දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය තුළ බහුල වශයෙන් දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් නොමග යවනසුළු සහ අසත්‍ය තොරතුරු හුවමාරු වන ආකාරය දැකිය හැකියි. හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා අතින් පසුගිය වෙසක් පොහොය දා සිදු වූ රිය අනතුරක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබූ එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
“පාඨලී තවත් රිය අනතුරකට මැදි වෙයි. වෙසක් පෝය දා රිදීගමදී සිදුවූ දරුණු අනතුර” යනුවෙන් දක්වමින් අදාල වීඩියෝව හුවමාරු වී තිබුණා.
අදාළ වීඩියෝව ‘පාඨලී තවත් රිය අනතුරක පැටලෙයි’ යනුවෙන් දක්වමින් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
Facebook Facebook Facebook Facebook
සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක්, අදාල වීඩියෝව සම්බන්ධයෙන් අදහස් පල කර තිබුණේ, අදාළ රිය අනතුර පාඨලී චම්පික රණවක මහතා අතින් සිදුවූවක් ලෙස දක්වමින් ය.


මීට පෙර 2016 වසරේදී පාඨලී චම්පික රණවක මහතා ගමන් ගත් ජීප් රථයක තරුණයකු ගැටීමේ සිදුවීම සම්බන්ධයෙන් නඩුකටයුතු මහාධිකරණය තුළ විභාග වෙමින් පවතින පසුබිමකදී මෙම අනතුරද පාඨලි චම්පික රණවක මහතා හෝ ඔහුගේ පාර්ශවය අතින් සිදුවූ අනතුරක් ලෙස දක්වමින් බොහෝ දෙනෙක් අදහස් පල කර තිබීම නිසා අප විසින් මෙහි සත්‍යය අසත්‍යභාවය සොයා බැලීමට කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම)
අදාළ වීඩියෝවේ දර්ශන වල දැක්වෙන්නේ කිසියම් රිය අනතුරක් සිදු වූ බව කිව හැකි ස්ථානයක පාඨලී චම්පික රණවක මහතා ද සිටින ආකාරයයි. එම අනතුරින් තුවාල ලැබූවකු යැයි කිව හැකි පුද්ගලයකු පාඨලී චම්පික මහතාගේ රථයට නංවාගෙන යන ආකාරය එම වීඩියෝව තුළ අන්තරගත වේ.
හිටපු අමාත්‍ය අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතා අතින් හෝ ඔහුගේ පාර්ශවයෙන් සිදු වූ කිසියම් රිය අනතුරක් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ වාර්තා කර තිබෙනු දැකගන්නට ලැබෙන්නේ නැහැ.
නමුත් පාඨලී චම්පික මහතා, රිය අනතුරකින් අනතුරකට ලක්වූ තරුණයෙකුට උදවු කළ ආකාරය පිලිබඳ වාර්තා කිහිපයක් ම අපට දැක ගන්නට ලැබුණා.
අප විසින් සිදු කළ Key words පරීක්ෂාවේදී ඉහත සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවම “අනතුරට පත් තරුණයකුට උදව් කළ හිටපු ඇමති පාඨලී” , “වෙසක් දවසේ පාඨලී පෙන්වූ මනුස්සකම” යනාදී තේමා යටතේ වාර්තා කර තිබුනේ මෙලෙසින්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලිව කරුණු අනාවරණය කර ගැනීම සඳහා අප විසින් සෘජුවම අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කළා.
මාධ්‍ය ලේකම් – පාඨලී චම්පික රණවක
පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, අදාළ සිදුවීම වන අවස්ථාවේ පාඨලී චම්පික රණවක මහතා සමග ඔහුද සිටි බවයි.
පසුගිය වෙසක් පොහෝ දිනයේ (මැයි 30) පාඨලී චම්පික රණවක මහතාට කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගි වීමට තිබූ බවත්, ඉන් ආගමික උත්සව කිහිපයකට සහභාගී වී නැවත කුරුණෑගල ප්‍රදේශයට එමින් සිටි අවස්ථාවේ කරඳගොල්ල ප්‍රදේශයේ මාර්ගයේ රිය අනතුරක් සිදු වී තිබෙනු ඔවුන් දුටු බවත් ඔහු සඳහන් කළා.
ඔවුන් එම ස්ථානයට යන විට අදාළ රිය අනතුර සිදු වී තිබූ බවත්, අදාළ අනතුරින් තරුණයෙකු තුවාල ලබා ඇති ආකාරය ඔවුන් දුටු බවත් ඔහු සඳහන් කළා. එම අවස්ථාවේදී පාඨලී චම්පික මහතා, අදාළ තුවාලකරු සම්බන්ධයෙන් සොයා බලන ලෙස උපදෙස් දුන් බවත්, ඒ අනුව පාඨලි චම්පික මහතා ද වාහනයෙන් බැස එම ස්ථානයට ගිය බවත් මාධ්‍ය ලේකම් සඳහන් කළා.
ඉන් අනතුරුව පාඨලී චම්පික මහතා එම තරුණයාව ඔවුන් පැමිණි වාහනයේ රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දුන් බවත් ඒ අනුව, එම තරුණයා පාඨලී චම්පික මහතා පැමිණි වාහනයේ රියදුරු සමග රෝහලට රැගෙන ගිය බවත් ඔහු සඳහන් කළා.
පසුව, තමා සහ පාඨලී චම්පික මහතා ඔවුන්ගේ සංවිධායකවරයෙකුගේ වාහනයකින් එම ස්ථානයෙන් පිටත් වූ බවත්, පාඨලී චම්පික මහතාගේ මාධ්‍ය ලේකම් වැඩිදුරටත් සඳහන් කළා.
රිදීගම පොලීසිය
අප විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා රිදීගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන්ද විමසීමක් කළා. එහිදී ඔහු විසින් ද සඳහන් කළේ, අදාල රිය අනතුරට පාඨලී චම්පික රණවක මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. අදාළ සිදුවීමේදී අනතුරට පත් තරුණයාට උපකාර කිරීමට පාඨලී චම්පික රණවක මහතා කටයුතු කර ඇති බවද, ස්ථානාධිපතිවරයා විසින් සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ පාඨලී චම්පික රණවක මහතා අතින් සිදුවූ රිය අනතුරක් ලෙස හඟවමින්, සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝව නොමග යවන සුළු බවයි. අදාළ රිය අනතුර පාටලී චම්පික රණවක මහතා හෝ ඔහුගේ පාර්ශ්වය අතින් සිදුවූ රිය අනතුරක් නොවන බව රිදීගම පොලිසිය විසින් තහවුරු කළා. අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ කුරුණෑගල රිදීගම මාර්ගයේ සිදුවී තිබූ රිය අනතුරක් දැක, ඉන් තුවාල ලබා සිටි තරුණයකු රෝහල්ගත කිරීම සඳහා පාඨලී චම්පික රණවක මහතා විසින් උපකාර කළ ආකාරයයි.


