ජනගහනය අඩු කිරීම සඳහා සැලැස්මක් ඇති බවට 2009 දී හෙළි කරන, තහනම් කරන ලද වැඩසටහනක් ? 

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවල මතභේදාත්මක සිදුවීම් කරුණු සම්බන්ධයෙන් තහවුරු නොකළ තොරතුරු නොමග යවන සුළු ලෙස වාර්තා කරන අතර, එවැනි අන්තර්ගතයන් ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම වීඩියෝව 2009 වසරේ සිදුකළ තහනම් කළ වැඩසටහනක් ලෙස හඳුන්වා දී ඇති අතර, මෙම වීඩියෝවේ වෛදවරියක ලෙස හඳුන්වන කාන්තාවක් සහ තවත් අයෙකු අතර අතර ඇතිවන සංවාදයක් දැකගත හැකියි. අදාළ කාන්තාව ප්‍රකාශ කරන්නේ තමන්ගේ ආරක්ෂාව පතා ඇය ඇමරිකාවෙන් පිටව ගිය බවයි. ඇය පවසන පරිදි, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ලෝක ජනගහනය අධික බව තීරණය කර ඇති අතර, ජනගහනය 90% කින් අඩු කිරීම සඳහා 1974 සිට වඳභාවය ඇති කරන එන්නත් නිපදවීමට කටයුතු කරමින් සිටියි. ඉදිරියේදී ජනතාවට අනිවාර්ය එන්නත් ලබා දීමට රජයන් කටයුතු කරනු ඇති බවත්, එමඟින් ලෝකයේ විශාල පිරිසක් මිය ගොස් ඉතිරි වන පිරිස සදහටම වඳභාවයට පත්වන මහා ජන සංහාරයක් සිදුවනු ඇති බවත් ඇය මෙම දෙබස තුළ සඳහන් කරයි.

Facebook 

සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙකු විසින් මෙම වීඩියෝවට කොවිඩ් 19 රෝගය සහ කොවිඩ් එන්නත් හා සම්බන්ධ කරගනිමින් ද අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යභාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

අප විසින් මූලික වශයෙන්, මෙම වැඩසටහන කුමක්ද සහ එය තහනම් කරන ලද වැඩසටහනක් ද යන්න සොයා බැලීමට කටයුතු කළා. අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ මෙම වීඩියෝ දර්ශනය ඇමරිකානු රූපවාහිනී නාලිකාවක් වන truTV හි 2009 වසරේ විකාශය වූ “Conspiracy Theory with Jesse Ventura” නම් රූපවාහිනී වාර්තාමය වැඩසටහන් මාලාවක කොටසක් බවයි. එහි පළමු වැනි අදියරේ 5 වැනි කථාංගය වූ “Secret Societies”  නම් කොටසට මෙය ඇතුළත් වේ. මෙය මුලින්ම විකාශය වී ඇත්තේ 2009 දෙසැම්බර් 30 වනදාය. මෙහි ප්‍රශ්න අසනු ලබන්නේ මිනසෝටා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ජෙසේ වෙන්චූරා ය. පිළිතුරු ලබා දෙන්නේ විකල්ප වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කරන්නියක් ලෙස ප්‍රසිද්ධ ව ඇති වෛද්‍ය රිමා ලේබෝ නම් කාන්තාවකි. මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්.

WebLink | Archived Link

එය 2009 දී තහනම් කළ වැඩසටහනක් ද ?

අදාල වැඩසටහන 2009 වසරේදී තහනම් කර ඇති වැඩසටහනක් ද යන්න පරීක්ෂා කිරීමටද අප කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ මෙම වැඩසටහන කිසිදු බලධාරියෙකු හෝ රජයක් විසින් තහනම් කර නොමැති බවයි. මෙම වැඩසටහන truTV නාලිකාවේ සාමාන්‍ය පරිදි විකාශය වී ඇති අතර, වර්තමානයේ ද Amazon, Prime Video වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය අවකාශයන් හරහා නැරඹීමේ හැකියාව පවතී. Conspiracy Theory with Jesse Ventura” (Season 1, Episode 5 – “Secret Societies”) සම්පූර්ණ කථාංගය නැරඹිය හැකි වෙබ් අඩවි  මෙතනින්, මෙතනින් , මෙතනින් සහ මෙතනින්.

මෙහි සඳහන් වන ලයිබෝ නම් වෛද්‍යවරිය කවු ද ?

