‘Glucocare’ නමැති දියවැඩියා ඖෂධ වංචාවට රැවටෙන්න එපා!

False Scam Social

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ගෙවා ප්‍රචාරය කෙරෙන දැන්වීම් මගින් ලාංකිකයන්ව (treatmentforhealthylife.store) නම් වෙබ් අඩවියක් වෙත යොමු කරමින් පවතී. එහිදී “Glucocare” නමැති කරල් වර්ගයක් භාවිත කිරීමෙන් දියවැඩියාව නිට්ඨාවටම සුව කළ හැකි බව හඟවමින් ප්‍රචාරයක් දියත් කරනු ලබනවා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට Factcrescendo අප කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ව්‍යාජ වෙබ් අඩවිය මගින් දක්වා තිබුණේ, වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා 2021 සිට වෛද්‍ය සංගමයේ සභාපති එමෙන් ම ශ්‍රී ලංකා අන්තරාසර්ග විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසයි. ඔහු විසින් මෙම “Glucocare” නිෂ්පාදනය දියවැඩියාව සඳහා අනුමත කර ඇති බව ත්, තවද, එය යුරෝපා සංගමයේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ බේයර් (Bayer) සමාගමේ නිල සහතික ලත් ඔසුවක් බව පෙන්වා තිබුණා. එම වෙබ් පිටුව පහතින්.

treatmentforhealthylife.store

දැන්වීම් වලට අමතරව පසුගිය වසරේ සිට මෙනමින් ෆේස්බුක් පිටුවක ද, මෙම ඖෂධයක් බවට පෙන්වන නිෂ්පාදනය ප්‍රචාරය කර තිබුණේ මෙලෙසින්.

Facebook | Facebook 

මෙහි සත්‍ය සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

නිල තනතුරු පිළිබඳ දත්ත වෙනස් කිරීම  

මෙම වෙබ් අඩවියේ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා 2021 සිට මේ දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති ලෙස හැඳින්වුවද, මේ වන විට අන්තරාසර්ග (දියවැඩියා හා හෝමෝන) රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වන වෛද්‍ය මනිල්කා සුමනතිලක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි. තව ද, ශ්‍රී ලංකා අන්තරාසර්ග විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ (SLCE) නිල ඉතිහාස ලේඛනවලට අනුව මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද මහතා එහි සභාපතිත්වය දැරුවේ 2013-2014 වකවානුවේදීය. 2021 සිට මේ දක්වා කාලය තුළ එහි සභාපතිවරුන් ලෙස පිළිවෙලින් වෛද්‍ය මනිල්කා සුමනතිලක, වෛද්‍ය චාල්ස් ඇන්ටනිපිල්ලෙයි, වෛද්‍ය චමින්ද ගරුසිංහ සහ වෛද්‍ය දිමුත් මුතුකුඩ යන වෛද්‍යවරුන් ලෙස කටයුතු කර ඇත.

බේයර් සමාගමේ Glucocare නමින් නිෂ්පාදනයක් නැහැ

මෙහි නිෂ්පාදකයා ලෙස ජර්මනියේ ප්‍රකට Bayer AG සමාගමේ නම සඳහන් කර ඇති අතර බේයර් යනු ලොව විශාලතම ඖෂධ සමාගමකි. ඔවුන් නිපදවන සැබෑ දියවැඩියා ඖෂධ වන්නේ, Glucobay වේ. බේයර් සමාගම “Glucocare” නමින් කිසිදු දියවැඩියා පෙති වර්ගයක් නිපදවන්නේ නැත.

ජාත්‍යන්තර සංවිධාන වල නම් අවභාවිත කිරීම

මෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම ඖෂධය සහතික කළ බවට සහතිකයක් දක්වා තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය, කිසිදු පෞද්ගලික සමාගමක වෙළඳ භාණ්ඩ හෝ ඖෂධ බෝතල් සඳහා මෙවැනි අනුකූලතා නිකුත් කරන්නේ හෝ තමන්ගේ ලාංඡනය ඒවායේ මුද්‍රණය කිරීමට ඉඩ ලබා නොදේ. යුරෝපීය සංගමය පෞද්ගලික ඖෂධ නිෂ්පාදන හෝ ඖෂධ සඳහා ඔවුන්ගේ නිල ලාංඡනය අනුමත කිරීම හෝ තැබීම සිදු නොකරයි. කෙසේ වෙතත්, ව්‍යාජ ඖෂධ වලින් රෝගීන් ආරක්ෂා කිරීම සඳහා නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන මාර්ගගත ඔසුසල් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා පොදු EU ලාංඡනයක් ඔවුන් අනිවාර්ය කරයි.

නමුත් මෙම සහතිකයේ EU සහ WHO ලාංඡනය මෙලෙස මෙම ඖෂධය සඳහා සහතිකයක් ලෙස වංචනික ලෙස පෙන්වා දී තිබේ. 

මෙම සහතිකය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස ජාවාරම්කරුවන් විසින් Photoshop හෝ වෙනත් මෘදුකාංග මඟින් කිසිසේත්ම නොගැලපෙන යුරෝපීය සහතික පත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර තිබේ.

සහතිකයේ මැද කුඩා අකුරෙන් සඳහන් කර ඇත්තේ මෙම නිෂ්පාදනය “European directive on machinery 2006/42/EC” යටතට අනුකූල වන බවයි.

මෙය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි වී තිබේද?

නැත. මෙය NMRA ආයතනය යටතේ ලියාපදිංචි වී නොමැත’

ශ්‍රී ලංකාවේ නීතියට අනුව, ශරීරයේ සීනි මට්ටම පාලනය කරන බව පවසන ඕනෑම පෙත්තක් හෝ කැප්සියුලයක් (Capsule) අනිවාර්යයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දැඩි පරීක්ෂාවට ලක්විය යුතුය.

ලංකාවට මෙවැනි නිෂ්පාදනයක් නීත්‍යානුකූලව ආනයනය කිරීමට හෝ විකිණීමට නම්:

  • නිෂ්පාදනය කරන විදේශීය කර්මාන්තශාලාව NMRA හි ලියාපදිංචි විය යුතුය.
  • ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය (NMQAL) මගින් මෙහි අඩංගු ද්‍රව්‍ය මිනිස් සිරුරට ආරක්ෂිතදැයි රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කළ යුතුය. 

මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මෙම “Glucocare” නිෂ්පාදනය නීතිය මඟහැර හොර රහසේ විකුණන බැවින්, මෙයට කිසිදු NMRA ලියාපදිංචි අංකයක් (NMRA Registration Number) හිමි නොවේ.

ලංකාවේ ඕනෑම සැබෑ ඖෂධයක් හෝ අතිරේක සෞඛ්‍ය නිෂ්පාදනයක් (Supplement) NMRA හි ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කිරීමට mediverify.lk නිල වෙබ් අඩවියට පිවිස හැක. මෙහිද ඉහත සඳහන් නිෂ්පාදනයට අනුමැතිය ලැබී නොමැති බව තහවුරු වෙයි.

ලංකාවේ විකුණන ඕනෑම නීත්‍යානුකූල ඖෂධ බෝතලයක ලේබලයේ NMRA/MD/ හෝ NMRA/B/ ලෙස සඳහන් නිල ලියාපදිංචි අංකය, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය සහ කාණ්ඩ අංකය (Batch Number) අනිවාර්යයෙන්ම මුද්‍රණය කර තිබිය යුතුය. මෙය භෞතිකව බෝතලය පරීක්ෂා කිරීමෙන් පරීක්ෂා කළ හැක.

ව්‍යාජ පාරිභෝගික අදහස් 

වෙබ් අඩවියේ විශ්වාසනීයත්වය පෙන්වීමට යොදාගෙන ඇති “පාරිභෝගික ප්‍රතිචාර” (Reviews) කොටස දෙස බැලීමේදී පෙනී යන්නේ, එහි අදහස් දක්වා ඇති අයගේ නම් “කමල්, නිමල්, ප්‍රියන්ති” වැනි සිංහල නම් වන නමුත්, ඒවාට යොදාගෙන ඇති ඡායාරූප අන්තර්ජාලයෙන් සොරකම් කරන ලද විදේශිකයන්ගේ මුහුණු වේ. මෙය ලංකාවේ පරිශීලකයන් රැවටීම සඳහා “බොට්ස්” (Bots) හෝ ව්‍යාජ ස්ක්‍රිප්ට් මගින් සකසන ලද්දකි.

වෙබ් අඩවියේ ලිපිනය (URL) විශ්ලේෂණය

මෙම වෙළඳ දැන්වීම් සඳහා භාවිත කර ඇති වෙබ් අඩවි ලිපිනයෙහි (treatmentforhealthylife.store/?media_type=image&adid=GVO…) පරිශීලකයන්ව හඹා යන සහ අලෙවිකරණ දත්ත සොරකම් කරන කේත (utm_source=facebook, utm_medium=paid) බහුලව අන්තර්ගත වේ.

  • store වැනි ඩොමේන් (Domains) ඉතා මෑතකදී ලියාපදිංචි කර ඇති ඒවා වන අතර ශ්‍රී ලංකාවේ කිසිදු පිළිගත් වෛද්‍ය ආයතනයකට, ඖෂධ සමාගමකට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ නිල වෙබ් අඩවි නොවේ.
  • වංචනික ස්වභාවය (Cloaking), මෙම වෙබ් අඩවි සකසා ඇත්තේ ෆේස්බුක් සමාගමේ දැන්වීම් පරීක්ෂකවරුන්ට සාමාන්‍ය වෙබ් අඩවියක් ලෙස පෙනෙන ලෙසත්, සාමාන්‍ය පරිශීලකයෙකු එය ක්ලික් කළ විට ව්‍යාජ වෛද්‍ය ලිපි සහ ව්‍යාජ පාරිභෝගික අදහස් (Fake Comments) පෙන්වන පරිදි වේ.

SLCE නිලධාරීන්ගේ ප්‍රකාශය 

මෙම වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අන්තරාසර්ග විද්‍යාඥයින්ගේ විද්‍යාලයේ (SLCE) තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නිලධාරීනී ගෙන් අප කළ විමසීමේදී ඇය තහවුරු කළේ ද, “මෙම වෙබ් අඩවිය සහ එහි ඇති දැන්වීම් සම්පූර්ණයෙන්ම ව්‍යාජ  ඒවා වේ. ශ්‍රී ලංකා අන්තරාසර්ග විද්‍යාඥයින්ගේ විද්‍යාලය හෝ මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද මහතා කිසිදු අවස්ථාවක මෙවැනි නිෂ්පාදනයක් සිදුකර හෝ එයට අනුමැතිය ලබා දී නොමැති බව ත්, මහජනතාව මේවාට රැවටීමෙන් වළකින ලෙස ත්, ඇය ඉල්ලා සිටියා.

Also Read : GRACIA LATTE බර අඩු කරන බව ට පැවසූ නිෂ්පාදනය වංචනික ව්‍යාපාරයක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

නිගමනය (Conclusion) :

මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද මහතාගේ සහ SLCE ආයතනයේ නාමය අවභාවිත කරමින්, අන්තර්ජාලයෙන් සොරකම් කළ විදේශිකයන්ගේ ඡායාරූප සහ ව්‍යාජ ඉංජිනේරු සහතික ඉදිරිපත් කරමින් පවත්වාගෙන යන Glucocare ප්‍රවර්ධන වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ජාවාරමකි’මෙම ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පෙති වර්ග ශරීරගත කිරීමෙන් වකුගඩු අක්‍රිය වීම සහ ජීවිත හානි පවා සිදුවිය හැකි බැවින්, වහාම මෙවැනි දැන්වීම් ෆේස්බුක් හරහා Report කිරීමට කටයුතු කරන්න.

Result Stamp

Title: ‘Glucocare’ නමැති දියවැඩියා ඖෂධ වංචාවට රැවටෙන්න එපා!

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *