FACT CHECK: මීගමු වෙරළ තීරයට දියකිඳුරියක් ගොඩ ගැසීමේ සැබෑ කතාව!

Misleading Social

Last updated on February 18th, 2022 at 09:54 am

සමාජ මාධ්‍ය ඔස්සේ යහපත් දේවල් ප්‍රචාරය කිරීමට ඇතැම් විට යොදා ගන්නා මතභේදාත්මක ක්‍රම වේදයන් හේතුවෙන් විශාල කතිකාවතක් නිර්මාණය වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන්. අවශ්‍ය පණිවුඩය පෙන්වා දීමෙන් පසුව ද එම ප්‍රචාරය සටහන් යාවත්කාලීන නොකරන අවස්ථාවලදී ඒ ඔස්සේ ජනතාව දිගින් දිගටම නොමග යෑමක් සිදුවනවානම් එමඟින් පෙන්වීමට උත්සාහ කරන පණිවුඩයට වඩා ඉස්මතු වන්නේ වෙනත් කරුණක් විය හැක.

යහපත් දෙයක් අරමුණු කොටගෙන සිදු කළ ක්‍රියාවක ප්‍රචාරණ කටයුතු කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදයක් හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබෙන සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. 

සමාජ මාධ්‍ය සටහන් :

C R U S H නම් ෆේස්බුක් පිටුවක “නැවේ සුන්බුන් වල පැටලුණු දියකිදුරියකු වැනි අත්භූත සතෙකු මීගමු වෙරළට ගොඩගසයි. ඒපාර මොකක්ද දන්නෑ මොනව වුණත් ඒ සතාට කෝට්ටෙන් ඔහොම අනින්න එපා යකෝ පේන විදියටනං අප්‍රිකාවේ දියකිඳුරියක්”  යනුවෙන් සඳහන් කරමින් දියකිඳුරියක් ගොඩගසා ඇති බවට ඡායාරූපයක්ද දක්වා තිබුණේ “ඇත්ත නැත්ත නං දන්නෑ මීගමුවෙ පැත්තෙන් ආපු වීඩියෝ එකක්” යනුවෙන්ද පවසමින්. එම සටහනේ දක්වා තිබූ යූ ටියුබ් වීඩියෝව මෙතනින්. එහි දක්වා තිබුණේ අත්භූත සතෙකු මීගමු වෙරළට ගොඩගසයි යනුවෙනි. එම සටහන පහතින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් වීඩියෝවක් ද සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් 8000කට ආසන්න ප්‍රමාණයක් අතර සංසරණය වී තිබුණා.

මෙම සිදුවීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග ගොස් ඇති බවට එම වීඩියෝවට දක්වා ඇති ප්‍රතිචාර මගින් ගම්‍යවුණා

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ද හුවමාරු වූයේ මෙලෙසින්.

දෙමළ පාඨකයින් අතරේ ද මෙම වීඩියෝ කොටස බොහෝ ලෙස හුවමාරු වූ අතර එවැනි එක් සටහනක් මේ වන විට 12000කට වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබුණා.

Facebook Link | Archived Link

මේ හේතුවෙන් මෙහි පසුබිම් කතාව සොයා අප කළ විමර්ශනයක් ඇරඹුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝවේ සඳහන් පරිදි දියකිඳුරියක් මීගමු වෙරළට ගොඩ ගසා ඇති බවට පළ වූ පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරවන්හි දක්නට ලැබුණේ නැහැ. ඒ හේතුවෙන් යම් කිසි කණ්ඩායමක් විසින් මෙලෙස ජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන කටයුත්තක් බවට අපට වැටහුණා.

Sinha Tv නම් ෆේස්බුක් පිටුවකින් සහ SL Reporter යූ ටියුබ් නාලිකාවෙන් මෙම මුල් වීඩියෝව නිකුත්කළ ඇති අතර ඉන්පසුව අද දින (ජූනි 08) මෙහි සම්පූර්ණ වීඩියෝව දක්වා තිබුණේ, Trip Pisso යූ ටියුබ් නාලිකාවෙනි.

එම සම්පූර්ණ වීඩියෝව පහතින්.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ මුහුදෙන් ගොඩබිමට ගොඩ ගසා ආ දියකිඳුරියක් පැටලී සිටින සුන්බුන් වලින් මුදවා ගන්නා ආකාරයක්. මෙම සත්‍ය දර්ශන පෙළක් ලෙස පෙනී යන ආකාරයෙන් නරඹන්නන්ගේ අවධානය යොමු කරමින් වීඩියෝවක් නිර්මාණය කර තිබෙන්නේ ලෝක සාගරය දිනයට සමගාමීව “සාගර දූෂණයට එරෙහිවෙමු” යන තේමාවෙන් සිදුකරන ලද ව්‍යපෘතියක කොටසක් ලෙසින්.

