ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව මුද්‍රා අතරින් , එක් මුද්‍රාවක කොටියෙකුගේ ඇති බවත්, එය LTTE සංවිධානය නියෝජනය ලාංජනය කරන බවට ත්, හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පළ වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
විදෙස් ගමන් බලපත්‍රවල, ලංකාවට පැමිණෙන අවස්ථාවේ (Arrival) මේ ආකාරයෙන් අදාළ දිනය සමඟින් කොටියෙකු ද පසෙකින් දැක්වෙන මුද්‍රාවක් යොදාගෙන ඇති අයුරුත්, ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතකුත් නිර්මාණය වී තිබුණේ මෙලෙසින්.


මෙම සටහනින් වැඩි දුරටත් අසා තිබුණේ, මෙලෙසින් සත්ත්වයින් යොදා ගෙන මුද්‍රා තැබීම කවදා සිට ආරම්භ කළ එකක්ද යන්න සහ මෙම සලකුණු යොදා ගැනීමට හේතුව කුමක් ද යන්න පිළිබඳවයි. මේ හේතුවෙන් මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෑතක දී ගුවන් ගමන් බලපත්‍ර සඳහා යොදාගෙන තිබෙන පැමිණීමේ සහ පිටවීමේ මුද්‍රා පරීක්ෂා කිරීමේදී ඉහත සඳහන් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල මගී පැමිණීම් පර්යන්තයේ පැමිණීමේ මුද්‍රාව (Arrival Stamp) ලෙස නිල් පැහැයෙන් දිවියෙකු සහ පිටවීමේ පර්යන්තයේ පිටවීමේ මුද්‍රාව (Departure Stamp) ලෙස කොළ පැහැයෙන් මොණරෙකු සහිත මුද්‍රාවක් භාවිත කර ඇති දැකගන්නට ලැබුණා.

මෙම මුද්‍රාව පිළිබඳ 2024 වර්ෂයේ මැද භාගයේ සිටසාකච්ඡා පාදක සමාජ මාධ්‍ය වේදිකාවක් වන Reddit හි පළ වී තිබුණේ මෙලෙසින්.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගමන් බලපත්‍ර සඳහා මෙලෙස යොදාගැනෙන මුද්‍රාවන්, මෑතකදී භාවිතයට ගත්තේ නම් ඒ පිළිබඳව ප්‍රධාව මාධ්‍ය ධාරා වාර්තා කළ යුතුව බැවින් අප ඒ පිළිබඳ පරීක්ෂාවක් සිදු කළා. නමුත් එවැනි පුවතක් වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.
ඒ අනුව අප ඉහත සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මුද්‍රා සහිත ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
2024 ජුනි, ආගමන විගමන දෙපාර්තමේන්තුව හඳුන්වාදුන් ගුවන්තොටුපළ නව මුද්‍රා දෙකෙන්, එකක්
එහිදී, 2024 වසරේ, ජූනි මස පළවූ පුවත් වාර්තා කිහිපයකම නව මුද්‍රා හඳුන්වාදීම පිළිබඳ විස්තර සඳහන් කර තිබුණා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, අනුකරණය කිරීම සිදු කළ නොහැකි වන පරිදි, ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි, නව මුද්‍රා දෙකක් හඳුන්වාදීමට ආගමන-විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබු බව වාර්තා වී තිබුණේ මෙලෙසින්.

2024 වසරේ ජුනි මස පළමු වන දා (01) දින අලුයම 00.00 පැයේ සිට මුලින්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මෙම නව මුද්‍රා හඳුන්වා දුන් බව එවකට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළ මව්බිම පුවත් වාර්තාව මෙතනින්.Archived Link
1948 සිට භාවිතා කළ පැරණි මුද්‍රාව බොහෝ වංචනික පුද්ගලයන් අනුකරණය කරමින් ව්‍යාජ මුද්‍රා සකස් කර භාවිතා කර තිබූ අවස්ථාවන් පිළිබඳව කරුණු වාර්තා වීම මෙම නව මුද්‍රා හඳුන්වා දීමට මුලිකවම හේතු වූ බව ඒ මහතා සඳහන් කර තිබෙනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ 2024 ජූනි මස 01 දින මෙම නව මුද්‍රාව භාවිතයට ගැනීමත් සමග, ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ද මෙම නව මුද්‍රාව භාවිතයට ගෙන ඇති බව ත්, එම වාර්තාවේ වැඩිදුටරත් සඳහන්.
2024 සිට මේ දක්වා යොදාගැනෙන ආරක්ෂිත මුද්‍රාවන් – ආගමන විගමන දෙපාර්තමේන්තුව
අප මේ පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ලෝක ව්‍යාප්ත සම්මතයක් ලෙස, දේශසීමා පාලන අධිකාරීන් විසින් ව්‍යාජ ගමන් වාර්තා සැකසීම වැළැක්වීම, සංචාරක ආකර්ෂණයේ දර්ශකයක් ලෙස සහ එමඟින් විදේශීය ආයෝජන දිරිගැන්වීම වැනි ප්‍රධාන අවශ්‍යතා සපුරාලීම සඳහා ආරක්ෂිත මුද්‍රා භාවිතා කරන බවයි.
ශ්‍රී ලංකාව, වසර පුරා ආන්තික තත්ත්වයන්ගෙන් තොර මෘදු දේශගුණික විපර්යාසයන් අත්විඳින අතර, රටේ සිත් ඇදගන්නාසුළු ජෛව විවිධත්වය සහ භූ දර්ශන සමඟින් එය වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්ව ඇති බැවින්, 2024 ජුනි සිට යොදාගැනෙන නව ආගමන විගමන මුද්‍රා තුළට දිවියා (Leopard) සහ මොණරා (Peacock) වැනි ශ්‍රී ලංකාවට ආවේණික සහ ප්‍රසිද්ධ සතුන් ඇතුළත් කිරීම මඟින්, මෙම ආකර්ෂණය තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කළ බව ත්, සඳහන් කරනු ලැබුවා.
අපරාධ සංඛ්‍යා ලේඛන නිගමනය කර ඇත්තේ ශ්‍රී ලංකාව මිනිස් ජාවාරම් සහ පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේ අපරාධ සඳහා ප්‍රභව රටක් (source country) වන බවත්, එය ගමනාන්තයක් (destination) වීමට ඇති ඉඩකඩ අඩු වුවත්, එවැනි සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් වැළැක්වීමේ උත්සාහයක් ලෙස, රටට ඇතුළුවීමේ සහ පිටවීමේ මුද්‍රා ප්‍රමිතිගත මෙන්ම ආකර්ෂණීය ආරක්ෂක අංගයන්ගෙන් සමන්විත කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
2024 දී හඳුන්වා දී ඇති මුද්‍රාවේ අඩංගු කොළ, රතු සහ නිල් තෙත් තීන්ත (wet ink) සංකලනය, මුද්‍රණ ශිල්පීය ක්‍රම මගින් ප්‍රතිනිර්මාණය කරනු ලබන පොදු ව්‍යාජකරණ උපක්‍රමවලින් ආරක්ෂාව ඉහළ නංවා ඇති බව ත්, පාරජම්බුල කිරණවලට ප්‍රතික්‍රියා කරන තීන්ත (Ultraviolet reactive ink), සුවිශේෂී අකුරු මෝස්තර (fonts) සහ විශේෂ අක්ෂර ඇතුළත් කිරීමෙන් ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර ඇති බව ත්, ඔවුන් පෙන්වා දෙනවා.
විවිධ ගෝලීය මුද්‍රා පිළිබඳව අධ්‍යයනය කරමින්, රටේ ගුවන් තොටුපළවල් සහ මුහුදු වරායන් සඳහා අනන්‍ය වූ ඇතුළුවීමේ සහ පිටවීමේ මුද්‍රා නිර්මාණය කර ඇති අතර, ආරක්ෂක අංග, තීන්ත භාවිතය, සංකේතාත්මක සලකුණු, හැඩතල සහ අකුරු මෝස්තර ඇතුළුව බොහෝ රටවල ඇතුළුවීමේ සහ පිටවීමේ මුද්‍රා පිළිබඳ දිගුකාලීන සම්පූර්ණ අධ්‍යයනයක් හරහා මෙම නිර්දේශයන් සාර්ථකව නිර්මාණය කිරීමට කටයුතු කළ බව ත්, ආගමන විගමන දෙපර්තමේන්තුව පෙන්වා දෙනවා.
2019 වසරේ සිට සැලසුම් කරමින් 2024 දී නිල වශයෙන් හඳුන්වා දුන් නව මුද්‍රාවන්
2019 වර්ෂය වන විට, ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරීන් විසින් භාවිතා කරන ලද මුද්‍රා තැබීමේ උපකරණවල භෞතික හා යාන්ත්‍රික තත්ත්වය සහ ඒවායේ සැලසුම්, සැලකිය යුතු ලෙස පිරිහී තිබූ අතර, මෙම බිඳවැටීම ආරක්ෂක ප්‍රමිතීන්ට පමණක් නොව, නිල අනුසැණි (endorsements) මගින් රටේ ජාතික අනන්‍යතාවය ඵලදායී ලෙස නිරූපණය කිරීමට ද අභියෝගයක් වී තිබුණි.
එයට පිලියමක් වශයෙන්, ගුවන් තොටුපළවල්, වරායන් සහ මගී යාත්‍රා සඳහා නව ආගමන විගමන මුද්‍රා කට්ටලයක් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීමේ මූලික අරමුණ ඇතිව, දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු යටතේ 2019.05.31 දින පත්කළ කමිටුවක් යටතේ මෙහි මුලික වැඩ කටයුතු ආරම්භ වී තිබේ.
ආරම්භක අදියරේදී, කමිටුව විසින් සංචාරක ව්‍යාපාරය පදනම් කරගත් ආර්ථිකයන් සහිත ප්‍රමුඛ රටවල් විසින් භාවිතා කරනු ලබන ආගමන මුද්‍රා පිළිබඳ සංකල්පීය සහ සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදුකර, ලංකාව සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස යැපෙන රටක් ලෙස, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකාව ද සිය මුද්‍රා නවීකරණය කිරීමට යෝජනා වී තිබු බවත්, යනුවෙන් මේ ගැන සවිස්තරාත්මක ලබාදෙමින්, මෙම මුද්‍රා යොදාගැනෙන අවස්ථා පිලිබඳ නිල තොරතුරු ලබාදීමට ද ආගමන විගමන දෙපර්තෙම්න්තුවේ ඉහළ කළමනාකාරිත්වය කටයුතු කළා. එම ඛාණ්ඩ පහතින්.
ගුවන් තොටුපළ කාණ්ඩ (Airport Category)
පැමිණීමේ පර්යන්තය (Arrival Terminal): ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya):
ශ්‍රී ලංකාවට ආවේණික කොටින්ගේ උප විශේෂයක් වන අතර, 2020 වසරේ සිට IUCN රතු ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක්වූවන් ලෙස වර්ගීකරණය කර තිබේ. මෙම තේජාන්විත සත්වයා විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක් ලෙස පවතී.
ඒ අනුව පැහැදිලි වන්නේ, ඉහත මුද්‍රාවෙන්,නියෝජනය වන්නේ, ශ්‍රී ලංකාවට ආවේණික කොටින්ගේ උප විශේෂයක් වන ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) බවයි.
පිටවීමේ පර්යන්තය (Departure Terminal): මොනරා (Pavo cristatus):
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන මෙම පක්ෂියා, දිවයිනේ සංස්කෘතික උරුමයන්, ආගමික සම්ප්‍රදායන් සහ පරිසර පද්ධතිය තුළ සුවිශේෂී ස්ථානයක් උසුලන අතර ජාත්‍යන්තර පිළිගැනීමට ද ලක්ව ඇත.
පාලක ජනරාල්වරයා විසින් 2023/05/09 දින මෙම යෝජනාවට නිල අනුමැතිය ලබා දීමෙන් පසුව, ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර, දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව 2024 ජූනි 1 දින ක්‍රියාත්මක කර තිබේ.
අනෙකුත් රටවල යොදාගැනෙන කලාත්මක ආගමන -විගමන මුද්‍රා
සීෂෙල්ස් – පැමිණීම සහ පිටවීම (ගුවන් තොටුපළ): කොකෝ ඩි මර් (Coco de Mer – Lodoiceamaldivica) යනු සීෂෙල්ස් හි ප්‍රස්ලින් (Praslin) සහ කියුරියුස් (Curieuse) දූපත් වලට පමණක් ආවේණික වූ දුර්ලභ තල් ගසකි.

මාලදිවයින – පැමිණීම සහ පිටවීම (ගුවන් තොටුපළ): සංකේත – ගල්පර (Corel Reef) සහ සූර්යයා (Sun)

චිලී – පැමිණීම සහ පිටවීම (ගුවන් තොටුපළ): සංකේත – ලාමා සත්ත්වයා (Lama the Animal) සහ ඉන්කා සංකේත (Inka Symbols)

කැනඩාව – පැමිණීම (කැනඩාව මුද්‍රා භාවිතා කරනුයේ පැමිණීමේදී පමණි): සංකේතය – මේපල් කොළය (Maple Leaf)

නවසීලන්තය – පැමිණීම (නවසීලන්තය මුද්‍රා භාවිතා කරනුයේ පැමිණීමේදී පමණි) – සංකේතය – ඔලිව් කොළය (Olive Leaf)

තායිවානය : පැමිණීම සහ පිටවීම: සංකේත – තායිවාන අකුරු සහ සංකේත භාවිතා කර ඇත.

දකුණු අප්‍රිකාව: 2025 අගෝස්තු 01 දින හඳුන්වා දෙන ලද “සිංහ දෙනකගේ” (Lioness) ආරක්ෂිත රූපය සහිත ගුවන් තොටුපළ සහ වරායන් සඳහා වන දකුණු අප්‍රිකානු නවතම ආගමන මුද්‍රා
සංකේතය: ආරක්ෂක අංග සහිතව සිංහ දෙනකගේ රූපය භාවිතා කර ඇත

ඒ අනුව අනික් රාජ්‍යයන් ද, මෙලෙසින් ආගමන සහ විගමනයේදී මුද්‍රා සඳහා යම් යම් සලකුණු භාවිත කරන බව තහවුරු වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, ලංකාවේ අලුත් මුද්‍රාව යනුවෙන් සඳහන් කරමින් මුද්‍රා අතරින් නව ආගමන විගමන බලපත්‍රයේ කොටියෙක් සලකුණු කර ඇති බව ට දක්වමින් ඉන් LTTE ත්‍රස්ත කණ්ඩායම නියෝජනය වන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යන සුළු බවයි.
නව මුද්‍රාවක් බවට පෙන්වා දී තිබූ මෙම මුද්‍රාව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, 2024 ජූනි 1 දින ක්‍රියාත්මක කර තිබුණේ, වසර කිහිපයක සිට ඉහළ ආරක්‍ෂිත මුද්‍රාවන් ලෙසයි . ඒ අනුව මෙය වත්මන් ආණ්ඩුව පත් වීමට පෙර භාවිත කළ බවට තහවුරු වේ.
එමෙන් ම ඉහත මුද්‍රාවෙන්,නියෝජනය වන්නේ, ශ්‍රී ලංකාවට ආවේණික කොටින්ගේ උප විශේෂයක් වන ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) වන අතර එය LTTE සංවිධානය නියෝජනය කිරීමට කොටියා සලකුණ භාවිත කළ මුද්‍රාවක් නොවන බවට ද, පැහැදිලි වේ.
ගුවන් තොටුපොළ පැමිණීමේ පරියන්තයේ දී , ලංකාවට පැමිණීම සඳහන් කිරීමට මෙම මුද්‍රාව යොදාගනු ලබයි.


