ඥානසාර හිමි බම්බලපිටියේ මහල් නිවාසයක් බලෙන් අත්පත් කර ගත් බවට පැවසූ සටහන් වල ඇත්ත කතාව!

False Social

මංකොල්ල කා බලෙන් රැදී සිටි නිවසින් ඥානසාර හිමි ඇතුළු පිරිස බලහත්කාරයෙන් පන්නා දමා ඇති බවට දක්වමින් එම තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව හුවමාරු වී තිබුණා. මේ පිළිබඳව කරුණු විමර්ශනයක් සිදු කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

FB | FB

මෙහි සත්‍යතාව කුමක්ද යන්න විමසමින් අප වෙත මේ පිළිබඳ පරීක්ෂා බලන ලෙස ලැබුණු පාඨක ඉල්ලීම් ද, මුල් කරමින් මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු ක‍ළේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

2023 සිට පැවත එන නඩුවක්

මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා වල සඳහන්ව ඇති කරුණු, මොනවාද යන්න අප පරීක්ෂා කළ අතර එහිදී මෙම නිවස සම්බන්ධ ගැටලුව 2023 වසරේ සිට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබුණා.

2023 වසරේ ඔක්තොම්බර් 02 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් ඥානසාර හිමියන් ඇතුළු තිදෙනකුට එරෙහිව නඩුවක් ගොනු කර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා විසින් නොතිසි නිකතු කර තිබුණා. 

ඒ, අමෙරිකාවේ පදිංචි සිය නැන්දණිය(සුමිත්‍රා සේනානායක වීරසිංහ) විසින් ඇයට අයිති බම්බලපිටිය බම්බලපිටිය ශර්බරි ගාඩ්න්ස් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවස නීත්‍යානුකූලව ඇයගේ සහෝදරයගේ දියණිය වන තමන්(පැමිණිලි පාර්ශවය- ඉනෝකා සේනානායක) වෙත පවරා ඇති බවට ත්, නමුත් මෙම දේපළවලට ඇතුළුවීමට ඉඩ නොදී ඥානසාර හිමියන් ඇතුලු වගඋත්තරකරුවන් ක්‍රියා කරන බවට පෙත්සමේ කරුණු සඳහන් බවට දක්වා තිබුණා.

තමන්ට නීත්‍යනුකූලව ලැබී ඇති මෙම දේපළ භුක්ති විඳීමට අවස්ථාව ලබා නොදී බලහත්කාරයෙන් අයිති කර ගැනීමට වගඋත්තරකරුවන් ක්‍රියාකරන බවට ද පෙත්සමේ සඳහන් වේ.

මෙම දේපළ විකුණා චෛත්‍යය ගොඩනැඟීම සඳහා තමන් වෙත දේපළ හිමිකරුවන් පවසා ඇති බවට ඥානසාර හිමියන් විසින් පවසා ඇතැයි ද අධිකරණයෙන් කරුණු වාර්තා කර ඇති බවට ද, 2023 වසරේ පුවත් ලිපයක දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

බලෙන් අල්ලා ගත් සුපිරි නිවස හිමිකාරියට දෙන්න’: ඥානසාර හිමියන්ට නියෝගයක්  යනුවෙන් 2024 වසරේ සැප්තැම්බර් 13 වන දා මව්බිම පුවත් පතේ ලිපියක් පළ වී තිබුණා. 

එහි සඳහන් වී තිබුණේ, කාන්තාවකට හිමිකාරිත්වය තිබියදී බලහත්කාරයෙන් අත්පත් කර ගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10ට අධික වටිනාකමින් යුත් නිවසක් වහාම එම කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනෙකුට එම වසරේ සැප්තැම්බර් 12 වන දා නියෝග කර ඇති බවයි.

එම නියෝගය කඩ කළහොත් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව ද මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් තිදෙනාට දැනුම් දී ඇති බව ත්, එහි සඳහන්.

එම සුඛෝපභෝගී නිවස තම පියාගේ සහෝදරියට අයත් එකක් බව ත් 2023 වසරේ මැයි 18 වන දින එය තමා භාරයට පත් කළ නිවසේ හිමිකාරිය, විදේශගත වූ බව ද, ඒ අනුව, එදින සිට නිවස නඩත්තු කරමින් රැක බලා ගනිමින් තමන් භුක්ති විඳිමින් සිටි බව ද පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි.

එම නිවස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් සිටින විට, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් නිවස පිහිටි ස්ථානයට පැමිණ තමන්ට හා තම දියණියට එම නිවසට ඇතුල්වීමට ඉඩනොදී, බාධා කරමින්, කලහකාරී ලෙස හැසිරුණු බව ද ඇය ගොනු කර තිබෙන පැමිණිල්ලේ සඳහන් බවට දක්වා තිබුණා.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දෙමින්, නිවසින් ඉවත් වන ලෙසට බලපෑම් කළ බව ද, ඒ අනුව තමා ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර නිවස වෙත ගිය විට, එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවස වෙත ඇතුල් නොවන ලෙස තමාට තර්ජනය කළ බව ද ඇය එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි.

තමන්ට එල්ල වී තිබෙන මරණීය තර්ජන හේතුවෙන්, තමන් හා තම දියණිය එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බව ද මේ සම්බන්ධයෙන් තමාට නීතියේ පිළිසරණ ලබා දෙන ලෙස ද පැමිණිලිකාරිය සිය නීතිඥවරිය මගින් අධිකරණයෙන් වැඩිදුරට ත් ඉල්ලා තිබිණි. 

ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත මෙතනින්. Archived Link

අප අධිකරණ මාධ්‍ය වාර්තාකරුවන් හරහා ද, ඉහත තොරතුරු මෙන් ම වත්මන් තත්ත්වය ද, විමසා තහවුරු කර ගනු ලැබුවා.

පසුගිය දිනක දී ලබාදුන් නඩු තීන්දුව

මෙම නඩුකරය 2026 වසරේ, ජුනි මස 01 වන දා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවා තිබුණා.

එහිදී විත්තිකාර පාර්ශවය නියෝජනය කළ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණේ, අදාළ දේපළෙහි අයිතිය එහි සැබෑ උරුමකරුවන් වෙත ලබා දී එම ස්ථානයෙන් පිටව යාමට තම සේවාදායකයින් සූදානම් බවයි. 

විත්ති පාර්ශ්වය විසින් සිදු කළ එම ප්‍රකාශයත් සමගම, අගතියට පත් පාර්ශ්වය විසින් ද පැමිණිල්ල ඉවත් කර ගැනීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බව මහාධිකරණයට දන්වා සිටින ලදී. 

දෙපාර්ශ්වයේම එකඟතාවය සැලකිල්ලට ගත් විනිසුරුවරයා පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට නිල වශයෙන් අවසර ලබා දුන් බව අධිකරණ වාර්තා කරුවන් සඳහන් කළා.

මෙම අධිකරණ ක්‍රියාවලිය අතරතුර විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් සඳහන් කර තිබුණ, විදේශ රටක වාසය කරන උපාසිකාවක් විසින් මෙම නිවස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පූජා කර තිබූ බවකි. පසුව අදාළ සුඛෝපභෝගී මහල් නිවාසය අලෙවි කර, ඉන් ලැබෙන මුදල් යොදවා චෛත්‍යයක් ගොඩනැගීම විත්තිකාර භික්ෂූන් වහන්සේලාගේ මූලික අරමුණ වී තිබූ බවද නීතිඥවරුන් විසින් එහිදී පෙන්වා දෙන ලද බවට පළ වී තිබූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නීතිඥ

මේ හේතුවෙන් අප මේ පිළිබඳව තහවුරු කර ගැනීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඔහු පෙන්වා දුන්නේ, මෙම නිවස මංකොල්ල කෑමක් හෝ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමක් නොවන බවයි. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිකාරියක වන සුමිත්‍රා සේනානායක වීරසිංහ යන උපාසිකාව විසින් විශේෂ ඇටර්නි බලපත්‍රයක් මගින් ප්‍රශ්න උද්ගත වූ දේපොළ ඥානසාර හිමියන් වෙත පූජා කර තිබූ බවයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප නීතිඥවරයා මගින් එම ඇටර්නි බලපත්‍රය අප වෙත ගෙන්වා ගනු ලැබුවා.

එය පරික්ෂා කිරීමේ දී, සුමිත්‍රා සේනානායක වීරසිංහ රාජගිරිය, නාවල පාර, ශ්‍රී සද්ධර්මරාජික විහාරය, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇය වෙනුවෙන් ඉහත නිවස සම්බන්ධයනේ ක්‍රියා කිරීම සඳහා නීත්‍යානුකූල ඇටර්නි බලකරු ලෙස පත් කර ඇති බව එහි දැක්වේ.

ඒ යටතේ පහත සඳහන් අරමුණු සඳහා උන්වහන්සේට බලය පවරා ඇති දේවල් ලෙස,

එම නිවාස ඒකකය විකිණීමට, පැවරීමට සහ ප්‍රදානය කිරීමට (විශේෂයෙන් අවසර සහ බලය ලබා දී ඇති බවට ත්,

එම දේපළෙහි වෙසෙන කුලී නිවැසියන්, බලපත්‍රලාභීන්, අනවසර පදිංචිකරුවන් හෝ බදුකරුවන් ඉවත් කිරීමට, ඔවුන්ට නිවේදන යැවීමට සහ දේපළෙහි සම්පූර්ණ බලය ලබාගෙන සාමකාමීව භුක්ති විඳීමට,

මෙම දේපළ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට හෝ ඒවායින් ආරක්ෂා වීමට (නඩු පැවරීමට හෝ විත්ති පාර්ශ්වය වීමට), උසාවිය හෝ පොලිස් පරීක්ෂණ හමුවේ පෙනී සිටීමට, සාක්ෂි දීමට සහ ඇය වෙනුවෙන් පෙනී සිටීමට,

ලංකාවේ ඕනෑම අධිකරණයක පැමිණිලිකරුවෙකු, විත්තිකරුවෙකු, අගතියට පත් පාර්ශ්වයක්, මැදිහත්කරුවෙකු, පෙත්සම්කරුවෙකු, වගඋත්තරකරුවෙකු හෝ ඇපෑලකරුවෙකු ලෙස පෙනී සිටීමට සහ ඒ සඳහා නීතිඥවරුන් පත් කිරීමට (ප්‍රොක්සි අත්සන් කිරීමට) ,

ඇයට ලැබිය යුතු ඕනෑම මුදලක් හෝ ගෙවීමක් උසාවි නියෝග මත භාර ගැනීමට, අදාළ ලිපිලේඛනවලට අත්සන් කිරීමට සහ ඇය වෙනුවෙන් සමථයකට එළැඹීමට මෙන්ම, 

පොදු බලතල ලෙස, ඇය වෙනුවෙන් පෞද්ගලිකවම ඉදිරිපත් වී සිටියා සේ සලකා, ඉහත සඳහන් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන අනෙකුත් සියලුම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට ඇයගේ ඇටර්නි බලකරුට සම්පූර්ණ කළමනාකරණය, පාලනය සහ මඟපෙන්වීම් බලය පවරා තිබේ. 

හිමිකාරියගේ මරණය හෝ මෙම බලපත්‍රය අවලංගු කිරීම පිළිබඳ නිල දැනුම්දීමක් ලැබෙන තුරු ඇයගේ ඇටර්නි බලකරු විසින් කරනු ලබන සියලුම ගනුදෙනු නීත්‍යානුකූල සහ වලංගු ඒවා ලෙස ඇය පිළිගන්නා බවට එහි සඳහන්.

නිවස මිලදී  ගත් තවත් පුද්ගලයෙක් විසින් කොළඹ දිසා අධිකරණයෙත් නඩුවක්

මෙහිදී පැමිණිලිකරු (සුනෙත් රංගන) ප්‍රකාශ කර සිටින්නේ‍ මෙම දේපළෙහි මුල් හිමිකාරීතිය වූ සුමිත්‍රා සේනානායක වීරසිංහ මහත්මිය 2022 වර්ෂයෙහි අමෙරිකාව බලා පිටත්ව ගිය පසු, එම දේපළ විකුණා ශාසනික කටයුතු සඳහා යොදා ගන්නා ලෙසට 2023 අප්‍රේල් මස 10 වන දිනැති විශේෂ ඇටොර්නි බලපත්‍රයක් මගින් ඥානසාර හිමියන්ට එම හිමිකම ලැබී තිබුණ බවත්, ඒ අනුව ඥාණසාර හිමිගේ මැදිහත් වීමෙන් මෙම දේපොළේ අයිතිය දැනට ඇත්තේ තමාට බවයි . 

මේ පිළිබඳ අදාළ පාර්ශවයන් වෙත යවන ලැබූ සිතාසි ද, අප පරීක්ෂා කරනු ලැබූ අතර එහි සඳහන් වූයේ, සුබ්‍රමනියම් කමලයෝගේෂ්වරන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් ලියා සහතික කරන ලද අංක 277 සහ 2023/05/26 දිනැති පැවැරුම් ඔප්පුවක් මගින් දේපළෙහි මුල් හිමිකාරීතිය වූ සුමිත්‍රා යන මහත්මිය විසින් එම දේපළ සුනෙත් රංගන යන අය වෙත අගනා ප්‍රතිෂ්ඨාවකට යටත්ව පවරා දුන් බවත්, ඒ අනුව 2023/05/26 දින පටන් එම දේපළෙහි අයිතිය ඇත්තේ, සුනෙත් රංගන යන අයට බව සඳහන් කරමින්, අදාළ පුද්ගලයා විසින්, කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවයි.

එයට හේතුව වී ඇත්තේ, මෙම දේපොළට අයුක්ති සහගත සහ අභීතික භුක්තියක් සහ හිමිකම් පෑමක් ඉදිරිපත් කරමින්, ඉනෝකා චන්දිමා සේනානායක නමැති (දේපොළේ මුල් හිමිකාරිත්වය ඇති සුමිත්‍රා මහත්මියගේ සහෝදරයාගේ දියණිය) අය විසින් මීට පෙර 1979 අංක 44 දරණ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66(1)(ආ) වගන්තිය යටතේ කරනු ලබන ඉල්ලීමක් අංක 831/03/23 යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබීම හේතුවෙනි. 

මෙම දේපොළේ වත්මන් අයිතිකරු බව පවසන සුනෙත් රංගන නමැති පුද්ගලයා කොළඹ දිසා අධිකරණයේ පනවා ඇති නඩුවේ සඳහන් කර සිටින්නේ,  චන්දිමා සේනානායක නමැත්තිය විසින් මහසේත්‍රාත් අධිකරණයේ පැවරූ නඩු කටයුත්තට ඔහුව පාර්ශවයක් ලෙස නම් කරනු නොලැබූ බවත්, ඔහු විසින් එම නඩු කටයුත්තට මැදිහත් වීමට කරනු ලැබූ ඉල්ලීම ද ප්‍රමාද වීමේ පදනම මත, මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවයි. 

ඉනෝකා නමැත්තිය විසින් පනවා තිබූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් 2024/09/12 වන දින අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශයගත දේපළෙහි සන්තකය නිසි බලය ඇති සිවිල් අධිකරණයකින් තීරණය කරන තෙක් ඉනෝකා චන්දිමා සේනානායකයට දේපොළ භාර දෙන ලෙස ඥාණසාර හිමියන්ට නියෝග කර තිබේ.

කෙසේ වෙතත් එම තීරණයට විරුද්ධව ප්‍රතිශෝධන ඉල්ලීමක්, එම දේපොළේ වත්මන් හිමිකරු බව පවසන පුද්ගලයා ඉදිරිපත් කර තිබේ.

එමෙන් ම ඔහු ප්‍රකාශ කර සිටින්නේ, විෂයගත දේපළෙහි චන්දිමා සේනානායකය සහ ඇයගේ දියණියන් පදිංචිව සහ ජීවත් වූ බවට වන ප්‍රකාශය ද සම්පුර්ණයෙන් අසත්‍යයක් බවයි.

මෙහිදී සුනෙත් රංගන නමැති වත්මන් හිමිකරු බව පවසන පුද්ගලයා පැමිණිලි කරන්නේ, කොළඹ මහා නගර සභාවෙහි ලේඛණයන්හි සහ ලංකා විදුලි බල මණ්ඩලය ආදියෙහි විශයගත දේපළට අදාළව අයිතිකරු වශයෙන් ඔහුගේ නම ලියාපදිංචි කරවා ගැනීමට යම් කාලයක් ගතවූ බවත්, කෙසේ වෙතත් මේ වන විට කොළඹ මහා නගර සභාවෙහි පැමිණිලිකරුගේ අයිතිය ලියාපදිංචි කර ඇති බවත්, සිය නමට අදාළ දේපළෙහි විදුලි සැපයුම ද ලියාපදිංචි කර ඇති බවත්, දේපළට අදාළ බිල්පත් ආදිය ද දැන් තමා විසින් ගෙවනු ලබන බවත්, ඒ බව සනාථ කිරීම සඳහා කොළඹ මහා නගර සභාව විසින් ඔහුගේ නමට නිකුත් කරන ලද අයිතිය ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සත්‍ය පිටපත් ද, මෙහිදී ඉදිරිපත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණයේ පවතින මෙම නඩුවෙන්, මෙහි වත්මන් අයිතිකරු ලෙස සඳහන් කරන සුනෙත් රංගන නමැති පුද්ගලයා විසින් මෙම දේපොළේ මුල් අයිතිකරු වන සුමිත්‍රා මහත්මිය, මෙම දේපළෙහි හිමිකම් පූර්වගාමිනිය බැවින්, පැමිණිලිකරුගේ අයිතිය සනාථ කිරීම සඳහා වගකීමක් පවත්නා හෙයින්, ඇයව මෙම නඩුවට පාර්ශවයක් කර තිබේ. එසේම ඥාණසාර භික්ෂූන් වහන්සේ විසින් පැමිණිලිකරු වන සුනෙත් රංගන වෙත අදාළ දේපළ පවරා දීමට, දේපළේ මුල් හිමිකාරි‍ගේ ඇටර්නි බලකරු වශයෙන් කටයුතු කළ හෙයින්, පැමිණිලි කරුගේ අයිතිය සනාථ කිරීම සඳහා වගකීමක් පවත්නා, හෙයින් ඥාණසාර භික්ෂූන් වහන්සේ දමෙම නඩුවට පාර්ශවයක් කර තිබුණා.

මෙම දේපළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් ඉනෝකා මහත්මිය  පැවරීමේදී ඊට පෙර මෙම දේපොළ විකුණා ඇති බව හෝ එහි වත්මන් අයිතිකාරීත්වය පිළිබඳ සඳහන් කර නොතිබීම ත්, එය තමන්ට අයිති බවට ත් සඳහන් කරමින් අදාළ නඩු පවරා තිබුණා.

සුනෙත් රංගන මහතා ද, අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔු සඳහන් කළේ, විෂයගත දේපොළේ වත්මන් අයිතිය ඇත්තේ තමන්ට බව ත්, නමුත් මුල් හිමිකාරියගේ ඥාතියෙකු විසින් වංචනික ලෙස එය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ තවමත් නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වන බැවින් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට හැකි බවයි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

“ඉහත කී පුවත සම්පුර්ණ අසත්‍ය කරුණු මත පදනම්ව මාධ්‍යවෙත මුදාහැරීමෙන් මා ඇතුලු අප විහාරස්ථානය දැඩි අපහසුතාවට පත්ව ඇත.  

සුමිත්‍රා වීරසිංහ සේනානායක මැතිණිය අප සංවිධානයේ  මුල්‍ය කටයුතු සඳහා 2012 වසරේ අග භාගයේ සිට  2022 දක්වා අඛණ්ඩව උදව් කළේ ස්වේච්ඡාවෙනි.  සංවිධානය සඳහා පමණක් නොව අප විහාරස්ථානයේ  ද පැවත්මට අය උපකාරී වුවාය. 