මෙම ලයිබෝ නම් වෛද්‍යවරිය එක්සත් ජනපදයේ අනුමත නොකළ ප්‍රතිකාර සිදු කිරීම හේතුවෙන් තහනම් කිරීම් වලට ලක් වී ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

ලේබෝ, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයෙන් 1970 දී උපාධිය ලැබූ ඇමරිකාවේ ශල්‍ය-ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරියකි. ඇය ‘Natural Solutions Foundation’ (NSF) නම් ඇමරිකාවේ පිහිටි එන්නත්-විරෝධී සංවිධානයේ වෛද්‍ය අධ්‍යක්ෂිකා විය. 2020 දී FDA විසින් NSF ට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, DOJ නඩුවකින් අනතුරුව 2021 දී ලේබෝ සහ NSF ස්ථිර තහනමකට ලක්විය. ඇගේ එන්නත් සම්බන්ධ ප්‍රකාශ ස්වාධීන විමර්ශකයන් විසින් නිතරම විද්‍යාත්මක පදනමක් නොමැති ඒවා ලෙස සොයාගෙන ඇත. Source , Source , Source

සූකර උණ පිළිබඳ කළ ප්‍රකාශයක්

අදාළ සම්පූර්ණ වැඩසටහන නැරඹීමේදී පෙනී යන්නේ, ලයිබෝ විසින් මෙහිදී සඳහන් කරන්නේ එකල (2009 දී) වසංගතයක් බවට පත්ව තිබූ සහ 2010 අගෝස්තු මාසයේදී අවසන් වූ සූකර උණ (Swine Flu) රෝගය පිළිබඳව බවයි. සූකර උණට එරෙහි එන්නත පුද්ගලයින්ට ස්ථිර වඳභාවය ඇති කළ හැකි වෛරස් අඩංගු එන්නතක් බව ඇය පවසනවා. 

 ‘ස්කොලීන්’ රසායනිකය

සම්පූර්ණ වැඩසටහන නැරඹීමේදී පෙනී යන්නේ ස්ථිර වඳභාවයක් ඇති කිරීමට හේතු වන එන්නත් වල අඩංගු සංරචකය ලෙස ලයිබෝ විසින් හඳුන්වන්නේ ‘ස්කොලීන්’ රසායනිකය බවයි. ස්කොලීන් යනු ස්වභාවධර්මයේ දක්නට ලැබෙන කාබනික රසායනික සංයෝගයකි. එය මිනිස් සිරුරේ මෙන්ම අනෙකුත් සතුන්ගේ ද (විශේෂයෙන් සමහර මෝරුන්ගේ අක්මාව තුළ) සහ ශාක වල ද ස්වභාවිකවම පවතින අතර, එම ශාක වලින් නිස්සාරණය කර ආහාරමය අතිරේකයක් ලෙසද භාවිතා කරනු ලබයි. මෙම ද්‍රව්‍යය 1997 වසරේ සිට භාවිතයට ගැනීමට පටන් ගත් අතර, එය එන්නත් සමඟ ලබාදෙන සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත MF59 (Novartis), AS03 (GlaxoSmithKline Biologicals) සහ AF03 (Sanofi) වැනි ප්‍රතිශක්තිකරණ වර්ධක ද්‍රව්‍ය සඳහා පදනම වේ. ස්කොලීන් රසායනිකය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එසේම අදාළ වීඩියෝව තුළ, මතභේදයට ලක්වී තිබෙන ස්කොලින් නමැති රසායනිකය H5N1 ඉන්ෆ්ලුවෙන්සා එන්නත වැනි සමහර එන්නත් වල ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ද්‍රව්‍යයක් ලෙස අඩංගු වුවද, COVID-19 එන්නත් වල එය අඩංගු සංරචකයක් නොවේ

ස්කොලීන් භයංකර බවට කියැවෙන කතාව ඇරඹුණේ 1990 ගණන්වල ඇමරිකන් යුද හමුදා සාමාජිකයන්ට Gulf War Syndrome රෝගය ඇති කිරීමට ස්කොලීන් හේතු වූ බවට ඉදිරිපත් කළ මතයන් සමඟයි. එහෙත් Pellegrini et al. (2010) ඇතුළු සෙසු සම-කාලීන පර්යේෂණ විසින්, ස්කොලීන් ස්ව-ප්‍රතිශක්තිකරණ රෝග සමඟ සම්බන්ධ නොවන බව ස්ථාපිත කළේය. H1N1 ස්කොලීන්-ඇඩ්ජුවන්ට් එන්නත් නිර්දේශ කිරීමට පෙර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 35,000 කට අධික ස්වේච්ඡාවන්ගේ දත්ත සමාලෝචනය කර, ආරක්ෂාව පිළිබඳ ගැටළු නොමැති බව තීරණය කළේය. ජාත්‍යන්තර Science Feedback ආයතනය 2022 දී මෙම Ventura කථාංගයේ ප්‍රකාශ සමාලෝචනය කර, ඒවා ‘නිශ්චිතවම නිශ්ශුද්ධ’ (Inaccurate) ලෙස ශ්‍රේණිගත කළේය. Science Feedback (2022) – Reviews this exact episode , PubMed – Pellegrini et al. (2010): Squalene & anti-squalene antibodies , ScienceDirect – WHO reviewed 35,000+ volunteers, no safety concerns

