දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ නොමග යවන සුළු සහ වැරදි තොරතුරු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගේ පළ වූ ඒවා බව හැගෙන ලෙස සංස්කරණය කරමින් පළ කරන ආකාරය දැකිය හැකියි. දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස හඟවමින් ලංකාව දිළිදු රටවල් අතර දෙවන තැනට පත් වූ බවට සඳහන් කර හුවමාරු වූ ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
අදාළ සටහන දිනමිණ පුවත්පතේ මෑතකදී පළවූ ලිපියක් බවට හඟවමින් පල කර තිබූ අතර, එහි ශීර්ෂපාඨයේ දැක්වුණේ, ” ලංකාව දිළිඳු රටවල් අතරේ දෙවන තැනට, ලෝක බැංකුව නම් කරයි” යනුවෙනි.

එකම සටහන එක් තැනක 2024.01.08 දින පල වූවක් ලෙසත් තවත් සටහනක 2025.05.01 දින පල වූවක් ලෙසත් දක්වමින් හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.


ඒ අනුව සැබෑ ලෙසම මෙම සටහන දිනමිණ පුවත්පත මගින් පළ කරන ලද සටහනක්ද යන්න සහ ලංකාව දිළිඳු රටවල් අතර දෙවන තැනට පත් වී ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප කටයුතු කළා
Fact check (කරුණු විමර්ශනය කිරීම)
ඉහත සමාජ මාධ්‍ය සටහන් මෑතකදී හුවමාරු වීම ත්, සමග ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති බවට මෙරට වෙනත් මාධ්‍ය වාර්තාවක් හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් හෝ ලෝක බැංකුවේ වාර්තාවක් නිකුත් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.
එමෙන් ම මෙම සටහන් වලට පාදක වූ වාර්තාවක් බවට පෙන්වා දී තිබූ 2024 වසරේ 2025 හෝ 2026 වසරේ ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති බවට හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වාර්තා කර නොමැති අතර ලෝක බැංකුව හෝ වෙනත් කිසිදු පිළිගත් නිල ජාත්‍යන්තර ආයතනයක් එවැන්නක් නිවේදනය කර නොමැති බව ද, අපට නිරීක්ෂණය විය.
පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත
ලෝක බැංකුව විසින් ලොව රටවල් දරිද්‍රතාවය අනුව 1, 2, 3 ලෙස නිල වශයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ එක් එක් රටවල දරිද්‍රතා ප්‍රතිශතයන් සහ ආර්ථික දත්ත වෙන් වෙන් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. එසේම ලෝක බැංකුව රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගෙන රටවල් ප්‍රධාන කාණ්ඩ 4 කට බෙදා දක්වයි. අඩු ආදායම්ලාභී රටවල්, පහළ මධ්‍යම ආදායම්ලාභී රටවල්, ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටවල්, අධික ආදායම්ලාභී රටවල් යනු එම වර්ගීකරණයයි.
ලෝක බැංකුව විසින් 2024 සහ 2025 වසරවලට අදාළව ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත. ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් දෙවනි තැනට පත්ව ඇති බවක් එහි දක්වා නැහැ.

මෙරට ආර්ථික අර්බුදයෙන් පසු රට තුළ දරිද්‍රතාවය 24.5% මට්ටමේ පැවති ආකාරය, පළාත් සහ දිස්ත්‍රික් අනුව පවතින දරිද්‍රතා ව්‍යාප්තිය පිළිබඳ සිතියම් සහ විශ්ලේෂණයන් දක්වමින් ලෝක බැංකුව විසින් 2024 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පලකර තිබූ වාර්තාව මෙතනින්. එම වාර්තාව තුළද ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් දෙවැනි තැනට පත්වූ බවක් සඳහන් කර තිබුණේ නැහැ.
2024 වසරේ ආර්ථික වර්ධනය 5% ක් දක්වා පැමිණීමත් සමඟ, 2025 වන විට දරිද්‍රතාවය 22% දක්වා අඩු වූ ආකාරයත්, දිස්ත්‍රික් මට්ටමින් තවදුරටත් පවතින සමාජ ආර්ථික අවදානම් පිළිබඳ දත්ත සිතියම් සහ ප්‍රස්ථාර සහිතව 2025 වර්ෂයේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට අදාළව මහ බැංකුව විසින් පළ කර තිබූ වාර්තාව මෙතනින්. එම වාර්තාව තුළද ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් දෙවැනි තැනට පත් වූ බවක් සඳහන් කර තිබුණේ නැහැ.
World Population Review වෙබ් අඩවිය විසින් 2026 වර්ෂයට අදාළව දක්වා ඇති ආකාරයට ශ්‍රී ලංකාව 113 වන ස්ථානයේ
කෙසේ නමුත් ලෝක බැංකුව විසින් ලබා දෙන නිල දත්ත උපයෝගී කරගනිමින්, ලෝකයේ වෙනත් පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල, වෙබ් අඩවි විසින් එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලැබේ. එලෙස World Population Review වෙබ් අඩවිය විසින් 2026 වර්ෂයට අදාළව දක්වා ඇති ශ්‍රේණිගත කිරීමෙහි ලොව ඉහළම දරිද්‍රතා ප්‍රතිශතය සහිත රටවල් 05 පිළිවෙලින්, දකුණු සුඩානය – 82.3%, මඩගස්කරය – 75.2%, එරිත්‍රියාව – 69%, මධ්‍යම අප්‍රිකානු ජනරජය – 68.8%, මොසැම්බික් – 65% වේ. කෙසේ නමුත් අදාළ ශ්‍රේණිගත කිරීමේදී World Population Review ආයතනය විසින් යොදාගෙන ඇති එක් එක් රටවල දත්ත එක් එක් වර්ෂවලට අයත් ඒවා වේ. ඒ ලෝක බැංකුව සතුව පවතින, එම රටවල් විසින් අවසන් වරට තහවුරු කර ලබාදුන් වඩාත් යාවත්කාලීන නිල දත්ත සහිත වර්ෂයයි. එම දත්ත උපයෝගී කරගනිමින් මෙම ආයතනය විසින් 2026 වසරට අදාළව ලොව ඉහළම දරිද්‍රතා ප්‍රතිශතය සහිත රටවල් පෙලගස්වා ඇත.

