දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ගෘහස්ත ගෑස් භාවිතය සහ යොදාගනු ලබන සිලින්ඩර, ඒවායේ ගුණාත්මක භාවය ඇතුළු කරුණු පිළිබඳව සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වෙනවා. කෙසේ නමුත්, ගෑස් සිලින්ඩර සම්බන්ධ කතාබහ ඇතිවන විට, ඒ සම්බන්ධ විවිධ වැරදි තොරතුරු සහ නොමඟ යවන සුළු තොරතුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සිදුවෙනවා. මෑතකදීම මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ පලකිරීමක් පිළිබඳව අපි අද විමසා බලනවා.

සමාජ මාධ්‍ය සටහන්

Facebook ඔස්සේ පල කෙරුණු වීඩියෝවකින් පෙන්වා දුන්නේ, මේ දිනවල ඉක්මනින් ගෑස් සිලින්ඩරවල ගෑස් අවසන් වෙනවානම්, එයට හේතුව සිලින්ඩරය අලෙවි කිරීමේදී සම්පූර්ණයෙන් පුරවා නොමැති වීම බවයි. පීඩන මානයක් සවිකරන ලද රේගියුලේටරයක් ආධාරයෙන් ගෑස් ටැංකියේ පරිමාව පෙන්වා දීමක් සිදුකරමින් මෙම කරුණ ගෙනහැර දක්වමින් එහිදී තවදුරටත් පවසන්නේ මෙම තත්වය පිළිබඳව සියලුම බලධාරීන් දැනුවත් කරන ලෙසයි.

Facebook | Archived FB

වෙනත් ෆේස්බුක් පරිශීලකයින් ද මෙම වීඩියෝව හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

WhatsApp ඔස්සේද මෙම වීඩියෝව විශාල වශයෙන් ව්‍යාප්තව තිබුණා.

Facebook | Archived

මෙම වීඩියෝවේ දැක්වෙන කරුණු පිළිබඳව වැඩිදුර කරුණු විමසා බැලීමට අපි තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

පළමුවෙන්ම අප විමසා බැලුවේ ගෑස් සිලින්ඩරයේ ඇති රෙගියුලේටරයට සම්බන්ධ කර ඇති උපකරණයක් මගින්, ගෑස් සිලින්ඩරයේ පවතින ගෑස් ප්‍රමාණය පිළිබඳව නිශ්චිත මිනුමක් ලබාගත හැකිද යන්න පිළිබඳවයි.

ගෑස් රෙගියුලේටරය හෙවත් ගෑස් නියාමකය යනු ගෑස් සිලින්ඩරයේ සිට, එය සම්බන්ධ කර ඇති උපකරණය තෙක් වායුව ගලායාම පාලනය කරන උපකරණයක්. අහිතකර ලෙස භයානක ගෑස් ප්‍රමාණයක් උපකරණය වෙත ගලා යාම වැළකීම මෙන්ම, අදාළ කාර්‍යය සඳහා ප්‍රමාණවත් නොවන තරම් අඩු ගෑස් ප්‍රමාණයක් උපකරණය වෙත ගලා යාමත් මෙමඟින් පාලනය වෙනවා.

ඒ අනුව මෙමඟින් සිදුවන්නේ ගෑස් සිලින්ඩරයේ ඇති ගෑස්වල පීඩනය නියාමනය කරමින් එය උපාංගයේ භාවිතයට සුදුසුබව සහ ආරක්ෂිත භාවය තහවුරු කිරීමයි.

රේගියුලේටරට සම්බන්ධ කර ඇති පීඩනමානයෙන් ගෑස් පරිමාව ගණනය කල නොහැකියි!

මෙහි පීඩනමානයක් සහිත විට එහි දර්ශකයේ පෙන්වන්නේ ගෑස් ගබඩා වී ඇති පීඩනය සහ එය පිටවන පීඩනය මිස, පරිමාව ආශ්‍රිත මිනුමක් නොවෙයි. ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයට සවි කරන ගෑස් නියාමකය හෙවත් රෙගියුලේටරයට සම්බන්ධ කර ඇති පීඩනමානය සැලසුම් කර ඇත්තේ ප්‍රධාන වශයෙන්ම සිලින්ඩරයෙන් පවතින ගෑස්වල පීඩනය ගණනය කරන පරිදියි.

ගෑස් සිලින්ඩරයේ ඉතිරිව ඇති වායු පරිමාව ගණනය කිරීම සඳහා ඇතුළත පීඩනයට අමතරව, උෂ්ණත්වය, ගෑස් වර්ගය වැනි සාධක කිහිපයක්ම බලපානවා. ඒ නිසා රෙගියුලේටරයෙන් පමණක් ලැබෙන දත්ත මත පදනම් වී කිසිඳු ලෙසකිනුත් සිලින්ඩරයේ පවතින ගෑස් ප්‍රමාණය නිර්ණය කළ නොහැකියි.

ඉහත රූපයේ පෙන්වා දෙන පරිදි, පීඩන මාපකයේ දර්ශකයේ එහි ඒකක දක්වා තිබෙනවා. ඒ LP/in2 ලෙසයි. එනම් වර්ග අඟලකට ඇති LP ගෑස් පීඩනය MPa × 10-1 යන ඒකකයෙන් පෙන්වා දෙනවා. MPa යනු මෙගා පැස්කල් යන්නයි. මෙය පීඩනය මනින ඒකකයයි. මෙයට පරිමාවට කිසිඳු සම්බන්ධයක් නැහැ. රතු පැහැති සීමාවේදී ඉතා අඩු පීඩනයකුත්, කහ සීමාවෙන් ඉතා වැඩි පීඩනයකුත් පෙන්නුම් කරනවා.

ඉහත වීඩියෝවේ දැක්වෙන පීඩනමානයේ දැක්වෙන පරිදි එහි ගෑස් පීඩනය අධික නිසා ගෑස් කාන්දුවීම් පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා. මක්නිසාද යත්, ගෑස් රෙගියුලේටරයට සම්බන්ධ කර තිබු පීඩනමානයේ අගය පැවතියේ කහ පැහැති සීමාවේයී.

ප්‍රොපේන්, බියුටේන් වලට වඩා පහසුවෙන් අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වී යයි, එබැවින් LPG මිශ්‍රණයේ ප්‍රොපේන් වැඩි වීම හේතුවෙන් ටැංකිය තුල ඇති පීඩනය වැඩි වේ. ඒ අනුව, ටැංකිය වැඩි වේලාවක් අව්වේ තැබීම වැනි හේතුවක් මගින් ටැංකියේ පීඩනය වැඩි විය හැකියි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ පීඩනය වැඩි වීමට ද එවැනි හේතුවක් හෝ සිලින්ඩරය සෙලවී තිබීම වැනි හේතුවක් ද මුල් වීමේ ඉඩකඩක් පවතිනවා.

සාමාන්‍යයෙන් ගෑස් රෙගියුලේටරයක් හෙවත් නියාමකයක් සිලින්ඩරයකට සවි කිරීමේ අරමුණ, අන්තරාදායක නොවන, අඩු සහ නියත පීඩනයක ගෑස් සිලින්ඩරය තුළ පවතින ගෑස් පවත්වාගැනීමයි. ඒ අනුව එම අගය රෙගියුලේටරය විසින් අඩු ගෑස් ප්‍රමාණයක් ඇති විටදී මෙන්ම වැඩි ප්‍රමාණයක් ඇතිවිටදීද වෙනස් නොවී සුදුසුම අගයේ පවත්වා ගන්නවා.

මෙසේ නියත අගයක පීඩනය පවත්වා ගනිමින් බලාපොරොත්තු වන්නේ ඉහළ පීඩනයකින් පවතින වායුවෙන් විශාල ගිනිදැල් ඇතිවී අනතුරුදායක තත්ත්වයක් ඇති නොවීමට සහ නිකරුනේ අධික ගෑස් ප්‍රමාණයක් වැය නොවීමටයි. එය ආරක්ෂිතව, වඩාත්ම ප්‍රශස්ත ලෙස ගෑස් භාවිතය සඳහා යොදාගන්නා උපක්‍රමයක්.

තවද ඔබගේ LPG ගෑස් සිලින්ඩරයේ පීඩනය කුමන අගයක් වුවද, ඔබ එයට සම්බන්ධ වන ගෑස් නියාමකය (රේගියුලේටරය) 2.75kPA (0.4 psi) වැනි නියත අඩු පීඩනයක් පවත්වා ගනී. එබැවින් LPG රේගියුලේටරය වෙත psi 100ක් / 55 psi වැනි ඉහළ පීඩනයක් ලබා දිය හැකිද යන්න ගැටළුවක් නොවේ. හේතුව එය හුදෙක් 0.4 psi වැනි පහළ අගයක් කරා රේගියුලේටරය මඟින් නියාමනය වන බැවිනි.

ගෑස් සිලින්ඩර අලෙවියේදී එහි මිල තීරණය කෙරෙන්නේ එහි බර මතයි!

එමෙන්ම සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩර අලෙවියේදී එහි මිල තීරණය කෙරෙන්නේ එහි බර නැතහොත් ස්කන්ධය මතයි. පීඩනය මත නොවෙයි. පීඩනය සාමාන්‍ය මිනිසෙකුට වුවත්, පීඩනමානයක් සවිකිරීමෙන් මැනිය හැකි නිසා, පීඩනය සහ ස්කන්ධය අතර සම්බන්ධයක් ඇත්නම් අලෙවියේදී මිල නිර්ණය එහි පීඩනය අනුව සිදුකිරීම වඩාත් පහසු වෙනවා. නමුත් ප්‍රායෝගිකව එසේ සිදු නොකරන්නේ පීඩනය සහ ස්කන්ධය (එනම් ගෑස් සිලින්ඩරයේ ඇති ගෑස් ප්‍රමාණය) අතර සම්බන්ධයක් නොමැති නිසාවෙනුයි.

LP ගෑස් යනු එක් වායු වර්ගයක් නොවෙයි. එය වායූන් කිහිපයක මිශ්‍රණයක්. ප්‍රධාන වශයෙන්ම මෙහි අඩංගු වන්නේ ප්‍රොපේන් සහ බියුටේන් වායූන්. මෙම වායු අනුපාත විවිධ රටවල වෙනස් වන අතර ලංකාවේ සාමාන්‍යයෙන් Propane / Butane: 30% / 70% වැනි අනුපාතයක් යොදාගන්නවා. මෙම මිශ්‍රණයේ ස්වභාවය අනුව විටින් විට පීඩන වෙනස්වීම් ඇතිවිය හැකියි. ඒ අනුව විටින් විට පීඩනයේ සුළු සුළු වෙනස්කම් ඇතිවෙන්නට ඉඩ තිබෙනවා. කෙසේනමුත් මේ අනුව සිලින්ඩරයේ ඇති ගෑස් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. එසේනම් පීඩනය, ගෑස් ප්‍රමාණයට බලපෑම් සිදු නොකරන බව පෙනී යනවා.

භෞතික විද්‍යා විද්වතෙකුගේ අදහස්

මේ පිළිබඳව විද්‍යාත්මක පැතිකඩ විමසා බැලීමට අප විවෘත විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා කථිකාචාර්‍ය, මහාචාර්‍ය V.P. සුසිර පෙරේරා මහතාව සම්බන්ධ කරගත්තා. එතුමා පෙන්වා දුන්නේ ද, ගෑස් සිලින්ඩරයකට සම්බන්ධ කරන ගෑස් රෙගියුලේටරය හෙවත් නියාමකය, ගෑස් සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය පෙන්වා දීමට සවි කර ඇති එකක් බවයි. මෙම අගය සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය මත රඳා පවතින්නක් නොවෙයි. නමුත්, ගෑස් සිලින්ඩරයේ ඇති ගෑස් මුළුමනින්ම අවසන් වීමට ඉතා සුළු මොහොතකට පෙර, මෙම පීඩන අගය අඩු වී යනවා දැකගත හැකියි. මීට හේතු වන්නේ පීඩනයක් ඇති කිරීමට සිලින්ඩරය තුළ ද්‍රව්‍යක් නොමැති වීමයි. ඒ හැර, පරිමාව පිළිබඳව රෙගියුලේටරයෙන් ලැබෙන දත්ත ඔස්සේ කිසිඳු අදහසක් ලබාගත නොහැකි බව එතුමා පෙන්වා දුන්නා.

ගෑස් සිලින්ඩරයක පරිමාව මැනීමට පවතින සරලම ක්‍රමය ලෙස එතුමා යෝජනා කළේ ගෑස් සිලින්ඩරයේ ස්කන්ධය මැනීමයි. ගෑස් අඩංගු සිලින්ඩරය මැනීමෙන් ලැබෙන ස්කන්ධයෙන් සිලින්ඩරයේ ස්කන්ධය අඩු කිරීමෙන් එහි අඩංගු ගෑස්වල ස්කන්ධය ලබාගත හැකියි. එමෙන්ම මෙහි අඩංගු වන්නේ, LP ගෑස් බව දන්නා නිසා එහි ඝණත්වයත් සොයාගැනීමට හැකියි. ඒ අනුව, පරිමාව = ස්කන්ධය / ඝණත්වය

ලිට්රෝ ගෑස් සමාගමේ පැහැදිලි කිරීම

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන්නේ Litro Gas සිලින්ඩරයක් බැවින් ඒ පිළිබඳව අප Litro සමාගමෙන් සිදුකල විමසා බැලීමේදී ඔවුන්ද තහවුරු කර සිටියේ එම වීඩියෝවේ දැක්වෙන ක්‍රමවේදය ඔස්සේ සිලින්ඩරයක පවතින ගෑස් ප්‍රමාණය පිලිබදව නිගමනයකට පැමිණීමට නොහැකි බවත් ඔවුන් ජාතන්තරව භාවිතා වන සම්මත යටතේ ම ලංකාවේදී LP ගෑස් පිරවුම් කටයුතු SLS 712 තත්ව යටතේ සිදුකරන බවයි.

එසේම ගෑස් සිලින්ඩරයේ සහ ගෑස් ප්‍රමාණයේ බර පරික්ෂා කරගත හැකි නිවැරදි ක්‍රමය පිළිබඳව ද ලිට්රෝ සමාගම 2022 වසරේ දී පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ මෙලෙසින්.

ගෑස් රහිත සිලින්ඩරයේ බර සහ LPG ගෑස් හි බර ලංකාවේ අලෙවි වන ගෑස් සිලින්ඩරවල සටහන් කර තිබෙනවා. උදාහරණයක් ලෙස 12.5kg ගෘහස්ත සිලින්ඩරයක 12.5kg යනු ගෑස් බර (LPG Weight) වන අතර එයට හිස් සිලින්ඩරයේ බර (Tare Weight) වන 12.9kg එකතු කිරීමෙන්, අලුතින් ලබාගන්නා සිලින්ඩරයක මුළු බර ලබාගත හැකියි. ඒ අනුව මුළු බර කිලෝග්‍රෑම් 25.4ක් වෙන අතර අනෙකුත් 2.3kg සහ 5kg සිලින්ඩරයන්හි ද බර මේ ආකාරයටම ගණනය කිරීමක් සිදු කර, ඕනෑම පරිභෝගිකයෙකුව වුවද පරික්ෂා කර ගත හැකියි.

සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයේ ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය මැනීමට විශේෂිත උපාංග භාවිත කළ හැකියි. නැතහොත් සෘජුවම ගෑස් සිලින්ඩරයේ ස්කන්ධය මැනීම සිදුකළ කොට ටැංකියේ මුද්‍රණය කොට ඇති එහි හිස් ස්කන්ධයෙන් එය අඩු කිරීමෙන්, ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණයේ අගය ලබාගැනීමට ද පුළුවන්. එසේම ගෑස් ටැංකියේ පැත්තකින් මද රස්නයක් ඇති උණු වතුර වත් කොට පසුව අතර සීතලක් දැනෙන තැන අනුව ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබාගැනීම වැනි ක්‍රම ද ඇතැම් විට භාවිතා වෙනවා.

එසේම මීට පෙර වෙනත් රටවල ද මේ ආකාරයට ගෑස් සිලින්ඩරයේ රේගියුලේටරය්ට පීඩනමානයක් සවිකරමින් එහි ලැබෙන අගයන් මත ගෑස් පරිමාවේ මිනුම් වෙනස් බවට නොමඟ යවන සුළු වීඩියෝ පළකර තිබුනී. ඒ පිළිබඳව ඉංග්‍රීසි බසින් සිදුකොට තිබු මෙම විමර්ෂණයෙන් ද පෙන්වා දී තිබුනේ එලෙසින් ගෑස් පරිමාව නිර්ණය කළ නොහැකි බවයි.

Also Read: ගෑස් සිලින්ඩර හැඬලයේ ඇති සලකුණු බොදවීම් නිසා ලිට්‍රෝ ආයතනය විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට අසත්‍ය ප්‍රචාර!

තවත් මෙවැනි නවතම කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එකතුවන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

ඉහත විමර්ෂණයට අනුව, LP ගෑස් සිලින්ඩරයට සවි කරන රෙගියුලේටරයට පීඩනමානයක් සම්බන්ධ කිරීම මඟින් සිලින්ඩරය තුළ ඇති ගෑස්වල පීඩනය පිළිබඳව අදහසක් ලබාගත හැකි බවත්, එය ගෑස් සිලින්ඩරයේ ඇති ගෑස් පරිමාවට හෝ ගෑස් බර පිළිබඳව කිසිඳු සම්බන්ධතාවක් නැති බව පෙන්වා දෙනවා.

එනිසා එම වීඩියෝවේ දැක්වෙන පරිදි රේගිගියුලේටරයට පීඩනමානයක් සවි කිරීමෙන්, ගෑස් සිලින්ඩරයේ ඇති ගෑස් ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබා ගත නොහැක.

Avatar

Title: මේ දිනවල වෙළඳපොළේ ඇති ගෑස් සිලින්ඩර සම්පූර්ණයෙන් පිරී නොමැති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත නැත්ත!

Written By: Fact Crescendo Team

Result: Misleading