හඳුන්කූරු දුම මිනිසුන්ට මාරාන්තික විය හැකිද?

Health Insight

Last updated on February 21st, 2024 at 05:58 am

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

හඳුන්කූරු යනු බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ ආගමික සහ සංස්කෘතික පැතිකඩ සමඟ බැඳී පවතින අංගයක්. ආගමික ස්ථානවලදී, නිවසේදී ආගමික කටයුතු සිදු කරන අවස්ථාවලදී මෙන්ම ඇතැම් අවස්ථාවල නිවෙස් සුවඳවත් කිරීම සඳහා ද හඳුන්කූරු දැල්වීම සිදු කරනවා. එයින් විහිදුවන සෞම්‍ය සුවඳට මිනිසුන් ප්‍රිය කිරීමත් මීට හේතුවක් විය හැකියි. එපමණක් නොව, ශ්‍රී ලංකාව තුළ හඳුන්කූරු තවදුරටත් පරිණාමය වෙමින්, මදුරුවන් පලවාහැරීම සඳහා විශේෂිත ලෙස සකසා ඇති හඳුන්කූරු ද දැන් වෙළඳපොලේ දැකිය හැකියි.

කෙසේ නමුත්, හඳුන්කූරු දැල්වීමෙන් සිරුරට සිදුවිය හැකි අතුරු ඵල පිළිබඳව කතාබහක් සමාජය තුළ ඇතිවෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය පලකිරීම්:

හඳුන්කූරු දැල්වීමේදී නිකුත් වන දුම, මිනිස් සිරුරට අහිතකර බලපෑම් එල්ල කරන අන්දම පිළිබඳව දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෑතක දී සිට විශාලලෙස කතාබහට ලක්වී තිබුණා. එමෙන්ම එය විශාල හුවමාරුකරගැනීම් සංඛ්‍යාවකුත් ලබාගෙන තිබුණා.

Facebook | Archived

මෙහි සම්පූර්ණ වීඩියෝව මීට මාස 6කට පමණ පෙර වෙලාව YouTube නාලිකාව ඔස්සේ එක් කර තිබුණා. සම්පූර්ණ වැඩසටහන මෙතනින් නරඹන්න. 

මෙම වීඩියෝව ඔස්සේ මෙම කරුණු දක්වමින් පැහැදිළි කිරීම සිදු කරන්නේ පාරම්පරික වෛද්‍ය, පරිසර ගවේෂක P.M. එදිරිසිංහ මහතායි.

කෙසේ නමුත්, විවිධ සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝව සමඟ ඇතිවූ කතාබහත් සමඟ මෙහි විද්‍යාත්මක පසුබිම ඇසුරින් කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අප තීරණය කළා.

Explanation :

හඳුන් කූරු යනු දහනයෙන් සුවඳක් නිපදවෙන කූරු විශේෂයක්. සුවඳ සහිත විවිධ සගන්ධ තෙල් යොදාගනිමින්, මේවා දහනය කළ හැකි යම් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කරමින්, හඳුන් කූරු නිපදවනවා. බොහෝ අවස්ථාවල යන්ත්‍රානුසාරයෙන් මේවා නිපදවෙන මුත්, තවමත් ශ්‍රී ලංකාව තුළ ස්වයං රැකියාවක් ලෙස නිවසේදී හඳුන් කූරු සෑදීම සිදු වෙනවා.

මෙම හඳුන් කූරුවලින් නිපදවෙන සරල, සෞම්‍ය සුවඳ හේතුවෙන්, සිත එකඟ කර ගැනීමේ භාවනා, විවේක අවස්ථා ආදියේදී මේවා යොදා ගැනෙනවා. පූජ්‍ය ස්ථානවලදී ඇතිවන සෞම්‍ය හැඟීමටද එම ස්ථානවල බැතිමතුන් විසින් දල්වන හඳුන් කූරුවල මෙම සුවඳ හේතුවක්.

හඳුන්කූරු නිෂ්පාදනය –

මෙහිදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත වන්නේ පහත ද්‍රව්‍යයි.

කළු කුඩු – පොල්කටු සහ ඇතැම් ශාකවර්ගවල දැව දහනය කර සාදාගන්නා අඟුරු කුඩු කර මෙම කුඩු සාදාගන්නවා. අතීතයේ මේ වෙනුවට ගොම භාවිත වුණා. නමුත් මේ වන විට බොහෝ විට භාවිත වෙන්නේ මෙම අඟුරු කුඩුයි.

ලී කුඩු – ඇතැම් ශාකවල දර අඹරා මෙම ලී කුඩු සාදාගන්නවා. මේ සඳහාත් සෑම දර ආකාරයක්ම යොදාගන්නේ නැහැ. විශේෂිත ශාක කිහිපයක් මේ සඳහා තිබෙනවා.

පට්ට කුඩු – මෙයත් ශාක කොටස් අඹරා සාදාගන්නවා. මේ සඳහා අඹරා ගන්නේ මඳ ඇලෙනසුළු ස්වභාවයක් සහිතවන ශාක දැව පමණයි. ඒ නිසා මෙම කුඩු තරමක් ඇලෙනසුළු බවක් පෙන්නුම් කරනවා. 

උණ ඉරටු – හඳුන්කූරේ මැද ඇති ඉරටුව උණ ශාකයෙන් ලබා ගන්නා  සිහින් ඉරටුයි.

සුවඳ වර්ග – සාමාන්‍යයෙන් ඉහත අමුද්‍රව්‍යවලින් හඳුන් කූරට සුවඳක් එක් වන්නේ නැහැ. ඒ සඳහා විශේෂිත සුවඳක් හඳුන් කූරු මිශ්‍රණයට වෙනම එක් කළ යුතු වෙනවා. මීට සගන්ධ තෙල්, සුවඳ කුඩු ආදිය මීට අවශ්‍ය වෙනවා.

හඳුන්කූරු නිෂ්පාදනය නිවෙස්වලදී සිදු කරන ආකාරය පිළිබඳව දැක්වෙන සම්පුර්ණ පැහැදිළි කිරීමක වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්. මහාපරිමාණ හඳුන්කූරු නිෂ්පාදනය පිළිබඳව පැහැදිළි කිරීමක් මෙතනින්.

හඳුන්කූරු දහනය – 

සාමාන්‍ය හඳුන්කූරක් මිනිත්තු 20ක් 30ක් අතර කාලයක් දැල්වෙනවා. මෙය තීරණය වන්නේ හඳුන්කූරේ විශාලත්වය සහ ඝණකම මතයි. 

හඳුන්කූරක් දැල්වීමේදී නිපදවෙන දුම සමඟ සුවඳ අඩංගු වන කාබනික ද්‍රව්‍ය පිට වෙනවා. මෙම කාබනික ද්‍රව්‍ය මෙයින් ඇතිවන සුවඳ සඳහා මූලිකවම හේතු වෙනවා. මීට අමතරව, මෙම දහනය වන දුමේ හඳුන් කූර නිර්මාණය සඳහා යොදා ගැනුණු ද්‍රව්‍ය දහනය වීමෙන් නිකුත් වෙන අකාබනික ද්‍රව්‍ය ද අඩංගු වෙනවා. මෙහිදී යොදා ගන්නා දැවමය සහ අඟුරු ද්‍රව්‍යවල කාබන් අඩංගු වන අතර, මෙම කාබන් දහනය වී, ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වායු පිටවෙනවා. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යාපීඨයේ, රසායන විද්‍යා අංශයේ, ආචාර්‍ය අසිත කුරේ මහතාව මේ පිළිබඳව විමසීමක් සිදු කිරීම සඳහා අප සම්බන්ධ කරගත්තා. මෙහිදී එතුමා පැවසුවේ, සාමාන්‍යයෙන් ඕනෑම කාබනික ද්‍රව්‍යක් (ශාකමය කොටස් වැනි) දහනයේ දී, විශේෂිත රසායන ආකාරයක් පිටවීමට අවකාශය පවතින බවයි. මෙම රසායනය පොලිසයික්ලික් ඇරෝමැටික් හයිඩ්‍රොකාබන් (PAHs – Polycyclic Aromatic Hydrocarbons) ලෙස හැඳින්වෙනවා. මෙම රසායනිකය විෂ සහිත එකක් ලෙස සැලකෙනවා. නමුත් මෙය හඳුන්කූරු දහනයෙන් පමණක් විශේෂයෙන් පිටවන රසායනිකයක් නොවෙයි. දර ලිප්වල ආහාර පිසීමේදී දර දහනය වෙමින්ද මෙය නිපදවෙනවා. 

කෙසේ නමුත් එතුමා ප්‍රකාශ කළේ, හඳුන්කූරු දහනය වී පරිසරයට එක් වෙන ද්‍රව්‍ය පිළිබඳව පැහැදිළි පර්‍යේෂණ මේ වන තෙක් සිදු වී නොමැති බවයි. 

කාබන් ඩයොක්සයිඩ් සහ මොනොක්සයිඩ් වායූන්ට අමතරව, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන වායූන්ද මෙහිදී නිදහස් වීමට ඉඩ තිබුණත්, මෙම වායු පිටවීම තීරනය වන්නේ හඳුන්කූරේ අමුද්‍රව්‍ය පිළිබඳව සලකා බලායි. ඇතැම් අවස්ථාවල සල්ෆර් සහ නයිට්‍රජන් අඩංගු ද්‍රව්‍ය අමුද්‍රව්‍යවල අඩංගු විට මෙම වායූන් හඳුන්කූර දහනයේදී පිටවෙනවා. කෙසේ නමුත්, සාපේක්ෂව සිතා බලන විට ඒ ඉතාම අඩු වායූ ප්‍රමාණයක් පමණයි. එනිසා මෙයින් පරිසරයට සිදුවන හානිය විශාල වශයෙන් අධ්‍යනය කර නැහැ.

හඳුන්කූරු සඳහා එක් කරන සුවඳ ආශ්‍රිත රසායන ද්‍රව්‍යවල ඇතැම්විට යම් විෂක් පරිසරයට එක් කළ හැකිබව පවතින ද්‍රව්‍ය තිබිය හැකි බව පැවසූ ආචාර්‍ය අසිත කුරේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඒ පිළිබඳව පැහැදිළි නිගමනයක් ලබාගැනීමට නම් ඒ ආශ්‍රිතව විවිධ සුවඳ සඳහා විවිධ පර්‍යේෂන වෙන වෙනම පැවත්විය යුතු බවයි. සුවඳ අනුව හඳුන්කූරට යොදා ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව අදහසක් ලබාගන්නට බැහැ. එකම සුවඳ සහිත වෙනත් ද්‍රව්‍ය එක් කර සෑදූ හඳුන්කූරුද තිබිය හැකී.

හඳුන්කූරු දහනයෙන් පිටවන අහිතකර වායූන් ගැන තවඳුරටත් පර්‍යේෂණ සිදුවිය යුතු බවත්, තවමත් පැහැදිළි දත්ත නොමැති බවත් පෙනී යනවා. කෙසේ නමුත්, හඳුන්කූරු දුමෙන් බාහිර පරිසරයට ඇති බලපෑම එතරම් සලකන්නේ නැහැ. නමුත්, නිවෙස් තුළ සහ හඳුන්කූරු දල්වන සංවෘත අවකාශ තුළ පරිසරයට බලපෑම් එල්ල කිරීමට හඳුන්කූරු සමත් වෙනවා.

හඳුන්කූරු දහනයෙන් ඇතිවන සෞඛ්‍ය බලපෑම –

මූලිකවම හඳුන්කූරු දහනයෙන් කාබන්ඩයොක්සයි සහ කාබන්මොනොක්සයිඩ් වායු පිටවෙනවා.

2005 වසරේදී සිදු වූ පර්‍යේෂණයකින් මේ හා සම්බන්ධ දත්ත සොයාගෙන තිබෙනවා. ඒ අනුව, ඒ සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුදල් සපයන නිවාසවල කාබන් මොනොක්සයිඩ් මට්ටම විමර්ශනය කරන ව්‍යාපෘතියක් දියත් කර තිබෙන අතර, එක් නිවසක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉක්මවා යන කාබන් මොනොක්සයිඩ් වායු ප්‍රමාණයක්  වාර්තා වී තිබෙනවා. මෙම නිවසේ කාබන් මොනොක්සයිඩ් ප්‍රභවය ලෙස සොයාගෙන ඇත්තේ හඳුන්කූරුයි. හොඳින් මුද්‍රා තැබූ කාමරයක සාමාන්‍ය ප්‍රමාණයේ හඳුන්කූරු 2ක් දැල්වීමෙන්, පැයක් තුළදී ලෝක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත සීමාව වන පැයක් තුළ කාබන් මොනොක්සයිඩ් 26ppm යන සීමාව ඉක්මවා යනවා. පර්‍යේෂණ වාර්තාව මෙතනින්. අධික කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය රුධිර සංසරණය සඳහා බලපෑම් එල්ල කරනවා.

මේ පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සංවර්ධන අධ්‍යක්ෂ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මියව සම්බන්ධ කරගත්තා. එතුමිය ප්‍රකාශ කළේ හඳුන්කූරු දුම අප සෑමවිටම ආසන්නයට වී ආශ්වාස කරන්නක් නොවන බවයි. සාමාන්‍යයෙන් ඕනෑම දුමාරයක් විවිධ කාබනික සහ අකාබනික අංශු සහිතව දැල්වෙන අතර, මෙම ඕනෑම දුමාරයක් යම් යම් සෞඛ්‍ය හානි ඇති කරවීමට ඉඩකඩ පවතිනවා. හඳුන්කූරු දුමාරයත් එලෙසමයි. හඳුන්කූරු දුම නිරන්තරයෙන්, ඉතා සමීපව ආඝ්‍රාණය ශ්වසන රෝගාබාධ ඇති කරවීමට ඉඩ තිබෙනවා. මීට ප්‍රධානතම හේතුව වන්නේ හඳුන්කූරු දුමේ ඇති කුඩා අංශුමය ද්‍රව්‍යයි. මෙහිදී මයික්‍රොමීටර 10ට වැඩි අංශු විශාල නිසා මිනිස් ශ්වසන පද්ධතියට ඇතුළු වීම සීමා සහිතයි. ඒ නිසා ඒවාගෙන් සිදුවිය හැකි හානිය අවමයි. මයික්‍රොමීටර 10ත් 2.5ත් අතර අංශු ශ්වසන මාර්ගයට ඇතුළු වීමේ සම්භාවිතාව ඉහළ අතර, රෝගාබාධ වලට හේතු වෙනවා. මයික්‍රොමීටර 2.5ට අඩු ඉතා කුඩා අංශු ඉතා පහසුවෙන් ශ්වසන මාර්ගයේ ගැඹුරටම ගමන් කරන නිසා ඒවා විශාල බලපෑමක් ශ්වසන මාර්ගයට ඇති කරනවා.

මීට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයි වැනි වායූනුත්, සුවඳකාරක නිසා නිපදවෙන වාෂ්පශීලී කාබනික සං‍යෝගත් මිනිස් සිරුරට බලපෑම් ඇති කරනවා. බෙන්සීන්, ටොලුයීන්, අයිසොප්‍රීන් ආදී රසායනික සං‍යෝග වාෂ්පශීලී කාබනික සං‍යෝග ගණයට අයත් වෙනවා. මෙම සං‍යෝගවලට හොඳින් නිරාවරණය වීම නිසා ඇස් සහ නාසයේ අපහසුතා, වමනය, කැරකැවිල්ල, ඇදුම රෝගය උත්සන්න වීම සහ පිළිකා, අක්මා හානි, වකුගඩු රෝග ආදියට දායක වෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වයට ගමන් කිරීම සඳහා නොකඩවා ඉහළ මාත්‍රාවලින් හඳුන්කූරු දුම ශරීරගත විය යුතු වෙනවා. 

එමෙන්ම, හඳුන්කූරු දුමේ අඩංගු පොලි ඇරෝමැටික් හයිඩ්‍රොකාබන, ඇල්ඩිහයිඩ වැනි විවිධ සංඝටක ශරීරගත වීම විවිධ රෝගාබාධවලට හේතු විය හැකියි. මේ පිළිබඳව වැඩිදුර කියවන්න මෙතනින්.

හඳුන්කූරු දුමේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ආශ්‍රයෙන් විමසා බැලීම සඳහා අප විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය, වෛද්‍ය L.P.A. කරුණාතිලක මහතාව සම්බන්ධ කරගත්තා. එතුමා පවසා සිටියේ සාමාන්‍යයෙන් සුදු හඳුන් වැනි ස්වභාවික ද්‍රව්‍ය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධ ලෙස භාවිත වන බවයි. ඒ නිසා එම දර දහනය කිරීමෙන් ඇතිවන දුම විශේෂිත සෞඛ්‍යාබාධයකට හේතු වන බව මෙතෙක් සොයාගෙන නොමති බව එතුමා පෙන්වා දුන්නා. නමුත්, ඔවුන් මේවා ඖෂධයක් ලෙස භාවිත කිරීමට නියම කරන විටත්, එය නියම කරන්නේ නියමිත මාත්‍රාවකට පමණයි. එම මාත්‍රාව ඉක්මවා ගැනීමෙන්, ස්වභාවික දර නොවුණත්, වෙනත් හේතුවක් නිසා හෝ සෞඛ්‍ය හානියක් සිදුවිය හැකියි. එනිසා එතුමා පවසන්නේ ස්වභාවික හඳුන්කූරක දුම් වුවත්, නියමිත සීමාවකට පමණක් ආඝ්‍රාණය විය යුතු බවත්, ප්‍රමානය ඉක්මවා යෑම සෞඛ්‍යයට නුසුදුසු විය හැකි බවත්. එතුම තවදුරටත් පෙන්වා දුන්නේ, හඳුන්කූරු දුම පමණක් නොව, වෙනත් ගුණදායක, සෞඛ්‍ය හිතකාමී යැයි පවසන දේ පවා නියමිත මාත්‍රාව ඉක්මවා ගැනීමෙන් මිනිසුන් වැළකී සිටීම උචිත බවයි.

එමෙන්ම, වෛද්‍ය කරුණාතිලක මහතා, ස්වභාවික සුවඳ නොවන, පිටතින් සුවඳකාරක ඇතුල් කර නිපදවෙන, අද වෙළඳපොළේ වැඩි වශයෙන් ඇති හඳුන්කූරු පිළිබඳවද අදහස් පල කළා. මෙහිදී එතුමා පැවසුවේ, මෙම සුවඳකාරක දහනය වීමේදී විවිධ විෂවර්ග නිකුත් වීමට ඉඩකඩක් ඇති නිසා වැඩි ප්‍රමාණවලින් මෙම හඳුන්කූරු නිතර දල්වමින්, මේවා අසළ, දුමට නිරාවරණය වෙමින් සිටීම හානිදායක විය හැකි බවයි.

කෙසේ නමුත්, මදුරු දඟර සහ හඳුන්කූරුවලින් ශ්වසන ආබාධවලට අමතරව පිළිකා තත්ත්ව පවා ඇති කරවීමේ හැකියාවක් පවතින බව, ඉන්දියාවේ සිදුකරන ලද පරීක්ෂණවල සමහර  වාර්තා ඔස්සේ පෙන්වා දෙනවා. මෙයින් අක්‍රිය දුම්පානයකට සමාන ක්‍රියාවලියක් සිදුවෙන බව ඇතැම් වාර්තා  පෙන්වා දෙනවා. අක්‍රිය එනම්, දෙවන සහ තෙවන මට්ටමේ දුම්පානය නිසා ඇදුම, පිළිකා ආදී රෝග ඇතිවිය හැකි බව ඉන්දියාවේ, කෞෂාම්බිහි යශෝදා රෝහලේ පෙනහළු විශේෂඥ වෛද්‍ය අංකිත් සිංහා මහතා පෙන්වා දෙනවා. එතුමා පවසන්නේ හොඳින් වැසූ කාමරයක් තුළ එක් මඳුරු දඟරයක් දැල්වීම, දුම්වැටි 100කින් අක්‍රිය දුම්පානයට සමාන බවත්, හඳුන්කූරක් දැල්වීම, දුම්වැටි 50කින් අක්‍රිය දුම්පානයට සමාන බවත් පවසනවා. මේ පිළිබඳව වාර්තාව මෙතනින්. මේ හා සමාන තවත් වාර්තාවක් මෙතනින්.

කෙසේ වෙතත් සමහර පර්යේෂණ වාර්තා මගින් පෙන්වා දෙන්නේ හදුන්කුරු දුම මගින් බරපතල සෞඛ්‍ය ගැටළු ඇති නොකරන බවයි.2016 වසරේ හොන්කොන් රාජ්‍යයේ සිදුකල පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ හදුන්කුරු දුමට නිරාවරණය සහ කැස්ස සහ ශ්වසන ආබාධ අතර සම්බන්ධයක් නොමැති බවයි.ඒ පර්යේෂණ පත්‍රිකාවට පිවිසීම මෙතනින්. හොන්කොන් රාජ්‍යයේම සිදුකෙරුණ තවත් පර්යේෂණයක් මගින් පෙන්වා දෙන්නේ සිගරැට් දුම මෙන් පෙනහළු පිළිකාවලට හදුන්කුරු දුම බල නොපාන බවයි.ඒ සම්බන්ධ විස්තර මෙතනින්

දශක දෙකකට පමණ පෙර ජපානයේ සිදුකරන් ලද පර්යේෂණවලින් සොයාගෙන තිබුණේ පුරුෂ ලිංගික ක්‍රියාකාරිත්වයට සහ සරුබව කෙරෙහි සිගරැට් සැලකිය යුතු ලෙස අහිතකර අන්දමින් බලපෑවත් හදුන්කුරු දුමින් එතරම් බලපෑමක් නොමැති බවයි.ඒ සම්බන්ධ විස්තර මෙතනින්

සමහර පර්යේෂණ වාර්තා මගින් පෙන්වා දෙන්නේ හදුන්කුරුවල ප්‍රසන්න සුවදට නිරාවරණය වීම මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වයට හිතකර අවස්ථාද පවතින බවයි.ඒ සම්බන්ධ විස්තර මෙතනින් 

හදුන්කුරු භාවිතයෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව පෙන්වන සහ ඇති නොවන බව පෙන්වන පර්යේෂණ දෙවර්ගයම පිලිබදව සදහන් කරන සමහර පර්යේෂණ පත්‍රිකා පවසන්නේ පන්සල් වැනි හදුන්කුරු බහුලව දැල්වෙන ස්ථානවල ,,එම දුම සහිත ස්ථානවලට වැඩි වෙලාවක් නිරාවරණය නොවිය යුතු අතර නිවසක හදුන්කුරු දල්වන ස්ථානය හොදින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් විය යුතු බවයි.ඒ සම්බන්ධ විස්තර මෙතනින් 

කෙසේ වෙතත් පැහැදිලි ලෙස පෙනීයන කාරණයක් වන්නේ හදුන්කුරු දැල්වීමෙන් අහිතකර සෞඛ්‍ය ගැටළු ඇතිවන බව පෙන්වන පර්යේෂණ මෙන්ම ,එවැන්නක් සිදු නොවන බව පෙන්වන පර්යේෂණ ද ඉතා අඩු පිරිසක් සහිත සාම්පල යොදාගෙන ,එසේ නැතහොත් සතුන් යොදාගෙන සිදුකරන ලද ඒවා බවයි.  එම නිසා පර්යේෂණ කණ්ඩායම් අතර මේ පිලිබදව පැහැදිලි පොදු එකගත්වයක් නොමැත .

හඳුන්කූරු දුම සාමාන්‍යයෙන් මනස සැහැල්ලු කරන සෞම්‍ය සුවඳක් සහිත දෙයක්. ඒ මගින් මනසා සන්සුන් වන බව සමහර පර්යේෂණ පත්‍රිකා මගින් පවා පෙන්වා දෙනවා. නමුත් හඳුන්කූරු දැල්වීමේ භයානක පැතිකඩක් ද තිබෙනවා. විශේෂයෙන්ම අතිශය සංවෘත අවකාශයක් තුළ හඳුන්කූරු දල්වා ඒ දුම වැඩිවේලාවක් ආශ්වාස කිරීම ශරීරයට හිතකර වන්නේ නැහැ. නිරන්තරයෙන් සහ තදින් හඳුන්කූරු දුමට නිරාවරණය වීම අක්‍රිය දුම්පානය හා සමාන බව ඇතැමුන් පවසනවා. පෙනාහළු රෝග මෙන්ම පිළිකා පවා මින් ඇතිවිය හැකි බව සමහර පර්යේෂකයන් පෙන්වා දෙනවා. ඒ නිසා හඳුන්කූරු දැල්වීම සීමාසහිතව, සංවෘත වුවත් හොඳින් වාතාශ්‍රය සහිත, එසේ නැතහොත් විවෘත ස්ථානවල සිදු කිරීම වඩාත් සුදුසුයි.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:හඳුන්කූරු දුම මිනිසුන්ට මාරාන්තික විය හැකිද?

Written By: Fact Crescendo Team 

Result: Insight


Leave a Reply