මෙම නිල දර්ශකයේ සමස්ත ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව 113 වන ස්ථානයේ පසුවන අතර එහි ජාතික දරිද්‍රතා ප්‍රතිශතය 14.3% ලෙස දක්වා ඇත.

එසේම, SAPA USA වැනි ගෝලීය පර්යේෂණ ආයතනයට අනුව 2026 වර්ෂයට අදාළව වැඩිම ජනගහන ප්‍රතිශතයක් දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් 10 මෙසේය.
| ස්ථානය (Rank | රට (Country) | දරිද්‍රතා ප්‍රතිශතය (Poverty Rate) |
| 01 | දකුණු සුඩානය (South Sudan) | 82.3% |
| 02 | සෝමාලියාව (Somalia) | 76.8% |
| 03 | නයිජීරියාව (Nigeria) | 70.7% |
| 04 | පකිස්ථානය (Pakistan) | 68.8% |
| 05 | ඉන්දියාව (India) | 64.9% |
| 06 | මැඩගස්කරය (Madagascar) | 63.9% |
| 07 | බුරුන්ඩි (Burundi) | 58.5% |
| 08 | මධ්‍යම අප්‍රිකානු ජනරජය (Central African Republic) | 56.8% |
| 09 | සමක ගිනියාව (Equatorial Guinea) | 54.4% |
| 10 | සියෙරා ලියෝන් (Sierra Leone) | 53.2% |
මෙම කිසිඳු ශ්‍රේණිගත කිරීමක් තුළ ශ්‍රී ලංකාවේ දිළිඳු රටවල් අතරින් දෙවන තැනට පත්ව ඇති බවට නම් කර නැහැ.
ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතර දෙවන තැනට පත්ව ඇති බවට ලෝක බැංකුව නිවේදනය කර ඇති බව දක්වමින් හුවමාරු වන සටහනෙහි දිනමිණ පුවත්පතේ නම සඳහන් වී තිබීම නිසා මෙවැනි පුවතක් දිනමිණ වාර්තා කර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප Key words පරීක්ෂාවක් ඔස්සේ කටයුතු කළා. නමුත් දිනමිණ නිල වෙබ් අඩවියේ හෝ නිල සමාජ මාධ්‍ය පිටු තුළ එවැන්නක් වාර්තා කර තිබුණේ නැහැ.
දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස දක්වමින් හුවමාරු වන අදාළ එක් සටහනක දිනය 2024 ජනවාරි 08 ලෙස දක්වා ඇති අතර එම ලිපියම තවත් සටහනක දක්වා ඇත්තේ දිනය 2025 මැයි 01 ලෙසිනි. එම ලිපිය දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් නම් එලෙස එකම ලිපියේ දින දෙකක් යොදා තිබීම සිදුවිය නොහැක්කක්.


එසේම අදාළ සටහන වඩාත් සමීපව නිරීක්‍ෂණය කිරීමේදී, එහි අක්ෂර වින්‍යාසයේ දෝෂ බහුලව දැකිය හැකියි. විශේෂයෙන් දිනමිණ යන නාමය එහි දක්වා ඇත්තේ දෝෂ සහිතවය. ඒ අනුව අදාල සටහන කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද හෝ සංස්කරණය කරන ලද සටහනක් ද යන සැකය මතු වේ.

කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද්දක්
ඒ අනුව අප විසින් අදාළ අන්තර්ගතය කෘතිම බුද්ධිය හඳුනා ගැනීමේ මෙවලම් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ අදාළ සටහන කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද්දක් බවයි.


අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතරින් දෙවනි තැනට පත් වූ බවට ලෝක බැංකුව නිවේදනය කර ඇති බව දක්වමින් දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස හඟවමින් හුවමාරු වුනු සමාජ මාධ්‍ය සටහන කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. 2024 වසරේ හෝ ඊට පෙර හෝ පසු කිසිදු වර්ෂයකදී ශ්‍රී ලංකාව දිළිඳු රටවල් අතර දෙවනි තැනට පත් වූ බවට ලෝක බැංකුව විසින් හෝ වෙනත් කිසිදු ආයතනයක් විසින් නම් කර නැහැ.