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් එන්නත් මඟින් සරුභාවය පාලනය කළ හැකිද යන්න පිළිබඳව විමර්ශනය කිරීම 

පවුල් සැලසුම්කරණය සහ අනවශ්‍ය ගැබ්ගැනීම් පාලනය කිරීම යටතේ, එන්නත් මඟින් සරුභාවය පාලනය කළ හැකිද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 1972 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් විශේෂ ක්‍රියාකාරී කණ්ඩායමක් (HRP) පිහිටුවා ඇත. කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයන්හි අරමුණ වී ඇත්තේ සමූහ වඳභාවයක් ඇති කිරීමක් නොව, උපත් පාලන පෙති මෙන් සීමිත කාල පරිච්ඡේදයක් සඳහා ක්‍රියාත්මක වන, කාන්තාවන් සඳහා වන කාර්යක්ෂම උපත් පාලන එන්නතක් නිපදවීමයි.

WebLink | Archived Link

මෙම ක්‍රියාවලිය “ප්‍රතිශක්තිකරණ උපත් පාලනය” ලෙස හැඳින්වෙන අතර, එමඟින් සිදු කරන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය භාවිතයෙන් ගැබ්ගැනීමේ සම්භාවිතාව තාවකාලිකව අඩු කිරීමයි. මෙවැනි එන්නත් සතුන් යොදාගනිමින් පරීක්ෂාවට ලක් කර ඇති නමුත්, මේ දක්වා මිනිස් භාවිතය සඳහා අනුමත කර නොමැත.

2003 වසරේදී තම සායනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, ඇය විසින් නමක් සඳහන් නොකරන රාජ්‍ය නායිකාවක් තමන්ට වැඩකට නැති මිනිසුන් වඳ කර දැමීමට කාලය පැමිණ ඇති බව පැවසූ බව ලයිබෝ පවසයි. කෙසේ වෙතත්, ලයිබෝ තම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ නැත.පවතින දත්ත වලට අනුව 1974 දී ලෝක ජනගහනය බිලියන 4 කට ආසන්නව තිබී ඇත. එමෙන්ම, ජනගහනය වඳ කර දැමිය යුතු බවට රාජ්‍ය නායිකාවක් තමන්ට පැවසූ බවට ලයිබෝ  ප්‍රකාශ කරන ලද 2003වර්ෂය වන විට ලෝක ජනගහනය බිලියන 6.4 කට ආසන්න විය. එය 2009 දී බිලියන 6.9 ක් දක්වා ද, 2026 දී බිලියන 8 කට මදක් වැඩි අගයක් දක්වා ද ළඟා විය. එබැවින් ජනගහනයේ අඩුවීමක් නොව, සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති බව හඳුනාගත හැකිය. 

Also Read: FACT CHECK: කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එන්නත් භාවිතයෙන් ලෝක ජනගහනය අඩු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලසුමක් ඇති බවට හුවමාරු වන වීඩියෝව නොමග යවන සුළු බවයි. එන්නත් භාවිතයෙන්ලෝක ජනගහනය 90% කින් අඩු කිරීමේ කිසිඳු සැලසුමක් 2009 හෝ ඊට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සතුව පැවති බවට කිසිඳු සාක්ෂියක් නොමැත. එසේම ‘ස්කොලීන්’ රසායනිකය මඟින් වඳභාවයක් ඇති නොවේ. මේ දක්වා නිෂ්පාදනය කර ඇති කිසිදු COVID-19 එන්නතක, ස්කොලීන් අඩංගු නොවන අතර, අනෙකුත් එන්නත් සඳහා එය භාවිතා කිරීම ආරක්ෂිත බව තහවුරු කර ඇත. කිසිදු එන්නතක් වඳභාවය ඇති කිරීම කෙරෙහි සම්බන්ධ වී නොමැති අතර, මේ වන විට බිලියන 8 සීමාව ද පසු කරමින් ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. ජනගහනය විනාශ කිරීමේ සැලසුමක් පවතින බවට කිසියම් රාජ්‍ය නායිකාවක් ලයිබෝ වෙත අනාවරණය කළ බවට කිසිදු සාක්ෂියක් ද නොමැත.

Result Stamp

Title: ජනගහනය අඩු කිරීම සඳහා සැලැස්මක් ඇති බවට හෙළි කරන තහනම් කරන ලද වැඩසටහනක් ?

Written By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *