දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මේ වන විට ඇමෙරිකාව තුළ මුවන් අතර සොම්බී රෝගයක් පැතිරී යමින් තිබෙනවා. මෙම රෝගය Chronic Wasting Disease (CWD) නමින් හැඳින්වෙනවා. මෙම රෝගය පිළිබඳව නවතම ප්‍රචාරය වන්නේ මෙය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක්ද පවතින බවයි.

සමාජ මාධ්‍ය පලකිරීම්

මේ වන විට දෙස් විදෙස් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව විවිධ පලකිරීම් සිදු කර තිබෙනවා.

Facebook | Achieved

මේ පිලිබඳව දැක්වුණු විදෙස් සමාජ මාධ්‍ය සටහනක් පහතින්.

Instagram | Achieved

මේ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අපි තීරණය කළා.

FACT CHECK (සත්‍ය කරුණු විමර්ෂණය):

Chronic Wasting Disease (CWD)

උතුරු ඇමෙරිකාවේ මුවන් අතර ව්‍යාප්ත වන සොම්බී රෝගයක් ලෙස හැඳින්වෙන රෝගය Chronic Wasting Disease (CWD) නම් වෙනවා. මෙය වෛරස හෝ බැක්ටීරියා මඟින් ආසාදනය වන රෝගයක් නොවෙයි. ප්‍රියෝන නැමැති කුඩා රෝග කාරක ක්ෂුද්‍ර අංශුව මඟින් මෙම CWD රෝගය ව්‍යාප්ත වීම සිදුවන බව මේ වන විට සොයා ගෙන තිබෙනවා.

ප්‍රියෝන යනු අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තරමක් වෙනස් රෝග කාරකයක්. මෙය වැරදි ලෙස නැමීගිය ප්‍රෝටීන් දාමයක් ලෙස පවතිනවා. මෙම ප්‍රෝටීනමය සැකැස්ම, සතුන් තුළ මොලය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇති කරවිය හැකි ආකාරයේ ප්‍රතික්‍රියා ඇති කරවනවා. උමතු ගව රෝගය වැනි රෝගවලට හේතු කාරකය වන්නේ ප්‍රියෝන ආකාරයි. ප්‍රියෝන සහ ඒවා මඟින් ව්‍යාප්ත වන රෝග පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

වෙනත් ප්‍රියෝන රෝග මෙන්ම CWD ද බලපෑම් එල්ල කරන්නේ සත්ත්වයින්ගේ ස්නායු පද්ධතියටයි. මෙම රෝගයේදී එම ප්‍රියෝන මුවන්ගේ මොලය, සුෂුම්නාව, ඇස්, වසා ගැටිති සහ ප්ලීහාවට යන අවයවයන්ට හානි කරනවා. මේ වන විට මෙම රෝගය මුවන්, තිත්මුවන්, පිනිමුවන්, ගෝනුන් විශේෂ ආදී සත්ත්වයින් තුළ හඳුනාගෙන තිබෙනවා.

මෙම රෝගය ආසාදනය වූ සතුන් කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ, දකුණු කොරියාව සහ උතුරු ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලින් හමු වී තිබෙනවා.

මෙම රෝගය වැලඳුන සතුන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ වන්නේ ශරීර ස්කන්ධය අඩු වීම, අසාමාන්‍ය හැසිරීම් රටා, වෙව්ලීම, පැකිලෙන සුළු ස්වභාවය, අධික වෙව්ලීම, අධික ලෙස කෙළ පිටවීම සහ පසුකාලීනව හිස් බැල්මෙන් බලා සිටීම ආදියයි. රෝගය උත්සන්න වූ විට, බලපෑමට ලක් වූ සත්ත්වයින් කෙට්ටු වී, ආහාර ගිලීමේ අපහසුතා පෙන්නුම් කරමින් අවසානයේ මිය යා හැකියි. කෙසේ නමුත් මෙම සතුන් හට රෝගය ආසාදනය වී වසරක පමණ කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර ශරීරය තුළ පැවතිය හැකියි.

කෙසේ නමුත් මෙම රෝගය මාරාන්තික රෝගයක් වන අතර කිසිඳු ප්‍රතිකාර ක්‍රමයක් නොමැති ස්නායු රෝගයක්.

CWD රෝගය සඳහා සොම්බී රෝගයක් යැයි නම් කෙරී ඇත්තේ මෙම රෝගය මඟින් ආසාදිත සත්ත්වයාට ඇති කරන අසාමාන්‍ය සහ විනාශකාරී තත්ත්වය සහ හැසිරීම හේතුවෙනුයි. සොම්බීන් තුළ පවතින ලෙස මිනිසුන් විස්වාස කරන ඇතැම් හැසිරීම්, හිස් බැල්මක් ඇති බව ආදී ලක්ෂණ මෙම ආසාදනය මඟින් සත්ත්වයින් තුළද ඇති කරවනවා. නමුත් මෙයින් කියවෙන්නේ මෙම රෝගය ලෝකය විසින් සොම්බී ආසාදනය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන තත්ත්වයේ ලක්ෂණ මුළුමනින්ම මෙම රෝගය සතු වන බව නොවෙයි. කෙසේ නමුත් මෙම ‘සොම්බී රෝගය’ ලෙස මෙම රෝගය හැඳින්වීම හුදෙක් යෙදුමක් ලෙස පමණක් සිදු කරනවා. ඇතැම් ස්ථානවල මෙය ‘සොම්බි වෛරසයක්’ ලෙසම දක්වා තිබුණ නමුත් එය යෙදුමක් වශයෙනුත් නිවැරදි නැහැ. මෙය ඇතැම් රෝග ලක්ෂණවල ස්වභාවය නිසා සොම්බී රෝගයක් ලෙස මිනිසුන් අතර නම් කෙරුණු ප්‍රියෝන රෝගයක්.

CWD වෙනත් සත්ත්වයින් අතර පැතිරයාමේ හැකියාව

මේ වන විට ලොව පුරා සුලබව වාර්තා වන CWD ආසාදිතයින් වන්නේ මුවන්, ගෝනුන් වැනි සත්ත්වයින්. මෙම සත්ත්ව විශේෂවල සතුන් අතර මෙම රෝගය ව්‍යාප්ත වන්නේ ඔවුන්ගේ මුත්‍රා, මළපහ, කෙළ, රුධිරය වැනි දේහ තරල, අදාල රෝගකාරකය අන්තර්ගත වූ ආහාර ලබාගැනීම සහ එවැනි ස්ථානවල ජීවත් වීම ඔස්සේයි. මේ සත්ත්ව විශේෂ හැර, අනෙකුත් වීවිධ සත්ත්ව විශේෂ මෙම ආසාදනයට සහ මෙම ආසාදනය ඇති කරවන ප්‍රියෝනය සඳහා කෙලෙස ප්‍රතිචාර දක්වනු ඇතිදැයි විද්‍යාඥයින් පරීක්ෂණ සිදු කරනවා. විවිධ සත්ත්ව විශේෂවල DNA සහ ජාන සැකැස්ම ආදිය එකිනෙකින් වෙනස් නිසා යම් සත්ත්ව විශේෂයකට මෙය ආසාදනය වීම තුළින් අනෙක් විශේෂවලට මෙම රෝගය සම්ප්‍රේෂණය වීම පිළිබඳව සෘජු අදහසක් දක්වන්න බැහැ.

ඒ අනුව විද්‍යාඥයින් විසින් මීයන් වැනි කෘන්තකයින්, වමාරා කන සතුන්, මුගටි ආදී සතුන්, බිලාල කුළයේ සතුන් ආදී යම් යම් සත්ත්ව ආකාරවලට මෙම ප්‍රියෝනය විවිධ ආකාරවලින් ලබාදී පර්‍යේෂණ සිදු කර තිබෙනවා. ඒ අනුව මෙහිදී ඇතැම් සතුන්ට මෙම ප්‍රියෝනය ආසාදනය වුණා. නමුත් විවිධ සතුන්ට මෙය ආසදනය වීමට ප්‍රියෝනය ඔවුන් තුළට ඇතුල් කළ යුතු වුණේ විවිධ ආකාරවලින්. උදාහරණ ලෙස මුඛයෙන් ප්‍රියෝනය ශරීරගත වීමෙන් ලේන් වඳුරා ආසාදනය වූ අතර, මොලයට මෙය එන්නත් කිරීම තුළින් බැටළුවන්, බළලුන්, හැම්ස්ටර් සත්ත්වයින් ආදිය ආසදනය වුණා. නමුත් ඉහත ආසාදනවලදී ඇතැම් සත්ත්ව විශේෂ ප්‍රතිරෝධී ලෙස ක්‍රියා කර තිබුණා. මේ පිළිබඳව වාර්තාව මෙතනින්.

CWD මිනිසුන් අතර ව්‍යාප්තවීමට ඇති අවදානම

මිනිසුන් අතර CWD රෝගය ව්‍යාප්ත වී යාමේ අවදානමක් පවතීද යන්න මේ වන විට ලොව පුරා පිරිස විමසමින් සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ එවන් අවදානමක් පිළිබඳව සටහන් හුවමාරු වෙනවා. වාර්තාවන රෝගී සත්ත්වයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ මෙම සැකය ක්‍රමයෙන් ඉහළ යනවා.

මෙම රෝගය 1960 වසර ආශ්‍රිත සමයේදී සොයාගනු ලැබූ අතර, එහි ආසාදන ක්‍රමයෙන් ඉහළ ගියත්, තවමත් මිනිසුන් හට මෙයින් ඇතිවූ බලපෑමක් ගැන කිසිදු සඳහනක් නැහැ. කෙසේ නමුත් මේ පිළිබඳව විවිධ පර්‍යේෂණ මෙහෙයවෙමින් පවතිනවා. නමුත් මෙම රෝගය සත්ත්වයින්ගෙන් මිනිසුන් වෙත ආසාදනය වීමේ අවදානම් පවතින බවට කිසිඳු සාක්ෂියක් වාර්තා වන්නේ නැහැ. නමුත් තවදුරටත් මෙම පර්‍යේෂණ මෙහෙයවමින්, මිනිසුන්ට මෙම රෝගයෙන් ඇති කළ හැකි බලපෑම් ගැන විමසා බලමින් පවතිනවා. වැඩිදුර තොරතුරු සඳහා මෙතනින්.

කෙසේ නමුත් මිනිසාට පරිණාමික වශයෙන් තරමක් ආසන්න ඇතැම් ලේන් වඳුරා වැනි වඳුරු විශේෂවලට මෙම රෝගකාරකය මුඛය තුළින් ඇතුළු වීමෙන් ආසදනය විය හැකි බව පෙනී ගොස් තිබෙනවා.

1997 සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කර ඇත්තේ, කිසිඳු ප්‍රියෝන ආශ්‍රිත රෝගවල රෝගකාරක මිනිස් ආහාර දාමයට ඇතුළු කරගැනීම වළක්වා ගත යුතු බවයි. එනම්, මෙම රෝගය ආසාදිත සත්ත්ව මාංශ පරිභෝජනය සිදු නොකළ යුතු බවයි.

මෙම රෝගය මිනිසුන් වෙතට සම්ප්‍රේෂණය වන බවට කිසිඳු සාක්ෂියක් නැතත්, මෙහිදීද එම නිර්දේශය පිළිපැදීම ඉතා වැදගත්.

කෙසේ නමුත්, පර්‍යේෂකයින් අනාවැකි පලකරන්නේ යම් හෙයකින් මෙම රෝගය මිනිසුන් වෙතත් ආසාදනය වූවොත්, මිනිසුන්ට ආසාදනය වන උමතු ගව රෝගය වැනි වෙනත් ප්‍රියෝන රෝගවලට වඩා වෙනස් තත්ත්වයක් සහ ලක්ෂණ පෙන්නුම් කරනු ඇති බවයි.

CWD රෝගයට සෞඛ්‍ය පූර්වාරක්ෂක ක්‍රම -

මෙම රෝගයට අදාල රෝග ලක්ෂණ පෙන්වන හෝ සැකසහිත සතුන් දඩයම් කිරීමෙන් වැළකීම, ඔවුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් වැලකීම, යම් ලෙසකින් ඔවුන්ව හැසිරවීමට සිදු වුවහොත් අත් ආවරණ, මුව ආවරණ ආදී ආරක්ෂක ඇඳුම් භාවිත කරමින් එය සිදු කිරීම වැදගත් පූර්වාරක්ෂක ක්‍රම ලෙස හැඳින්විය හැකියි.

තවමත් මිනිසුන්ට මෙයින් ඇති බලපෑම පිළිබඳව තහවුරු කිරීමක් නැතත්, ඒ පිළිබඳව 100%ක තහවුරු කිරීමක් නොමැති නිසාවෙන් අවදානයෙන් සහ පරීක්ෂාකාරීව කටයුතු කිරීම සුදුසුයි.

ශ්‍රී ලංකාවේ මෙම රෝගය පැතිරීමට ඇති හැකියාව

මුවන් සහ ගෝනුන් ශ්‍රී ලංකාව තුළද වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබෙනවා. නමුත් CWD රෝගය ආසාදිත ලෙස සැක කෙරෙන හෝ ඔප්පු වූ කිසිදු සත්ත්වයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ. එපමණක් නොව, අසල්වැනි ඉන්දියාව හා ඒ ආශ්‍රිත රටවල්වලින්ද මෙම තත්ත්වය වාර්තා වී නැහැ. ආසියානු කලාපයේ CWD ආසාදිත සත්ත්වයින් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙන්. කෙසේ නමුත් මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව වෙත මෙම අවදානම අවම මට්ටමක පවතින බව පෙනී යනවා.

දේශගුණික විපර්‍යාස මඟින් CWD රෝගයට ඇති බලපෑම

දේශගුණික විපර්‍යාස මඟින් CWD රෝගයේ පැතිරයාමට සෘජු බලපෑමක් එල්ල කරන බවට පෙනී යන්නේ නැහැ. නමුත් මීට කිහිප ආකාරයකින්ම වක්‍ර බලපෑම් එල්ල කිරීමට දේශගුණික විපර්‍යාස සමත් වෙනවා.

උෂ්ණත්ව ඉහළ යාම මෙන්ම අධික වර්ෂාපතනය ආශ්‍රිත දේශගුණික වෙනස්වීම් මුව ගහණයේ ව්‍යාප්තිය වෙනස් කරවීමට සමත් වෙනවා. මෙහිදී සතුන් එක් ස්ථානයක සිට වෙනත් වාසස්ථාන කරා ගමන් කිරීමේදී රෝගය තවදුරටත් විශාල භූ ගෝලීය කලාපයකට ව්‍යාප්ත වීම සිදුවිය හැකියි. එමෙන්ම දේශගුණික විපර්‍යාස සතුන් අතර ඇති අන්තර් ක්‍රියාවලට සිදු කරන විවිධ බලපෑම්ද මෙම රෝගයේ ව්‍යාප්තියට සහ බෝ වීමට බලපානවා.

එමෙන්ම, පරිසරයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයේ වෙනස්කම් පරිසරය තුළ ප්‍රියෝනවල පැවැත්මට සහ සම්ප්‍රේෂණ හැකියාවට බලපෑම් ඇති කරනවා. ඒ අනුව, දේශගුණික විපර්‍යාස සහ CWD රෝගය අතර සම්බන්ධතාවය දියුණු පර්‍යේෂණ ඔස්සේ තහවුරු කරගෙන නැතත්, එහි වක්‍ර බලපෑමද රෝගය පැතිරී යාමට විශාල වෙනසක් ඇති කරවන බව පෙනී යනවා.

Chronic Wasting Disease යන රෝගය මුවන්, ගෝනුන් වැනි සත්ත්ව විශේෂ අතර මේ වන විට ව්‍යාප්තව පවතින මාරාන්තික ස්නායු රෝගයක්. මෙම රෝගය විවිධ සත්ත්වයින්ට ආසාදනය වීමට ඇති ප්‍රවණතාවය පිළිබඳව තවදුරටත් ලොව පුරා පර්‍යේෂණ සිදු වනවා. මේ වන විට සිදු වූ ඇතැම් පර්‍යේෂණ මඟින් ඇතැම් සතුන් මෙම රෝගය ආසාදනය වීමේ හැකියාවක් සහිතව ජීවත් වන බව පෙන්වා දී තිබෙනවා. නමුත් මිනිසාට මෙම රෝගය ආසාදනය විය හැකි බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ නැහැ. නමුත්, මෙය තවදුරටත් පර්‍යේෂණ මට්ටමේ පවතින නිසා හැකිතාක් මෙම රෝගය ආසාදනය විය හැකි සතුන්ගෙන් ඈත් වී සිටීම සහ ඔවුන්ගේ මස් ආහාරයට නොගැනීම ඉතා වැදගත්.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:උතුරු ඇමෙරිකාවේ මුවන් අතර පැතිරී යන සොම්බී ආසාදනය මිනිසුන් අතරත් පැතිරීමට ඉඩ තිබෙනවාද?

Written By: Fact Crescendo Team

Result: Insight