පසුගියදා සිදුවූ මෙරට මුහුදු සීමාවේ සිදුවූ X Press Pearl නෞකා ගින්න හේතුවෙන් විශාල සමුද්‍ර දූෂණයක් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. මේ සිදුවීම අළලා මීගමු වෙරළට දියකිඳුරියක් ගොඩගසා ඇති බවටත් එම කිඳුරිය මාළු දැක අපද්‍රව්‍ය සමඟ වෙළී සිටින ආකාරයක් පෙන්නුම් කරමින් ලෝක සාගර දිනය හේතුවෙන් මෙම වීඩියෝව නිර්මාණය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් විමසීමට අප මෙම වීඩියෝව නිර්මාණයට දායක වුණු Trip Pisso කණ්ඩායම හා සම්බන්ධ වුණා. ඔවුන් සඳහන් කළේ, ජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා පසුගියදා වුණු නෞකාවෙන් ඇතිවූ සමුද්‍රීය දුෂණය හේතුවෙන් මීගමු වෙරළේ සිදුවුණු පරිසර විනාශය අළළා මෙම නිර්මාණය කරන ලද්දේ ලෝක සාගර දිනය යෙදෙන අද (ජුනි 08) දිනය නිමිත්තෙන් බවයි. මෙයින් ජනතාවට යහපත් පණිවිඩයක් ලබා දීම පෙරදැරි කරගෙන මෙම වීඩියෝව මහත් පරිශ්‍රමයකින් නිර්මාණය කළ බවත් පැවසුවා.

මෙහි අධක්ෂණ කටයුතු උදය හේවාගම මහතා විසින් සිදුකළ අතර ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වී තිබු ගයත්‍රී ජයමාන්න.  වේශ නිරුපණ කටයුතු කර තිබුනේ බුවනෙක රණවක මහතා විසින්. 

තවද හේතුවෙන් මීගමුව වෙරළ යැයි සඳහන් කළද මෙම වීඩියෝවේ රූගත කිරීම් සිදු කරනු ලැබුවේ දෙහිවල මුහුදු තීරයේ බවත්, පූර්ව ප්‍රචාරයක් Sri Tv ෆේස්බුක් පිටුව හා SL Reporter යූ ටියුබ් නාලිකාව මගින් සිදු කළ බවත් සඳහන් කළා.

නමුත් මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝ කොටස නැරඹූ බොහෝ දෙනෙකු මෙම වීඩියෝව අළලා සටහන් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාර කිරීම හේතුවෙන් බොහෝ පිරිස් මේ පිලිබඳ විමසා සිටි අතර ඇතැම් අය සත්‍ය සිදුවීමක් ලෙස සලකමින් නොමග ගොස් තිබුණා. 

අප ඉහත දැක්වූ පරිදි ජුනි මස 05 වැනිදා Sinha TV ෆේස්බුක් පිටුව ඔස්සේ පළවී තිබු ප්‍රචාරණ වීඩියෝවේ ශීර්ෂ පාඨයේ සඳහන් වූයේද “මීගමු වෙරලෙන් මේ දැන් දිය කිදුරියක් ගොඩ ගසයි” යනුවෙනි. මේ වන විට එම ෆේස්බුක් පිටුව විසින් සම්පුර්ණ වීඩියෝව සහිත යොමු පළකර තිබුනද මුල් සටහනේ සම්පුර්ණ වීඩියෝව පිලිබඳ සඳහනක් නොකිරීම හේතුවෙන් මේ වන විටත් වෙනත් අරමුණකින් බොහෝ දෙනා මෙම වීඩියෝව හුවමාරු කර ගනිමින් සිටියි.

ජුනි මස 05 වැනිදා වීඩියෝව මුළු වීඩියෝව ලෙස මේ වන විටද යොදා තිබෙන්නේ ද එම නොමඟ යවන සුළු වීඩියෝ කොටස පමණි.

එසේම මෙම වීඩියෝ කොටස පමණක් හෝ ඒ ඇසුරින් නිර්මාණය කළ සටහන් පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ අය මෙහි සත්‍ය වීඩියෝව සහිත තොරතුරු හුවමාරු නොකිරීම හේතුවෙන් එම සත්‍ය වීඩියෝව මග හැරුණු පිරිස් වෙතට මෙය නිර්මාණයක් පමණක් බවට තොරතුරු හුවමාරු නොවන බැවින් මෙමගින් ජනතාව නොමග ගොස් ඇති බවට පැවසිය හැක.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපට පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ මීගමු වෙරළට දියකිඳුරයක් ගොඩගසයි යනුවෙන් හුවමාරු වන පුවත, සමුද්‍ර දූෂණයට එරෙහිව ක්‍රියාකළ යුතු බවට ජනතාවට උපදෙසක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද කෙටි වීඩියෝවකින් ලබාගත් කොටසක් පමණක් යොදාගනිමින් පලකරන ලද සටහන් පෙළක් බවයි.

මේ වන විටද සම්පුර්ණ වීඩියෝව පිලිබඳ විස්තර, පුර්ව ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් වීඩියෝ සටහනේ යාවත්කාලීන නොකිරීම හේතුවෙන් සහ එම වීඩියෝව වෙනත් පාර්ශවයන් විසින් හුවමාරු කර ගැනීම හේතුවෙන් බොහෝ පිරිස් නොමග ගොස් තිබුණා.

එසේම මීගමුව වෙරළට ගොඩ ගැසූ දිය කිඳුරියක් යන තේමාවෙන් පළවූ වීඩියෝවේ රුගත කිරීම් සිදුවී තිබුනේ දෙහිවල වෙරළ තීරයේ ය.

Avatar

Title:මීගමු වෙරළ තීරයට දියකිඳුරියක් ගොඩ ගැසීමේ සැබෑ කතාව!

Fact Check By: Sara Gunaratne 

Result: Misleading


Leave a Reply