විකිණීමට ඉඩ නොදෙන බවත්, ප්‍රතිව්‍යූගත කිරීමට අවශ්‍යනම් ඒවාට හේතු වූ පුද්ගලයින් එල්ලා දැමිය යුතු බවත්, හිරේ දැමිය යුතු බවත්, ඔහු මෙහිදී සඳහන් කරනු ලබයි. එම සම්පුර්ණ වීඩියෝව පහතින්.

Facebook

අප මේ පිළිබඳව වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික චතුරංග අබේසිංහ මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළා.

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික චතුරංග අබේසිංහ

ඒ මහතා පවසා සිටියේ, තමන් එම ප්‍රකාශයේ කිසිදු අවස්ථාවක සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ආකාරයට ව්‍යාපාරිකයෙකු ගේ නමක් හෝ සඳහන් නොකළ බවත්, තමන් MAS ආයතනයේ සේවය කිරීම හේතුවෙන් තමන් සහ MAS ආයතනය අතර අර්බුදයක් ඇති කිරීම සඳහා මෙලෙසින් තමන් නොකියූ තොරතුරු ඇතුළත් කරමින් අසත්‍ය සටහන් නිර්මාණය කර ඇති බවයි.

එමෙන්ම SLINTEC ආයතනය ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන සංවිධානයක් බවත්, ලංකාවේ දී 0.128%ක් පමණ රජය විසින් එහි කටයුතු සඳහා ආයෝජනය කරන බවත්, ලොව වෙන රටවල 3%ක් පමණ අගයක් සාමාන්‍යයෙන් මෙවැනි පරියේෂණ ආයතන සඳහා ආයෝජන කරන බවත්, පර්යේෂණ හා සංවර්ධන සංවිධානයකින් ලාභ බලාපොරොත්තු නොවන බවත්, එය හාස්‍යට ලක් කළ හැකි කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

චතුරංග තවදුරටත් පවසන්නේ බදු ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිට සිදු කරන චෝදනා ඇතුළත් වීඩියෝවේ කොටසක් නොමඟ යවන සුළු ආකාරයට යොදා ගනිමින්, තමන් සිදු නොකළ ප්‍රකාශයන් ඇතුළත් කරමින්, මෙලෙසින් තමන්ට මඩ ගැසීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් ව්‍යාජ මත නිර්මාණ කරමින් සිටින බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:මහේෂ් අමලියන් රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම හේතුවෙන් “එල්ලා දමන” ලෙස චතුරංග අබේසිංහ ප්‍රකාශ කළා ද?

Written By: Pavithra Sandamali 

Result: Misleading