අප විහාරස්ථානය තුල දැනට පවතින්නේ සංඝාවාසයක් පමණි. විහාරගෙයක්   චෛත්‍යයක් හෝ ධර්ම ශාලාවක්වත් ඉදිකර නොමැති නිසා ඒ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට  සුමිත්‍රා මැතිණිය මහත් උත්සාහයක් දැරීය.  

ඒ  අතරතුර ඇමරිකාවේ ජීවත්වන පුතුන් දෙපල විසින් ඇයට ඇමරිකාවට පදිංචියට එන ලෙස බල කරන බවත්,  ඒ අනුව එහි යා යුතු බවත් කී එම මැතිණිය,“හාමුදුරුවනේ   මගේ එපාට්මන්ට් එක විකුණා එම මුදලින් මගේ හුස්ම යන්න කලින් පංසලේ වැඩක් පටන් ගන්න.  එක්කෝ විහාරය.  එහෙම නැත්නම් චෛත්‍ය හෝ ධර්ම ශාලාව ඇයගේ නමින් කරවන්න” කියා ඉල්ලීමක් කලාය.  

ඇමරිකාවට යාමට පෙර එය එම දේපල, මා (ගලගොඩඅත්තේ ඥාණසාර හිමි) වෙත පැවරීමට කිහිප වතාවක් ඇය උත්සාහ කල ද මාගේ යෝජනාව වූයේ  දරු දෙපල සමගත් කතා කොට ඒ පුතාලගේ ආශිර්වාදයත් එක්ක මේ වැඩේ කරන එක යෝග්‍ය බවය.  

ඒ අනුව ඇමරිකාවට ගොස් දරුවන් සමග කතා කොට ඇටර්නි බලපත්‍රයක් මා වෙත එවන ලදි.  එය ලියාපදිංචි කොට ඇයට දැන් වු පසු, ඇයගේ නියමයෙන්  ඥාතී දියනියක විසින් අප පංසලටම ඇවිත් යතුරු බාරදුන්නාය.   

ඉන් අනතුරුව ගෙය ප්‍රතිසංස්කරණය කොට  සුමිත්‍රා මියගේ ඉල්ලීම පරිදි  එය විකිණීමට ක්‍රියා කලෙමි.  

පසුගිය සිකුරාදා දින පලවු ප්‍රවෘත්ති සත්‍යයෙන් තොරය  අසත්‍ය පුවත් පල කල සියල්ලන්ට එරෙහිව නීතිය හමුවට යන්නෙමි.  

එම දේපලෙහි කිසිදු අයිතියක් මට නොමැත. එය විකුණා වසරකටත් වැඩිය.  තාවකාලිකව නිවස බලාගත් කාන්තාවක විසින් කල පැමිණිල්ලකට අනුව, අදාළ කාන්තාව විසින් නඩුවක් ගොනුකලේ මුදල් ලබා ගැනීමේ චේතනාවෙනි. 

එම නඩු කටයුත්තේදි මිලට ගත් පාර්ශවයෙන් සිදුවු ප්‍රමාදයක් නිසා අයිතිය පිලිබද ඉහල උසාවියකින් නියෝගයක් ලබා ගන්නා ලෙස උසාවි නියෝගය වු අතර පුවත් වාර්තාවේ පළවු ආකාරයේ කිසිදු කලබලයක් හෝ කෝලාහලයක් සිදුවුයේ නොමැත. “  

නිවසේ මුල් අයිතිකරු සුනේත්‍රා මහත්මිය

නිවසේ මුල් අයිතිකරු සුනේත්‍රා මහත්මිය මේ වනවිට ලංකාවේ සිටින අතර ඇයගේ හිතවතෙකු මාර්ගයෙන් අප ඇයව සම්බන්ධ කර ගනු ලැබුවා. 

ඇය සඳහන් කළේ, බම්බලපිටියේ Falcon residencies තමන්ට අයත් ව තිබූ නිවසේ යතුරු තමන් විදේශ ගත වූවායින් පසු තමන්ගේ හිතවතෙකු ළග රඳවා තිබූ බවයි. තමන්ගේ සහෝදරයාගේ දියණිය වන ඉනෝකා ඇයගේ දරුවන් කොළඹ බැවින් තමන්ගේ ඉහත සඳහන් කළ නිවසට පැමිණෙන බවට පැවසූ අතර ඒ සඳහා අදාළ යතුරු භාර දෙන ලෙස තමාගේ කලින් සඳහන් කළ හිතවතාට පැවසූ බවයි. නමුත් භාර දීමට පෙර ම එම නිවසට ඇතුළු වී තිබූ බවයි. පසුව එහි ඉනෝකා වාසය කළ අතර

පසු කාලීනව මෙම නිවස ඇටර්නි බලපත්‍රයක් මගින් ඥාණසාර හිමි නමට භාර කාරත්වය ලබා දුන් අතර නිවස විකුණා ලැබෙන මුදලින් චෛත්‍ය සෑම අරමුණු වූ බව ත්, පසුව, එය සුනෙත් නමැති පුද්ගලයෙකුට තමන්ගේ අනුමැතිය මත නව හිමිකරුට විකිණු පසු ඉනෝකා විසින් තම නිවසින් පිටව නිවසේ යතුරු ඥාණසාර හිමියන්ට භාර දී නිවසින් පිටවූ බව ත්, නව හිමිකරු විසින් මහල් නිවාසය වෙනත් පාර්ශවයකට කුළියට ලබා දී තිබූ බව ත් සදහන් කළා.

පසුව තමන්ගේ සහෝදරයාගේ දුව වන ඉනෝකා විසින් ව්‍යාජ ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කොට එම නිවසට අයිතිවාසිකම් කියා ඇති බව ත්, ඇය විසින් නව අයිතිකරු සම්බන්ධයෙන් සදහනක් නොකර නඩු කියූ බව ත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉනෝකාට නිවසට රැදී සිටීමට අවසර ලබා දීම නිසා. අධිකරණ නියෝගයක් හේතුවෙන් මහල් නිවාසේ තාවකාලිකව කුළියට පදිංචි වී සිටි පිරිස ද, ඉවත් ව ඉනෝකා විසින් එහි රැදී සිටින බව ත්, ඥාණසාර හිමියන් තමාට හිමිව තිබූ නිවස බලහත්කාරයෙන් අත්පත් කර ගත් බවට බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් අසත්‍ය තොරතුරක් සමාජ ගත කර ඇති බව ත්, ඇය වැඩිදුරටත් පවසා සිටියා.

සැ.යු:

අපගේ මෙම විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඥාණසාර හිමියන් ඉහත සඳහන් කළ දේපොළට බලහත්කාරයෙන් අත්පත් කර ගත් බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා ද, නොමග යන අන්දමින් අසත්‍ය ලෙස වාර්තා කර ඇති බව පමණක් වේ. 

අනෙකුත් කරුණු මෙතුවක් සිදුව ඇති නමුත් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, වාර්තා නොකළ මෙම සිදුවීමට අදාළ අනෙකුත් කරුණු වේ. මෙය විදේශත වූ උපාසිකාවක් විසින් ඥානසාර හිමියන්ට ඇටර්නි බලපත්‍රයක් මගින් තම දේපොළ සම්බන්ධයෙන් තීරණ ගැනීමට නෛතිමය වශයෙන් ගනු ලැබූ පැවරීමකි. මෙම නිවස විකිණීමෙන් පසු ලැබෙන මුදලින් චෛත්‍යයක් ඉදිකිරීමට ඇයගේ බලාපොරොත්තුව වී ඇති අතර ඇයගේ අනුදැනුම මත තව ත් පාර්ශවයකට එම දේපොළ විකුණන ලදී. ඇයගේ සහෝදරයාගේ දියණිය විසින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නිවසට හිමි කමක් පෙන්වා ඇති බව අගතියට පත් පාර්ශව පවසයි. කෙසේ මේ පිළිබඳ නඩු තීන්දු සම්බන්ධයෙන් ඉදිරියේදී  ලබා ගන්නා තහවුරු වූ තොරතුරු සමගින් යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

Result Stamp

Title: ඥානසාර හිමි බම්බලපිටියේ මහල් නිවාසයක් බලෙන් අත්පත් කර ගත් බවට පැවසූ සටහන් වල ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *